එදවස දෙවැට දිගේ වැටවල් අද්දර තිබූ එරබදු ගස්වල කොළ හැලිලා ගිහින් යාන්තම් පොහොට්ටු මතුවෙන්න ගත්තාම පුංචි අපි දන්නවා දැන් අවුරුද්ද එන්න ළඟයි කියලා. තොරතෝංචියක් නැතිව ගමේ කෙළවර වෙරළු ගස් අස්සෙන් එන කොවුල් හඬ මෙන්ම අඹ පිරුණ අඹ ගස් එකල පුංචි අපට අවුරුදු එන බව කියන ලකුණු. ඒ ලකුණු මැද්දෙන් බක්මහ ලබනවත් එක්කම ගමේ වැඩිහිටියෝ එකතු වෙලා ලොකු රබානක් රත්කර එය වයන්නේ ඔන්න අවුරුද්ද එනවා කියන්න. ඒත් එක්කම එකල කුඩා දරුවන් වූ අපට පමණක් නොව තරුණ තරුණියන්ටත් එක්කම පදින්න ඔංචිල්ලාවක් ද බැඳෙනවා. අවුරුද්ද ලබන්න දවස් කිහිපයක් තිබියදී ගමේ හැම ගෙදරකින්ම එන්නේ පිටි කොටන සද්ද, කැවුම් කොකිස් බැඳෙන සුවඳ. මේ අතර තොරොම්බොල්කාරයා එන්නේ කුඩා දරුවන්ට මාල වළලු අරගෙන. වත්තේ හැදුණු කෙසෙල් කැන්වලට දුම් ගැස්සෙන්නේ ද වැඩිහිටියන් අතිනි. නොනගත කාලය ලැබූ විට ගමේ පන්සලට කවුරුත් යන්නේ සිය පවුලම එක්වී. නොනගත කාලය අවසන් වී සිංහල අලුත් අවුරුද්දේ නැකැත් චාරිත්‍ර සිදුකරන්නේ රටම එකම පවුලක් ලෙසිනි.
අදින් දශක හතරකට පහකට පෙර බාල වියේදී අප සිංහල අලුත් අවුරුද්ද වින්දේ හරි අපූරුම අත්දැකීමක් ලෙසිනි. මේ කියන අවුරුදු චාරිත්‍ර ඉටුකළ එදා අප දුටු ඒ ගම දැන් එතැන දකින්නට නැත. හිස තෙල් ගාන නැකැතට තෙල් ගා නෑව ඒ ළිඳ ද දැන් එතැන නැත. අද එතැන ඇත්තේ විවිධාකාර හැඩයෙන් මතු වූ දෙමහල් නිවාසය. නැතිනම් තනි නිවාසය. එමෙන්ම එදා සිටි වැඩිහිටියන් ද දැන් නැත. එක්කෙනෙක් දෙන්නෙක් හැරෙන්නට ගමේ අය දැන් හඳුනන්නේද නැත. දැන් එතැනට ගම යැයි කියන්නට ද බැරිය.
මෙවන් වටපිටාවක් යටතේ සිංහල අවුරුද්දට පමණක් ඇසෙන ගී බොහෝය. ඒ ගී අතරිනුත් යුග ගණනාවක් තිස්සේ ඇසෙන ගී අතර අනුව දශකයේ ඇසුණු මේ ගීතය විශේෂ යැයි සිතේ.
අනූව දශකයේ මුල් යුගයේදී ඇසුණු ලන්දේ උකුල උඩ ගීතය අදටත් එකසේ සිංහල අවුරුදු සමයේ එදා සේම ජනප්‍රියයි කීම අසාධාරණ නැත. අවුරුදු උත්සවයක් පැවැත්වෙන ඕනෑම තැනෙක මෙන්ම විවිධ රූපවාහිනි ගුවන්විදුලි නාලිකා ඔස්සේ ඇසෙන
“ලන්දේ උකුළ උඩ….“ ගීතය ගයන්නේ අකාලයේ වියෝ වූ විශිෂ්ට ගණයේ රංගධරයකු වන ජැක්සන් ඇන්තනී හා ඔහුගේ ප්‍රිය බිරිඳ රංගන ශිල්පිනි කුමාරි මුණසිංහය. ගීතය සංගීතවත් කරන්නේ ප්‍රවීණ සංගීත ශිල්පී ඔස්ටින් මුණසිංහයන්ය.
අපට අපේ ගම සිහි ගන්වන, බාලවිය සිහි ගන් වන “ලන්දේ උකුළ උඩ….“ ගීතයේ පද රචනය පිළිබඳ ප්‍රවීණ ගී පද රචක රත්න ශ්‍රී විජේසිංහයන් පවසන්නේ මෙවන් කතාවකි.
“ අනූව දශකයේ මැද භාගයේ රූපවාහිනියෙන් විකාශනය වූ වසන්තයේ මියුරු සර වැඩසටහනට තමයි මම මේ ගීතය රචනා කළේ.
ඒ වැඩසටහනෙන් කෙරුණේ මාතර යුගයේ කවි කිවිඳියන් ගැන වගේම ඒ යුගයේ අවුරුදු ගැන. මාරුතයේ මියුරු සර වැඩසටහනේ ආරම්භක ගීතය තමයි “ ලන්දේ උකුළ උඩ….“ කියන ගීතය. මම මෙහි මුල්ම කොටසින් ලියන්නේ පරිසරය බක් මාසය වෙනුවෙන් හැඩ ගැසෙන විදිහ ගැන. අවුරුදු මාසේ වැඩියෙන් කතාබහට ලක්වෙන මලක් තමයි එරබදු. මේ මල් රතු පාටයි. නමුත් අද ඉන්න දරුවන්ගෙන් බහුතරය එරබදු හැබැහින් දැකලා නැතුවත් ඇති. ඒ කොහොම වුණත් ගමට අවුරුදු එනවා කියන්නේ එරබදු මල් පිපීමත් එක්ක.
දෙවැනි කොටසින් කියන්න උත්සාහ ගත්තේ සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීම ගැන.
“නීල කොබෙයි පැටියන්ට ඇඳුම්
මුතු මාල පොටක් ගිරවුන්ට අරන්
රත්තරන් පාට කමතට ඉහළින්
කන්ද උඩින් එන ගෝමරියේ දැන්
ගමට වරෙන් දැන් ගමට වරෙන්…“
මේකෙදි ව්‍යංගයෙන් වගේ කියන්න උත්සාහ ගත්තේ අවුරුද්දට සූදානම් වීම ගැන.
ගොයම් කපලා සහල් ගෙට අරන් අවුරුදු චාරිත්‍ර කරන්නයි ගැමියෝ පුරුදු වෙලා හිටියේ. ඒ වගේම නොනගතයට ආගමික චාරිත්‍ර ඉටුකරන්න පන්සල් යාම ආදි දේ ගැනත් මෙහි තුන්වන කොටසින් කියැවෙනවා. මේ හැමදෙයක්ම ගීතයකදී අපට කියන්න සිදුවෙන්නේ බොහෝම පරිස්සමින් වචන භාවිත කරලා. ඒ දේ මම කළා කියලා මට හැඟෙනවා.
ගීතයේ සාර්ථකත්වයට අනිවාර්යෙන්ම ඔස්ටින් මුණසිංහයන්ගේ සංගීතය මෙන්ම අපෙන් සමුගත් සැබෑ දක්ෂයකු වන ජැක්සන් ඇත්තනීගේ කටහඬත්, ඔහුගේ ප්‍රිය බිරිය කුමාර මුණසිංහයන්ගේ හඬත් බලපෑව. ඒ වගේම මේ ගීතය අවුරුදු තිහකට ආසන්න කාලයක් රසිකයන් අතර එකම ලෙසින් ජනප්‍රිය වීම සතුටක්. “
ඉනෝකා සමරවික්‍රම