පසුගියදා නිමාව දුටු සරසවි සම්මාන රාත්රියේදී 2019 වසරේ සරසවි සම්මාන උලෙළේ හොඳම නළුවාට හිමි සම්මානය දෝත දැරුවේ බිමල් ජයකොඩි. බිමල්ට සුබපතන ගමන් සම්මානිත වීම ගැන වගේම සිනමාවෙන් පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයින් අතරට එන අලුත් නිර්මාණ ගැන රසඳුන අපි කතා බහ කළා.
2019 හොඳම නළුවා විදියට 2024දී ඔබ සරසවි සම්මානය ලබනවා, මොකද හිතෙන්නේ?
මම සරසවි සම්මානයක් දිනා ගන්න දෙවැනි වතාව. 2016 වසරේ අවසන් වරට පැවති සරසවි සම්මාන උලෙළේ දී හොඳම සහාය නළුවාට හිමි සම්මානය මම දිනා ගන්නවා ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරපු ආදරණීය කතාවක් වෙනුවෙන්. ඉන් පසුව පසුගියදා පැවති සරසවි සම්මාන උලෙළේ දී හොඳම නළුවාට හිමි සම්මානය ලැබීම ගැන සියුම් සතුටක් මිශ්‍ර ආඩම්බරයක් තියෙනවා. සරසවි සම්මානයක් කියන්නේ ලංකාවේ ශිල්පියෙක්ට දිනාගන්න පුළුවන් ඉහළම ගෞරවනීය සහ ලොකුම අවධානය ලැබෙන සම්මානයක්. සරසවි සම්මානය ලැබීම මගේ රංගන ජීවිතේ එක්තරා විදියක කඩඉමක්.
හොඳම නළුවා ලැබෙන්නේ මලිත් හෑගොඩ අධ්‍යක්ෂණය කරපු “දැකලා පුරුදු කෙනෙක්“ හි සචිත්රගේ රංගනයට, හිතුණද මේ වෙනුවෙන් ඇගැයීමක් ලැබෙයි කියලා?
නැහැ. ඒ චරිතය සම්පූර්ණයෙන්ම අධ්යක්ෂවරයා මත මෙහෙය වුණු චරිතයක් කිව්වොත් වඩා නිවැරදියි. ශිල්පියෙක් විදියට මම එකතු කරපු දේ එකතු කරන්න අධ්යක්ෂවරයා සීයට දෙසීයක් මහන්සි වුණා. ඒ අධ්යක්ෂවරයාට සහ තිර රචකයාට අවශ්‍යය සචිත්‍රව නිර්මාණය කරන්න. ඒ නිසා එහි සම්පූර්ණ ගෞරවය මම ලබා දෙන්නේ මලිත් හැගොඩට. මේ චරිතය කරද්දී තක්සේරුවක් තිබ්බේ නැහැ. නමුත් කළාට පස්සේ මේ නිර්මාණය බලපු බොහෝ දෙනෙක් කියපු දෙයක් තමයි මේ තරම් සියුම්ව සචිත්‍රව නිර්මාණය කරන්න රංගන ශිල්පියෙක්ට අසීරුයි කියන එක. බිමල් ජයකොඩිගෙන් ගලවලා සචිත්ර කියන වෙන කෙනෙක්ගේ ගති ස්වභාවයන් සියුම් චලනයන් හැඟීම් දෝලනයන් හරි අපූරුවට වියමන් කරලා තියෙනවා නේද කියන එක කිහිප වතාවක් බලද්දී මට වුණත් දැනෙන්න ගත්තා. මම සචිත්රගේ චරිතය සඳහා තුන්වතාවක් හොඳම නළුවා ලෙස නිර්දේශයට ලක් වුණා. මේ වතාවේ තමයි මට සම්මානය ලැබුණේ.ෙ
ඔබ නිර්දේශ වුණේ අපේ රටේ දැවැන්ත ප්‍රවීණ රංගධරයෙක් වන කමල් අද්දරආරච්චි එක්ක. ඒ ගැනත් අදහසක් ඇති?
ඔව්. ඒ නිර්දේශ වීමත් මට වටිනවා. මම රංගන ශිල්පියෙක් වෙන්න ඕනේ කියලා හිතන්නේ නැති කාලෙක පටන් මම ආස කරපු අපේ කාලේ රංගන ශිල්පියයා කමල් අද්දරආරච්චි. පසු කාලෙක රංගනය ගැන හදාරද්දී ඔහු තුළින් ඉගෙන ගන්න ගොඩක් අවස්ථා ලැබුණා. ඔහුගේ ආභාසයන් තුළින් අපි ස්වයං හැදෑරීම් කරලා තියෙනවා. මට ඔහු සමඟ නිර්දේශ වීම ම සම්මානයක් ලැබීම හා සතුටක්. ජනාධිපති සම්මාන උලෙළේ දීත් මමයි කමල් අයියයි නිර්දේශ වෙනවා. එතැනදී ඔහුට ඒ සම්මානය හිමිවෙනවා. සරසවි සම්මාන උලෙළේ දී කමල් අයියා මම සහ හේමාල් නිර්දේශ වෙන්නේ. එතැනදී මට සම්මානය ලැබුණත් මම දන්නවා කමල් අයියා කරපු ඒ විජේවීර චරිතය කරන්න ඉතා විශාල කැපවීමක් සහ හැදෑරීමක් තියෙන්න ඕනේ කියන එක. සචිත්රගේ චරිතයේ තියෙන සියුම් ස්වභාවය නිසයි මට මේ සම්මානය ලැබෙන්නේ කියන එක මට හැඟෙනවා. නමුත් මට මේ සම්මානය නොලැබී කමල් අයියාට සම්මානය ලැබුණා නම් මේ හා සමානවම සතුටු වෙනවා. හොඳම නළුවා ලෙස කමල් අයියා හා නිර්දේශ වීම මට ලැබුණු එක්තරා විදියක ගෞරවයක්, ආඩම්බරයක් සහ සතුටක්. ඒ එක්කම හේමාල් ගැනත් කියන්න ඕනේ. මමත් කමල් අයියත් හේමාල් රණසිංහත් එක්තරා ප්‍රසංගයක් කරන්න සැලසුම් කරලා තිබ්බා. අපි ඒකට නම දාලා තිබ්බේ කබිහේ (කමල්, බිමල් ශාන හේමාල්). ඒක තවම කෙරුණේ නැහැ. මම සම්මානය ගන්න යද්දී මගේ ඉස්සරහ හිටියේ කමල් අයියා, කමල් අයියාට ඉස්සරහ හිටියේ හේමාල්. අයියා කබිහේ නේද අද කියලා මම මතක් කරද්දී ඔහු එයට ඉතාම ආදරෙන් ප්‍රතිචාර දැක්කුවා.
කබිහේ සිහිනය තවම තියෙනවද?
බිහේ තමයි ගැටලුව තියෙන්නේ. බලමු ඉතින් කවදා හරි දවසක කබිහේ බලන්න ලැබෙයිද කියලා.
පුංචි තිරයෙන් ගමන් පටන් ගත්තත්, සිනමාවට ආවට පස්සේ සිනමා නළුවෙක් ලෙස පමණක් රැඳෙන්න උත්සහ කරනවා. නමුත් ඔබ තවමත් මේ අංශ දෙකේම නිර්මාණවල නියැළෙනවා?
අපි ආස කරන, ලෝකයේ සංසන්දනාත්මකව ගත්තම සිනමාව කියන දේ අපේ රටේ සිනමාව තුළත් මේ වෙනකොට තිබුණා නම් අපේ හොඳ කතා රූපවාහිනිය හරහා දියකර හරින්නට වුවමනාවක් නැහැ. අපිට වුණේ එක්තරා කාලයක ස්වර්ණමය යුගයක අපේ සිනමාව තිබිලා පසු කාලෙක රූපවාහිනී ආගමනය එක්ක එක්තරා විදියක පසුබෑමක් ඇතිවීම. සිනමාවට නැඟිය හැකිව තිබු හොඳ නිර්මාණ කොටස් වශයෙන් රූපවාහිනී නාළිකා හරහා ප්‍රේක්ෂකයාට ළංවුණා. ඒ නිසා එක්තරා කාලයකදී රූපවාහිනිය ප්‍රබල තැනක තිබුණා. මම පිවිසෙන්නේ රූපවාහිනී නළුවෙක් හැටියට. මගේ වාසනාවට මුල් කාලයේ ඉතාම හොඳ නාට්‍යය නිර්මාණ ලැබුණා. මේ තියෙන දක්ෂතාවයන් මුවහත් කරගන්න අත්දැකීම් ලැබුවේ රූපවාහිනිය හරහා. පසුව පෞද්ගලික නාළිකා සහ රූපවාහිනිය තුළ තියෙන තරගකාරිත්වය නිසා ඉතාම ඉක්මනින් එහි ගුණාත්මක බව පිරිහෙලා වෙන කණ්ඩායමක් අතට මෙහි පාලනය ගිහින් ඔවුන්ගේ අභිමත පරිදි හසුරුවන හස්තයන් බවට පත් වුණාට පස්සේ සියල්ල වෙනස් වුණා. නමුත් අවාසනාවට වගේ අපේ සිනමාව අද තියෙන්නේ නිශ්චිත තැනක නෙවෙයි. සිනමාව ඇතුළේ තමයි රංගන ශිල්පියෙක්ගේ සියලුම දේ විදහා දක්වන්න අවස්ථාව ලැබෙන්නේ. ඒක හරි ආශ්චර්යයි, ඒක හරි අපූරුයි. ආස්වාදජනකයි. නමුත් සිනමාව විතරක් අපිට අල්ලාගෙන ඉන්න හැකියාවක් නැහැ. මම සිනමාවට බොහොම ප්‍රියයි. සිනමාව මගේ විෂය. ඒ තුළ හැමදාම රැඳිලා ඉන්න කැමතියි. මම හිතන්නේ හැම ශිල්පියෙක්ම සිනමාවට ආවට පස්සේ ඒ තුළ රැඳෙන්න කැමතියි.
මේ වසරේ සිනමාවෙන් ඔබව දකින්න ලැබෙන නිර්මාණ එකතුවක්ම තියෙනවා නේද?
ඔව්. වැඩිපුර අවධානයක් යොමු වෙනවා ප්‍රියන්ත කොළඹගේ අධ්යක්ෂවරයාගේ මන්දාරා චිත්‍රපටයට. එහි තියෙන වෙනස් ස්වභාවය අපි තිරයෙන් දකින්න ආස වීරයා හෝ ප්රතිවිරයාගේ ස්වභාවය පෙනුම දකින්න ලැබෙන නිර්මාණයක්. ඒක කතාබහට ලක්වෙන චිත්‍රපටයක්. ජනප්‍රිය සිනමාවේ ලක්ෂණ අඩංගු චිත්‍රපටයක්. අසෝක හඳගම අධ්‍යක්ෂණය කරපු රාණි කියන චිත්‍රපටයත් ඉතාම ඉක්මණින් තිරගත වෙයි. එහි මගේ චරිතය දැන්ම කිව්වොත් එහි තියෙන කුතුහලය නැතිවෙලා යයි. ඒ චරිතයත් ප්‍රේක්ෂකයින් ආනේ… කියන තැනට පත්වෙන චරිතයක්. ඊට අමතරව තව සෙවණැලි, අයිස්ක්‍රීම් චිත්‍රපට එන්න තියෙනවා. තව රුක්මාල් නිරෝෂ් අධ්‍යක්ෂණය කරපු “අවාළු පැහැ වලාකුළක්” කියන චිත්‍රපටයත් මම ඉතා කැමැත්තෙන් කරපු මගේ රංගනය වෙනස් විදියට දකින්න පුළුවන් චිත්‍රපටයක්. ඒ එක්කම සුභාෂ් සිවකුමාරන් අධ්‍යක්ෂණය කරපු “හවුස් ඔෆ් මයි ෆාදර්” චිත්‍රපටයත්, පාලිත පෙරේරා අධ්‍යක්ෂණය කළ එලිෆන්ට්පාස් චිත්‍රපටයත් එන්න තියෙනවා. මේ හැම එකක්ම මම එකිනෙකට වෙනස් චරිත කළ නිර්මාණ. ඒ එක්කම තරුණ අධ්‍යක්ෂවරයෙක්ගේ මනී කියන චිත්‍රපටයේ වැඩ කරනවා. මම කාලයක් තිස්සේ බලන් හිටිය චරිතයක්. වතුකරයේ වෙසෙන ප්‍රාදේශීය දේශපාලනය කරන දෙමළ ජාතික තරුණයෙක්ගේ චරිතයක්. හරි ආදරණීය කතාවක්. එහි රූපගත කිරීම් මේ වසරේ කරන්න නියමිතයි.
කලාකරුවෙක්ට ලැබිය යුතු නිදහස බිමල්ට උපරිමයෙන් ගෙදරින් ලැබෙනවා, ආදරණීය බිරිඳ සුජානිගෙන් ලැබෙන සහයෝගය ගැන කතා කළොත්?
සුජානි තමයි මට හැමදාම ලොකුම සහයෝගය ලබා දෙන්නේ. ඒක කියනවට කියන දෙයක් නෙවෙයි. වැඩක් තෝරා බේරා ගැනීමේ ඉඳලා පසු නිෂ්පාදනය දක්වාම ඇය බොහොම පරිස්සමෙන් මගෙත් එක්ක ඉන්නවා. හොඳම දේ තමයි යම් සැලසුමක් එක්ක වැඩ කරන එක. . අද වෙනකම් අපි දක්වන අවංක දායකත්වය මිනිස්සු විශ්වාස කරනවා සහ ඒකට මිනිස්සු ගරු කරනවා. ඒ ගෞරවය ඒ විදියටම පරිස්සම් කරමින් මිනිස්සු අපෙන් බලාපොරොත්තු වෙන විශ්වාසය බිඳ හෙළන්නේ නැතුව හොඳ දෙයක් දෙන්න තමයි අපි උත්සහ කරන්නේ.
ජායාරූප – කල්ප මේනක
අනුෂා රණසිංහ