Home » රට සිටින බිරිය ගෙන්වා ගන්න දරුවන්ට වධහිංසා කළ නරුම පියා

රට සිටින බිරිය ගෙන්වා ගන්න දරුවන්ට වධහිංසා කළ නරුම පියා

විජිත සල්ගාදු - අකුරැස්ස මධ්‍යම විශේෂ

by thanushika
April 13, 2024 12:30 am 0 comment

අකුරැස්ස පොලිස් ස්ථානයේ දුරකතනය පසුගිය දිනක රාත්‍රී කාලයේ නාද විය. පොලිස් දුරකතනයට ලැබුණු පණිවුඩයෙන් කියැවුණේ මලිදූව, වැලිකැටියේ නිවසක පියෙකු සිය දරුවන්ට අමානුෂික ලෙස පහර දෙන බවය. 119 හදිසි ඇමතුම් පණිවුඩ සේවයේ රාජකාරියේ යෙදී සිටි සැරයන් (39313) නිමල් ප්‍රමුඛ නිලධාරීන් එසැණින් වැලිකැටියේ අදාළ නිවස බලා පිටත් විය.

සිත්පිත් නැති පියා තම නොදරුවන්ට පහර දෙමින් වධ හිංසා කිරීම් තවදුරටත් ඉවසා සිටීමට නොහැකි කිසිවකු විසින් 119 පොලිස් හදිසි ඇමතුම් පණිවුඩ සේවයට නිර්නාමික දුරකතන පණිවුඩයක් දෙන්නට ඇත්තේ මෙම සිදුවීම දිගින් දිගටම සිදුවූ නිසා වන්නට පිළිවන. පොලිසිය මේ නිවසට යන්නේ මේ අතරය.

හඬා වැළපෙමින් බිම වැතිරී සිටි වැඩිමහල් දියණියට තුරුළු වී සිටි කුඩා දරුවන් තිදෙනා දෙස බැලූ පොලිස් නිලධාරීන් දරුවන්ගේ අසරණත්වය වහා තේරුම්ගෙන හැඬු කඳුළින් බයබිරාන්තව සිටින දරුවන්ට පහර දුන් පියාගෙන් ප්‍රශ්න කරමින් පියා අත්අඩංගුවට ගෙන දරුවන් සිවුදෙනාද පොලිස් භාරයට ගෙන පොලිස් ස්ථානය වෙත කැඳවාගෙන ඒමට පියවර ගන්නේ ඒ මොහොතේදීමය.

අත්අඩංගුවට ගත් පියා සහ පොලිස් භාරයට ගත් දරුවන් සිවුදෙනා පිළිබඳව විමර්ශන අකුරැස්ස පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් සුදුසිංහ, ළමා සහ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා නෙරංජලා වෙලගෙදරට භාර කළේය. ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත විමර්ශන කටයුතු ඇරඹූ පොලිස් පරීක්ෂකවරිය මේ දරුවන්ගෙන් නංගිලා දෙදෙනා සහ කුඩා මල්ලී වැඩිමහල් දැරියට භාර කර පසෙකින් තැබුවේ දරුවන්ට සෙනෙහෙවත්ත මවක් වෙමිනි. පොලිස් නිලධාරියන්ද දරුවන් සිවු දෙනා අස්වසාලීමට කටයුතු කළේ ආහාරපාන ආදිය දරුවන් වෙත ගෙනැවිත් දෙමිනි.

37 හැවරිදි පියා මීට වසර ගණනාවකට පමණ පෙර විවාහ වී ඇති අතර ඔහුට වයස අවුරුදු 19 සහ 17ක පිරිමි දරුවන් දෙදෙනෙකු ද සිටින අතර වැඩිමහල් දරුවා කොළඹ රැකියාවක නිරතව සිටියි. අනෙක් දරුවා ලබන වසරේදී අපොස සාමාන්‍ය පෙළ විභාගයට සූදානම්ව එම නිවසේම පදිංචිව සිටියි. පළමු බිරිය රැකියාවක් සඳහා විදේශගතව සිටින්නේ මොහුගේම මැදිහත් වීමෙනි.

රත්නපුර ප්‍රදේශයේ කාන්තාවක් සමඟ දෙවන වරට විවාහ වූ මේ පුද්ගලයාට එම විවාහයෙන් දරුවන් සිවුදෙනෙකු සිටින අතර වැඩිමහල් ගැහැනු දරුවාට වයස අවුරුදු 13 කි. ඇය පාසලේ 08 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. ඊළඟ දියණියට වයස අවුරුදු 08 කි. ඇය 04 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. වයස අවුරුදු 04 ක දියණියක් සහ වයස අවුරුදු 02ක පුතෙකුද සිටිති.

මීට මාස දෙකකට පමණ පෙරදී දරුවන්ගේ පියාගේම මැදිහත් වීමෙන් බිරිය විදේශ රැකියාවකට යවා තිබේ. වයස අවුරුදු 13ක ගැහැනු දරුවා මව රට ගියද තම නංගිලා සහ කිරි බොන වයසේ සිටින එකම මල්ලීට අම්මා කෙනෙකු වී ඔවුන්ව බලාකියා ගැනීම මෙන්ම ආහාර සැකසීමද සිදු කළාය. ඉගෙනීමට ඇයගෙන් ලැබුණේ දෙවැනි ස්ථානයයි. ඇය පාසල් වැඩකටයුතුවලට වඩා තම නංගිලා මල්ලි බලා ගැනීමට පළමු ස්ථානය දුන්නාය. පියා කුලී වැඩට ගොස් එන විට ඔහුටද කෑම පිළිගන්වන්නේද ඇය විසිනි. මව විදේශගත වීමෙන් ඇතිව තිබූ හිඩැස පුරවන්නට ඇය නොගත් වෙහෙසක් නැත.

අවුරුදු 02ක් වයසැති තම එකම මල්ලී තුරුළු කරගෙන කවාපොවා ඇතිදැඩි කරගත්තේ මවු සෙනෙහස නැතිව ඉකි බිඳින දරුවාට මවක් වෙමිනි. ඇයගේ ඒ ව්‍යායාමය ඵල රහිත වූයේ පියාගේ අමානුෂික හැසිරීම් රටාවයි.

” මහ ගෑනිට ඇවිත් උඹලාව බේරා ගන්න කියපන් ” යැයි කියමින් වැඩිමල් දියණියට සහ කුඩා දරුවන්ට පහර දීමට පටන්ගත්තේ ඔය අතරවාරයේය.

“වැඳල කියපන්“ “තෝ මැරියන් ” කියමින් පා පහරවල් පවා එල්ල කරන්නට ඔහු පෙළඹි තිබිණි. කරකියා ගත කිසිවක් නොමැතිව අන්දමන්ද වී සිටින වැඩිමහල් දැරිය පියාගේ වචන එලෙසින්ම වෙව්ලන උස් හඬින් පවසන්නට වූයේ එසේ නොමැතිව තමනට සහ නැඟණියන්ට කිසිම ගැලවීමක් නැති බව තේරුම් ගත් නිසාවෙනි. වධ හිංසාවලින් බේරී සිටීමට බිම දිගා වී සිටින දැරියට අමානුෂික ලෙස අතින් පයින් පහර දෙමින් ඒ සියල්ල වීඩියෝගත කරමින් එම වීඩියෝ පට බිරියට යැවීමට ඔහු කටයුතු කර තිබිණි.

මූලික පොලිස් විමර්ශනයේදී මෙම කරුණු සියල්ල අනාවරණය කර ගැනීමට පොලිස් පරීක්ෂිකා නෙරංජලා වෙලගෙදරට හැකි විය. ඔහු සිය බිරිය යළි මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍යව ඇති බව ඔහුගේ ප්‍රකාශවලින් තහවුරු වී තිබුණි.

මේ සිද්ධිය සැලවූ වහාම අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කේ.ජී.ඩී. අනෝජාද දරුවන්ට ආහාරපානද රැගෙන පොලිසියට පැමිණ තම කොට්ඨාසයේ ඇතිව ඇති මෙම සිදුවීම පිළිබඳව සොයා බැලුවාය.

පොලිස් භාරයට ගත් දරුවන් සිවුදෙනාට ඇඳුම් පැලඳුම්ද ලබා දීමට පොලිස් නිලධාරිනියන් කටයුතු කළහ. කොණ්ඩය ඉතා දිගට වැවී තිබූ වයස අවුරුදු දෙකක පිරිමි දරුවාගේ කොණ්ඩය කපා පිරිසුදු කරගෙන ඇඳුම් පැලඳුම් අන්දවා දරු පැටවු සිවුදෙනා පසු දින මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදි. සාපරාධී බියගැන්වීම්, පහර දීම්, තුවාල සිදුකිරීම යන චෝදනා මත සැකකාර පියා අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.

මවු පාර්ශ්වයේ හෝ පිය පාර්ශ්වයේ කිසිම වැඩිහිටි ඥාතියෙකු දරුවන්ගේ භාරකාරත්වය භාර ගැනීමට ඉදිරිපත් වූයේ නැත.

පිය සෙනෙහසද මවු සෙනෙහසද අහිමිවී අසරණව සිටි දරුවන් සිවුදෙනා එකම වහලක් යට රඳවා තබන්නට ගාල්ල ප්‍රදේශයේ ළමා නිවාසයකට භාර කෙරිණි. කඳුළු පිරි දෙනෙතින් යුතුව කුඩා මල්ලී දෝතින් වඩාගත් වැඩිමල් දරුවා පෙරටුකොට ගත් දරුවන් පොලිස් නිලධාරීන්ගෙන් සමුගෙන ළමා නිවාසය කරා පියනඟන්නට වූහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division