Home » අංගොඩ සැලුන් එකක බාබර්ගේ අලුත්ම ජොබ් එක

අංගොඩ සැලුන් එකක බාබර්ගේ අලුත්ම ජොබ් එක

by thanushika
April 20, 2024 12:30 am 0 comment

පාසල් සිසුන් අතට මත්ද්‍රව්‍ය පත්වීම සහ පාසල් සිසුන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළක්වා ගැනීම සඳහා පොලිසිය සහ සෙසු ආරක්ෂක අංශ යුක්තිය මෙහෙයුම යටතේ සිදුකරන වැටලීම් ප්‍රමාණය දෛනිකව සැලකිය යුතු තරම්ය. මේ හේතුව නිසා පාසල් සිසුන් අතට මත්ද්‍රව්‍ය පත්වීම බොහෝ දුරට වැළකී ඇත්තේ එම මත්ද්‍රව්‍ය ජාලය අඩපණ කිරීමට පොලිසිය මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙනි.

පාසල් අසල පිහිටි වෙළෙඳසල් පරීක්ෂා කිරීමටද පොලිසිය පියවර ගන්නේ මේ වැඩපිළිවෙළෙහි එක් අංගයක් වශයෙනි. ඒ පාසල් සිසුන්ට මත්ගුළි, පෙති, කරල් අලෙවි කරන සංවිධානාත්මක වෙළෙඳුන් අල්ලා ගැනීම සඳහාය. මීට අමතරව පොලිසිය සිවිල් ඇඳුමෙන් සැරසී පාසල් අසල රාජකාරියේ නිරත වන්නේ පාසල් අසලට මත්පෙති, මත්ද්‍රව්‍ය කරල්, බාබුල්, මත් පුවක්, ගුළි ගෙන එන ජාවාරම්කාරයන් අල්ලා ගැනීම සඳහාය. එහි ප්‍රතිඵල ඉතා සාර්ථක වූයේ පාසල් සිසුන්ට අලෙවි කිරීමට සූදානම්කර තිබූ මත්පෙති, කරල්, ගංජා, බාබුල්, මදනමෝදක තොග පිටින් පොලිසිය විසින් පසුගිය දිනවලදී අත්අඩංගුවට ගැනීමත් සමඟය.

මේ අතර පොලිසිය තවදුරටත් විමර්ශනය කළ ප්‍රධාන කාරණයක් තිබිණි. ඒ පාසල් සිසුන්ට මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා ඉඩපහසුකම් සලසන ස්ථාන ගැනය. ඇතැම් පාසල්වලට නුදුරෙන් පිහිටි පාළු ස්ථාන, අතහැර දමා ඇති ගොඩනැඟිලි, බෝඩිං කාමර, නේවාසිකාගාර, ළඳු කැලෑ, ගරා වැටුණු ගොඩනැඟිලි, නිවාස, ත්‍රිරෝද රථ ඇතුළු වාහන ගැනද පොලිස් ඇස යොමු වන්නේ මේ හේතුවෙනි.

පාසල් සිසුන්ට මත්ද්‍රව්‍ය පානය සඳහා ඉඩකඩ ලබා දී ඒ මාර්ගයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ගෙන ගිය පුද්ගලයකු සහ ඊට ඉඩකඩ සපයා දීම සඳහා අලුතෙන්ම ආරම්භ කැරුණු කොණ්ඩා කපන ස්ථානයක් (සැලෝන් එකක්) වටලා මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිමල් සුසන්ත ඇතුළු පොලිස් කණ්ඩායමකට හැකි වූයේ පසුගියදාය. මීට මාස තුනකට පමණ කලින් අංගොඩ නගරයේදී මේ කොණ්ඩා කපන ස්ථානය (සැලොන්) ආරම්භකර තිබිණි.

අදාළ ස්ථානයේ සිදුවන්නේ කොණ්ඩය කැපීමට වඩා මත්ද්‍රව්‍ය ජාවාරම සහ මතට ඇබ්බැහි වූ පාසල් සිසුන්ට ඒ සඳහා ඉඩකඩ ලබා දීම බවට මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිමල් සුසන්තට ලැබුණ රහසිගත තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානාධිපතිවරයා අදාළ සැලොන් එක සහ අවට සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් ආවේක්ෂණ රාජකාරියේ යොදවා සොයා බලන්නේ පොලිසියට ලැබුණු මේ තොරතුරේ සත්‍ය අසත්‍යතාව පිළිබඳවය.

මේ සම්බන්ධව නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ජී. එස්. ජයමහ ද දැනුවත් කිරීමෙන් අනතුරුව සැක කටයුතු සැලොන් එක වැටලීම සඳහා පොලිසිය කටයුතු කරන ලද්දේ ඒ වන විටත් එහි මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රියාත්මක වන බවට ලැබුණු තොරතුරු අනුවය.

මේ අනුව පොලිස් කණ්ඩායමක් අදාළ සැලොන් එක වටලන්නේ ක්ෂණිකවය. පොලිස් නිලධාරීන් එම ස්ථානයට ඇතුළුවන අවස්ථාවේ එහි ප්‍රධාන දොරටුව ඉබි යතුරු දමා වසා තිබිණි.

පොලිසිය පසුව එම දොර විවෘත කරගෙන සැලොන් එක ඇතුළට යද්දී එහි කුටියක හොර රහසේ මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි සිසුන් හයදෙනෙකු පමණ පිටුපස දොරකින් පලා යන්නේ තත්පර කිහිපයක් ඇතුළතදීය. මේ ස්ථානයට මත්ද්‍රව්‍ය ගෙනැවිත් බෙදාහරින ලද පුද්ගලයා සහ සැලොන් එක පවත්වාගෙන ගිය 18 හැවිරිදි පුද්ගලයා පොලිසිය මඟින් අත්අඩංගුවට ගන්නේ ඉන් අනතුරුවය.

පොලිසිය සිසුන් සිටි ස්ථානය පරීක්ෂා කළ අවස්ථාවේදී සිසුන් එහි සිට අයිස්, ගංජා, ‘ඩාන්සින් ටැබ්ලට්’ ඇතුළු මත්ද්‍රව්‍ය පානය කළ බවට සාක්ෂි එහි තිබිණි.

අදාළ ස්ථානයට පාසල් සිසුන් 25ක් පමණ දිනපතා පැමිණෙන බවට පොලිසියට තොරතුරු ලැබී තිබුණු අතර එසේ එන සිසුන්ට මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා විශේෂ කුටියක් තනා තිබෙන අයුරු ද පොලිස් නිලධරයන්ට නිරීක්ෂණය විය. එම කාමරය පිහිටා තිබුණේ සැලොන් එකට පිටුපසට වන්නටය.

එම කාමරය පොලිසිය විසින් පරීක්ෂා කළ අවස්ථාවේදී එහි තිබූ ගිනිකූරු, වීදුරු කැබලි සහ පොලිතින් ද සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි විය. මේ ස්ථානයට මත්ද්‍රව්‍ය ගෙන එන පුද්ගලයා කොටිකාවත්තේ පදිංචිකරුවකු වන අතර ඔහු 24 හැවිරිදිය. සැකකරු මත්ද්‍රව්‍ය ගෙන එන්නේ වැල්ලම්පිටිය ප්‍රදේශයෙනි. සැකකරු මීට පෙර මුල්ලේරියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර ඇති පුද්ගලයකු බවට තොරතුරු හෙළි විය. සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහරිනු ලැබ සිටීමෙන් පසුව ජාවාරම සිදුකරගෙන ගොස් තිබිණි.

ප්‍රදේශවාසීන් පොලිසියට කියා ඇත්තේ ඇතැම් අවස්ථාවල සිසුවියන් පවා අදාළ සැලොන් එකට පැමිණෙන බවය. ඔවුන් ඇතැම් අවස්ථාවල පාසල් නිල ඇඳුමෙන් සැරසී සිටිනු ද ප්‍රදේශවාසීන් දැක ඇත. අදාළ ස්ථානයට නුදුරින් අංගොඩ ප්‍රදේශයේ ප්‍රකට පාසලක්ද පිහිටා තිබීම සුවිශේෂිය. පොලිසිය කරන ලද විමර්ශනයේදී හෙළි වී ඇති අන්දමට මෙය ආරම්භකර ඇත්තේ මීට මාස තුනකට පමණ කලිනි. එහෙත් මේ මාස තුනටම සැකකරු කොණ්ඩය කපා ඇත්තේ ඊට පැමිණි පුද්ගලයන් තිදෙනෙකුගේ පමණ වීමද සුවිශේෂී කරුණකි.

මේ අනුව මේ ජාවාරම්කරුවන් පාසල් සිසුන් ඉලක්ක කරගෙන මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරගෙන ගොස් ඇතැයිද ඊට ආවරණයක් ලෙස සැලොන් එක මේ සඳහා යොදාගෙන ඇතැයිද පොලිසිය සඳහන් කරයි.

ඉන් අනතුරුව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරද්දී සැලෝන් එකේ රහසිගත ස්ථානයක මත්ද්‍රව්‍ය සඟවා ඇති බවට තොරතුරු හෙළි වීම නිසා එක් සැකකරුවකුද කැටුව නැවත අදාළ ස්ථානයට ගිය පොලිස් නිලධාරීන් සැලොන් එකේ කාමරයක් තුළ සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 2000ක් සොයා ගන්නා ලදි. මේ සිද්ධිය සමඟ මුල්ලේරියාව පොලිස් වසමට අයත් පාසල්වල විදුහල්පතිවරුන් කැඳවා මත්ද්‍රව්‍යවලින් සිසුන් වළක්වා ගැනීම පිළිබඳ ඔවුන් දැනුවත් කිරීමට මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිමල් සුසන්ත කටයුතු යොදා ඇත.

කොස්තාපල්වරුන් වන (21412) පතිරණ, (93800) ඒකනායක, (99973) රශ්මික, (8918) විජේසුරිය යන නිලධාරීහු වැටලීම සිදු කළහ.

ඡායාරූප – මුල්ලේරියාව සිරිසේන ගමගේ

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division