Home » විස්කි බෝතල් මුවාවෙන් ඩුබායි සිට හොරෙන් අරන් අා රත්රන්

විස්කි බෝතල් මුවාවෙන් ඩුබායි සිට හොරෙන් අරන් අා රත්රන්

by thanushika
April 20, 2024 12:30 am 0 comment

ඔවුන් එකිනෙකා හොඳින් හඳුනන, නිතර ගුවන් ගමන්වල යෙදෙමින් විවිධ භාණ්ඩ වර්ග මෙරටට ගෙනැවිත් අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරත ව්‍යාපාරිකයන් දෙදෙනෙකි. ඔවුන් අතරින් එක් අයෙකු 60 හැවිරිදි වියේ පසුවන අයෙකි. පදිංචිය අම්බලන්ගොඩ ප්‍රදේශයේය. අනෙක් ව්‍යාපාරිකයා 65 හැවිරිදිය. ඔහු කොළඹ, බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔවුන් දෙදෙනාට කොළඹ, හෙට්ටි වීදියේ ප්‍රධානතම ස්වර්ණාභරණ ව්‍යාපාරික ආයතනයකින් විශාලතම ඇණවුමක් ලැබී තිබිණි.

ඒ අනුව මාල, වළලු, කරාබු සහ අත් පලඳනා ද ඒ අතර වූ අතර කිලෝ ග්‍රෑම් 05යි ග්‍රෑම් 500ක් බරැති මෙම ස්වර්ණාභරණ තොගයේ වටිනාකම රුපියල් කෝටි දොළහකට අධික විය.

එහෙත් මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා පිළිබඳව ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් කලක සිටම ‘ඇස ගසා ගෙන‘ සිටියේ මොවුන් දෙදෙනා එක් වී කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ සිදු කෙරෙන නීතිවිරෝධී ව්‍යාපාරික කටයුතු පිළිබඳවය.

මොවුන් රේගු නිලධාරීන් නොමඟ යවමින්, වෙනත් භාණ්ඩ රේගුව හමුවේ ප්‍රකාශ කරමින් මෙරටට ගෙන ඒමට තහනම් භාණ්ඩ, හොර රහසේ රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීම මොවුන්ගේ ප්‍රධානතම ජාවාරම වී තිබිණි.

ඒ අනුව පසුගිය මාර්තු 19 දා උදෑසන 08.30ට මොවුන් ඩුබායි සිට විශාල භාණ්ඩ තොගයක් ද රැගෙන එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි.

මෙම භාණ්ඩ තොගය අසුරාගෙන රැගෙන ආ ගුවන් තොටුපොළ ට්‍රොලි කරත්තය මත කාටත් පැහැදිලිව පෙනෙන සේ විදේශීය නිෂ්පාදිත විස්කි බෝතල් කීපයක් අඩංගු පෙට්ටි ද තිබිණි. මොවුන් දෙදෙනා කටුනායක ගුවන් තොටුපොළ රේගුව හමුවේ “කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති – හරිත මාවත” ( Green Channel ) ඔස්සේ ලහි ලහියේ ගුවන් තොටුපොළෙන් පිටතට යමින් සිටියහ.

එහෙත් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පැවති රේගු වෘත්තීය ක්‍රියාමාර්ගය පසෙකලා ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ ජංගම අංශයේ රේගු නිලධාරීන් පිරිසක්, මොවුන්ගේ පැමිණීම අපේක්ෂාවෙන් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රැකවල්ලා බලා සිටින්නට විය.

මේ පිළිබඳ කිසිවක් නොදත් මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා රේගු නිලධාරීන්ගේ ග්‍රහණයට හසු විය. මෙම ව්‍යාපාරිකයන් විස්කි අඩංගු පෙට්ටි තුළින් විස්කි බෝතල් ඉවත්කර, එම පෙට්ටි තුළ රුපියල් කෝටි දොළහක් පමණ වටිනා කිලෝ ග්‍රෑම් 05යි ග්‍රෑම් 500ක් බරැති ස්වර්ණාභරණ තොගය ඉතා සූක්ෂම ලෙස අසුරා සකස් කරගෙන තිබුණි.

මෙසේ අත්අඩංගුවට ගත් ස්වර්ණාභරණ තොගය පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණය පවත්වා මෙම ස්වර්ණාභරණ තොගය රාජසන්තක කර එම ව්‍යාපාරිකයන් දෙදෙනා හට රුපියල් කෝටි දොළහක දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කර තිබූ අතර එම දඩ මුදල මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා විසින් ගෙවීමට අපොහොසත් වීම නිසා ඔවුන් දෙදෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර දීමට පියවර ගැනිණි.

කටුනායක ටී.කේ.ජී. කපිල

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division