දුම්රිය මාර්ගයේ 169 වැනි සැතපුම් කණුව අසලින් ඇල්ල සිට දෙමෝදර අතර වූ කඳු දෙකක් යා කර තැනෙන මේ ආරක්කු පාලම අහස් නවයේ පාලම ලෙස ගැමියෝ හැඳින්වූහ. ඒ පාලම යට සිට ආරුක්කු අතරින් අහස බලද්දී එකිනෙකට වෙනස් ලෙස පෙනෙන දර්ශන තල නවයක් දිස්වීම නිසාය.
අප්පුහාමි මුත්තා පුරාවෘත්තයකි. උන්දෑ ගැන කියැවෙන ජනශ්‍රැතිය අනුව දෙමෝදර ආරක්කු 09 පාලම හදන විශ්වකර්ම ඉංජිනේරු තාක්ෂණය ඔහුගේය. මළපොතේ අකුරක් නොදත් කරගහඇල්ල පෙල්ලවින්න කැප්පිටිපොළ පදිංචිව සිටි මේ පෙදරේරුකාර ගැමියා සම්බන්ධව යළි යළිත් කියැවෙන්නේ ඇල්ල ආකර්ෂණීය සංචාරක නගරයක් වී දෙමෝදර ආරුක්කු පාලම ලෝක සංචාරකයන්ගේ විශේෂ ආකර්ෂණයට ලක්වන මනරම් දැකුමක් වීමත් සමඟය.
දුම්රිය මාර්ගයේ 169 වැනි සැතපුම් කණුව අසලින් ඇල්ල සිට දෙමෝදර අතර වූ කඳු දෙකක් යා කර තැනෙන මේ ආරක්කු පාලම අහස් නවයේ පාලම ලෙස ගැමියෝ හැඳින්වූහ. ඒ පාලම යට සිට ආරුක්කු අතරින් අහස බලද්දී එකිනෙකට වෙනස් ලෙස පෙනෙන දර්ශන තල නවයක් දිස්වීම නිසා දෙමෝදර පාලම ගැමියන්ට අහස් නවයේ පාලම විය. ඔවුන් කියන පරිදි ඒ පාලම හදන්නේ කරගහඇල්ල කැප්පිටිපොළ ඔවුන්ගේ ගමේ ගැමියෙකි. ඒ උජාරුව ඔවුන්ට ප්‍රමාණවත් තරම්ය.
මුහුදු මට්ටමේ සිට අඩි 3100ක් පමණ ඉහළින් පිහිටා ඇති උසින් අඩි 99.6ක් ද, පළලින් අඩි 25ක් ද සහ දිගින් අඩි 300කින් ද යුක්තව කඳු දෙකක් යා කරමින් සියවසකට එපිටදී තැනුණ දෙමෝදර ආරුක්කු 9 පාලම හැදූ අප්පුහාමි මුත්තා ගැන අද ඇසෙන ඇතැම් අසිරිමත් වික්‍රම අතීත වීර කාව්‍යයන් සිහි කරන්නේය. ඒ ජනශ්‍රැතිය සජීවී කරන්නේ අප්පුහාමි මුත්තාගේ මුණුබුරාය. ඔහු ආර්. ඇම්. පියතිලකය. සමූපකාර ජාතික මණ්ඩලයේ රැකියාව කර දැන් විශ්‍රාම සුවයෙන් පසුවන්නේය.
කවදාවත් සිය දෑසින් නුදුටු ඔහුගේ සීයාගේ වික්‍රමයන් ගැන ශ්‍රැති මාත්‍රාව අසාගත් කතාව පියතිලක මාමා අපට කියන්නේ අහන් ඉන්නට ප්‍රිය උපදවන ලෙසය. ඒ කතාව ආශ්වාදයෙන් යතුව අසාගෙන සිටිමි.
“අපි උඩපළාත කෝරළේ කැප්පෙටිපොෙළ. අප්පුහාමි සීයගේ ගෙදර තමයි මම ඉන්නේ. සිරි වෙදමැඳුර, කරගහ ඇල්ල, කැප්පෙටිපොළ තමයි ගෙදර ලිපිනය. සීයා හදපු මේ ගේ තාත්තගෙන් පස්සේ මට උරුම වුණේ. මගේ තාත්තා ආර්. ඇම්. කිරිබණ්ඩා. සීයා ආර්.ඇම්. අප්පුහාමි. පී.කේ. අප්පුහාමි කියලත් සීයව හඳුන්වලා තියනවා.
පරම්පරාවේ ඥාතීන් කියන විදියට සීයා පෙදරේරු වැඩ කළ අයෙක්. වඩු වැඩත් කරලා තියනවා. සීයට හැම ශිල්ප ශාස්ත්‍රයක්ම සහජයෙන් පිහිටලා තියන විශේෂ ගුණයක් තිබුණු බව තමයි කියන්නේ. උන්දැ මහා ප්‍රඥාවක් තිබුණ කෙනෙක්.
ඊට අමතරව බලි තොවිල් හා ශාන්තිකර්මවල නැට්ටුවෙක් හැටියටත් සීයා කටයුතු කර තිබෙනවා. අපේ පරම්පරාවේ ඇත්තො කියන විදිහට සීයා උඩරට කෝච්චි පාරෙ වැඩට එක්වෙලා තියෙන්නේ අහම්බෙන්. ඒ කතාව මෙහෙමයි.
ඉස්සර අපේ ගම්වල තිබිලා තියනවා බෙර වාදන තරග. පිට ගම්පළාත්වලින් ඇවිත් බොහොම උජාරුවට තමයි මේ තරග පවත්වලා තියෙන්නේ. එක දවසක් උන්දැ හල්දුම්මුල්ල කළුපහණ තොවිල්පළක තිබුණු මේ වගේ නැටුම් සහ බෙර වාදන තරගයකට ගිහින් තියනවා. දකුණෙන් ආපු ඇත්තොත් මේ බෙර වාදන තරගයෙ ඉඳලා. මොකද වෙලා තියෙන්නේ… තරගයෙන් සීයා පැරදිලා.
ලැජ්ජාව ඉවසා දරාගන්න බැරිව සීයා තොවිල්පළින් පැනලා ඇවිත් මහ ගෙජ්ජි බැඳන් නැටුමට ඇන්ද ඇඳුම් පිටින්ම කැලෑව මැද්දෙන් ගිහින් තියෙන්නේ ඔහිය ස්ටේෂන් එකට. ඒ කාලේ ඔහියෙන් කෝච්චි පාරෙ වැඩ නැවතිලා තිබිලා තියෙන්නේ. මහ රෑ ගෙජ්ජි බැඳන් නැටුම් ඇඳුම් පිටින් කැලෑව අතරින් සීය මතු වෙනකොට ස්ටේෂන් එකේ ඒ වෙනකොට හිටපු ඉදිකිරීම් කම්කරුවො හොඳටම බය වෙලා. සීයා ඒ අය ළඟට ගිහින් කියලා තියෙනවා බය වෙන්න එපා, මම මේ කරගහඇල්ලේ අප්පුහාමි. මෙහෙම නැටුවට මමත් හොඳ බාස් කෙනෙක්, මේ තොවිල් නැටුම් තරගයකට ගියා. එතනදි හොඳටම පැරදුණා, ලජ්ජාව ඉවසා ගන්න බැරිව මම මේ එන ගමන්. ආයෙම ගමට යන්න හිත නෑ කියලා. කම්කරුවො ගිහින් මේ කතාව රේල් පාරෙ වැඩ භාරව ඉන්න සුදු ඉංජිනේරු මහත්තයට කියලා. සුදු මහත්තයා ඇවිත් සීයා එක්ක කතා කරලා. කතා කරනකොට ඒ සුදු මහත්තයට තේරිලා තියනවා සීයා බොහොම ප්‍රඥාවන්තයෙක් කියලා. ඉතින් එතුමා සීයගෙන් ඉල්ලා තියනවා කෝච්චි පාර හදන වැඩට එන්න කියලා.
එදා ඉඳලා සීයා බදුල්ල දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ වැඩ කර තිබෙනවා. අපේ පරම්පරාවේ අය කියන විදිහට සීයා ඔහිය ස්ටේෂන් එක පහු වුණාට පස්සෙ හම්බවෙන බිම්ගේ සුමානෙකින් තමයි හදලා තියෙන්නෙ. සීය හැදුව විශ්වකර්ම නිර්මාණය තමයි දෙමෝදර ආරුක්කු පාලම.”
පියතිලක මාමා කියන කතාව මහා වීරයෙක් මවන්නේය. විශ්මයජනක අභව්‍ය සිද්ධි පෙළගැසෙන්නේය. දශක හතකට පෙරත් ජීවතුන් අතර සිටි පුද්ගලයෙක් ගැන කියැවෙන මේ සිද්ධි දාමය අපට කියන්නේ වීරයන් පිළිබඳ පුරාවෘත මැවෙන්නට සියවස් ගණන ගතවීමට අවශ්‍ය නොවන බවය. “
“ඉතින් දැන් කෝච්චි පාර හදාගෙන යනවා. ඇල්ල ස්ටේෂන් එකේ ඉඳන් දෙමෝදර කඳු ගැටය දක්වා දුම්රිය මාර්ගය ඉදි කරනකොට තමයි ඔන්න ප්‍රශ්නය එන්නේ. ගොටුවලදි කඳු දෙකක් අතර ලොකු පරතරයක් හම්බ වෙනවා. මෙම කඳු දෙක අතරෙ තියෙන් මහ මඩ වගුරක්. සුදු ජාතික ඉංජිනේරුවරයා මෙම කඳු දෙක යා කිරීමට එංගලන්තයෙන් යකඩ පාලමක් ගෙන්වා ගෙන තිබෙනවා. මැනලා කියලා ගෙන්නලා තියෙන්නෙ. ඒත් අන්තිමට ගෙනත් සවි කරන්න බලනකොට පාලම දිගින් අඩුයි. දැන් ඉතින් ප්‍රශ්නයක්. සුදු ඉංජිනේරු මහත්තයාට මේක දරාගන්න බැරි වෙලා උන්නැහැ හදලා තියෙන්නේ සියදිවි නසා ගන්න.
ඉංජිනේරුවරයාගේ ළඟම විශ්වාසය දිනාගෙන ඉඳලා තියෙන්නේ අපේ සීයා. ඉංජිනේරු මහත්තයා සීයාගෙන් මෙයට විසඳුමක් අහලා තිබෙනවා. සීයා පාලමක් හදන අදහස කියා තිබෙනවා. ඒ අදහසට අනුව සීයා පාලම හදන්න භාර අරන් තියෙන්නේ ඉංජිනේරුවරයාගේ ඉල්ලීමට.
සීයා හොඳ ශක්තිමත් 300ක් විතර කම්කරුවන් පිරිසක් තෝරාගෙන. ඒ කම්කරුවො තෝරගෙන තියෙන්නේ මෙහෙමයි. මුලින්ම වැඩේට ඉදිරිපත් වෙන පිරිස සීයගේ නවාතැනට එක්ක ගිහින් හොඳට කන්න දීලා තියනවා. ටිකක් කාලා ඇති වෙන අයට කියලා තියෙන්නේ ‘පුතා… උඹට මේ වැඩේ කරන්න බෑ… හොඳට කාලා බීල සවි ශක්තිය තියන අය තමයි වැඩේට ඕන කියලා..” එහෙම කියලා මඟ වියදම් දීලා පිටත් කර යවලා තියනවා.
මෙහෙම තෝරාගත්ත ශක්තිවන්ත කම්කරුවන්ගේ සහාය ඇතිව මඩ වගුරට ඉහළින් ඇති කඳු ගැටයේ තිබුණ විශාල කළුගල ඩයනමයිට් දාලා පුපුරවලා ගොහොරුවට පෙරළා තිබෙනවා. කඳු මුදුනේ සිට වේගයෙන් පහතට පෙරළෙන කළු ගල් කුට්ටි මඩ වගුරේ ගිලී ගිහින් තියනවා. එහෙම කළු ගලින් පුරවා ගත් මඩ වගුරේ තමයි වැලි සහ සිමෙන්තියෙන් හදපු ගල්වලින් මෙම ආරුක්කු 09 පාලම ඉදිකර තිබෙන්නේ. සීයා ඉංජිනේරුවරයාගේ විශ්වාසය ඇති කිරීමට වැටුප් නොගෙන මෙම පාලම හැදූ බවයි කියන්නේ.
දැන් ඔන්න පාලම හදලා ඉවරයි. එත් සුදු ඉංජිනේරු මහත්තයට පාලම උඩින් කෝච්චියක් ගෙනියන්න බයයි පාලම කඩන් වැටෙයි ද කියලා. මේක අහපු සීයා සුදු රෙද්දක් අරන් තුවක්කුවකුත් අරන් පාලම යටට ගිහින් නිදිය ගෙන තියනවා. සුදු ඉංජිනේරුවට කියලා තියනවා මේ පාලමෙන් වැලි කැටයක් වැටුණොත් මම වෙඩි තියන් මැරෙනවා කියලා.
ඉංජිනේරු මහත්තයා ඇස් පියාගෙන කෝච්චිය පාලම උඩට එනකොට. ඒත් පාලම උඩින් කීප පාරක් කෝච්චිය ගියාට පස්සේ උන්නැහැ අප්‍රමාණ සන්තෝසෙට පත් වෙලා. සීයා දුම්රිය පාලම හදන්න ගත් කාලයට හිමි හිඟ වැටුපත්, ගත් වෙහෙසට තෑග්ගක් ලෙසින් රිදී කාසි මලු 08කුත් දුම්රිය දෙපාර්තමේන්තුව සීයට දීලා. සීයා එයාට ලැබුණු රිදී කාසිවලින් කොටසක් වියදම් කරලා සුදු ඉංජිනේරු මහත්තයට කාර් එකක් මිලට අරගෙන දීලා. ඒ කාර් එකෙන් ඉංජිනේරුවරයා සමඟ සීයා ගමට ඇවිත් තිබෙනවා. එම ඉංජිනේරුවරයා සීයාට එංගලන්තයට යෑමට ඇරයුම් කළත් සීයා එය ප්‍රතික්ෂේප කරලා.
තෑගි ලෙසට ලැබුණු මුදලින් සීයා ගොඩක් අයට ඇප උපකාර කරලා තියනවා. පින් දහම් කරලා තියනවා. සීයා පිළිකා රෝගයක් හැදිලා මිය යනකොට අවුරුදු 66යි. සීයා 1885දී ඉපදිලා 1951දී අප අතරින් සමුගෙන තිබෙනවා.”
පියතිලක මාමා සීයා ගැන සිය පරම්පරාවෙන් එන කතාව කියන්නේ එසේය. ඒ කතාව සාධනය කිරීම සඳහා ඔහු සිය සීයා පිළිබඳ මතකයක් ඇති බබානිස් නමැති වියපත් ගැමියකුගේ අත්දැකීමත් ගෙනහැර දක්වන්නේය. බබානිස් සීයාත් අද ජීවතුන් අතර නැත. උන්දෑ අප්පුහාමි බාසුන්නැහැ දෙමෝදර පාලම හැදූ ආකාරය දැක ඇති බව පියතිලක මාමා කියන්නේය.
“බාබානිස් සීයා වැඩ කරන අයට බුලත් විට, බොන්න වතුර ගෙනැවිත් දෙමින් උදව් කරලා තියනවා. සීයා කන්දේ ඉහළ සිට පහළට විශාල ගල් පෙරළනවා එයා දැකලා තියනවා. ඒ වැඩේට කම්කරුවන් 300ක් විතර උන්නලු.
බාබානිස් සීයා කියනවා මෙම පාලම හදන්න වැලි, ගල් සිමෙන්ති යොදා ගත්තා කියලා. අප්පුහාමි ලොකු බාස්උන්නැහේ පිරිසුදු වැලිම ඉල්ලා තියෙනවා. සුදු ඉංජිනේරු මහත්තයා වැලි රැගෙන එන විට සුදු ලේන්සුවක වැලි හොඳින් අතුල්ලා මඩ තිබේ දැයි පරීක්ෂා කරලා තියෙනවා. ලේන්සුවේ මඩ තැවරුණොත් මුළු වැලි ගොඩම අහක දමනවාලු. ”
අප්පුහාමි මුත්තා ඉදි කළ, දැන් පියතිලක මාමා ජීවත් වන ගෙදරත් දෙමෝදර පාලමත්, දෙමෝදර දුම්රියපළත් අතරත් අපූරු සම්බන්ධයක් තිබෙන්නේය. කාමර 10ක් මැද මිදුලක් සමඟ ඉදි වී ඇති සියවසක ඉතිහාසයක් සහිත මෙම නිවෙස ඉදිකර ඇත්තේත් දෙමෝදර පාලම ඉදි කළ ගලට සමාන සිමෙන්තියෙන් කළ ගලකිනි. එසේම දෙමෝදර දුම්රිය ස්ථානය විවෘත කළ දිනය වන 1921-03- 21 දිනයම නිවෙසේ ඉදිරිපස බිත්තියේ සිමෙන්ති බදාමයෙන් සටහන් කර තිබෙන්නේය. දෙමෝදර දුම්රියපළ විවෘත කළ මේ දිනය සම්බන්ධවත් අප්පුහාමි මුත්තා නිර්මාණය කළ මෙම නිවස සම්බන්ධවත් වූ අවස්ථා සම්බන්ධය පැහැදිලි නැත.
අප්පුහාමි මුත්තා පුරාවෘත්තයක් පමණ ද?
පියතිලක මාමා අපට කියන පුරාවෘත්තයත් ඉංජිනේරු තාක්ෂණයත් බටහිරින් අපට ලැබුණු තාක්ෂණික දැනුම් විෂයයත් එය භූමිය තුළ ප්‍රායෝගික කළ ආකාරයත් විමසූ විට වඩාත් තාර්කික කතාවක් අපට ගොඩනඟා ගන්නට හැකිය.
වසර හැටක ඉදිකිරීම් කාර්යයක් අවසානයේ උඩරට දුම්රිය මාර්ගය බදුල්ලෙන් කෙළවර වී කොළඹ බදුල්ල දුම්රිය ගමන ආරම්භ කරන්නේ 1924 අප්‍රේල් මස 05 වනදාය. 1918 වසර වන විට උඩරට දුම්රිය මාර්ගය ඇල්ල දක්වාම ඉදිකොට අවසන් කරන ලදි. වඩාත් ආකර්ෂණීය නිර්මාණයක් වන දෙමෝදර පාලම ඉදි වන්නේ ඉන් අනතුරු වකවානුවේය.
බ්‍රිතාන්‍ය ආණ්ඩුව ලංකාවේ දුම්රිය මාර්ගය ඉදිකිරීම ආරම්භ කරන්නේ එහි ප්‍රායෝගික සඵලතාවය පිළිබඳව කරන ශක්‍යතා අධ්‍යයනයකින් පසුය. දුම්රිය මාර්ගය ඉදිකිරීමේ දී ඇතිවන ගැටලු සහ නියත විසඳුම් පිළිබඳ සැලසුමක් සහිතවය. එමෙන්ම ඔවුන් දෙමෝදර පාලම ඉදිකිරීමේ අභියෝගය ලබා ගන්නා විට ලංකාවේ දුම්රිය මාර්ග ඉදි කරන කාර්මික ප්‍රජාව සිටින්නේ අඩසියවසක කාලයක් තුළ ලද අත්දැකීම් සම්භාරයක් සහිතවය.
දුම්රිය වාර්තා අනුව දෙමෝදර ආරුක්කු නවයකින් යුත් පාලමෙහි ඉංජිනේරුමය සැලැස්ම එවකට ලංකා දුම්රිය සේවයේ ඉදිකිරීම් භාර ඉංජිනේරුවරයා වූ “හැරල්ඩ් මාර්වූඩ්” විසින් නිර්මාණය කර තිබේ. දෙමෝදර දුම්රිය ස්ථානයේ සිට දෙමෝදර පාලම ඉදිකිරීම් ස්ථානයට ටොන් ගණන් බරක් සහිත භාණ්ඩ ප්‍රවාහනයේ ප්‍රායෝගික නොහැකියාවත්, දෙවන ලෝක යුද්ධය පැවති ඒ සමයේ පැවති යකඩ හිඟයත්, එම යකඩ නැව් මඟින් එංගලන්තයේ සිට ගෙන්වා ගැනීමට තිබූ අපහසුවත් හේතුවෙන් පාලම කළුගල් කුට්ටි සහ කොන්ක්‍රීට් පමණක් යොදාගෙන ඉදිකිරීමට දුම්රිය මාර්ගය ඉදිකිරීම් භාරව කටයුතු කළ ඉංජිනේරුවරුන් විසින් තීරණය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ වාර්තා පෙන්වා දෙයි. මේ ඉංජිනේරු කාර්යය තුළ ලංකා ඉතිහාසයේ සිටි කීර්තිමත් ඉංජිනේරුවෙක් වන විමල සුරේන්ද්‍රයන්ද්‍ර සිටියේය. අප්පුහාමි බාසුන්නැහේ ජනප්‍රවාදයේ මතුවන්නේ එවැනි වටපිටාවක් තුළය.
දුම්රිය දෙපාර්තමේන්තු වාර්තාවලට අනුව ඇල්ල සිට ඉදිරියට දුම්රිය මාර්ගය දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් ඉදිකරනු ලබන අතරවාරයේ කොන්ක්‍රීට් සහ කළුගල් කුට්ටි උපයෝගී කර ගනිමින් ආරුක්කු නවයකින් යුත් මේ කවාකාර පාලම ඉදිකිරීමේ කටයුතු පෙර ගිවිස ගත් කාලයක් තුළ නිමා කිරීමට එම ප්‍රදේශයේම කොන්ත්‍රාත්කරුවෙක් වෙත පවරා දී ඇත්තේය. එම කොන්ත්‍රාත්කරුවා විසින් කුලී පදනම මත බඳවාගත් ශ්‍රමිකයන් විසින් පාලම ඉදිකර ඇති බවත් පාලමේ ඉදිකිරීම් සහ එහි ප්‍රමිතිය සමස්ත ඉදිකිරීම් කටයුතු භාරව සිටි මාර්වුඩ් විටින් විට අධීක්ෂණය කර තිබේ.
එහෙත් ඒ කතාවෙන් අප්පුහාමි මුත්තා හා දෙමෝදර පාලම අතර ඇති සම්බන්ධය හෝ අප්පුහාමි මුත්තාගේ පැවැත්ම අහෝසි වන්නේ නැත. පුරාවෘත්තයක් තැනූ මේ කීර්තිමත් මිනිසා මෙම පාලම ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව භාරගත් දේශීය කොන්ත්‍රාත්කරු විය හැකිය. නොඑසේ නම් කොන්ත්‍රාත්කරු යටතේ සිටි ප්‍රධාන පෙදරේරු ශිල්පියා විය හැකිය.
පුරාවෘත්ත ඉබේ නිර්මාණය වන්නේ නැත. පුරාවෘත්තයට පාදක වන චරිතය නිසැකවම විශිෂ්ටයෙක් විය යුතුය. ඒ විශිෂ්ටයා අතිශයෝක්තියට නැඟීම ඕනෑම ජනවහරක ස්වරූපය ය. ඒ නිසාම අප්පුහාමි මුත්තා ඉතිහාසය විසින් මතුකර පවත්වා ගන්නා අපූරු චරිතයකි. අනෙක් කාරණාව කවුරු හැදුවත් ආරුක්කු 09 පාලම දැන් ලෝකයේ සංචාරක ආකර්ෂණය දිනූ කීර්තිමත් ස්මාරකයක් සේය. එහි අසිරිය දකින්නටම ලෝකය පුරා සංචාරකයෝ ඇල්ලට එන්නාහ. රටට එය ප්‍රමාණවත්ය.
ටානියා මෝසස්
ඡායාරූප – සුදත් නිශාන්ත / එස්. එම්. ෆාරුක්