පෙණ කැටි ගුළි වෙවී විසිරී ගියා වේ……..
නිල්දිය කඩිති මත දණ්ඩින් සිනා වේ….
නැවතී බලමු මොහොතක් විල් තලාවේ……
බොහෝ දිය ඇලි පිළිබඳව ඔබ අසා තිබුණ මුත් පොකුණු විශේෂ පිළිබඳව අසා ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුවෙන් විය හැකිය. දකුණේ පවතින මදුනාගල උණු දිය උල්පත් මෙන්ම උතුරේ යාපනය අර්ධද්වීපයේ පවතින පතුල නොපෙනෙන ළිඳ මෙන්ම ත්‍රිකුණාමලයේ කින්නියා උණුවතුර ළිං පිළිබඳව සංචාරකයන්ට බොහෝ සමීප මාතෘකාය. මීට වෙනස් ස්වරූපයක් ගන්නා වූ හුනු ගල් පොකුණු පිළිබඳව නම් ඔබ ඇස නොගැටුණු බව නම් සැබෑය. ඒ තවමත් නොඉඳුල්ව නොකිලිටි වූ නැවුම් බවින් පවතින බැවිනි.
බළන්ගොඩ සිට කල්තොට මාර්ගයේ කිලෝමීටර් 25 ක් දුර ගමන්ගත් පසු තන්ජන්තැන්න ප්‍රදේශයේදී මෙම ඉසව්වට ළඟාවිය හැකිය. බළන්ගොඩ දෙසින් පැමිණෙන්නේ නම් ඉහත සඳහන් පරිදි ද, තණමල්විල දෙසින් පිවිසීමේදී තණමල්විල, හම්බෙගමුව, වේලිඔය හරහා කල්තොට මාර්ගයේ පැමිණිය හැකිය. බදුල්ල බණ්ඩාරවෙල දෙසින් පැමිණෙන්නේ නම් පහසු මාර්ගය ලෙස කොළඹ බදුල්ල මාර්ගයේ පඹහින්න මංසන්ධියෙන් වමට හැරී සබරගමුව විශ්වවිද්‍යාලය හරහා කුඹල්ගම මාර්ගයෙන් සමනලවැව වේල්ල හරහා වටවල මාර්ගයේ රජවකින් බළන්ගොඩ කල්තොට මාර්ගයට පිවිසිය හැකිය. මොලමුරේ, නවනැලිය කූරගල ඔස්සේ තන්ජන්තැන්න දක්වා පිවිසිය හැකිය.
කූරගල පුදබිම පිවිසුම් ස්ථානය පසුකර කිලෝ මීටර් තුනක් පමණ කල්තොට දෙසට පිවිසීමේදී කිලෝමීටර් 25 කණුවට මඳක් ඔබ්බෙන් වම්පසට කුඩා ප්‍රවේශ මාර්ගයකි. එවිට ඔබ සොයමින් සිටින හුනුගල් පොකුණු වෙත ලඟා විය හැකිය. මෙතැන් සිට කිලෝමීටර් දෙකහමාරක් පමණ දුරින් ගමනාන්තය තෙක් යා යුතුව ඇති අතර කුඩා වූ පටු මාර්ගයක් බැවින් ප්‍රවේසම් සහිතව ගමන් කළ යුතුව ඇත. ඔබගේ ගමන වාහනයකින් වේ නම් කිලෝ මීටරයක් දුරකින් ඔබට නතර වන්නට සිදුවනු ඇත.
ඒ ඉතා කුඩා පටු මාර්ගයක් වන බැවිණි. එතරම් ජනාවාස නොවූ මේ ප්‍රදේශයේ ඇතැමෙක් ඉඳහිට එන වාහනයක නැවතුම් ලබාදී ගාස්තුවක් ගන්නට පෙළඹී සිටිති. රජවක රක්ෂිතයට අයත් මෙම වන භූමියේ සතා සීපාවා මෙන්ම මහා වෘක්ෂලතාවෝ, ද මෙම හුණුගල් පොකුණු මණ්ඩලයට ආභරණයෝ වෙති. මේ දක්වා වන භූමියට ඇතුල්වීම වළක්වාලමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වාරණ නියෝගයක් ලබාදී තිබූ අතර ඉකුත් විසි නම වැනිදා සිට මහජනයාට පිවිසීමේ අවසරය ලබා දී ඇත්තේ රුපියල් 75 කර ප්‍රවේශ පත්‍ර ගාස්තුවක්ද අය කරමිනි.
එවැනි ගාස්තුවක් අය කළද, මාර්ග හෝ ගමන් පහසුව ඇතිවන පරිදි හෝ වාහන නවතා තැබීමට හෝ හුනුගල් පොකුණු ආරක්ෂා කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැති සේම කිසිදු යටිතල පහසුකමක් සලසා දීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අසමත් වී ඇත. මෙම මගෙහි ඇවිද යන විට කුඩා දිය පහරවල් දෙකක් ඔබට හමුවනු ඇත. එය ගමනේ විඩාවට මද අස්වැසිල්ලක් වනු ඇත.
මේ ලෙස හුනුගල් නිර්මාණය වීම පිළිබඳව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ භූගෝල විද්‍යා දෙපාර්තමේන්තුවේ භූ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තිලක් හේවාවසම් අදහස් දැක්වූයේ මෙලෙසය.
” පොළොවේ විවිධ පාෂාණයන් පවතිනවා. මේ පාෂාණයන් අතර කැල්සයිට් නම් වූ ඛනිජයක් පවතිනවා. මේවා නිධි වශයෙන් පවතින්න පුළුවන්. මෙම කැල්සයිට් නිධි නැත්නම් විපරීත හුනුගල් පාෂාණ පොළොව මතුපිටට පැමිණ ජීර්ණය වෙනවා.
මේ කැල්සයිට් දියවෙන්නේ කාබොනික් කියන අම්ලයේ. කාබන්ඩයොක්සයිඩ් සහ ජලය එකතුවෙලා කාබොනික් අම්ලය ඇතිවෙනවා. මේ කාබොනික් අම්ලයෙහි කැල්සයිට් දියවෙනවා. එම ජලයේ කැල්සියම් අයන, බයිකාබනේට් අයන බහුලව පවතිනවා.
ජලයේ පවතින කැල්සියම් අයන සහ බයිකාබනේට් අයන එකතුවීමෙන් අවක්ෂේප වී නැවත කැල්සයිට් කියන ඛනිජය හැදෙනවා.
ගලා යන කුඩා දිය පහරවල් අතු අතුගංගා වැනි තැන්වල එම කැල්සයිට් ඛනිජ අවක්ෂේප වෙලා හුනුගල් ඇති වෙනවා. ඇතැම් ගුහාවල එල්ලෙන ස්වරූපයෙන් ඇති මෙවැනි තැන්පත්වීම් හිරිලඹ වශයෙන් හඳුන්වනවා.
පොළොවේ පවතින එවැනි හුනුගල් තැන්පත්වීම්වලින් නිර්මිත ස්වරූප හිරිටැඹ ලෙස හඳුන්වනවා. අවුරුදු දහස් ගණනක් නැතහොත් කාලාන්තරයක් තිස්සේ කැල්සියම් අයන, බයිකාබනේට් අයන එකතුවීමෙන් කැල්සියම් කාබනේට් නැත්නම් කැල්සයිට් කියන ඛනිජ අවක්ෂේප වීමෙන් මෙම හුනුගල් නිර්මාණය වෙනවා. ”
හුනුගල් පොකුණු ඇතිවන අයුරු අවබෝධ වූ ඔබට මනරම් සුපසමන් අතිශයින් පිවිතුරු ජලයෙන් පිරුණු මඩලාකාර පොකුණු සමූහයක් මෙහිදී දැකිය හැකි වේ.
මඩලෙන් මඩලට දිය වැටෙනා සුපහන් හඬ පැතිරුණු මහා වෘක්ෂයන්ගේ සෙවණින් ගෙනෙනා සිසිලසත් දැවෙන ගත සිත පුබුදුවන්නට කවර නම් ඔසුවක් වේද මීට සම වන. මඩල කිහිපයක් වශයෙන් පැවති මෙම පොකුණු සමූහයේ කාලාන්තරයක් තිස්සේ හුණුගල් ඛාදනය වීමත් නැවත තැන්පත් වීමත් යන චක්‍රීය ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙසින් මෙම අපූර්ව වූත් , සොබා දහම තිළිණ කළ අමිල වූත්, සුරැකිය යුතුවූත් සම්පතකි.
පොකුණු තලයේ සුනිල්වන් පැහැදිලි බව උදුරා ගනුයේ වනපෙත රූස්ස වෘක්ෂයන්ගෙන් හැලෙනා පත්‍ර සමූහයෙනි. රන්වන් හිරු කිරණ සුනිල් දිය දහර මත නේක රටාවන් මවයි. රෑන් වශයෙන් මතුවෙන සැඟවෙන මාළුන් සෙවීමට ඇස් වෙහෙසෙයි.
ඉහළ සිට පහළට තට්ටු කීපයක් සේ මඩලාකාරයෙන් ඇති පොකුණු සමූහයෙන් අඛණ්ඩව ගලන ජලය පහළට වන්නට තරමක් විශාල වූ ස්වභාවික තටාකයකට වැටෙයි. පිරිසිදු හුස්ම පොදක් පුරවා ලයට ගනිමින් සිසිල් දිය පහස ලැබ ගනිමින් කොතෙක් වේලා බලා සිටියද ඇති නොවන්නේ නම් එය මහ පුදුමයක් නොවනුඇත.
බෙලිහුල්ඔය සමන්තා ප්‍රින්සි ලාලනී