Home » අවුරුදු තිස් හතරක් තිස්සේ කට්ටි පැන්න විදුලිබල ඉංජිනේරුවාගේ ඝාතකයා පූගොඩදී ඇල්ලූ හැටි

අවුරුදු තිස් හතරක් තිස්සේ කට්ටි පැන්න විදුලිබල ඉංජිනේරුවාගේ ඝාතකයා පූගොඩදී ඇල්ලූ හැටි

by sachintha
April 20, 2024 12:18 am 0 comment

පූගොඩ මණ්ඩාවල පිහිටි පුද්ගලික ආයතනයේ ආරක්ෂක අංශ සාමාජිකයෙක් ලෙස සේවයේ නිරතව සිටියදී නන්දනව අත්අඩංගුවට ගන්නා විටත් ඔහු පෙනී සිටියේ ව්‍යාජ නමකිනි. ඒ හේවා දේවගේ ප්‍රේමසිරි ලෙසනි. ඔහු ඒ වන විට භාවිත කරමින් සිටියේ 2003 වසරේ දෙසැම්බර් 15 වෙනිදා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ

කොමසාරිස් කාර්යාලය මඟින් නිකුත් කළ ජාතික හැඳුනුම්පතකි. එම හැඳුනුම්පත ඔහු සකස් කරගෙන ඇත්තේ වැලිපිල්ලෑවේ පදිංචිව සිටි ඒ වනවිට ජීවතුන් අතර නොමැති පුද්ගලයකුගේ උප්පැන්න සහතිකයෙනි.

ලංකා විදුලිබල මණ්ඩලයේ තත්ත්ව පාලන අංශයේ ප්‍රධානියෙක් ලෙස කටයුතු කළ විදුලි ඉංජිනේරු ආචාර්ය ඩබ්ලිව්. ඒ. අමරසිරිගේ ඝාතනය භීෂණයෙන් රටම වෙළා ගෙන තිබුණු අඳුරු යුගයක සිදු වූ රටේම දැඩි අවධානයට ලක් වූවකි. අත්පා කපා කැබැලි කර සැමන් මාළු ටිංවල අසුරන ආකාරයට තාර බැරලයක බහා පනාගොඩ, ඇඹුල්ගම, වැලිපිල්ලෑව ශ්‍රී සුමන මාවතේ ගෙවත්තක වළ දමා තිබුණු ඔහුගේ සිරුර පොලිසිය විසින් ගොඩ ගනු ලබන්නේ අදින් වසර 35කට පෙරය.

එදා මුළු රටේම දැඩි කතාබහකට ලක්වූ ආචාර්ය අමරසිරිගේ ඝාතන ඉතිහාසය නැවතත් ඇවිස්සෙන්නේ වසර 34ක් පුරාවට අධිකරණය මඟ හැර කට්ටි පනිමින් සිටි මෙම ඝාතනයට මරණීය දණ්ඩනයෙන් දඬුවම් පවා හිමිව සිටින කාන්තාවක් පොලිසියට කොටුවීමත් සමඟිනි. මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සේවයේ නිරත සම්පත් නමැති පොලිස් සැරයන්වරයා දීර්ඝ කාලයත් තිස්සේ කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම කාන්තාව අත්අඩංගුවට ගන්නේ පානදුර අළුබෝමුල්ල පමුණුගම පිහිටි නිවෙසක රැඳී සිටියදී පසුගිය පෙබරවාරි 10 වෙනිදාය. ඒ කතාව දැන් තවත් අලුත් වෙන්නේ එම ම්ලේච්ඡ ඝාතකයාව අත්අඩංගුවට ගැනීමට පොලිස් සැරයන් සම්පත් සමත් වූ බැවිනි. පොලිසියට කට්ටි පනිමින් අධිකරණය මඟහැර වසර 34ක් පුරාවට සැඟව සිටි ඔහුව අත්අඩංගුවට ගනු ලබන්නේ පසුගිය 18 වෙනිදා ය. සුනිල් සරත්්චන්ද්‍ර සුමනසේකර නොහොත් නන්දන සුමනසේකර නම් වූ ඔහු මුලින් අත්අඩංගුවට ගත් කාන්තාවගේ සැමියාය. එකල 35 හැවිරිදි වියේ පසුවූ ඔහු දැන් අවුරුදු 68ක් වයසැතිය.

පූගොඩ, මණ්ඩාවල පිහිටි පුද්ගලික ආයතනයක ආරක්ෂක නිලධාරියෙක් ලෙස රැඳී සිටි මේ සුමනසේකරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සැරයන් සම්පත් කොටු කරගන්නේ දීර්ඝ ලෙස කරනු ලැබූ දුරකතන විශ්ලේෂණයක ප්‍රතිඵලයක් ලෙසිනි. කොහේ සිටියත් පවුලේ සමීපතමයන් කිහිප දෙනෙකුට දුරකතන ඇමතුම් දීම ඔහුගේ පුරුද්දකි. සිම්පත් මෙන්ම දුරකතන පවා මොහොතින් මොහොත වෙනස් කරමින් ඔහු ඒ ඇමතුම් ලබා දුන්න ද ඒ හැම ඇමතුමක්ම සැරයන් සම්පත්ගේ අධීක්ෂණයට ලක් වන බව සුමනසේකර සිහිනෙකින්වත් සිතුවේ නැත. සුමනසේකරගේ බිරිය අත්අඩංගුවට ගත් දා සිට මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ දුරකතන ඇමතුම් සිය ගණනක් විශ්ලේෂණය කරමින් සුමනසේකර රැඳී සිටි ස්ථානය තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ හඳුනාගත් සැරයන් සම්පත් සිය ඉහළ නිලධාරීන්ගේ අශීර්වාදයෙන් ඒ තැන වටලා සුමනසේකරව අත්අඩංගුවට ගන්නේ ඔහුට ද ඒ ගැන කිසිවක් හිතා ගන්නට බැරි වන්නටය.

ආචාර්ය අමරසිරි රාජකාරි කළ විදුලිබල මණ්ඩල මූලස්ථානයේ එකල ඉංග්‍රීසි ලඝු ලේඛිකාවක වූයේ සුමනසේකරගේ බිරිය කමනි චම්පිකා ය. ඇය එකල පසු වූයේ 31 හැවිරිදි වියේය. ඇය සුමනසේකර සමඟ දීග කන්නට යන්නේ පාසල් යන එන අතරතුර සුමනසේකර සමඟ ඇතිකරගත් පෙම් පලහිලව්වක ප්‍රතිඵලයක් ලෙසිනි. එකල වැලිපිල්ලෑව හොල්ලා ගෙන සිටියේ සුමනසේකරය. ඒ පැත්තේ වැසියන් සුමනසේකරට කීවේ නන්දන යැයි කියාය.

නන්දන සේවය කළේ ලංගමයේය. ඒ වේලා සටහන්කුරුවකු ලෙසිනි. සිය බිරිය සමඟ ඇය සේවය කරන විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරයෙක් අනියම් ඇසුරක් පවත් වන බව දැනගත් නන්දන ඒ ගැන තොරතුරු සොයා බලන විට දැන ගන්නට ලැබෙන්නේ ඒ පුද්ගලයා ආචාර්ය අමරසිරි යැයි කියාය. සිය බිරියට අසීමිතව ආදරය කළ ඔහු තීරණය කරනු ලබන්නේ බිරියව රැක ගැනීම සඳහා ඔහුව මරා දමන්නටය.

ආචාර්ය අමරසිරි විදුලිබල මණ්ඩලයේ කොළඹ මූලස්ථානයේ එකල සිටි බලවතුන් අතර සිටි අතළොස්සක් අතර කැපී පෙනෙන චරිතයකි. ඔහුට දේශපාලන හයිහත්තියෙන්ද අඩුවක් නොවීය. විදුලිබල මණ්ඩල මූලස්ථානයේම සේවයේ නිරතව සිටි ඉංග්‍රීසි ලඝු ලේඛිකාවක් වූ කමණි චම්පිකා ඕනෑවටත් වඩා ආචාර්ය අමරසිරිට කුලුපග වෙමින් අනියම් අසුරක් ගොඩනඟා ගන්නේ ද එබැවිනි. එම අනියම් ඇසුර එකල විදුලිබල මණ්ඩල මූලස්ථානය පුරා පැතිර තිබුණු ප්‍රසිද්ධ රහසකි.

එදා 1989 වසරේ ජනවාරි 04 වෙනිදාය. ඔහු කැලණිය වරාගොඩ පිහිටි නිවෙසේ සිට සුපුරුදු ලෙස විදුලි බල මණ්ඩල මූලස්ථානයට එන්නේ සිය මෝටර් රියේ නැඟීය. ඒ පැමිණි ඔහු එදා වැඩි වේලාවක් කාර්යාලයේ රැඳී සිටියේ නැත. උදෑසන 10.30 පමණ වන විට කාර්යාලයෙන් බැහැරව යන්නේ ඔහුට ලද දුරකතන ඇමතුමකට අනුවය. ඒ ගිය ආචාර්ය අමරසිරි නැවතත් කිසිවකුටත් පණ පිටින් දකින්නට ලැබුණේ නැත. හමුවන්නේ බැරලයක වළ දමා තිබුණු කැබලි කරන ලද ඔහුගේ සිරුරය. ඒ දින 09කට පසුවය. එසේ ඔහුගේ සිරුර පවා සොයා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ සිය සැමියා අතුරුදන්ව ඇතැයි පවසමින් ආචාර්ය අමරසිරිගේ බිරිය විසින් කොම්පඤ්ඤවීදිය පොලිසියට කළ පැමිණිල්ල නිසාය.

දෙදරු පියෙක් වූ ආචාර්ය අමරසිරි ඒ වන විට පසුවූයේ 45 වැනි වියේය. කොම්පඤ්ඤවීදිය පොලිසිය විමර්ශන ආරම්භ කරනු ලබන්නේ විදුලිබල මණ්ඩල මූලස්ථානයේ ඔහුගේ කාර්යාලයෙන්මය. එදා ඔහු කැලණිය වරාගොඩ සිට පැමිණි මෝටර් රථය ද විදුලිබල මණ්ඩල රථ ගාලේ නවතා තිබූ හැටියටම තිබුණේය.

මෙහිදී පොලිස් විමර්ශනවල විශේෂ අවධානයකට යොමු වන්නේ ආචාර්ය අමරසිරි අතුරුදන් වීමට පෙර ලැබුණේ යැයි කියන දුරකතන ඇමතුම කෙරෙහිය. විදුලිබල මණ්ඩලයට එන යන දුරකතන ඇමතුම් සියල්ල පාලනය වූයේ දුරකතන ක්‍රියාකරු හරහාය. එබැවින් පොලිස් විමර්ශකයන් ප්‍රශ්න කරන්නට වූයේ දුරකතන ක්‍රියාකරුගෙනි. ආචාර්ය අමරසිරිට එම අවසන් ඇමතුම ලැබී ඇත්තේ 10.20ට බව අනාවරණය වන්නේ එවිටය. එම ඇමතුම කාන්තාවකගෙනි.

විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිට ඇති බස් නැවතුම් පොළෙන් ආචාර්ය අමරසිරි හෝමාගම බලා ධාවනය වන මගී බස් රථයකට ගොඩවූ බවට තොරතුරක් පොලිස් විමර්ශකයන්ට ලැබෙන්නේ ඔය අතරතුරදීය. එම තොරතුර ලැබෙන්නේ නීතිඥවරියකගෙනි. ආචාර්ය අමරසිරිව හොඳින් දන්නා කියන ඇය පොලිස් විමර්ශකයන්ට පවසන්නේ “ කාර් එකක් තියෙද්දී ඇයි බස් එකේ යන්නේ “ යැයි කියා තමන් ඔහුගෙන් විමසූ බවය.

“කාර් එක අද මම පාවිච්චි කරන්නේ නැහැ. “ ඊට ආචාර්ය අමරසිරිගෙන් ඇයට ලැබී ඇත්තේ එවැනි කෙටි පිළිතුරක් පමණි. හෝමාගම බලා ධාවනය වන ලංගම බස් රථයකට ඔහු ගොඩවී ඇත්තේ ඒත් එක්කමය.

ආචාර්ය අමරසිරි සිය කාර්යාලයේ සේවයේ නිරත ලඝු ලේඛිකාවක් සමඟ අනියම් ඇසුරක් පවත්වන බව ඒ වන විටත් පොලිස් විමර්ශකයන්ට ද රහසක් නොවීය. ආචාර්ය අමරසිරි අතුරුදන්වූ දින ඇය සේවයට වාර්තා කර නොතිබුණාය. දුරකතන ඇමතුම ලැබෙන්නේ කාන්තාවකගෙනි. ඒ කවුරුන්දැයි කියන්නට දුරකතන ක්‍රියාකාරු දැන නොසිටියත් විමර්ශකයන් සැක කරනු ලබන්නේ එදා ලඝු ලේඛිකාව සේවයට නොපැමිණි බැවින් එම ඇමතුම ඇය විසින් ලබා දී ඇති බවය. එම සැකය තීව්‍ර වන්නේ ආචාර්ය අමරසිරි මහතාගේ අතුරුදන්වීමත් සමඟ ඇය ද සේවයට එක දිගටම වාර්තා නොකර සිටීමෙනි. පනාගොඩ ඇඹුල්ගම පාර වැලිපිල්ලෑව ශ්‍රී සුමන මාවතේ පිහිටි ඇගේ නිවෙස සොයා පොලිස් විමර්ශකයන් යන්නේ ඇය නිවෙසේ සිටින්නේ නම් ආචාර්ය අමරසිරි ගැන යමක් ඇගෙන් දැන ගැනීමේ අපේක්ෂාව ඇතිවය.

එම නිවෙසට පොලිස් විමර්ශකයන් යන විට එය පත්ව තිබෙන්නේ පාළු අම්බලමක් බවටය. ඒ ඇයත් සැමියාත් දින කිහිපයකට පෙර සිට ගේ දොර අත්හැර පලා ගොස් සිටි බැවිනි. සැමියාගේ දෙමාපියන්ගේ රැකවරණයේ සිටි සිව් හැවිරිදි දරුවා ද ඒ අය ළඟම තබා ඔවුන් දෙදෙනා අතුරුදන් වන්නේ යන එන තැනක්වත් අසල නිවෙසක ජීවත්වූ සැමියාගේ මවුපියන් හෝ ඥතීන්ටවත් නොකියාය.

වසා දමා තිබුණු නිවෙස එදා පොලිස් විමර්ශකයන්ගේ දැඩි පරීක්ෂාවකට ලක් වන්නේ ආචාර්ය අමරසිරිගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් යම් වැදගත් සාක්ෂියක් මෙම නිවෙසින් සොයා ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂාව ඇතිවය. ඉතා සියුම් ලෙස කළා වූ එම පරීක්ෂාවේදී පොලිස් විමර්ශකයන්ට නිවෙසින් හමුවන මෝල් ගසක ඇති ලේ පැල්ලම් කිහිපයක් ගෙන දුන්නේ දැඩි සැකයකි. තවදුරටත් කළ පරීක්ෂාවේදී සෝදා පිරිසිදු කළ බවට අනුමාන කළ හැකි කඩුවක් ද සොයා ගත්තේය. අඩි දෙකහාමාරක් පමණ දිග තලයක් සහිත එම කඩුව සියුම් ලෙස පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ එහි ද ලේ බිඳු කිහිපයක් ගෑවී ඇති බවය.

මෙම නිවෙස පිහිටි ඉඩමේ කුකුල් ගොවිපොළක් ද පවත්වා ගෙන ගොස් තිබුණේය. එම ගොවිපොළේ සේවය කළ දෙදෙනෙක් ද ඒ වන විට සිටියේ අතුරුදන්වය. මේ හැම දෙයක් කෙරෙහිම විමර්ශකයන්ට ඇතිවන්නේ තදබල සැකයකි. එම සැකය මුල් කරගෙන විමර්ශකයන් වත්ත වටේ කළ සෝදිසියකදී පෙනී යන්නේ නිවෙස පිටුපස යම් ස්ථානයක් කෙරෙහිය. එතැන වසා දැමුණු වලක සලකුණක් පෙනෙන්නට තිබුණේය. එය මෑතකදී වසා දැමුණු වළක් බව එම පස් ගොඩ නිරීක්ෂණයේදී පෙනී ගියේය. “ආචාර්ය අමරසිරිව මරල මෙතැන වළදාල ද දන්නේ නැහැ.“ යැයි සිතුවිල්ලක් විමර්ශන නිලධාරීන්ගේ සිත් තුළට එන්නේ ඒ වන විටත් නිවෙසේ තිබී හමු වූ මෝල් ගසේ සහ කඩුවේ තිබුණු ලේ පැල්ලම් හේතුවෙනි. එම සැකය තහවුරු කර ගැනීමට විමර්ශන නිලධාරීන් තීරණය කරනු ලබන්නේ එම ස්ථානය හාරා පරීක්ෂා කිරීමටය. එය හිතුමතේට සිදු නොකර එම ප්‍රදේශය භාර අතුරුගිරිය පොලිසිය දැනුම්වත් කරමින් සිදු කිරීමට විමර්ශන නිලධාරීන් තීරණය කරනු ලබන්නේ ආචාර්ය අමරසිරිගේ අතුරුදන්වීම අපරාධයක ලක්ෂණ පෙන්නුම් කරන්නට වූ බැවිනි.

එකල නුගේගොඩ පොලිස් අධිකාරීවරයා ලෙස සේවයේ නිරතව සිටියේ හෙන්රි පෙරේරාය. අතුරුගිරිය පොලිස් ස්ථානාධිපති ලෙස සේවයේ නිරතව සිටියේ පොලිස් පරීක්ෂක වෑකඩපොල ය. අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස සේවයේ නිරත වූයේ උප පොලිස් පරීක්ෂක විජිත ගුණරත්නය.

වැලිපිල්ලෑව අයත්වූ අධිකරණ බල ප්‍රදේශය වූයේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයයි. එකල මහාධිකරණ බල ප්‍රදේශය වූයේ අවිස්සාවේල්ලය. අපරාධ ස්ථානයක කැණීමක් කළ යුතු වූයේ අධිකරණයට දැනුම්දී මහේස්ත්‍රාත්වරයකුගේ අධීක්ෂණයෙන් වූ බැවින් සැකයට ලක් වූ ස්ථානය කැණීමට අවශ්‍ය නීතිමය පසුබිම එදා සකස් කර දෙන්නේ උප පොලිස් පරීක්ෂක විජිත ගුණරත්න විසිනි. ඒ අනුව එම ස්ථානය හෝමාගම මහේස්ත්‍රාත් රත්නාවලී චන්ද්‍රිකා හෑගොඩ ඉදිරියේ කැණීමට ලක් වන්නේ 1989 වසරේ ජනවාරි 14 වෙනිදාය. යාර දෙක බැගින් වූ දිග පළල කොටුවක් ලෙස සිදු කළ එම කැණීම යාර 03ක් ගැඹුරට යන විට හමුවන්නේ තහඩු බැරලයකි. එය ගැලුම් 45 ප්‍රමාණයේ එකකි. එම බැරලය ගොඩ ගෙන විවෘත කරන විට ඒ තුළින් හමන්නේ මිනී කුණු ගඳකි. සැමන් මාළු අසුරා ඇති ආකාරයට ඇසුරූ ආචාර්ය අමරසිරිගේ මළ සිරුර ඒ තුළින් මතු වන්නේ බැරලයේ මූඩිය විවෘත කිරීමේදීය. ගෝණියත ඔතා තිබුණු එම සිරුර එදා පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක්කරනු ලබන්නේ කොළඹ පොලිස් මෝචරියේදීය. ඒ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී කථිකාචාර්ය උපුල් තෙලිසිංහ විසිනි. එදා ආචාර්ය අමරසිරිගේ මළ සිරුර හඳුනා ගනු ලබන්නේ ඔහුගේ පවුලේ සාමාජිකයකු වූ කඩවත ඇල්ලෙදණියේ පදිංචිකරුවෙක් වූ ඩබ්ලිව්. චන්ද්‍රසිරි ය.

මරණ පරීක්ෂණයේදී පෙනී යන්නේ මොට අයුධයකින් හිසට පහරදී බෙල්ල කපා ආචාර්ය අමරසිරිව මරා දමා ඇති බවය. අත්පා කපා කොටස් කර ඇත්තේ ඔහු මිය ගිය පසුව බව අධිකරණ වෛද්‍යවරයාගේ නිගමනය විය. සිරුරේ තුවාල සලකුණු බොහොමයක්ම එහිදී නිරීක්ෂණය වී තිබුණු අතර ඇතැම් තුවාල සලකුණුවල දම්පැහැති ඹෟෂධ වර්ගයක් ද ගල්වා තිබී ඇත. ගෙල හිසින් වෙන් කර තිබී ඇති අතර ඒ සඳහා යොදාගෙන ඇත්තේ බර අයුධයක් බව අධිකරණ වෛද්‍යවරයාගේ නිගමනය විය. එම බර ආයුධය නිවෙසින් සොයා ගත් කඩුවය. හිසට ප්‍රහාරය එල්ලවී තිබුණේ මෝල් ගසිනි. නිවෙසින් හමුවූ මෝල් ගසේ ලේ පැල්ලම්වලට අමතරව කෙස් ගස් කිහිපයක් ද ඇලී තිබී ඇත. එම කෙස් ගස් මෝල් ගසින් හිසට පහර දුන් බවට සාක්ෂිය ගෙන දුන්නේය. මෙහිදී අධිකරණ වෛද්‍ය නිලධාරියාට විමර්ශනවලදී පෙනී යන්නේ ඔහු හිස්බඩින්ම මියගොස් ඇති බවකි. ඒ ආමාශය හිස්ව පැවතීම හේතුවෙනි.

මේ හැම කරුණක්ම පෙළ ගැස්වීමෙන් අනතුරුව කොම්පඤ්ඤවීදිය පොලිසියේ විමර්ශන නිලධාරීන් ආචාර්ය අමරසිරිගේ ඝාතනය සිදුවී ඇති ආකාරය ගැන යම් චිත්‍රයක් ගොඩනඟා ගත්තේය. ඒ ඇය විසින් දුරකතන ඇමතුමක් දී ආචාර්ය අමරසිරිව නිවෙසට ගෙන්වා ගෙන ඇති බවය. ඒ සඳහා භාවිත කර ඇත්තේ නි‍ෙවසේ තිබුණු දුරකතනයයි. දුරකතන ඇමතුමට අනුව පැමිණි ආචාර්ය අමරසිරිව ඝාතනය වී ඇත්තේ එහිදී ඇතිවුණු යම් සිදුවීමක් මුල් කරගෙන බව පොලිස් විමර්ශකයෝ අනුමාන කරන්නට වූහ.

ඒ හැමදේකම ඇත්ත නැත්ත එළියට එන්නේ කොම්පඤ්ඤවීදිය පොලිසියේ එවකට ස්ථානාධිපති ලෙස සේවයේ නිරත පොලිස් පරීක්ෂක එන්.සෙනෙවිරත්න ඇතුළු විමර්ශන නිලධාරීන් කමණි චම්පිකාත් ඇගේ සැමියා වූ සුනිල් සරච්චන්ද්‍රත් බොරැල්ල වනාතමුල්ලේ පිහිටි නිවෙසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගැනීමත් සමඟිනි. ලංගම සේවකයකුගේ නිවෙසක සැඟවී සිටි ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගන්නේ මළ සිරුර හමුවී දින පහක් ගෙවී යන්නට මත්තෙනි.

“අපි දෙන්නගේ සම්බන්ධය නන්දන දැනගෙන මට ගහල විස්තර ඇහුවා. එයා ටිකක් සැර පරුෂ කෙනෙක්. මම බයටම එයාට හැමදෙයක්ම කිවුවා. ඒ වෙලාවේ නන්දන මට කිවුවා අමරසිරි සර්ට කෝල් කරල ගෙදරට එන්න කියපන් කියල. ගුටි කන්න බැරිකමට මම සර්ට කෝල් කරල ගෙදර එන්න කිවුවා.“ ප්‍රශ්න කිරීම් හමුවේ කමණි චම්පිකා විමර්ශන නිලධාරීන් හමුවේ එදා පවසා තිබුණේ එවැනි කතාවකි.

එදා ආචාර්ය අමරසිරි මේ කිසිවක් නොදැන ඇය මුණ ගැසීමට පැමිණ නිවෙසට ඇතුළු වනවාත් සමඟම නන්දන ඔහුගේ පිටුපසින් පැමිණ අත දිගහැර හිසට පහරක් ගසා ඇත්තේ මෝල් ගසිනි. එම පහර වදින්නේ හිසේ පිටුපස පැත්තටය. එම මෝල්ගස් පහරින් ඔහු කපා හෙළූ කඳක් සේ බිම ඇද වැටීමෙන් පසු නන්දන කුඩා පිහිතලයක් ගෙන උගුරු දණ්ඩ කපා දමන්නේ කටට දෙහි ගෙඩියක් දමා ආචාර්ය අමරසිරිගේ අවසානය සනිටුහන් කරමිනි. අඟල් 05ක් දිග මිටක් සහිත අඟල් 08ක තලයක් සහිත එම පිහිය ද කොම්පඤ්ඤවීදිය පොලිසියේ නිලධාරීන් පසුව සොයා ගත්තේය.

ආචාර්ය අමරසිරිගේ ගෙල කඳින් වෙන් කර සිරුර කොටස්වලට කපා බැරලයක බහා නිවෙස පිටුපස ළිඳට දමා වළ දමන්නේ ගෙල කපා ඔහුගේ මරණය සිදු කිරීමෙන් අනතුරුවය. එසේ සිරුර කැබලිවලට කපන විට ආචාර්ය අමරසිරිගේ ගෙල බැඳි රන් මාලයත් ඇඟිල්ලේ පැලඳ සිටි මුද්දත්, මුදල් පසුම්බියත් අතට ගත් නන්දන එය පසුව ගමේ වෙළඳසැලක මුදලාලි කෙනකු අත තබන්නේ පරිස්සමට තබා ගන්නැයි කියාය. එම රන් භාණ්ඩත් මුදල් පසුම්බියත් විමර්ශකයන් නන්දනගේ ප්‍රකාශ මත එකලම සොයා ගත්තේය.

නිවෙස පිටුපස ළිඳට මළ සිරුර බහාලූ බැරලය දැමීමෙන් පසු එම වළ දින දෙකක් තිස්සේ පස් දමමින් වසන්නේ නන්දනය. ඊට ඔහු තවත් අයෙක් හවුල් කර නොගන්නේ මේ රහස බිරිය හා ඔහු අතර පමණක් තබා ගැනීමේ අපේක්ෂාව ඇතිවය.

ආචාර්ය අමරසිරිගේ සිරුර වළ දමා සැඟවීමෙන් අනතුරුව නන්දන සිය බිරියව ද කැටුව පලා යන්නේ බොරැල්ල වනාතමුල්ලටය. ඒ බොරැල්ල වනාතමුල්ලේ පදිංචිව සිටි ලංගමයේ සේවය කළ සිය සහෝදරයකුගේ නිවෙසකටය. කොම්පඤ්ඤවීදිය පොලිසියේ නිලධාරීන්ට ඔහු හසු වන්නේ එම නිවෙසේ රැඳී සිටියදීය.

ආචාර්ය අමරසිරි මරා දැමීමෙන් පසු මේ අය ඔහුගේ උපැස් යුවළ විසිකර තිබුණේ දියවන්නාවටය. ඒ පාලම් තුන හන්දියෙනි. ලේන්සුව සහ පාවහන් යුවළ දමාගොස් තිබුණේ ශ්‍රී ජයවර්ධනපුර ජනාධිපති විද්‍යාලය අසල වගුරුබිමකය. එම ලේන්සුවත් පාවහන් යුවළත් විමර්ශකයන් සොයා ගත්තේය. කිමිදුම්කරුවන් යොදා දියවන්නා ඔය පීරුවත් උපැස් යුවළ නම් සොයා ගන්නට නොවීය.

උපැස් යුවළ නොවූවත් ආචාර්ය අමරසිරි ඝාතනය සම්බන්ධයෙන් කමණි චම්පිකාටත් ඇගේ සැමියා වූ සුනිල් සරච්චන්ද්‍ර නොහොත් නන්දනටත් එරෙහිව ඕනෑවටත් වඩා පරියේෂණාත්මක සාක්ෂි කොම්පඤ්ඤවීදිය පොලිසිය සතු විය. ඒ හැරුණු කොට පුද්ගල සාක්ෂි ද 80කට වැඩිය පොලිස් විමර්ශකයන් සටහන් කරගෙන තිබුණේය. මේ හැම සාක්ෂියක්ම සමඟ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට 1989 ජනවාරි 15 වෙනිදා ඉදිරිපත් කළ මෙම අඹුසැමි යුවළ බන්ධනාගාරගත කරනු ලබන්නේ දින 14ක කාලයකටය. මාස පහක හයක කාලයක් එසේ දින 14න් 14ට රක්ෂිත බන්ධනාගාරගත වන මෙම යුවළට ඇප ලැබෙන්නේ 1989 වසරේ මැද භාගයේදීය. ඇපකරුවන් ලෙස ඉදිරිපත් වන්නේ නන්දනගේ පියාත් මස්සිනාත්ය. දැන් ඔවුන් දෙදෙනාම ජීවතුන් අතර නැත.

ඇප ලැබීමෙන් අනතුරුව අවස්ථා දෙක තුනක් අධිකරණය හමුවේ පෙනී සිටියත් පසුව ඔවුන් දෙදෙනා අධිකරණය ද මඟහැර දරුවා ද රැගෙන අතුරුදන් වන්නේ ආචාර්ය අමරසිරිගේ ඝාතනයට එල්ලුම්ගහට නියම වන බව වටහාගෙනය. ඇප මත සිටි ඔවුන් දෙදෙනා දිගින් දිගටම අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් විවෘත වරෙන්තුවක් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරනු ලබන්නේ 1990 වසරේදීය. එකල හෝමාගම මහාධිකරණයක් නොවූ බැවින් නීතිපතිවරයා විසින් මෙම යුවළට එරෙහිව ආචාර්ය අමරසිරි ඝාතනය කිරීම සම්බන්ධයෙන් නඩු පවරනු ලබන්නේ අවිස්සාවේල්ල මහාධිකරණයේය. මහාධිකරණයේ නඩු විභාගයන්ට පවා ඉදිරිපත් නොවීම හේතුවෙන් අවිස්සාවේල්ල මහාධිකරණයෙන් ද ඔවුන්ට වරෙන්තු නිකුත් කර තිබී ඇත්තේ දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙසිනි. හෝමාගම මහාධිකරණයක් ස්ථාපිත වීමෙන් අනතුරුව අවිස්සාවේල්ල මහාධිකරණයේ පැවති මෙම නඩුව හෝමාගම මහාධිකරණය මඟින් විභාග කරන්නට වූයේ චුදිතයන් නොමැතිවය. දීර්ඝ කාලයක් තිස්සේ පැවති එම නඩු විභාගය අවසානයේදී මේ යුවළට එල්ලුම්ගහ නියම වන්නේ 2019 වසරේදී පෙබරවාරි 08 වෙනිදාය. ඒ වන විටත් ඔවුන් දෙදෙනා සිටින්නේ අධිකරණය මඟහැර සැඟවෙමිනි.

පොලිස් සැරයන් සම්පත් (70701) නිලධාරියා අතුරුගිරිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ සේවයට එක්වන්නේ මෙම වකවානුවේදීය. සංවිධානාත්මක අපරාධකරුවන් හඹා ගොස් අත්අඩංගුවට ගැනීම් සහ අබිරහස් අපරාධ විසඳීම සඳහා ක්‍රියාත්මක ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ස්ථාපිත කර ඇති බස්නාහිර දකුණ සහ බස්නාහිර උතුර යන අපරාධ විමර්ශන කොට්ඨාසවල සේවයේ නිරතව සිටි නිලධාරියෙක් වූ සැරයන් සම්පත් අතුරුගිරිය පොලිසියේ අපරාධ අංශයේ සාමාන්‍ය රාජකාරි සඳහා යෙදවීමෙන් අනතුරුව 1990 වසරේ සිට අධිකරණය මඟහැර සිටින විවෘත වරෙන්තු නිකුත් කර සිටින අඹුසැමි යුවළක් ගැන ඔහුට තොරතුරු දැන ගන්නට ලැබෙන්නේ ය. මෙම යුවළ ගැන සොයා බලන විට සම්පත්ට පෙනී යන්නේ භීෂණ සමයේ රටේම අවධානයකට ලක් වුණු මිනිස් ඝාතනයක ඔවුන් චුදිතයන් බවය. මේ ගැන දීර්ඝ ලෙස කරුණු අධ්‍යයනය කිරීමේදී සම්පත්ට පෙනී යන්නේ නන්දන නමැති සැමියා වැලිපිල්ලෑව පැත්තේ ඉඳහිට කරක් ගසන බවකි. පොලිසියට කට්ටි පනිමින් අධිකරණය මඟහැර දසක කිහිපයක් තිස්සේ සැඟවී සිටින මෙම යුවල අත්අඩංගුවට ගැනීමට සැරයන් සම්පත්ට හිතක් පහළ වන්නේ එවිටය. ඒ කිසිදු ඉහළ නිලධාරියකුගේ දැනුම්දීමකින් තොරවය.

මේ අපරාධය මෙන්ම අපරාධකාර අඹුසැමි යුවළ කට්ටි පැනීම ගැන ඇතිවන කුතුහලය හා උනන්දුව නිසාම සම්පත් වැලිපිල්ලෑව පැත්තේ කරක් ගසමින් තොරතුරු රැස්කරන්නට ගත්තේ විවිධ වෙස් ගෙනය. එහිදී ඔහුට පෙනී යන්නට වූයේ ඒ පැත්තේ සිටින සිය ඥාතීන් සමඟ නන්දන දුරකතන ඔස්සේ සම්බන්ධකම් පවත්වන බවය.

මේ හැම දෙයක්ම ඔහුට කරන්නට සිදු වන්නේ අතුරුගිරිය පොලිසියේ අපරාධ අංශයේ සිදු කෙරෙන දෛනික රාජකාරිවලට අමතරවය. එබැවින් මේ සඳහා ඔහුට කාලය වෙන් කර ගැනීමට සිදු වූයේ ද ඉතා අඩුවෙනි. එහෙත් සැරයන් සම්පත්ට මෙම විමර්ශනය නිදහසේ කරගෙන යාමට නිදහසක් මෙන්ම අවස්ථාවක් ලැබෙන්නේ 2021 වසරේ දෙසැම්බර් 20 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ස්ථාන මාරුවීමක් ලැබීමත් සමඟිනි. ඔහුව අනුයුක්ත කෙරෙන්නේ මිනිස් ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය වෙතය.

ඒ අනුව සැරයන් සම්පත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇති තාක්ෂණික පහසුකම් ද යොදා ගනිමින් නන්දනගේ ඥාතීන්ගේ දුරකතන පවා විශ්ලේෂණය කරමින් දීර්ඝ විමර්ශනයක නිරත වූ සැරයන් සම්පත්ට තොරතුරු ලැබෙන්නේ මෙම යුවල පොලොන්නරුව, හිගුරක්ගොඩ, මහනුවර ආදී ප්‍රදේශවල විවිධ වෙස් ගෙන සැරිසරමින් සිටින බවය. කුළී නිවාසවල රැඳෙමින් සැඟවුණු ජීවිතයක් ගත කරමින් සිටින ඔවුන් පෙනී සිටින්නේ ව්‍යාජ නම්වලින් සහ ව්‍යාජ හැඳුනුම්පත් මඟින් බව ද සැරයන් සම්පත් සොයා ගත්තේය.

පූගොඩ මණ්ඩාවල පිහිටි පුද්ගලික ආයතනයේ ආරක්ෂක අංශ සාමාජිකයෙක් ලෙස සේවයේ නිරතව සිටියදී නන්දනව අත්අඩංගුවට ගන්නා විටත් ඔහු පෙනී සිටියේ ව්‍යාජ නමකිනි. ඒ හේවා දේවගේ ප්‍රේමසිරි ලෙසනි. ඔහු ඒ වන විට භාවිත කරමින් සිටියේ 2003 වසරේ දෙසැම්බර් 15 වෙනිදා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් කාර්යාලය මඟින් නිකුත් කළ ජාතික හැඳුනුම්පතකි. එම හැඳුනුම්පත ඔහු සකස් කරගෙන ඇත්තේ වැලිපිල්ලෑවේ පදිංචිව සිටි ඒ වනවිට ජීවතුන් අතර නොමැති පුද්ගලයකුගේ උප්පැන්න සහතිකයෙනි. එම උප්පැන්න සහතිකයේ පිටපතක් ඔහු ලබා ගන්නේ කොළඹ කච්චේරියෙන් 2003 වසරේ ඔක්තෝබර් 04 වෙනිදාය. එම උප්පැන්න සහතිකය ඉදිරිපත් කර 583510699v අංකයෙන් ජාතික හැඳුනුම්පතක් සකස් කරගනු ලබන්නේ මුල් හැඳුනුම්පත අස්ථානගතව ඇතැයි ව්‍යාජ පැමිණිල්ලක් ද ඉදිරිපත් කරමිනි. එම හැඳුනුම්පතේ ඇති ඡායාරූපය නන්දනගේය. නම හා උපන්දිනය උප්පැන්නයේ හිමිකරුවන මියගිය පුද්ගලයාගේය. හේවා දේවගේ ප්‍රේමසිරි යැයි කියන්නේ එම මියගිය පුද්ගලයාටය. හැඳුනුම්පතට අනුව පදිංචි ලිපිනය සඳහන් වන්නේ 472 ගම් උදාව රවුම් පාර හිගුරක්ගොඩ ලෙසිනි. මෙම හැඳුනුම්පත සකස් කරන විට ඔහු රැඳී සිට ඇත්තේ මෙම ලිපිනයේ පිහිටි නිවෙසේය. මෙම හැඳුනුම්පතත් උප්පැන්න සහතිකයත් නන්දන සතුව තිබී සොයා ගැනීමට පවා සැරයන් සම්පත්ට හැකියාව ලැබී තිබුණේය.

පොලිසියට කට්ටි පනිමින් සිටි කාලය තුළ සැරයන් සම්පත් මෙම යුවළ රැඳී සිටි හිඟුරක්ගොඩ නිවෙස පවා සොයාගෙන තිබුණේය. ඒ වන විට ඔවුන් සිටින්නේ හිගුරක්ගොඩින් පලා ගොසිනි. එක තැනක වැඩි කාලයක් ජීවත් නොවී අහිකුණ්ටකයන් ලෙස තැන තැන වැටෙමින් ජීවත්වූ මේ අය රැඳී සිටින තැනක් හඳුනා ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවීය.

ඒ සඳහා මඟක් සොයමින් සිටි සැරයන් සම්පත්ගේ විශේෂ අවධානයක් යොමු වන්නේ මෙම යුවළගේ දරුවා කෙරෙහිය. ඒ වන විට ඔහු විවාහ වී අළුබෝමුල්ල පැත්තේ සිටින බවට තොරතුරක් ද ඒ අතර සැරයන් සම්පත්ට ලැබී තිබුණේය. ඒ තැන ගැන නිශ්චිත තොරතුරක් හෝ ලිපිනයක් නොවූවත් ඒ සඳහා ඔහුට පිහිටට තිබුණේ තාක්ෂණයේ පිහිට පමණි.

දුරකතන ජාල විශ්ලේෂණයක් ඔස්සේ ඒ තැන ඉතා පහසුවෙන් සොයා ගත් සැරයන් සම්පත් මිනිස් ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණියගේ උපදෙස් මත පෙබරවාරි 10 වෙනිදා පොලිස් කණ්ඩායමක් සමඟ අලුබෝමුල්ලට යන්නේ කුලී නිවාසවල ජීවත් වන වැසියන්ව ලියාපදිංචි කිරීමට යන පොලිස් කණ්ඩායමක් ලෙසිනි. ඒ වරෙන්තුකාර අඹුසැමි යුවළ හඳුනාගත් ඔහුගේ පුතාගේ නිවෙසේ රැඳී සිටින්නේද; එසේ නොමැති නම් ඒ අය ගැන යම් තොරතුරක් උපක්‍රමශීලිව දැන ගැනීමේ අපේක්ෂාව ඇතිවය.

සැරයන් සම්පත් ඇතුළු නිලධාරීන් ට එදා ඒ ගිය ගමන වැදුණේ නැත. සිය පුතා සමඟ එම නිවෙසේ ඒ වන විටත් කමණි චම්පිකා රැඳී සිටියාය. 66 හැවිරිදි වියේ පසු වූ ඇය සිය පුතාගේ රැකවරණයේ රැඳෙන්නට වූයේ 2018 වසරේ සිටය. ඒ වන විට පුතාගේ විවාහය ද දෙදරා ගොස් තිබුණේය.

“නන්දන මට කිව්වා පුතා ගාවට යන්න එපා මගෙත් එක්ක හිටපන් කියල. කවදහරි දවසක උඹ පොලිසියට අහු වෙන්නේ පුතා ගාව ඉඳල කියලත් එයා කිවුවා. ඒ කිවුවා වගේම වුණා“ පුතාගේ රැකවරණය මත සිටි කමණි මෙසේ කියන්නට වූයේ සැරයන් සම්පත් ඇතුළු විමර්ශන නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටියදීය.

අධිකරණය මඟ හැර මරණීය දණ්ඩනයෙන් ද සිරදඬුවම් ලැබ ඇයත් සැමියාත් සැඟවී සිටියත් සැඟවුණු තැන්වල සිටිමින් මේ දෙදෙනා එම සිර දඬුවමට එරෙහිව අභියාචනාධිකරණයේ අභියාචනයක් ද ගොනු කර තිබුණේය. ඒ එම සිරදඬුවම නියම වී දින 12ක් යන්නට මත්තෙනි. ඒ බව පවා හෙළි වන්නේ අත්අඩංගුවට ගත් කමණි චම්පිකා හෝමාගම මහාධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය. ඒ බවක් ඒ වන විටත් නීතිපති දෙපාර්තමේන්තුව හෝ හෝමාගම අධිකරණය ද දැන සිටියේ නැත. අභියාචනාධිකරණයෙන් තවමත් ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදී නොමැති බැවින් කමණි මෙන්ම නන්දනව අත්අඩංගුවට ගැනීමට ද බාධාවක් පොලිසියට නැත.

සිය බිරිය පොලිසියට හසුවන විට නන්දන සිටින්නේ දැඩිගමුව පැත්තේය. බිරිය පොලිසියට හසුවීමත් සමඟ ඔහු පූගොඩ මණ්ඩාවල පුද්ගලික ආයතනයක ආරක්ෂකයකු ලෙස සේවයට එක්වන්නේ හිතවතකුගේ මාර්ගයෙනි. එම ආයතනයේම නැවතී සේවය කරන්නට වූයේ වැඩි ආරක්ෂාවටය. තමාට අයත් දේපොළ පවා විකුණා ඒ මුදල් තැන තැන සැඟවී කාලය ගත කිරීමට වැයකර මහ පාරට වැටී සිටි නන්දන “මට වඩා පොලිසිය දක්ෂයි කියල හිතෙන්නේ දැනුයි” යැයි පොලිස් අත්අඩංගුවේදී කියන්නට වූයේ කිසිදාක පොලිසියට හසු නොවී සිටීමට හැම ගේමක්ම ගැසුවත් අවසානයේදී ඔහු සිය ඥාතීන්ට ලබා දුන් දුරකතන ඇමතුම් ඔස්සේ කොටුවීම ගැන සිහි කරමිනි.

මහාධිකරණය මඟින් මරණ දඩුවම නියමව වසර 35 ක් සැඟව සිටි ප්‍රධාන සැකකරු වන කොළඹගේ සරත්චන්ද්‍ර සුමනසේකර නොහොත් නන්දන සුමනසේකර පූගොඩ ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 24 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය 19 දින නියෝග කළාය.

සැකකරු උපන්දින සහතිකය සහ ජාතික හැඳුනුම්පත මියගිය පුද්ගලයකුගේ නමින් ව්‍යාජව සකස් කර පාවිච්චි කර ඇතැයි ද තහවුරු වූ බව පොලිස් නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරුට සඳහා ව්‍යාජ හැදුනුම්පත සැකසීම සඳහා සහයෝගය ලබා දුන් පුද්ගලයන් සොයා පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඩුවම ලැබූ මෙම ප්‍රධාන සැකකරු ගේ බිරියව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකය මගින් ඉකුත් පෙබරවාරි මාසයේදී බණ්ඩාරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන හෝමාගම මහාධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අභියාචනයක් ඉදිරිපත් කල සැකකාරියක ලෙස බන්ධනාගාර ගත කිරීමට මහාධිකරණ නියෝග කරන ලදී.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division