කාන්තාවකගේ සුන්දරත්වයට වත්මනේ ලැබෙන්නේ ඉහළ ඇගැයීමකි. තම රටේ රුවැත්තිය වී නොනවතින රුවැත්තියන් ලොවේම රුවැත්තිය වීමට තරග වදියි. ශ්‍රී ලංකාව ද දැන් දැන් එම තරගයට අවතීර්ණ වී සිටින බවට පසුගියදා ලැබූ ජයග්‍රහණයන් හේතු සපයයි. අද අප කතා කරන්නේ ද එවන් රුවැත්තියක් ගැනයි. මිස් ග්ලෝබල් ඉන්ටර්නැෂනල් – 2024 ලෙස පසුගිය දා නේපාලයේ දී කිරුළු පැලඳි ඇය වරුණී රණතුංගය. වරුණී තම ජයග්‍රහණය තහවුරු කර ගත්තේ තවත් අංශ තුනක ජයග්‍රහණ සමඟින් වීම ද විශේෂත්වයකි. රටවල් 22ක් සමඟ තරග වැද සුන්දරත්වයේ කිරුළ හිමිකරගත් ඇය අප හා සතුට බෙදා ගත්තේ මෙලෙසිනි.
“මිස් ග්ලෝබල් ඉන්ටර්නැෂනල් -2024 අවසන් තරගය පැවැත්වුණේ අප්‍රේල් 1 වැනිදා නේපාලයේ කත්මණ්ඩු නගරයේ. තරග වැදුණු රටවල් 22ක් අතරින් රටවල් 8ක් එදා අවසන් තරගය සඳහා තේරිලා තිබුණා. ඒ අතරින් ජයග්‍රහණය හිමිවුණේ මට. තරගය මාර්තු 27 වැනිදා ඉඳන් අප්‍රේල් 1 වැනිදා දක්වා පැවැත්වුණා. Ms. Personality round, Ms. Swim wear round, Ms. Teland round, Ms. Evening gown round, Ms. Resort wear round විදිහට තරග වට පහකින් සමන්විත වුණා. Best Personality, Best National costume, Best Evening කියන ටයිට්ල් තුනේම ජයග්‍රහණ හිමිවුණේ මට. ඒ ගැන තියෙන්නෙ නිහතමානී ආඩම්බරයක්.”
වරුණී රණතුංග ක්ෂේත්‍රයට පිවිසෙන්නේ නිරූපණය හරහායි. ඒ ගැන සිහිපත් කරන්නත් ඇය අමතක කළේ නැහැ.
“ටැලන්ට් රවුන්ඩ් එකට මං ඉදිරිපත් කළේ සාම්ප්‍රදායික නර්තනයක්. සාමාන්‍යයෙන් ලංකාවේ සාම්ප්‍රදායික නර්තනයට ලෝකෙ කොහේ ගියත් විශේෂ අවධානයක් ආකර්ෂණයක් තියෙනවා. ඒ නිසා මං ටැලන්ට් රවුන්ඩ් එකේදි සාම්ප්‍රදායික නර්තනයක් ඉදිරිපත් කළා. ඒ වගේම මං ඇන්ද නාග රාක්ෂ නැෂනල් කොස්ටියුම් එකටත් විශේෂ අවධානයක් යොමු වෙලා තිබුණා. මේ පැජන්ට් එකට ඉදිරිපත් වෙන්න කලින් 2022/ 2023 වසරවල ලංකාවේ පැජන්ට් දෙකකට ඉදිරිපත් වෙලා ඒ පැජන්ට් දෙකෙන්ම දෙවැනි ස්ථානය ලබා ගත්තා. ඒත් එක්කම 2024 මිස් ග්ලෝබල් ඉන්ටර්නැෂනල් තරගය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන්න අවස්ථාව ලැබුණා. මගේ ජාතික අධ්‍යක්ෂ විදිහට කටයුතු කළේ මයුර පෙරේරා. පුහුණුවීම් කටයුතු කළේ රොෂෙල් ප්ලැන්කට්. ඒ වගේම ලංකාවෙන් මට ලොකු අනුග්‍රාහකත්වයක් ලැබුණා. ජයරත්න ඉංජිනියරින් වගේම සැලෝන් ලවුලි ලුක්ස් ඒ සඳහා ඉදිරිපත් වුණා. ඔවුන් සියලුම දෙනා ස්තුතිපූර්වකව සිහිපත් කරන්නත් මං මේක අවස්ථාවක් කරගන්නවා.
මගේ කලා ක්ෂේත්‍රයට පිවිසීම සිදු වෙන්නේ 2011 වසරේ නර්තන ශිල්පිනියක් විදිහට. මුලින්ම සිරස ටීවී නේත්‍රා ඩාන්සින් වැඩසටහනට ඉදිරිපත් වෙලා දෙවැනි ස්ථානය දිනාගත්තා. ඊට පස්සෙ දෙරණ සිටි ඔෆ් ඩාන්ස් තරගයේ පස්වැනි ස්ථානය දිනාගත්තා. නර්තනය තමයි මගේ ප්‍රධාන විෂයය වුණේ. ලතින් අමෙරිකන්, ෆ්‍රී ස්ටයිල් වගේම කැන්ඩියන් පැත්තත් මං ඉගෙන ගත්තා. අසංක ද සිල්වා, කෙවින් නුගාරා, සඳුන් සමීර වගේම මුද්‍රිකා ස්වර්ණතිලක යන නර්තන ගුරුවරු හතර දෙනාම මෙහිදී සිහිපත් කළ යුතුයි.“
තම ජයග්‍රහණයේ මුල් කොටස්කරුවා තම පෙම්වතා බව පැවසූ වරුණි ඔහු ආදරෙන් සිහිපත් කළාය.
“මගේ ගම ගල්ගමුව. මට ඉන්නෙ අම්මයි තාත්තයි විතරයි. දැනට මං එයාර්පෝර්ට් එකේ ට්‍රාන්ස්සිස්ට් ඒරියා එකේ නිලධාරිනියක් විදිහට සේවය කරනවා. ගල්ගමුව යූ. බී. වන්නිනායක විද්‍යාලය වගේම මීගමුව නිවුස්ටඩ් විද්‍යාලයත් මගේ පාසල් මවුවරුන් වුණා. එතනින් තමයි මේ හැම ජයග්‍රහණයකටම අඩිතාලම වැටුණේ. පොඩි කාලෙ ඉඳන්ම මං දක්ෂ වුණේ නර්තනයට. මාව නිරූපණය පැත්තට යොමු කළේ මගේ පෙම්වතා. එයාගෙ නම ගයාන් චානක ගමගේ. කලාවට එයාගෙ සම්බන්ධයක් නැතිවුණත් මාව මොඩ්ලින් පැත්තට යොමු කරන්න එයාට ලොකු ඕනකමක් තිබුණා. එයා හරි ආසයි මං ඒ පැත්තට යනවට. එයාගේ බලකිරීමට තමයි මං මොඩ්ලින් කරන්න පෙලඹුණේ. ලෝකෙ රටවල් 22ක් එක්ක තරග වැදිලා මං ලබපු ජයග්‍රහණයට එදා එයා තවත් අර්ථයක් දුන්නේ මාව සප්‍රයිස් කරන්න හිතාගෙන නේපාලයට ඇවිත්. එයාගෙ ආසාව ඉෂ්ට කළා වගේම ජයග්‍රහණයේ සතුට භුක්ති විඳින්න එයා මා ළඟ හිටිය එක මට තවත් ශක්තියක් වුණා.“
නාමලී ගමගේ