නමක් ගමක් හරියට කියන්නේ දන්නේ නැති අතොරක් නැතිව එක යායට මල් පිපෙන කහපාට මල් රෑන් රෑන්වලින් පිරිච්ච පේරාදෙණිය සරසවි බිම මේ දිනවල හරි හැඬයි. මේ බිමේ කොතෙක් නම් ප්‍රේම කතා ඇති වී නැතී වී යන්න ඇති දැයි වඩ වඩාත් හිතට දැනෙන්නේ පේරාදෙණිය සරසවි බිම තේමා කර ගනිමින් ලියැවුණ ගීත ඇහෙද්දි. අතීතයේ සිට වර්තමානය දක්වාම ලියැවුණ ඒ ගී අතරට අලුතෙන්ම එක් වූ ගීතයක් ලෙස ප්‍රවීණ ගායන ශිල්පී කරුණාරත්න දිවුල්ගනේ ගයන “ආදරය සොඳුරුය කියා“ ගෙන හැර දක්වන්නට හැකිය. ගීතය ලියන්නේ නව පරපුරේ ගී පද රචිකාවක් වන මදාරා සරසි ද සිල්වාය. ඒ ගී පද සංගීතවත් කරන්නේ සංගීතවේදි විශාරද රෝහණ ධර්මකිර්ති විසිනි. එක්වරම පේරාදෙණිය සරසවි බිම ගැන නොකියවුණ ද මේ ගීතයේ ඇතැම් තැන් ගීතයට මාතෘකා වී ඇත්තේ සරසවි බිමේ උපන් ප්‍රේමයක් යැයි කියන තරමට ඉඟි සැපයේ.
“රඟමඬල මැද හදමඬල මත
සරා සඳ විත් මැවූ රඟහල මැවෙනවා
සනාතන ප්‍රේමයේ මායිම්
වලාකුළකින් අහනවා
ගලහ පාරේ අදට තවමත්
අදට තවමත් ඇහෙනවා“
ගලහ පාරේ අත්පටලා ගෙන පියමැන්න ඒ යුවළ අද කොහිද? විසඳුමක් නැතිව, එක් වීමක් නැතිව වෙන්ව ගිය එවන් පෙම් කතා වෙනුවෙන් වැටුණු කඳුළු අදටත් ඒ බිම කොතැනක හෝ සැඟව ඇත. එසේ සැඟවුණ කඳුළක් අහුලාගත් සහෘදයකු විසින් ලියු ගීතයක් ලෙස මෙය හැඟේ. එය සැබැවින්ම එවන් ලකුණක් දැයි ගී පද රචිකා මදාරා සරසි ද සිල්වාගෙන් විමසූ විට ඇය දුන්නේ මෙවන් පිළිතුරකි. වෘත්තියෙන් භෞත චිකිත්සකවරියක් වන ඇය මීට කලකට පෙර පේරාදෙණිය මූලික රෝහලේ සේවය කළාය. ඒ කාලයේදී ලද අත්දැකීමක් ඇසුරින් ලියැවුණ ගී පද පෙළ ගැන ඇගේ අදහසයි මේ.
“මම වෘත්තියෙන් භෞත චිකිත්සකවරියක්. ඒ පත්වීම ලැබුණ මුල්කාලයේ මම වසර දෙකක් පමණ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සේවය කළා. ඒ සේවය කරපු කාලේ මට අලුත්ම අත්දැකීමක් වුණා කිව්වොත් තමයි හරි. මම එහෙම කියන්නේ පේරාදෙණිය රෝහලට අල්ලපු වැටේ තිබුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය. එය මගෙ ඇසට බොහෝම ප්‍රිය දසුනක් වුණා කිව්වොත් නිවැරදියි. පේරාදෙනිය විශ්වවිද්‍යාල භූමිය කියන්නේ ඇසට වගේම හිතටත් බොහෝම ප්රිිය උපදවන තැනක්. ගස් කොළන්, මල්වලින් සෙවණ වුණු බිමක්. රෝහලේ කටයුතු කරන අතර ලැබෙන පුංචිම විවේකයේදී වුණත් මගේ ඇස් නිකම්ම යොමු වෙන්නේ සරසවි බිමට. ඒ සුන්දර පරිසරය දුටුවාම මගෙ හිතේ පුංචි පුංචි කවි ලියැවෙනවා. ඔහොම ඉන්න අතර තමයි මට ගීත ලියන්න හිතුණේ.
මේ ගීත ලියැවෙන කාලේ වෙන කොට මම ඊට පෙරත් ගී දෙකක් ලියා තිබුණා. ඒ ගීත දෙකේම තනු නිර්මාණය කළේ විශාරද රෝහණ ධර්මකීර්ති සොයුරා. රෝහණ සොයුරාම තමයි මට යෝජනාවක් ගෙනාවේ කරුණාරත්න දිවුල්ගනේ මහතාට ගැළපෙන ගීතයක් ලියමු කියලා. ඇත්තටම මට එය අභියෝගයක් වුණා. මම අසා තිබෙන පරිදි ඔහු භාෂාව ගැන, පද අරුත් ගැන බොහෝම අවධානය යොමු කරන කෙනෙක්. නමුත් මම ඒ අභියෝගය භාර ගත්තා. කාලයක් තිස්සේ මගේ හිතේ ඇදිලා තිබුණ පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමිය හා බැඳුණු ඒ සිදුවීම් තමයි අවසානයේ ගීතයක් ලෙස ලියැවුණේ. රෝහලේ ජනේලයෙන් ඇතැම් වෙලාවක සරසවිය පැත්ත බලන විට මම දකිනවා එක ළඟින් එක පෙළට කතා කරමින් යන තරුණ තරුණියන්. තවත් දවසක දකිනවා පෙර දවසක එහෙම ගිය අයගෙන් එක්කෙනෙක් පමණක් යනවා. අපි නොකියූ අපි නෑසුව, අපි නොදැක්ක කතා මේ බිමේ කොයිතරම් නම් ඇති ද කියලා මට හිතෙනවා. කාලයක් තිස්සේ මම දැකපු, මගේ හිතේ තැන්පත් කරගෙන තිබුණ ඒ සිතුවිලි තමයි පද පෙළක් ලෙස ලියැවුණේ.
සරසවි බිමේදි ආදරයෙන් බැඳිලා හිටපු දෙන්නෙක් බිඳිලා වෙන් වෙලා ගියාට පස්සේ ඒ විරහව දරා ගත්ත විදිහ තමයි මම මේ විදිහට ලිව්වේ. මේක සුලබ මාතෘකාවක්. නමුත් මම උපරිම උත්සාහයක් දැරුවා පේරාදෙණිය සරසවි සුන්දර බිම් කඩත්, තාරුණ්‍යයේ එළිපත්තේ සිටින ඒ මානව මානවිකාවන්ගේ ප්‍රේමයත් පාදක කරගෙන ගීතයට අලුත් මානයක් ලබා දෙන්න. විශාරද රෝහණ ධර්මකීර්ති ඉතාම සොඳුරු තනු නිර්මාණය සමඟ අපූරු සංගීතයක් නිර්මාණය කළා. ඒ වගේම ගායන ශිල්පි දිවුල්ගනේ මහතා ඔහුගේ අනුරාගී හඬින් එය ගායනා කළා. මේ වන විට මට ගීතය සඳහා යහපත් ප්‍රතිචාර ලැබෙනවා. එය මට සතුටක්.“
“බිඳුණු විසිරුණු හීන අරගෙන
මහවැලිය තව ඇදෙන වග මං දන්නවා
තාම ඉඳහිට හීනයක නුඹ
පෙනී නොපෙනී ඉන්නවා
හීනයක් බව දැනුණු විට දී
හිස් හිතක බර දැනෙනවා“
ආදරය සොඳුරුය කියා
මම සිතුවමක් ඇන්දා
නුඹ ගීතයක් ලිව්වා
සිතුවමේ පා මුල
ගීතයේ පද පෙළ ඉහිරිලා තිබුණා
හන්තාන විතරක් මගේ තනියට එදා ළඟ
හිටියා…
රඟමඬල මැද හදමඬල මත
සරා සඳ විත් මැවූ රඟහල මැවෙනවා
සනාතන ප්‍රේමයේ මායිම්
වලාකුළකින් අහනවා
ගලහ පාරේ අදට තවමත්
අදට තවමත් ඇහෙනවා…
බිඳුණු විසිරුණු හීන අරගෙන
මහවැලිය තව ඇදෙන වග මං දන්නවා
තාම ඉඳහිට හීනයක නුඹ
පෙනී නොපෙනී ඉන්නවා
හීනයක් බව දැනුණු විට දී
හිස් හිතක බර දැනෙනවා…
ගායනය – කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය – මදාරා සරසි ද සිල්වා
තනුව සහ සංගීත නිර්මාණය –
විශාරද රෝහණ ධර්මකීර්ති