– නවාගේ සංගීතයෙන් හැඩ වූ ගී නිර්මාණ ගැයූ ප්‍රවීණ, නවක ගායක ගායිකාවන් රැසක් මේ සඳහා සහභාගී වේ
– පනාමුරේ ඔපෙරාව මගේ ජීවිතේ සංධිස්ථානයක්. එය බොහෝ අය අගය කළා
ඔහු සංගීතවේදී නවරත්න ගමගේය. එහෙම කියනවට වඩා අපේ සංගීත ක්ෂේත්රයේ කා අතරත් හොඳ හිත දිනා ගත් “නවා“ යැයි කියූ විට කොයි කාටත් එසැණින් ඔහුගේ නිර්මාණ මතක් වෙනවා මෙන්ම ඔහුගේ රුව ද මැවෙනු නොඅනුමානය. ඒ තරමටම ඔහු සංගීතය හරහා රසිකයන්ගේ අතරට ගෙනා නිර්මාණ සොඳුරුය.
නුගේගොඩ ගංගොඩවිල ප්‍රදේශයේ උපන් නවා පවුලේ වැඩිමලා විය. ඔහුට බාල නංගිලා දෙදෙනෙකු හා මල්ලිලා තුන්දෙනෙකු විය. ශ්‍රී රේවත මහා විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ ඔහු උසස් පෙළ විභාගයෙන් පසු කලම්බු කමර්ෂල් ඉංජිනේරු ආයතනයට බැඳෙන්නේය.
“උසස් පෙළ විභාගය ඉවර වුණු ගමන් මම කාර්මික ක්ෂේත්රයේ පුහුණුවක් ලැබුවා. නමුත් පාසල් වියේ සිට මට සින්දු කියන්න රඟපාන්න හැකියාව තිබුණා. මම කොළඹ මහජන පුස්තකාලයට බැඳුණේ ඔය කාලෙදිමයි. ඔය අතරේ තමයි රෙජිනෝල්ඩ් ජයමාන්න මහතා මට විකල් සමයමට කතා කරන්නේ. මම එහි ගී ගැයුවා. ඒත් මම නොසිතපු විදිහට සංගීතඥයෙක් දක්වා ගමනක් එන්න මට නිර්මාණය වුණා.
කලක් ගියාට පස්සේ මට නාට්‍ය කිහිපයක් සංගීතවත් කරන්න ලැබෙනවා. මුලින්ම ප්‍රසන්නජීත් අබේසුන්දරගේ දෝර්දණ්ඩා නාට්‍ය ලැබෙනවා. ඉන් පස්සේ සෝමලතා සුබසිංහගෙ, මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ, ජයලත් මනෝරත්නයන්ගේ නාට්‍ය මට ලැබෙනවා. ඒ වැඩ කටයුතු කරගෙන යන අතරෙම තමයි මට නන්දා මාලනියගේ සත්‍ය යේ ගී හඬේ අත්වැල් ගයන්න ලැබෙන්නේ. කිර්ති පැස්කුවල් ඔහුට සහභාගි වෙන්න බැරි දවසක මට ලියුමක් දීලා නන්දා මාලනීය හමුවෙන්න කියලා කිව්වා. එහෙම තමයි මට ඒ අවස්ථාව ලැබුණෙ. පසුකාලීනව මම ඇයටත් ගීත කිහිපයක් නිර්මාණය කර දී තිබෙනවා. මට මුලින්ම ගීතයකට තනු නිර්මාණය කරන්න ලැබුණේ නිමල් ලක්ෂපතිආරච්චි අනුරාධා ශ්‍රී රාම් කියන ඉන්දීය ගායිකාව ගයන ගීත වගයකට සංගීතය නිර්මාණය කරන්න. මම ඒ වැඩේ සාර්ථකව කළා. ඉන් පස්සේ කොළඹ විශ්වවිද්‍යාලයේ ළමයකුගේ සින්දුවකට සංගීතය නිර්මාණය කරන්න ලැබෙනවා. ඒ සින්දුව ගැයුවේ ප්‍රදීපා ධර්මදාස. සින්දුව ලියන්නේ යසනාත් ධම්මික බණ්ඩාර කියන තරුණයා. ඉන් පස්සේ මට ගී පද රැසක් ලැබෙනවා සංගීතය නිර්මාණය කරන්න. ඔහොම ඉන්න අතරේ තමයි උපුල් ශාන්ත සන්නස්ගල ඇවිල්ලා සින්දුවක් දෙන්නේ සංගීතය නිර්මාණය කරන්න කියලා. නමුත් මම ඔහුට කිව්වා ඒකේ වචන එහෙට මෙහෙට කරන්න කියලා. ඒත් සන්නස්ගල ඒකට කැමැති වුණේ නැහැ. ඔහු මට අභියෝග කළා, මම ඒ අභියෝගය භාර ගත්තා. අවසානයේ එය මොරිස් විජේසිංහ ගයන ඔබ එන්න ඇවිත් යන්න කියන ගීතය. පසුව එය වස්සාන සිහිනය චිත්‍රපටයටත් ගත්තා.“
නවා හරි අපූරු සංගීත නිර්මාණකරුවෙකි. ඔහුගේ සංගීතය හරි අපූරුය. ඔහු විසින් නිර්මාණය කළ සංගීත නිර්මාණ රැසකට සරසවි, සුමති, ජනාධිපති, රයිගම්, ඕ. සී. අයි. සී ආදි සම්මාන රැසක් හිමිව තිබේ. එමෙන්ම නාට්‍ය සංගීතය කළ මෙහෙය වෙනුවෙන් ඔහුට ජපානයෙන් පිරිනමනු ලබන බුන්කා සම්මානය ද හිමිව තිබේ.
ආරම්භයේ සිටම සංගීතය කෙරෙහි විශේෂ ඇල්මකින් වුවමනාවකින් උනන්දුවකින් කටයුතු කළ ඔහු අද වන විට ඔහුටම සතුටු විය හැකි ගමනක් පැමිණ තිබේ.
ඒ ජයග්‍රහණයේ සතුට සැමරීමේ අරමුණ ද ඇතිව “නවාගේ ගී“ සංගීත ප්‍රසංගය නෙලුම් පොකුණ රඟහලේදී මේ මස 20 සහ 21 යන දෙදින සවස 6.30 පැවැත්වේ. මෙම ප්‍රසංගය සඳහා නවාගේ සංගීතයෙන් හැඩ වූ ගී නිර්මාණ ගැයූ ප්‍රවීණ ගායක ගායිකාවන් මෙන්ම නව පරපුරේ ගායක ගායිකාවෝ ද සහභාගි වෙති.
“2004 දී තමයි මම සඳ එළියෙන් දෝතක් ප්‍රසංගය කළේ. ඒ ප්‍රසංගය මට සතුටු විය හැකි සාර්ථක ප්‍රසංගයක් ලෙස පැවැත්වුණා. එය මගේ සංගීත ගමනට විශාල ප්‍රයෝජනයක් වුණා. එයට කලින් මම පනාමුරේ ඔපෙරාවක් කළා. ඒ දවස්වල බොහෝ අය එය අගය කළා. ඒ ගැන කතාබහ කළා. නමුත් පසුගිය කාලේ කොවිඩ් වසංගතය සමයේ එය නැවත කරන්නට තිබු උනන්දුව නැති වී ගියා. ඊට පස්සේ තමයි මට හිතුණේ නැවත නවා ගී ප්‍රසංගයක් පැවැත්විය යුතුයි කියලා. කොළඹ නාලන්දා විද්‍යාලය මට මේ කටයුත්තේ දී බොහෝ උදව් කරනවා. ප්‍රසංගය පැවැත්වෙනවා දවස් දෙකකදි. මම මගේ රසිකයන්ට ආරාධනය කරනවා එදිනට එන්න කියලා නවා ගී ප්‍රසංගය නරඹන්න. ජීවිතේ දිහා ආපසු හැරිලා බලනකොට මට ලොකු සතුටක් දැනෙනවා.
මගේ බිරිය අරුණි. ඇයත් මගෙ පුතාලා දෙන්නත් මට මේ කටයුතු නිදහසේ කරගෙන යන්න හොඳ සහායක් දක්වනවා. එය මට ලොකු පහසුවක් වෙලා තියෙනවා.“
නවා සිය පුද්ගලික ජීවිතය ගැන පවසන්නේ එලෙසිනි.
ඉනෝකා සමරවික්‍රම