– ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය තියෙන්නේ කියලා ඉසුරු අයියා කියද්දි මම මාරම සර්ප්‍රයිස් වුණා
– රංගනය ගැන මම ඉගෙන ගන්න ගමන් ඉන්නේ
සෙලීනා කෲස් නර්තනයට මෙන්ම රංගනයට දක්ෂ නව පරපුරේ රංගන ශිල්පිනියක්. දැනුම් තේරුම් ඇති කාලේ පටන් වෙෙළඳ දැන්වීම්වලට එකතු වුණු සෙලීනා සිහින දැකලා තියෙන්නේ රංගන ශිල්පිනියක් වෙන්න. ඒ සිහිනය වැඩි කලක් නොගොසින්ම සෙලීනා ඉටු කරගෙන තියෙනවා. පුංචි තිරයෙන් වගේම මේ දිනවල තිරගත වන උදයකාන්ත වර්ණසූරියගේ ‘රිදී සීනු‘ චිත්‍රපටය තුළින් ඇයගේ රංගනයන් දැක ගන්න පුළුවන්.
සෙලීනා කොහොමද රංගනයට යොමු වෙන්නෙ?
මම අවුරුදු හතරේ ඉඳන් වගේ වෙළෙඳ දැන්වීම් කළා. ගොඩක් වෙෙළඳ දැන්වීම් කරලා තියෙනවා. ඔය අතරේ හිරු නාළිකාවෙන් පටන් ගත්තා සුපර් ඩාන්සර් කියලා ප්‍රෝග්‍රෑම් එකක්. අම්මයි මමයි හිතුවා ඒකට ගිහින් බලන්න. ඒකෙන් මම අවසන් 8 දෙනා අතරට ආවා. ඊට පස්සේ මට හිරු නාළිකාවෙන්ම අලුත් නාට්‍යයක් පටන් ගන්නවා කියලා කතා කළා. ඒක තමයි සිහින ගෙනෙන කුමාරියේ. නිවන්ත ප්‍රසාර අන්කල් තමයි මට ඒ අවස්ථාව ලබා දුන්නේ. එතැනින් පස්සේ තමයි තව වැඩවලට ඇරයුම් ලැබුණේ.
රඟපාන්න ආස හිතුණේ කොයි කාලෙද?
එහෙමම කියන්න මතක නැහැ. පොඩි කාලේ ඉඳන් කවුරු වෙන්නද ආස කියලා අහද්දී ඒ හැම තැනකදිම කිව්වේ මම ආස නිළියක් වෙන්න කියලා. පුංචිම කාලේ ඉඳන් වෙෙළඳ දැන්වීම් කළ කෙනෙක් නිසා ඒ තැන්වලදී ලැබුණු අත්දැකීම්, යාළුවො නිසා මම මේ ක්ෂේත්‍රයට ආස කළා.
රිදී සීනු චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ඔබ, කොහොමද ඒ අවස්ථාව ලැබුණේ?
මට ඒ අවස්ථාව ලබා දුන්නේ උදයකාන්ත වර්ණසූරිය අන්කල්. ඔහු මට ඒ අවස්ථාව ලබා දුන්නේ “සිහින ගෙනෙන කුමාරියේ” රඟපෑම දැකලා. එහි මගේ මල්ලිට ඉන්න චාහෙල්ව බලන ගමන් මාව දැකලා ඉසුරු ලොකුහෙට්ටිආරච්චි අයියාගෙන් මගේ ගැන අහලා තිබුණා. ඉසුරු අයියා මාව හොඳයි කියලා රෙකමන්ඩ් කරලා තිබ්බා. ඊට පස්සේ ඉසුරු අයියම තමයි මට කිව්වේ ගිහින් බලන්න කියලා. ඒ වෙද්දී ෆිල්ම් එකේ ඔඩිෂන් ඉවර වෙලා තිබ්බේ.
ඒ තුළින් ලැබුණ අත්දැකීම් කොහොමද?
ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය කරන්න තියෙන්නේ කියලා ඉසුරු අයියා කියද්දීම මම මාරම සර්ප්‍රයිස් වුණා, අනික උදයකාන්ත අන්කල් වගේ ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක් එක්ක ප්‍රධාන චරිතය කරන්න ලැබීම ලොකු සතුටක්.
රංගනය හිතපු තරම් ම සුන්දර ද?
ඔව්. මට නම් සුන්දර දෙයක්. එක එක විදිහේ අය මුණගැහෙනවා. ප්‍රවීණ අය එක්ක වැඩ කරන්න ලැබෙනවා. ගොඩක් දෙනෙක් හමුවෙන තැනක්. ඒ හැම කෙනෙක්ගෙන්ම මොකක් හෝ දෙයක් ඉගෙන ගත්තා. රංගනය ගැන මම තවම ඉගෙන ගන්න ගමන් ඉන්නේ. අපි වගේ අලුත් අයට ගොඩක් දේවල් කියලා දෙනවා. හොඳින් දෙයක් කළොත් ඒ ගැන කමෙන්ට් කරනවා. හොඳයි නම් හොඳයි කියනවා. අඩුපාඩු තියෙනවා නම් ඒවත් පෙන්වලා දෙනවා. ඒ නිසා ඇත්තටම සුන්දරයි.
ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?
මේ වෙද්දී ලස්සන මිනි සීරියස් එකක වැඩක් කරගෙන යනවා. ඒකේ පිටපත ලියන්නේ චාමර ප්‍රසන්න කොඩිතුවක්කු. වෙනස්ම කතාවක් ඒකේ තියෙන්නේ.
ඔබ උසස් පෙළට මොන විෂය ධාරාවෙන්ද පෙනී ඉන්නෙ?
ව්‍යාපාර අධ්‍යයනය, ගිණුම්කරණය සහ ආර්ථික විද්‍යාව.
දිගටම රඟපාන්න ද ආස ?
මගේ ප්‍රධාන ඉලක්ක වෙනම තියෙනවා. ඒ දේවල් එකිනෙක සපුරා ගන්න ගමන් රංගනය කියන එකත් මම අතහරින්නේ නැතුව කරගෙන යනවා.
ගෙදර අයගෙන් සහයෝගය ලැබෙනවද?
අම්මා තමයි මගේ හැම දේකටම ඉන්නේ. තාත්තත් මාව වෙෙළඳ දැන්වීම්වලට එක්කගෙන ගිහින් තියෙනවා. මම ඉන්නේ කොතැනද අම්මා එතැන ඉන්නවා. ඒ නිසා අම්මා මාර කට්ටක් කනවා මා එක්ක. තාත්තා එයාට පුළුවන් උපරිම සහයෝගය හැමදාම දෙනවා. මට වැඩක් ලැබුණාම තාත්තා ඒ ගැන හොයලා බලලා තමයි අවසර දෙන්නේ. අම්මා තාත්තා වගේම අයියලා දෙන්නත් කැමැතියි මගේ මේ කලා ගමනට. ඒ නිසා ගෙදර අයගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා.
මඟ තොටේදී සෙලීනාට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
අනේ ඒක නම් හරිම ෂෝක්. පොඩි ළමයි මගේ වයසේ අය සහ වැඩිහිටි අයගේ මට මඟ තොටේදීත් ආදරේ ලැබෙනවා. ගොඩක්ම ඒ ආදරේ ලැබෙන්නේ සිහින ගෙනෙන කුමාරියේ හි චරිතයට. ඒ එක්කම දැන් දැන් රිදී සීනු චිත්‍රපටය බලපු අයත් මුණගැහෙනවා. ඒ ආදරේට මමත් ආදරේ කරනවා.
සෙලීනා වැඩියෙන්ම කැමැති පුංචි තිරයට ද සිනමාවට ද?
මං කැමැති සිනමාවට. චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් කරලා එහි මංගල දැක්මට යන එක මගේ සිහිනයක්. මම හිතුවේවත් නැහැ ඒ හීනය මේ තරම් පොඩි වයසකදී සැබෑ වෙයි කියලා.
අනාගත බලාපොරොත්තු මොනවද?
මම ව්‍යාපාර අංශයෙන් ඉදිරියට යන්න කැමැති කෙනෙක්. ඒ නිසා තමයි ඒ අංශයෙන් උසස් පෙළ හදාරන්නේ. ඒ එක්කම රංගනයත් අතනොහැර කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.