කුඩා දරුවන්ගේ උපතින්ම පිහිටන හෘද සිදුරු වසා දමන ඔහු මිහිරි වදනින් විඩාපත් සිත් සුවපත් කරන රිජ්වේ ආර්යා ළමා රෝහලේ හෘද උරස් ශල්‍ය ඒකකයේ වෛද්‍ය දර්ශන විදානගම ය. කුඩා කල සිටම කවියට ගීතයට පෙම් බැඳි ඔහු කියවීම ද තම ජීවිතයේ කොටසක් කරගත්තේය. කොතෙක් ගී පද ඇමුණුව ද ඒවා ඔහු සන්තකයේම තබා ගෙන ඉඳහිට තනු යොදා රසවින්දේය. කාර්ය බහුල දිවියක් ගෙවන වෛද්‍ය දර්ශනට තම කුලුඳුල් ගීතය එළිදක්වන්නට ලැබෙන්නේ කොවිඩ් සමයේ ලද විවේකයේ දීය. අද අප හා එක්වුණු ඔහු ගී පද රචනයට යොමු වුණු ඒ අතීතය ගැන පැවසුවේය.
“පුංචි කාලෙදිමයි මං කවි, නිසදැස් ලියන්න පටන් ගත්තෙ. ඒ වගේම කියවීමටත් ගොඩක් ලැදියි. කාර්යබහුලත්වය නිසාම මඟහැරුණු ලිවීම ආයෙම පටන්ගත්තෙ කොවිඩ් කාලෙ ඒ ලැබුණු නිදහසත් එක්ක. මුල්ම ගීතය ලියවුණෙත් හරි අහම්බෙන්. කොවිඩ් කාලෙ දවසක් මං වැඩ ඉවර වෙලා යද්දි අහපු නිවුස් එකක කියවුණේ ලංකාවෙ පළමුවැනි කොවිඩ් රෝගීයා හමුවීමත් එක්ක ලොක්ඩවුන් එකකට යන්න වෙනව කියන පුවත. ඒක තමයි කොරෝනා මුකුලිත වේවා කියන ගීතයට පාදක වුණේ. මුලින්ම කවියක් විදිහට ලියවුණත් පස්සෙ ඒක මගේ බිරිය ප්‍රමුෂ්කා හිරුණි විතානගේගේ හඬින් ගීතයක් බවට පත්වෙන්නෙත් මගේම තනුවකට. ඇය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මෘදුකාංග ඉංජිනේරුවරියක්. මගේ හිතට එන අදහස්වලට මට හිතෙන විදිහට මට දැනෙන විදිහට මං සංගීතය මුසු කළා. මුලින්ම අපි ගෙදර රෙකෝඩ් කළේ. ඒක අහපු බොහෝ දෙනාගේ ප්‍රතිචාරය අනුව තමයි ස්ටුඩියෝ එකක රෙකෝඩ් කරලා චැනල්වලට දුන්නේ. ටීවී වගේම රේඩියෝ චැනල්වලත් ගියා. ලොක්ඩවුන් එක ඇදෙන අතරෙ තව තවත් ගීත ලියවුණා. නිදහස් දවස වෙනුවෙන් ‘නටමු නටමු ගී ගයා‘ ගීතය නිමවෙන්නෙත් මගේම සංගීතයට තිමෙත්යා විදානගම සහ ජනුලි විදානගම කියන මගේ දුවලා දෙන්නාගේ හඬින්. මේ වගේ ගීත දොළහක් විතර මේ වෙද්දි ලියවිලා තියෙනවා.
සංගීතය පිළිබඳ කිසිදු හැදෑරීමක් නොකළ ඔහුගේ තනු නිර්මාණ හැකියාව ගැන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පවා පුදුමය පළ කළ බව ඔහු අප හා පැවසීය. ඔහු ලියූ සියලු ගී පදවල තනු නිර්මාණ ඔහුගේම වුවත් මියුසික් කොම්පෝස් කිරීම මෙන්ම ඕඩියෝ රෙකෝඩින් සියල්ල ශ්‍රීනාද මියුසික් සමඟින් කසුන් දිසානායකගේ බව කීමටත් ඔහු අමතක කළේ නැහැ. තමා එක් කළ කවි සියල්ල පොතක් බවට පත්කිරීමේ අරමුණක් පවතින බව පැවසූ වෛද්‍ය දර්ශන ඉදිරියේ දී ද ඉඩ ලැබෙන අයුරින් ගී පද රචනයට එක්වන බව ද පැවසීය.