Home » ආදරේ පටලවා ගත්තොත් කලාවේ ගමනක් නෑ

ආදරේ පටලවා ගත්තොත් කලාවේ ගමනක් නෑ

සුජානි විනෝද්‍යා

by Mahesh Lakehouse
April 20, 2024 12:30 am 0 comment

– PLEASING THORNS සිනමාපටයට ලංකාවෙනුත් හොඳ ප්‍රතිචාර ලැබේවි කියන විශ්වාසය තියෙනවා
– අම්මෝ මෙයාගෙ ළඟින් යන්නත් බයයි කොල්ලො දම්මල ගස්සයි ද දන්නෙත් නැහැ කියලා සමහරු මාව දැක්කාම කියනවා

සුජානි විනෝද්‍යා මේ දිනවල වැඩිපුරම ජනප්‍රියත්වයට පත්ව සිටින්නේ සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නිර්මාණයේ රතු අක්කාගේ චරිතයෙනි. මැර කණ්ඩායමක් හැන්ඩ්ල් කරන රතු අක්කාට පණ පොවන ඇය තවත් විටෙක අහිංසක මිල්කි මිස් ලෙසින් ද පෙනී සිටින්නීය. මිල්කි මිස් යනු සංසාරිණීහි තිහස්වරගේ කාර්යාලයීය පෞද්ගලික ලේකම්වරියයි. අහිංසක චරිතයකින් මෙන්ම මැර චරිතයකින් එකම දින ප්‍රේක්ෂකයන් හමුවන සුජානිට සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නිර්මාණයේ මැර චරිතයට බොහෝ සේ ප්‍රතිචාර ලැබෙන බව ද පැවසුවාය.

“හිරු නාළිකාවේ විකාශය වන සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නිර්මාණයේ රතු අක්කාගේ චරිතයට පුදුමාකාර විදිහට ප්‍රතිචාර ලැබෙනවා. ඒක කටහැකර මැර චරිතයක්. කළු අජිත්ගෙ වයිෆ්. කළු අජිත් කියන්නෙත් මැරයෙක්. ඔහු පොලිස් අත්අඩංගුවට පත්වුණාට පස්සෙ මැර කල්ලිය සම්පූර්ණයෙන්ම හැන්ඩ්ල් කරන්නෙ රතු අක්කා. එතැනදි මට පාවිච්චි කරන්න වුණේම මැර භාෂාව. අධ්‍යක්ෂවරයාගෙන් වැඩිම වාර ගාණක් අහන්න ලැබුණෙ නංගි තව කට සැර වෙන්න ඕන කියන එක. අධ්‍යක්ෂ විදිහට කසුන් තරින්ද මට ලොකු සහායක් දුන්නා රතු අක්කගෙ චරිතය සාර්ථක කරගන්න.

ඒ චරිතයට ලැබෙන ප්‍රතිචාර එක්ක බලද්දි ඒ චරිතයට සාධාරණයක් කළා කියල මට හිතෙනවා. එක එක විදිහට ප්‍රතිචාර ලැබෙනවා. මං පාරෙ යද්දි සමහරු කියනවා මෙයා ටීවී එකේ වගේ නෙවෙයිනෙ කියලා. සමහර වෙලාවට පාරෙ යන්නත් බැරි තරම්. මාව දැක්කම සමහරු ‘අම්මෝ මෙයාගෙ ළඟින් යන්නත් බයයි, කොල්ලො දම්මල ගස්සයි ද දන්නෙත් නැහැ‘ කියනවා.

‘ඔයාට නම් ඉතින් සල්ලි ගොඩක් තියෙනවනේ. අපිටත් කීයක් හරි දෙන්නකො. වැඩිය ඕන නැහැ, ලක්ෂ දහයක් තිබුණම හොඳටම ඇති‘ කියලත් කියනවා. ඒත් මං බලනවා මොනවද මේ කියන්නෙ කියලා. පස්සෙ තමයි මතක් වෙන්නෙ ආ මේ රතු අක්කටනෙ කියන්නෙ කියලා. ඒකට කොහොම ප්‍රතිචාර ලැබුණත් මට සතුටුයි.

මේ චරිතය මං ගොඩක් හොඳට කරනව කියලා ස්ක්‍රිප්ට් රයිටර් වෙන ටෙලි නිර්මාණයකටත් මට ආරාධනා කළා. ඒකෙ වැඩත් ඉක්මනින්ම පටන් ගනීවි. ඒකෙ මේන් ‍රෝල් තුනෙන් එකක්. ඒ වගේම සුපුන් රත්නායකගේ ලලයි ලිලයි ලයි ටෙලි නිර්මාණයත් මේ දවස්වල විකාශය වෙනවා. මොනරා ටීවී එකේ අලුත් ටෙලි නිර්මාණයකටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. එකේ විශේෂත්වය වුණේ ඒ චරිතයේ නමත් සුජානි. හෙදියකගේ චරිතයක්.“

ශ්‍රීයන්ත රත්නායකගේ ධරණී ටෙලි නිර්මාණයේ නටාෂාගේ චරිතයෙන් මුලින්ම කලාවට පිවිසෙන සුජානි මේ වන විට පුංචි තිරය, රිදී තිරය මෙන්ම වේදිකාව ද තම රංගනයෙන් ප්‍රභාමත් කරමින් සිටින්නීය.‍

“මං රංගනයේ පළමු අත්දැකීම ලබාගත්තේ ශ්‍රියන්ත රත්නායකගේ ධරණී ටෙලි නිර්මාණයෙන්. මීෂාගේ යාළුවා නටාෂා විදිහට නර්තන කණ්ඩායමේ හිටියේ. ඊට පස්සේ ස්වර්ණවාහිනියේ විකාශය වුණු ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ කී ටෙලි නිර්මාණයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ අතරේ සිනමාවට සම්බන්ධ වෙන්නත් අවස්ථාව ලැබුණා. සිනමාවේ පළමු අත්දැකීම ලබාගත්තේ රජිත හිරාන්ගේ රයිඩර් චිත්‍රපටයෙන්. ඊට පස්සේ රන්දික විජේමාන්න අධ්‍යක්ෂණ කළ PLEASING THORNS (මධුර කටු) චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට සම්බන්ධ වුණා. ඒක සමන් අලංකාරගේ නිෂ්පාදනයක්. ජංගම දුරකතනය නිසා විනාශ වෙලා යන පවුල් ගැන තමයි ඒ චිත්‍රපටයෙන් කතා කරන්නේ. ඉන්ටනෙට් කාඩ් දාගෙන වීඩියෝ කෝල් අරගෙන ජීවිත විනාශ කරගන්න ළමයි ගැන මේකෙන් කියැවෙනවා. සමාජයට යහ පණිවුඩයක් දෙන කතා තේමාවකින් නිර්මාණය වුණු චිත්‍රපටයක්. මේ වෙද්දිත් කැනඩාවේ ප්‍රදර්ශනය වෙලා හොඳ ප්‍රතිචාර ලැබිල තියෙනවා. මේ මාසෙ ලංකාවෙ ප්‍රදර්ශනයටත් සියල්ල සූදානම්. PLEASING THORNS සිනමාපටයට ලංකාවෙනුත් හොඳ ප්‍රතිචාර ලැබේවි කියන විශ්වාසය තියෙනවා. සමාජයට පණිවුඩයක් දෙන්න පුළුවන් මේ වගේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලැබීමත් සතුටක්.

ඒ වගේම මේ දවස්වල සරත් දික්කුඹුරගේ කතරගම මනම්පේරිගේ කතාවත් වේදිකාගත වෙනවා. මනම්පේරිගේ යාළුවා විදිහට මං රංගනයෙන් එකතු වෙනවා. ඒක වෙනස්ම අත්දැකීමක් වුණා. පහුගිය දවස්වල කතරගම, තිස්ස වගේ පැතිවල දර්ශන වාර කිහිපයක් වේදිකාගත වුණා. ළඟදී කොළඹ එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත වීමට නියමිතයි. රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකට වේදිකාවෙදි ලබන සජීවී අත්දැකීම රංගනයට හොඳ පන්නරයක්. සජීවී ප්‍රතිචාරය කියන්නේ මාර හයියක්. ඉදිරියටත් වේදිකාවත් එක්ක රැඳෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මියුසික් වීඩියෝ කිහිපයකටත් රංගනයෙන් දායක වුණා. ලක්ෂ්මන් හිල්මිගේ ගීත හතරකට සම්බන්ධ වුණා.“

රංගනයේ විවිධ පැතිකඩ ඔස්සේ රංගනයේ යෙදෙන සුජානි විනෝද්‍යා ආදරයේදී නිහඬ චරිතයක් බව ද පැවසුවාය.

“මගේ පවුලේ ඉන්නෙ අම්මයි තාත්තයි මල්ලියි. අපේ ගම මතුගම. කලාව තුළ මට යන්න තව දුර ගමනක් තියෙනවා. මේ පටන් ගැන්ම විතරයි. ආදරයත් එක්ක මට මේ ගමන යන්න අමාරුයි. ඒ නිසා බැඳීම් නීතිරීතිවලින් නිදහස් වෙලා මේ විදිහට මේ ගමන යන්න හිතුවා. ඒ නිසා මං ආදරවන්තියක් නෙවෙයි කිවුවා නම් හරි.

නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division