‘තවත් ජයසූරිය’ කෙනෙකු වීමේ සිහිනය ගැහැනු දරුවකුට තිබුණා නම් ඒ චමරි අතපත්තුටය
ඇගේ දස්කම්වලින් තොරව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ජාත්‍යන්තර තරගයක් ජයග්‍රහණය කළේ නම් එ් අතළොස්සක් පමණි
මගේ මීළඟ හීනය විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අවසන් කණ්ඩායම් හතරට ශ්‍රී ලංකාව ගෙන ඒමයි
ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට වැඩි සැලකිල්ලක් යොමු නොවූ කාලයක් තිබිණි. ලෝක කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ‘ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් කවුන්සිලය‘ ‘(IWCC) නමින් වෙනම පාලක සභාවක් ස්ථාපිත කර තිබූ අනූව දශකයේදී ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් තිබුණේ නොතිබුණු ගාණටය. එවකට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා සමාජවල පමණක් නොව බාලිකා පාසල්වලත් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට තැනක් තිබුණේම නැත. බාලිකාවෝ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවූවා නම් එය විවේක කාලයට පමණක් සීමා වූවාක් විය. ගැහැනු දරුවන් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවීම අපේ වැඩිහිටියන් පවා දුටුවේ ‘වස ලැජ්ජාවක්‘ හැටියටය. පවුලේ අයියලා මල්ලිලා වත්තේ මිදුලේ නිවාඩු දිනවල ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවෙද්දී අක්කලා නංගිලා ද ක්‍රීඩාවට ඇති ආසාව නිසාම ඊට සම්මාදම් වෙද්දී වැඩිහිටි ගැහැනුන් සහ මිත්තණියන් එදෙස බලා සිටියේ ‘අනේ අපොයි‘ කියන්නාක් මෙන් කම්මුලේ අත තබාගෙනය. එවකට ඇතැම් ගැහැනු දරුවෝ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවීම පිරිමි පාර්ශ්වයේ ද හාස්‍යයට කාරණාවක් වී තිබිණි.
එහෙත් ක්‍රිකට් ක්‍රීඩාවට ළැදි කොළඹ බාලිකා පාසල්වල ඇතැම් ගැහැනු දරුවන් නම් ඒවා කනකට ගත්තේ නැත. ඔවුහු පාසලේ විවේක කාලයට පමණක් නොව නිවාඩු දිනවල අහල පහල පිට්ටනිවලත් හිතේ හැටියට ක්‍රිකට් ගැසූහ. එවකට අර්ජුනලාට, අරවින්දලාට, මහානාමලාට සිතින් පෙම් බැඳි මේ දැරියන් ආසාවට ක්‍රීඩා කළා මිස ක්‍රිකට් අනාගතයක් ගැන සිතුවේම නැත. එසේ සිතන්නට උඩගෙඩි දීමට කෙනෙකු සිටියේ ද නැත. ඒ හැර ගමේ ගොඩේ වෙල් ඉපනැල්ලේ වත්තේ පිටියේ කොල්ලෝ කුරුට්ටෝ සමඟ හරි හරියට ක්‍රිකට් ක්‍රීඩා කළ ‘චණ්ඩි කෙල්ලෝ‘ ද නොසිටියාම නොවේ.
කොළඹින් කිලෝමීටර් සියයකට එපිට උතුරු මැද පළාතට දිවෙන මාර්ගයේ පිහිටි ගොකරැල්ලේ ද එවකට එවැනි කෙල්ලෙක් සිටියාය. ඒ වෙද්දී ගොකරැල්ල මහ විද්‍යාලයේ ගැහැනු දරුවන්ට ක්‍රිකට් ක්‍රීඩාවක් නොතිබූ නිසාම මේ දැරිය ක්‍රීඩා කළේ කොල්ලෝ සමඟය. කුඩා වියේ වුවද ඇගේ කඩුල්ල දවා ගැනීම කොල්ලන්ට ලෙහෙසි වූයේ නැත.
මෙරට අස්සක් මුල්ලක් නෑර කොල්ලෝ කෙල්ලෝ ජීවිතයේ පළමු වතාවට ක්‍රිකට් පිත්තක් අතට ගත්තේ අර්ජුනගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව 1996දී එක්දින ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසුවය. එහෙත් 6 හැවිරිදි වියෙහි සිටි මේ දැරිය ඒ වන විටත් ක්‍රිකට් ක්‍රීඩාවේ අත්පොත තබා හමාරය. ඇය ක්‍රීඩාවට පූර්ණ වශයෙන් යොමු වූයේ පහේ ශිෂ්‍යත්වය සමත් වී ඉබ්බාගමුව මැදි විදුහලට ගියාට පසුවය. අද වන විට 34 හැවිරිදි වියෙහි පසුවන ‘යකඩ කෙල්ල‘ මේ යන්නේ එදා පටන් ගත්තු ගමන ය.
චමරි අතපත්තු…! නොඑසේ නම් අතපත්තු මුදියන්සේලාගේ චමරි ජයංගනී කුමාරි ශ්‍රී ලංකාවේ ගැහැනු දරුවන් අතර පමණක් නොව විදෙස් රටවල දැරියන් අතර පවා ‘අයිකන්‘ එකක් බවට පත් වී ඇත්තේ එසේ පැමිණි අතිදුෂ්කර ගමනක ප්‍රතිඵලයක් හැටියටය. මේ ‘ගමේ කෙල්ල‘ට එවකට බොහෝ වැඩිහිටියන්ගේ අවලාද හා අවවාද සිතට ලොකු බරක් වන්නට ඇත.
ක්‍රිකට් පිත්ත සුදු ගවොමට නොගැළපෙන බව බොහෝ අය කියන්නට ඇත. ඇතැමුන්ට ඇය ‘කොලු විසේ ඇති කෙල්ලෙක්‘ හැටියට පෙනෙන්නට ද ඇත. එහෙත් ඒවායින් ඇය සැලුණේ ද නැත. ඇයට ඉලක්කයක් තිබිණි. අරමුණක් තිබිණි. සනත් ජයසූරිය1996 ලෝක කුසලානයේ හොඳම ක්‍රීඩකයා වූවාට පසු එකල මෙරට බොහෝ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ට තිබුණු ‘තවත් ජයසූරිය‘ කෙනෙකු වීමේ සිහිනය ගැහැනු දරුවකුට තිබුණා නම් ඒ චමරි අතපත්තු ය. ජයසූරිය මෙන්ම වමතින් පිත්ත හසුරුවන මේ ප්‍රවේගකාරී පිතිකාරිනිය පසුකාලීනව ලොව පුරා විශිෂ්ට පන්දු යවන්නියන්ට අනුකම්පා විරහිතව පහර දෙන්නේ ද එදා 1996 ලෝක කුසලානයේදී ප්‍රතිවාදී පන්දු යවන්නන්ට ජයසූරිය එළව එළවා පහර දුන් ආකාරයටමය. අදටත් ඇගේ ක්‍රිකට් වීරයා ජයසූරියම ය.
අනූව දශකයේ ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ වංශකතාවට අර්ජුනලා අලුත් පරිච්ඡේදයක් එකතු කිරීමත් සමඟ රටේ ඇති වූ ක්‍රිකට් පුනරුදයෙන් මෙරට ගැහැනු දරුවන්ටත් පොඩි වාසියක් ලැබිණි. එහෙත් ඒ වාසිය ශ්‍රී ලංකාවේ ගැහැනු දරුවන්ට අත්කර දීමට කාලයක සිට දැඩි උත්සාහයක නිරතව සිටි දිරිය සම්පන්න කාන්තාවක් ඒ වනවිට මෙරට සිටියාය. ඇය ග්වේන් හේරත් ය. ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ගමන් මඟ හෙළි පෙහෙළි කිරීමේ නොතිත් ආසාවෙන් පසු වූ ඇය එවකට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය ලබා ගැනීමට දැරූ අප්‍රමාණ වෙහෙස ගැන දන්නේ ඇය සමීපව ඇසුරු කළ අය පමණි. එවකට මෙරට කාන්තා ක්‍රිකට් පාලනය වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංගමයේ නිර්මාතෘවරිය සහ සභාපතිනිය ද වූ ඇය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තරය ගෙන ගිය අතර, 1997 වසරේ නොවැම්බරයේ 25 වැනිදා නෙදර්ලන්තයට එරෙහිව කොළඹදී ශ්‍රී ලංකා කාන්තා පිලට එක්දින තරග වරම් ලබා දීමට ද සමත් වූවාය. ඊට වසර 12කට පසුව ජාතික කණ්ඩායමට සේන්දු වූ චමරි කාන්තා ක්‍රිකට් ලෝකය දික්විජය කරමින් ඉතිරි කොටස සම්පූර්ණ කළාය. ඉන් නොනැවතී ඇය තවදුරටත් ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව තනි අතින් ඇදගෙන යමින් සිටී.
දැන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සහ චමරි අතපත්තු යනු දෙකක් නොව එකකි. තරගයක් දිනා ගැනීමට නම් ඇය දස්කම් දැක්විය යුතුමය. දශකයකට වැඩි කාලයක් ඇගේ දස්කම්වලින් තොරව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ජාත්‍යන්තර තරගයක් ජයග්‍රහණය කළේ නම් එය අතළොස්සක් පමණි. 1997 කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියට පළමුවරට සහභාගි වූ ශ්‍රී ලංකා පිල මෙහෙයවනු ලැබූ වැනේසා බෝවන්ගේ සිට (වැනේසා ද සිල්වා) චමනී සෙනෙවිරත්නලා, ශෂිකලා සිරිවර්ධනලා, ශ්‍රීපාලී වීරක්කොඩිලා ඇතුළු ක්‍රීඩිකාවන් රැසක් මෙරට කාන්තා ක්‍රිකට් වංශ කතාවට ඇතුළත් වූවද, එය පුරවා දැමුවේ චමරි අතපත්තුගේ පිත්තෙන් බිහි වූ අසමසම වාර්තා ගොන්න ය.
එදා දකුණු අප්‍රිකාවේදී එක්දින තරගයක වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹා ගොස් ජයග්‍රහණය කිරීමේ කාන්තා එක්දින ක්‍රිකට් ලෝක වාර්තාව ඇගේ නවතම වාර්තාවය. ඒ වන විට ඇය අතින් බිඳ වැටුණු වාර්තා සහ ඇය විසින් බිහි කරනු ලැබූ වාර්තා කොපමණදැයි චමරිවත් දන්නේ නැති බවට සහතිකය.
ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතයේ වසර 15ක අත්දැකීම් ඇති දෙස් විදෙස් ක්‍රීඩිකාවන්ගේ නොමඳ ගෞරවයට සහ ආදරයට පාත්‍ර වූ සිටින චමරිගේ ඇගේ ක්‍රිකට් පිපාසය නම් තවමත් සිඳී ගොස් නැත. ඇයට තවත් ඉලක්ක සහ සිහින ගොඩකි. එහෙත් ඒ සියල්ල ඇගේ පෞද්ගලික සිහින හෝ ඉලක්ක නොව මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම ගොඩ නැඟුණු දේවල්ය.
‘මගේ මීළඟ හීනය විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අවසන් කණ්ඩායම් හතරට ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීමයි.‘ වීර කාව්‍යයක් බඳු සිය ඉනිමෙන් අනතුරුව ඇය දකුණු අප්‍රිකාවේදී කියා සිටියාය.
‘මම අවුරුදු 15ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරලා තියෙනවා. පිතිකාරිනියක් විදිහටත්, නායිකාව විදිහටත් ජයග්‍රහණ රැසක් අත්කරගෙන තියෙනවා. මේ පාර විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව අවසන් කණ්ඩායම් හතරට එක්වීම මගේ ලොකුම හීනයයි.‘ චමරි එසේ කීවාය.
‘මම දන්නවා ඒක ගොඩක් අමාරු අභියෝගයක්. හැම කණ්ඩායමක්ම එක වගේ දක්ෂයි. ඒ වගේම හැම තරගයක්ම හැම කණ්ඩායමකටම වැදගත්. අපි තරගයෙන් තරගයට අවධානය යොමු කරලා එතැනට ළඟාවීම තමයි අරමුණ‘
චමරිගේ සුවිශේෂී ලක්ෂණය වන්නේ කිසිදු විටෙක ක්‍රීඩාවේදී සහ ඉන් පිටතදිත් ආත්මාර්ථකාමී නොවීමය. ඇය නිතරම කියන්නේ අති දක්ෂ යොවුන් ක්‍රීඩිකාවන් පිරිසක් මේ වනවිට බිහි වී සිටීම නිසා ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් අනාගතය අති සුන්දර වනු ඇති බවය.
‘මම නිතරම තරුණ ක්‍රීඩිකාවන් පස්සෙන් ඉන්නවා. මම හොඳ තරුණ කණ්ඩායමක් ගොඩ නැඟුවා. මට ඕන කරන්නේ මේ තරුණ ක්‍රීඩිකාවන් ලෝක කුසලානයේදී දස්කම් දක්වනවා බලන්නයි. ඒ වගේම මම එයාලා ගැන ආඩම්බර වෙනවා. එයාලා හොඳින් ක්‍රීඩාවේ නිරතවෙනවා. මම මේ අවුරුදු 15ට ක්‍රීඩාව වෙනුවෙන් සෑහෙන කැපකිරීමක් කරලා තියෙනවා. ඒ ගැන මට හරි සතුටුයි. නායිකාවක් හැටියටත් මම ආඩම්බර වෙනවා.‘ ඇය වැඩිදුරටත් කීවාය.
එදා දකුණු අප්‍රිකාවේදී ඇය නොදැවී ලකුණු 195ක් රැස් කිරීම ඇගේ ක්‍රිකට් ජීවිතයේ විශිෂ්ටතම ඉනිම වුවද, ඇය තවමත් ප්‍රියකරන්නේ මීට වසර 7කට පෙර එංගලන්තයේ පැවැති එක්දින ලෝක කුසලානයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී රැස් කළ ලකුණු 178 ඉනිමය.
‘ඒ ඉනිම තමයි මගේ හොඳම ඉනිම හැටියට මම හිතන්නේ. මොකද ඒ ඉනිමෙන් පස්සේ තමයි මගේ ක්‍රිකට් ජීවිතය වෙනස් වුණේ. මිනිස්සු මා ගැන දැනගත්තේ. මට ලෝකය පුරා ‘ෆ්‍රැන්චයිස්‘ විස්සයි20 ලීග් තරගවලට ක්‍රීඩා කරන්න ආරාධනා ලැබුණේ. මම ඒ ‘ෆ්‍රැන්චයිස්‘ ක්‍රීඩාවෙන් ලොකු දෙයක් ඉගෙන ගත්තා. අත්දැකීම් සම්භාරයක් මගේ ජීවිතයට ඇතුළු කරගත්තා. ‘ෆ්‍රැන්චයිස්‘ ක්‍රිකට් කියන්නේ සල්ලිම නෙවෙයි. දැනුම හුවමාරු වීම, අත්දැකීම් එකතු වීම. ඒ නිසා එදා ඔස්ට්‍රේලියාවට එරෙහිව රැස් කළ ඉනිම තමයි අදටත් මගේ හොඳම සහ ප්‍රියතම ඉනිම හැටියට මම හිතන්නේ.‘
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ ජාත්‍යන්තර එක්දින ක්‍රීඩාවට දැන් අවුරුදු 27කි. මේ දීර්ඝ කාලපරිච්ඡේදය තුළ
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර එක්දින තරග වරම් දිනාගැනීමට සමත් වූ ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 77කි. එහෙත් ඒ සියලු ක්‍රීඩිකාවන් අතුරින් අදටත් එකම ශතකලාභිනිය චමරිය. එතෙක් මෙතෙක් ජාත්‍යන්තර එක්දින පිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වූ ශතක සංඛ්‍යාව 9ක් වන අතර, ඒ සියලු ශතක රැස් වූයේ චමරිගේ පිත්තෙනි. වසර 2010 අප්‍රේල් 18 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව කැරීබියන් දූපත් සමූහයේදී චමනි සෙනෙවිරත්නගේ නායකත්වයෙන් යුතුව එක්දින තරග වරම් ලැබූ චමරි එදා දැවී ගියේ ලකුණු බිංදුවටය. එදා තරගයේදී ශ්‍රී ලංකාවෙන් බිහි වූ තවත් විශිෂ්ට ක්‍රීඩිකාවක වූ ශෂිකලා සිරිවර්ධන දැවී ගියේ ද ලකුණු බිංදුවටය. චමරිගේ එක්දින ශතක ගොන්නේ පළමුවැන්න වාර්තා වූයේ ඇගේ 7 වැනි එක්දින තරගයේදීය. එදා 2011 අප්‍රේල් මස 28 වැනිදා ඇය නෙදර්ලන්තයට එරෙහිව පී.සරා ඕවල් පිටියේදී රැස්කළ ලකුණු සංඛ්‍යාව 111කි. සිය එක්දින ක්‍රිකට් දිවියේ ඉහළම ඉනිම ලෙස එදා දකුණු අප්‍රිකාවේදී නොදැවී ලකුණු 195ක් රැස් කළේ අප්‍රේල් 17 වැනිදාය. ඇගේ එක්දින ක්‍රිකට් ජීවිතයේ වසර 14 සම්පූර්ණ වූ දිනයේදීමය. ඇගේ දෙවැනි එක්දින ශතකය වාර්තා වූයේ තවත් තරග 23කට පසුවය. දකුණු අප්‍රිකාවට එරෙහිව 2014 ඔක්තෝබර් 17 වැනිදා ඇය ලකුණු 106ක් රැස් කළාය. සිය හොඳම එක්දින ඉනිම ලෙස එංගලන්තයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ඇය නොදැවී ලකුණු 178ක් රැස් කරනු ලැබුවේ ඉන් අනතුරුවය. 2017 ජූනි මස 29 වැනිදාය. හරියටම ඇගේ ක්‍රිකට් වීරයා සනත් ජයසූරියගේ උපන් දින දවසේදීය. තවත් එක්දින ශතක 6ක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයට දායාද කිරීමට ඇයට වැය වූයේ තවත් තරග 40ක් පමණි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් කාන්තා විස්සයි20 ජාත්‍යන්තර තරග බිමේ එකම ශතකලාභිනියද වන චමරි දැන් මෙරට දහස් සංඛ්‍යාත පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ පරමාදර්ශි චරිතයකි. කාන්තා ක්‍රිකට් පිටියට පිවිසුණු පරම්පරා කිහිපයකම ක්‍රිකට් වීරවරිය වේ. 1997 වසරේදී කාන්තා එක්දින තරග වරම් දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි ක්‍රීඩිකාවන් සමඟින් සිය ක්‍රිකට් ජීවිතය ආරම්භ කළ මේ විශිෂ්ට ක්‍රීඩිකාව දැන් ක්‍රීඩා කරමින් සිටින්නේ ඇයට වඩා බෙහෙවින් අඩු වයස් මට්ටමක පසුවන තුන්වැනි පරපුර සමඟිනි. එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය ඉලක්ක කරමින් නම් කර ඇති ශ්‍රී ලංකා පිලට ඊයේ පෙරේදා එකතු වූ රත්ගම දේවපතිරාජයේ 15 හැවිරිදි ශෂිනි ගිම්හානි ඊළඟ පරපුරට අයත් ක්‍රීඩිකාව වන්නීය. ඉදිරියේදී චමරි අතපත්තු ක්‍රීඩාවෙන් විශ්‍රාම ගිය ද, ඇගේ විශිෂ්ටත්වය තවත් පරම්පරා ගණනාවකට මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට දස්කම් සපිරි ක්‍රීඩිකාවන් බිහිවීමට කදිම උත්තේජනයක් වනු ඇත.
lෆවුස් මොහොමඩ්