යුක්තිය මෙහෙයුම ආරම්භයත් සමඟ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් එම මෙහෙයුම සඳහා ලබා දී ඇති සහයෝගය සැලකිය යුතු එකකි. යුක්තිය මෙහෙයුමට පෙර සිටද කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සිදු කළ මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගන්නා ලද පාතාල සැකකරුවන්, සොරුන්, කොල්ලකරුවන් සහ මත්ද්‍රව්‍ය, මත්පෙති ප්‍රමාණයද සංඛ්‍යාවෙන් විශාලය.
බස්නාහිර සහ දකුණු පළාත්වල පාතාල කල්ලි මර්දනය සඳහා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු කණ්ඩායම් 20ක් විමර්ශන ආරම්භ කරන්නේ පසුගියදාය. එම විමර්ශනවලට සමගාමීව කොළඹ සීසීඩීය හෙවත් කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ කණ්ඩායම් 5ක් කොළඹ පාතාලය මර්දනය සඳහා විමර්ශන ආරම්භ කරන්නේ කොළඹ අපරාධ කල්ලි කණ්ඩායම් ගැන බොහෝ තොරතුරු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධරයන් සතු බැවිනි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ කණ්ඩායම් මෙහෙයුම් ආරම්භ කර දින හතක් පමණ ගතවෙද්දී ඉතා සුවිශේෂී ප්‍රතිඵල අත්කරගෙන තිබුණි. කොළඹ පාතාල අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගෝලබාලයන් ලෙස කටයුතු කරන ලද පුද්ගලයන් 35 දෙනෙකු මෙම මෙහෙයුම්වලදී කොටුකර ගැනීමට කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධරයන්ට හැකිවීම සුවිශේෂය.
මෙහි ඇති සුවිශේෂී තත්ත්වය වන්නේ අත්අඩංගුවට ගත් පාතාල ගෝලබාලයන් සතුව තිබූ තුවක්කු, පතරොම්, අත්බෝම්බ සහ මත්ද්‍රව්‍යද පොලිසියට සොයාගත හැකි වීමයි.
කෙසෙල්වත්තේ ධනුක, කංජිපානි ඉම්රාන්, දෙමටගොඩ චමින්ද, පූකුඩුකන්නා නමැති පාතාල ප්‍රබලයන්ගේ ගෝලබාලයන් 35 දෙනෙකු මෙලෙස කොළඹ සී.ඩී.ඩීයට කොටුවීම සුවිශේෂිය.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු පාතාල ගෝලබාලයන් කීප දෙනෙකු සම්බන්ධව පොලිසිය රැඳවුම් නියෝග ලබාගෙන තිබුණේ ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යාම සඳහාය. කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ වැඩ බලන ස්ථානාධිපති ආර්.එම්.ආර්. චතුරංග සහ තවත් උප පරීක්ෂකවරු දෙදෙනෙක් පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙක් සහ පොලිස් විශේෂ කාර්ය බළකා කණ්ඩායමක් මේ විමර්ශන සිදු කළේ කණ්ඩායම් 5ක් ලෙසටය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මෙලෙස පාතාල කල්ලි ප්‍රබලයන්, මත්ද්‍රව්‍ය ජාවාරමුන් අත්අඩංගුවට ගැනීම සඳහා දිගින් දිගටම සිදු කරන ලද විමර්ශනයේදී සිදු වූ ප්‍රධානතම සිදුවීමක් වූයේ අපරාධ කොට්ඨාසයේ සේවයේ නිරත බුද්ධි නිලධරෙයක්ද විමර්ශන රාජකාරි සඳහා වාහනයකින් ගමන් කරමින් සිටියදී කාරයකින් පැමිණි පුද්ගලයකු එම බුද්ධි නිලධරයා ගමන් කළ වාහනයට වෙට්ටු දමා ඔහු සමඟ බහින්බස් වී ඔහුට පිස්තෝලයක් එල්ල කර පලා යෑමයි.
මේ පුද්ගලයා බුද්ධි නිලධරයාට පිස්තෝලය එල්ල කර තර්ජනය කර තිබුණේ මරදාන ප්‍රදේශයේදීය. පසුව ඔහු පලා යන ලදි. බුද්ධි නිලධරයා මේ බව වහාම අපරාධ කොට්ඨාසයට දැනුම් දීමෙන් අනතුරුව පොලිස් පණිවුඩයක් මඟින් රටේ සෑම පොලිස් ස්ථානයන්ටම අදාළ කාරය සහ එහි ගමන් කරන පිස්තෝලකාරයා පිළිබඳව දැනුම්වත් කරන ලදි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු මධ්‍යම අධිවේගී මාර්ගයේ යග්ගපිටිය පිටවීමේ දොරටුවේදී අල්ලා ගැනීමට පොලිස් නිලධරයන්ට හැකි විය.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු 29 හැවිරිදි අයෙකි. ඔහුගේ පදිංචිය මාවනැල්ල, කෙහෙල්පනල්ල ප්‍රදේශයේය. සැකකරු කුලී රියැදුරෙකි. ඔහු සතුව තිබුණු සෙල්ලම් පිස්තෝලයක්ද පොලිසිය සොයා ගන්නා ලදි. සැකකරු පොලිසියට කියා ඇත්තේ එම සෙල්ලම් පිස්තෝලය තමාගේ පුංචි පුතාට අයත් බවය. පුතු කාරයට ගොඩවූ අවස්ථාවක එය කාරයේ අමතක කර ගොස් ඇති බවද සැකකරු පොලිසියට කියා ඇත. එහෙත් සැකකරු හෙළි කරන්නේ සත්‍යදැයි සෙවීම සඳහා ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී තිබිණි.
මේ අතර පොලිසිය, විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව දිගින් දිගටම සිදු කරන ලද මෙහෙයුම්වලින් බේරීම සඳහා ඇතැම් අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරමුන්, පාතාල කල්ලි සාමාජිකයන් කොළඹින් ඈත දුර බැහැර ප්‍රදේශවලට ගොස් එම ප්‍රදේශවලත් ඉතා රහසිගත ස්ථානවල සැඟවී සිටින බවට ලැබී ඇති තොරතුරුවලට අනුව මාතලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් රෝහණ ගමගේ ගේ උපදෙස් මත මාතලේ කොට්ඨාසයේ පොලිස් ස්ථාන 10ක නිලධාරීන් 200ක් පමණ යොදවා එම ප්‍රදේශවල පිහිටි මැණික් පතල්වල සෝදිසි මෙහෙයුම් සිදු කැරිණි.
මෙහිදී පුද්ගලයන් 19 දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගන්නා ලද අතර ඔවුන්ගේ අනන්‍යතාව පරීක්ෂා කර ඔවුන් අපරාධවලට සම්බන්ධ දැයි සෙවීම සඳහා පරීක්ෂණ පැවැත්වේ.
දීපාල් සමරසේකර