“ඒ යි මචං… කරනවා නම් වැඩක් තියෙනවා. වැඩි කල් යන්න ඉස්සෙල්ලා දෙන්නම ගොඩ…”
“ගොඩ යනව නම් බල බල ඉන්නේ මොකටද? පටන් ගමු. මටත් ඕනේ මීට වඩා වැඩිපුර ගාණක් අතට එන වැඩක් කරන්න තමයි…” මහඋළුගෙදර ගත කරද්දි දැන හඳුනාගත් මිතුරුකම තවදුරටත් වර්ධනය කර ගැනීමට ඔවුන් දෙදෙනා අර ඇන්දේ එලෙසිනි. හෝමාගම හා අවිස්සාවේල්ල උසාවිවල හෙරොයින් සම්බන්ධ මහාධිකරණ නඩු දෙකක් පවතින ඔහු කොස්ගම ප්‍රදේශයේ පදිංචි තරුණ එක්දරු පියෙකි. මත්කුඩු කුඩා පැකට් ලෙස සකස් කර බෙදාහැරීමේ කටයුතු සිදු කළ ඔහු මිතුරාගේ අලුත් යෝජනාව ඉතසිතින් පිළිගත්තේ ඊට වඩා ගාණක් සොයා ගැනීමට තිබූ කෑදරකම හේතුවෙනි.
මිතුරාගේ යෝජනාව නරකම නැත. ඔහු යතුරුපැදියක් උස්සාගෙන ආවේ මේ ගැන කතා කර වැඩි දිනක් ගතවී යාමටත් මත්තෙනි.
“උඹට පුළුවන්නේ බයිසිකල් හදන්න. ඒ හින්දා මේක ‘වෙනස් කරලා’ හදන වැඩේ උඹම කරපන්. සැපයීම මගෙන්. මේවා සේල් කරගත්තම නිකම්ම අපි ගොඩ….”
ඔහු නිවෙසේ ‘වින්කලයක්’ ආරම්භ කිරීමට කටයුතු කළේ එලෙසිනි. එන්ජින් අංක, චැසි අංක වෙනස් කර නව යතුරුපැදියක් නිර්මාණය කිරීම ඔහුට ‘කජු කන්නා‘ වැනිය. හිතුවාටත් වඩා මිතුරා ක්‍රියාශීලි වීම නිසා ඔහුට බොහෝ වැඩ සඳහා වැඩි කාලයක් උදා වුවද ඒ සියල්ල මනා ලෙස කළමනාකරණය කරගෙන සිදු කළේ සීරූවටය. මේ අතර දන්න කියන උදවිය ද තම යතුරුපැදි අලුත්වැඩියා කර ගැනීමට ඔහු සොයාගෙන පැමිණීමට කටයුතු කළේ නරක පුරුදු අත්හැර හොඳ කෙනෙකු වීම ගැන ප්‍රශංසා කරමිනි.
ටික කලක් ගත වන විට වාහන සේල් ආයතනයක අවශ්‍යතාවද පැන නැඟුණේ මෙලෙස සකස් කළ යතුරුපැදි අලෙවි වන තුරු තැබීම කළ යුතු වූ බැවිනි. මේ නිසා වාහන සේල් ආයතනයක හිමිකරුවෙකු බවට පත්වීමට ද ඔහුට වැඩි කාලයක් ගත වූයේ නැත. යම්කිසි ගමනක් යාමට වුවමනා වූ විට තම ආයතනයේම විකිණීමට තබා ඇති යතුරුපැදියකින් ගමන් කිරීමට ඔහු දෙවරක් සිතුවේ නැත.
මේ අතර ඔහු තවත් ව්‍යාපාරයක් පටන් ගැනීමට කටයුතු කළේ වැඩිපුර මුදලක් ජීවන බරට එකතු කර ගත යුතු බැවිනි. ඒ බුදුපිළිම කුලුනු නිෂ්පාදනය කිරීමයි. නිවස ඉදිරිපිට ප්‍රධාන මාර්ගයට මුහුණලා මුලින්ම ඇත්තේ ඔහුගේ බුදුපිළිම කුලුනු ව්‍යාපාරයයි. ඉතාම දර්ශනීය ආකාරයට ඕනෑම කෙනෙකුගේ සිත් වසඟ කර ගැනීමට සමත් මෙම ව්‍යාපාරික ස්ථානය පසුකර යන කෙනෙකු නැවත හැරී බැලීමටද අමතක කළේ නැත. බුදුපිළිම කුලුනු මිල දී ගැනීමට පැමිණෙන ජනතාව වාහන සේල් ආයතනයටද එබිකං කර බලා යතුරුපැදි අතගා මිල ගණන් අසා හෝ යෑමට පෙලඹීම ඔහුට විශාල අස්වැසිල්ලකි.
2022 වසරේ සැප්තැම්බර් මාසයේ 02 දා කොළොන්නාව කොමර්ෂල් බැංකුව ඉදිරිපිට නතර කර තිබූ ස්කූටි වර්ගයේ යතුරුපැදියක් මිතුරා විසින් සොරාගෙන ගොස් මොහුට ලබා දී තිබුණේ ව්‍යාපාරයේ ‘ආයොජනයක්’ වශයෙනි. එහි හිමිකරු සෑම තැනකම පාහේ සොයා බලා සවස් වන විට කොළොන්නාව පොලිසියට පැමිණිලි කළේ යතුරුපැදියේ කැබිහෝල් එකේ තිබූ මෙම ස්කූටියේ පොත සහ අංගොඩ ප්‍රදේශයේ වෙනත් ඩිස්කවරි වර්ගයේ යතුරුපැදියක පොත ද අහිමි වීම් ගැන දුක් වෙමිනි.
බුදුපිළිම කුලුනු ව්‍යාපාරිකයා එම යතුරුපැදියෙන් කොස්ගම නගරයට පසු දින ගියේ කොළොන්නාව පොලිසිය විසින් සීසීටීවී කැමරා පරීක්ෂා කරමින් යතුරුපැදිය පිළිබඳව තොරතුරු සොයමින් සිටින අවස්ථාවේදීය. මොහු විසින් කොස්ගම ඉන්ධන පිරවුම් හලෙන් යතුරුපැදියට ඉන්ධන ලබා ගත්තේ තවත් රවුමක් ගැසීමට විය යුතුය. එහෙත් පොලිසිය සමඟ කැමරා පරීක්ෂා කරමින් සිටි යතුරුපැදිය හිමිකරුගේ ඥාතියකුගේ ජංගම දුරකතනයේ එම යතුරුපැදියේ කිව් ආර් කේතය සටහන්ව තිබූ නිසා කොස්ගම ඉන්ධන පිරවුම් හලෙන් ඉන්ධන ලබාගත් පුවත වසන් කිරීමට නොහැකි විය. කොළොන්නාව පොලිසිය විසින් මේ බව කොස්ගම පොලිසියට දැනුම් දීමෙන් පසු මොහු යතුරුපැදිය සමඟ අත්අඩංගුවට පත් වූයේ නොසිතූ අයුරිනි. එම නඩුවෙන් ඇප ලබා පැමිණි ඔහු සුපුරුදු කටයුතුවල නියැළෙමින් සිටියේය.
මේ අතර පසුගිය වසරේ මැයි 05 දින තුම්මෝදර, වග ප්‍රදේශයේ පදිංචි යුද හමුදා සේවයේ නිරත පුද්ගලයෙකු අතුරුගිරිය, හබරකඩ, පනාගොඩ හමුදා කඳවුරට පැමිණ රාත්‍රී 8ට පමණ ඔහුගේ ඩිස්කවරි වර්ගයේ යතුරුපැදිය කැන්ටිම අසල නතර කර රැකියාවට ගියේ පසු දින උදෑසන ආපසු නිවසට යන බලාපොරොත්තුවෙනි. එහෙත් මෙම ඩිස්කවරි යතුරුපැදියද සොරා ගත් අතිජාත මිතුරා ඔහුට එය ලබා දුන්නේ දෙවරක් නොසිතමිනි.
ඉන්ධන ලබා ගැනීමට ගොස් අහිමි වූ යතුරුපැදියේ තිබූ ඩිස්කවරි වර්ගයේ යතුරුපැදියේ පොත ඔහුට මෙහිදී මහඟු පිටිවහලක් වන්නට ඇත. මිතුරා ලබා දුන් ඩිස්කවරි වර්ගයේ යතුරුපැදිය එම පොතේ අංකවලට වෙනස් කර නවීකරණය කළේ ඔහුගේ අත්දැකීම් හා දැනුමද ප්‍රයෝජනයට ගනිමිනි. එහි නොම්මර තහඩුව ගලවා ඉවත් කර ව්‍යාජ ලෙස සකස් කළ නොම්මර තහඩුවක් සවි කර චැසි අංකය ද වෙනස් කර ඉන්පසු එය ස්ථානගත වූයේ ප්‍රදර්ශන කුටියේ අලෙවිය සඳහාය. සීතාවක කර්මාන්තපුරයේ රැකියාව කළ තරුණයකුට යතුරුපැදියක අවශ්‍යතාව නිරන්තරයෙන්ම දැනී තිබිණි. ඔහු බුදුපිළිම කුලුනු අයියාගේ වාහන සේල් එකට ආවේ ඒ නිසාය.
“මේක පාවිච්චියට හොඳයි මල්ලි. වැඩි ගාණක් නෑ. එකයි විසිපහයි වෙන්නේ. ඔයාට ඒ ගාණට මේ වගේ හොඳ එකක් ගන්න ලැබෙන්නේ නෑ. මං ඉතින් රෙපයාර් කරලා හදන ඒවනේ…“
‘සීතාවකපුර මල්ලී’ අවශ්‍ය ලියකියවිලි පරීක්ෂා කර බලා ඒවා නිවැරදි නිසා ඩිස්කවරි වර්ගයේ යතුරුපැදිය මිල දී ගෙන ගියේ පස්වනක් ප්‍රීතියෙනි.
මෙම යතුරුපැදි සොරකම පිළිබඳ විමර්ශන කටයුතු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට පැවරෙන්නේ එහි අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී ජනක කුමාරගේ නියෝග පරිදිය.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහගේ උපදෙස් පරිදි විමර්ශන අංක දෙකෙහි ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිහාල්ට පැවරිණි.
මේ අනුව සිදු කළ විමර්ශනයේදී එකම අංකය සහිත යතුරුපැදි දෙකක් කොස්ගම සහ අංගොඩ ප්‍රදේශවල තිබෙන බවට අනාවරණය කර ගැනීමට හැකි වී තිබිණි.
“අනේ සර්… මං මේක ගත්තේ එකයි විසිපහකට… කොස්ගම සේල් එකෙන්. ඒ අයියා බුදුපිළිම කුලුනු හදන කෙනෙක්. එහෙම හොර වැඩ කරන කෙනෙක් නෙමෙයි එයා. අනික සේරම චෙක් කරලා මම ගත්තේ. කිසි වැරැද්දක් තිබුණේ නෑ…“
මෙම යතුරුපැදියේ එන්ජින් අංකය වෙනස් කර නොතිබීමෙන් එහි හිමිකරු තුම්මෝදර, වග පදිංචි යුද හමුදා සෙබළාගේ බව සනාථ වූ අතර, නැති වූ පොතට අයත් අනෙක් යතුරුපැදිය එහි හිමිකරු සතුව අංගොඩ ප්‍රදේශයේ නිවසේ භාවිත නොකර තිබුණේ පිටුපස රෝදයේ ටයර් එකද ගලවා දමාය.
කොන්ක්‍රීට් බුදුපිළිම කුලුනු සෑදීම පසෙක තබා මේ අනුව ඔහුට සිදුවූයේ මහඋළුගෙදර සැප ලබා ගැනීමටය. හොර බඩු බව නොදැනුවත්ව වුවද එය මිල දී ගත් මල්ලිට සිදුවූයේද යතුරුපැදිය පොලිසිය භාරයට පත්කර හිස් අතින් යාමටය.
බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී ජනක කුමාරගේ උපදෙස් මත ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහගේ මෙහෙයවීමෙන් විමර්ශන අංක දෙක ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිහාල්, සැරයන්වරුන් වන (60162) වසන්ත, (61249) ලංකා, (73067) අනුරාධ, කොස්තාපල්වරුන් වන (88994) හසිර්ඩීන්, කොස්තාපල් රියැදුරු (100964) මධුෂංක යන නිලධාරීහු විමර්ශන සිදු කළහ.
විනීතා මානෙල් ගමගේ - හල්තොට සමූහ