Home » පොලොන්නරුව මත් කළ ‘අයිස් අක්කා’ අල්ලන්න පොලිසිය ගහපු ගැටේ

පොලොන්නරුව මත් කළ ‘අයිස් අක්කා’ අල්ලන්න පොලිසිය ගහපු ගැටේ

by thanushika
April 20, 2024 12:30 am 0 comment

අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා තම සහෝදරයා සහ අවුරුදු තුනක් පමණ වයසැති සිඟිති දියණිය කැටුව මින්නේරිය බස් නැවතුම්පොළට පැමිණි කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට පොලොන්නරුව කොට්ඨාස මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත කුමාර ඇතුළු කණ්ඩායමට හැකි වනුයේ පසුගියදාය.

පොලොන්නරුව කොට්ඨාස මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත කුමාරට ලැබුණු තොරතුරකට අනුව කාන්තාව සමඟ ඇගේ සහෝදරයා ද අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබුණි. මෙම වැටලීමේදී සැකකාරියගෙන් අයිස් මත්ද්‍රව්‍ය මිලදී ගත් හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් 5දෙනෙක් ද අයිස් මිලිග්‍රෑම් 6ක් සමඟ අත්අඩංගුවට ගැනිණි.

පොලිස් නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ එක්දරු මවක වන රූමත් කාන්තාවකි. ඇය හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සමඟ විවාහ ජීවිතයක් ගත කර ඇති අතර එහිදී මේ දෙපල දියණියකගේ මවුපිය පදවිය ද ලැබූහ. අවුරුදු 30ක් පමණ වයසැති ‘අයිස් අක්කා’ නමැති මේ ජාවාරම්කාරියගේ දියණියගේ වයස අවුරුදු තුනකි.

හිඟුරක්ගොඩින් සමුගත් ‘අයිස් අක්කා’ නිට්ටඹුව ප්‍රදේශයට ගොස් එම ප්‍රදේශයේ මිතුරකු සමඟ කාලය ගත කරන අතර මිතුරා සමඟ අඹුසැමියන් ලෙස ද හැසිරී ඇත. මේ අතර ඇය මෙලෙස සම්බන්ධවී ඇත්තේ මහා පරිමාණ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමඟ බව ඇය හඳුනාගෙන තිබුණ ද ඔහුගෙන් මිදීමට ඇයට නොහැකිවී ඇත.

තම පෙම්වතා යන ගමන්මඟම යෑමට අදහස් කළ ‘අයිස් අක්කා’ සිය අතමිට සරුකර ගන්නට වැඩි කාලයක් ගත කළේ නැත. ඒ අයිස් ජාවාරමට අත ගැසීමෙනි. ලැබෙන මුදල් අරපිරිමැස්මෙන් තබා ගැනීමට අදහස් කළ ඇය බැංකු ගිණුම් කිහිපයක්ද හදා ගත්තාය.

අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමට ඇගේ සහෝදරයා ද සම්බන්ධ කරගත්තාය. පොලිස් නිලධාරීන්ගෙන් බේරීමට ද ඇය උපායමාර්ගයක් සැලැසුම් කළාය. පොලිසියට කිසිම සැකයක් ඇති නොවන ලෙස මෙම අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම දිගටම කරගෙන යෑම සඳහා මල්ලිත් සමඟ ‘යන ගමනට’ තවම අවුරුදු තුනක් පමණ වයසැති තම දියණිය ද ඇය එක්කර ගත්තාය.

කිසිවකුට සැකයක් ඇති නොවන ලෙස ඇය දඹුල්ල, හබරණ, මින්නේරිය, හිඟුරක්ගොඩ, පොලොන්නරුව යන ප්‍රදේශවලට බස්රථවලින් ගමන් කරමින් කාලයක් තිස්සේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන ගියේ පොලිස් ඇසට වැලි ගසමිනි.

යුක්තිය මෙහෙයුම යටතේ පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා, සහකාර පොලිස් අධිකාරිවරුන් වන ප්‍රමිත අබේසිංහ, චානක ද සිල්වා, හිඟුරක්ගොඩ සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල යන නිලධරයන්ගේ උපදෙස් පරිදි පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය ස්ථානාධිපති ප්‍රසන්න ජාගොඩ, කොට්ඨාස මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත කුමාර, කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඒ.ටී. බණ්ඩාර යන නිලධාරීන් වැටලීම් සිදු කරමින් සැකකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදා තිබිණි. මේ අතර හිඟුරක්ගොඩ, මින්නේරිය, පොලොන්නරුව ප්‍රදේශවල අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කරන කාන්තාවක් පිළිබඳ තොරතුරක් මේ නිලධාරීන්ට ලැබුණේ මෙම වැටලීම සිදුකරන අතරතුරදීය. පොලොන්නරුව කොට්ඨාස මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත කුමාරට අයිස් අක්කා පිළිබඳ වැදගත්ම තොරතුර ලැබුණි.

එම තොරතුර පොලිස් පරීක්ෂක වසන්ත කුමාරට ලැබුණේ අත්අඩංගුවට ගත් පුද්ගලයකු මාර්ගයෙනි. අයිස් මත්ද්‍රව්‍ය සමඟ එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා රැඳවුම් නියෝග මත අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ පොලිස් පරීක්ෂක වසන්ත කුමාර, අයිස් අක්කාගේ ගමන්මඟ පිළිබඳ තොරතුරු රැසක් සොයා ගැනීමට සමත් විය.

සති කිහිපයක් එලෙස අයිස් අක්කා පිළිබඳ තොරතුරු එකතු කරගත් පොලිස් පරීක්ෂක වසන්ත කුමාර පොලිස් අත්අඩංගුවේ සිටින අයිස් අක්කාගේ හිතවතා මාර්ගයෙන් දුරකතන ඇමතුමක් දුන්නේ “රුපියල් 20,000ක් එකවුන්ට් එකට දැම්මා. ඉතිරි 20,000 දෙන්නම්. අක්කේ ඔයා මින්නේරියට අයිස් අරන් එනවද?” යනුවෙනි.

කතා කරගත් පරිදි ‘අයිස් අක්කා’ සිය මල්ලි සහ තම දියණිය ද කැටුව බස්රථයකින් මින්නේරිය බස් නැවතුම්පොළට පැමිණියේ දුරකතන ඇමතුම අනුව අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහාය. එහෙත් වැඩි වේලාවක් ගත නොවිණි. වෙස්වළාගෙන මින්නේරි නගරයේ සැඟවී සිටි පොලිස් පරීක්ෂක වසන්ත කුමාර ඇතුළු පොලිස් කණ්ඩායමක් සැකකාරිය අත්අඩංගුවට ගන්නේ ක්ෂණිකවය. පොලිස් නිලධාරීන් කාන්තාව සහ ඇගේ මල්ලී ද අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔවුන් සතුව තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20 ද සොයා ගන්නා ලදි. අත්අඩංගුවට ගත් සැකකාරියගෙන් සහ ඇගේ මල්ලිගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් විසින් අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කරන හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් පස්දෙනෙක් අයිස් ග්‍රෑම් 6ක්ද සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකිවිය.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් 7 දෙනා හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත්කර නඩු පැවරීමට මින්නේරිය පොලිසිය කටයුතු කරන ලදී.

පොලොන්නරුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වාගේ උපදෙස් මත පොලොන්නරුව කොට්ඨාස මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත කුමාර, සැරයන් (71995) චන්ද්‍රසේන, කොස්තාපල් (86710) උරේෂ්, (37041) රුවන්, (28490) ප්‍රියංකර, (23344) ගයාන්ත, කාන්තා කොස්තාපල් (7088) නදී ශාන්දනි, පොලිස් කොස්තාපල් රියදුරු (80943) සඳුන් යන නිලධාරින් විසින් මෙම වැටලීම සිදුකරන ලැබුණි.

ඇළහැර සරත් වෙලගෙදර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division