ඉඩමක් මිල දී ගැනීමකදී මෙන්ම විකිණීමේදී පළමුව අපේ මතකයට නැඟෙන්නේ ඉඩම් කච්චේරියයි. ඉඩමක නිත්‍යානුකූලභාවය එසේත් නැතිනම් යම්කිසි ඉඩමක් නිරවුල් ද යන්න දැනගැනීමට ඇති විශ්වසනීයම ස්ථානය වන්නේ ද එයයි. මඩකළපුව ප්‍රදේශයෙන් ‘ව්‍යාජ ඉඩම් කච්චේරියක්’ ගැන අපට අසන්නට ලැබෙන්නේ පසුගියදාය. ඒ විශේෂ කාර්ය බළකායේ නිලධාරින් පිරිසක් සිදු කළ සූක්ෂම වැටලීමක ප්‍රතිඵලයක් ලෙසිනි.
“සර්… හොරට ඔප්පු හදන ‘පොට් එකක්’ තියෙනවා… මෑන් ඒ වැඩේ කාටවත් අහුවෙන්නෙ නැතිවෙන්න කරගෙන යනවා…” ඒ පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් විශේෂ කාර්ය බළකා කලවංචිකුඩි කඳවුරට ලැබුණු දුරකතන ඇමතුමකි.
මේ පිළිබඳ එස්.ටී.එෆ් කලවංචිකුඩි කඳවුරේ නිලධාරින් ද පසුගිය කාලයේ සිට ඇත්තේ දැඩි සෙවිල්ලෙනි. ඒ බුද්ධි නිලධාරින්ට ද මේ ගැන ඉව වැටී තිබූ නිසාවෙනි. තොරතුරක් ලැබූ සැණින් කලබල නොවීම එස්.ටී.එෆ්. නිලධාරින්ගේ ස්වරූපයයි. ඒ ගැන නිවැරදිව සොයා බලා කෙසේ හෝ තම ඉලක්කය ජය ගැනීම ඔවුන්ගේ එකම අභිප්‍රාය විය.
ආරක්ෂක රාජකාරි සඳහා කාත්තන්කුඩි ප්‍රදේශයට එස්.ටී.එෆ්. නිලධාරින් පිරිසක් පිටත්ව යන්නේ සුපුරුදු පරිදි මෙම ව්‍යාජ ඉඩම් කච්චේරිය කරගෙන යන පුද්ගලයා නිවසේ සිටිනා බවට නිශ්චිත තොරතුරක් ලැබෙන්නේ ද ඔය අතරය.
“සර්… මෑන් ඉන්නවා ගෙදර… දැන්ම ආවොත් අතටම අල්ල ගන්න පුළුවන්…” ඔත්තුකරු පොලිසියට එලෙස කීවේය.
එවෙලේම එස්.ටී.එෆ්. ජීප් රථය හැරවෙන්නේ එම නිවෙස දෙසටය. එය විශාල තාප්ප මෙන්ම ගේට්ටුවකින් වට වුණු සුවිසල් මන්දිරයකි. බැලූ බැල්මට මෙය කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවෙසක් මෙනි. ගේට්ටුවට තට්ටු කරනා එස්.ටී.එෆ්. නිලධාරින් සිටියේ වටපිටද දැඩි විපරමිනි. පිරිමි පුද්ගලයකු පැමිණ ගේට්ටුව විවෘත කරන්නේ ඔය අතරය.
“අපි එස්.ටී.එෆ්. එකෙන්. අපට මේ ගේ පොඩ්ඩක් සර්ච් කරන්න ඕන…”
“හරි එන්න සර්…” එම පුද්ගලයා පොලිසියට එලෙස කියන්නේ නිවිහැනහිල්ලේය.
ඔහුගේ කිසි කලබලයක් ද නැත. තමන් මේ පැමිණියේ ‘හරි ගෙදරට’ ද යන්න එස්.ටී.එෆ්. නිලධාරින්ගේ සිත් තුළ ද කුකුසකි. ඒ වන විටත් නිවෙසට එස්.ටී.එෆ්. රැකවල් දමා අවසන්ය.
“එන්න සර්… ඇතුළට…”
එම පුද්ගලයා නිවසේ දොර ද විවෘත කර එස්.ටී.එෆ්. නිලධාරින් නිවස තුළට රැගෙන ගියේ බයක් සැකක් නැතිවය. නිවස පුරා සෝදිසි කළ නිලධාරින් සාලයේ මේසයක් මත තිබූ ෆයිල් මිටියක් රැගෙන එන්නේ ඔය අතරය.
“මේ මොනවද?”
“ඔය මගෙ ඩොකියුමන්ට් ටිකක් සර්…”
බැලූ බැල්මට මේවා ඉඩම් ඔප්පුය.
“එක එක අයගෙ ඔප්පු මොකද මෙහේ…? මේවා ඉඩම් කච්චේරියෙනේ තියෙන්න ඕන…” එස්.ටී.එෆ් නිලධරයෝ නිවැසියාට එලෙස පැවැසුහ.
එම පුද්ගලයාට කටඋත්තර නැති වන්නේ ඒ මොහොතේය.
“සර්… මේ සීල් වගේකුත් තියෙනවා… ප්‍රාදේශීය ලේකම්ලගෙ ඒවත් තියෙනවා… තව ලෝයර්ස්ලගෙත් තියෙනවා…“ යැයි එස්.ටී.එෆ්. නිලධරයෙක් තම ප්‍රධානීයා අමතා එසේ කීවේය.
මේ ස්ථානය ව්‍යාජ කච්චේරියක් බව ඔප්පු කිරීමට සාක්ෂි දැන් හොඳටම ප්‍රමාණවත්ය.
“සර්… අපි මේක ගොඩින් බේරගමු…” ඒ සැකකරුගෙන් ඉල්ලීමකි.
“ගොඩින්…?” ඒ එස්.ටී.එෆ්. නිලධාරියකුගේ උස් හඬකි.
තමන්ට බේරීමක් නැති බව දැනගත් සැකකරු නිහඬ වන්නේ කරන්නට දෙයක් නැති තැනය.
මෙලෙස අත්අඩංගුවට ගන්නේ කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. මොහු සමෘද්ධි නියාමකයකු ලෙස කලක් සේවය කර ඇති බවට ද ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී තිබේ. සමෘද්ධි නියාමකයකුට මෙලෙස සුවිසල් නිවසක් සෑදීමටද ඔහුට මූල්‍යමය හැකියාවක් නැත. එසේනම් මොහු මේ ජාවාරම කලක් තිස්සේ ජයටම කරගෙන ගොස් ඉන් මුදල් උපයා ඇති බවද හොඳින් පැහැදිලිය.
සැකකරු නිවසට පැමිණෙන කාට හෝ සැක නොසිතෙන පරිදි සාලය මැද වෙනම මේසයක් තබා මේ ව්‍යාජ ඉඩම් කච්චේරිය කරගෙන ගොස් තිබේ. සැකකරු කියූ පරිදි එක් හොර ඔප්පුවක් සෑදීමට රුපියල් 10,000 සිට ඉහළට මුදල් අය කරගෙන ඇත. මඩකළපුව දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ඇතුළු ඉහළ තනතුරු දරන රාජ්‍ය නිලධාරින්ගේ ව්‍යාජ මුද්‍රා මොහු සාදාගෙන ඇති අතර ඒ ඒ අයගේ අත්සන් ද වෙනම කොළවල සටහන් කරගෙන තිබී හමු වී ඇත. තවද මේ ව්‍යාජ ඔප්පු සෑදීමේදී නීතිඥවරුන්ගේ නම් ද භාවිත කර ඇති අතර ඊට මේ වන විට ජීවතුන් අතර නැති නීතිඥවරුන්ගේ නම් භාවිත කර තිබිණි.
ඒ වන විට නිවසේ හිස් ඉඩම් ඔප්පු පෝරම් 205ක්, හිස් ත්‍යාග ඔප්පු පෝරම් 58ක්, හිස් ඉඩම් පැවරුම් ඔප්පු 63ක්, හිස් ඉඩම් බලපත්‍ර 300ක්, විවිධ නිලධාරින්ගේ ආදර්ශ අත්සන් සහිත පත්‍රිකා 30ක්, විවිධ පුද්ගලයන් 12 දෙනකුගේ ජාතික හැඳුනුම්පත්වල ඡායා පිටපත් හා රියැදුරු බලපත්‍ර ඡායා පිටපත්, ව්‍යාජ ඔප්පු සකස් කිරීම සඳහා යොදා ගන්නා ලද ලිපිගොනු 135ක්, ව්‍යාජ ලෙස සකස් කරන ලද නිල මුද්‍රා 19ක්, පරිගණකයක්, මුද්‍රණ යන්ත්‍රයක් සහ ඉංග්‍රීසි අකුරු ලියනයක් එස්.ටී.එෆ්. නිලධාරින් විසින් සොයාගෙන තිබිණි.
සැකකරු කාත්තන්කුඩි පොලිසියට භාර දීමෙන් අනතුරුව අප්‍රේල් 29 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කර තිබිණි.
විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දරගේ උපදෙස් මත අම්පාර – මොනරාගල කලාප අණදෙන නිලධාරි පොලිස් අධිකාරි සම්පත් ගුණසිරි, එවකට මඩකළපුව ප්‍රාදේශීය අණදෙන නිලධාරි සහකාර පොලිස් අධිකාරි චමින්ද වෑවිටවිදාන යන නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් කලවංචිකුඩි කඳවුරු අණදෙන නිලධාරි ප්‍රධාන පොලිස් පරීක්ෂක නැණතුංග ලියනගේ ක්‍රිශාන්ත, කලවංචිකුඩි දෙවැනි කඳවුරු අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක අසංක දිල්ෂාන්, සැරයන්වරුන් වන (771) නිමල්, (18940) අජිත්, (40363) අචල, කොස්තාපල්වරුන් වන (38291) ජනක, (92136) මධුෂාන්, (93185) ජයවීර, කොස්තාපල් රියැදුරු (19786) ජයරත්න යන නිලධාරීහු වැටලීමට එක් වූහ.
ගයාන් සංජය