Home » පෙරහරටත් ආ කොළ අයිස්

පෙරහරටත් ආ කොළ අයිස්

by thanushika
April 27, 2024 12:30 am 0 comment

මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම ශීඝ්‍ර ලෙස ඉහළ යද්දී ඊට විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය ද එක්වූයේ ලෝකයේ මත්ද්‍රව්‍ය ජාවාරම හා මෙරට ජාවාරම්කරුවන් අත්වැල් බැඳ ගැනීමත් සමඟය. එහි අලුත්ම මත්ද්‍රව්‍ය විශේෂයක් බවට සොයාගෙන ඇත්තේ “කොළ අයිස්”ය. මෙම අයිස් මත්ද්‍රව්‍ය තරුණ පිරිස් ආකර්ෂණය වන ආකාරයෙන් නිෂ්පාදනය කර ඇති අතර එහි වෙළෙඳපොළ වටිනාකම ද ඉහළ අගයක් ගෙන තිබිණි.

ඒ අතර පසුගිය දිනක මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහට තොරතුරුකරුවකුගෙන් ලද පණිවුඩයකින් කියවුණේ මිරිස්සේ පැවැත්වීමට නියමිත පෙරහරක් ඉලක්ක කරගනිමින් විශේෂිත මත්ද්‍රව්‍ය වර්ගයක් ගෙනැවිත් අධික මිල ගණන් යටතේ බෙදාහැරීමට සැලසුමක් ඇති බවය. ඒ සඳහා ‘කට්ට සම්බල්’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයකු හා ‘ටැටූ සුරංග’ නම් පුද්ගලයෙකු මූලිකව ක්‍රියා කරන බවද එම තොරතුරේ සඳහන් විය.

මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහට ලද තොරතුර පිළිබඳව මුලින්ම දන්වා සිටියේ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අශෝක ප්‍රියංකරටය. ලද එම තොරතුර එලෙස දැනුම් දුන් පණ්ඩුල වීරසිංහගේ නියෝගය වූයේ කඩිනමින් ආවේක්ෂණ රාජකාරියේ නිලධාරීන් පිරිසක් යොදවා මෙම තොරතුර පිළිබඳව වඩාත් නිවැරදි දත්ත රැස්කර ගන්නා ලෙසය.

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ උප පොලිස් පරීක්ෂක අශෝක ප්‍රියංකර තමන් සමඟ සේවයේ යෙදෙමින් අත්දැකීම් ලබා සිටි නිලධාරී කණ්ඩායම රැස් කරවා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිය පණ්ඩුල වීරසිංහ ලබා දුන් තොරතුර සහ ඒ අනුව ලබා දුන් නියෝගය පිළිබඳව දැනුම්වත් කරන ලද අතර නිලධාරී කණ්ඩායම සමඟ අශෝක ප්‍රියංකර ද සෘජුවම ආවේක්ෂණ රාජකාරිවල යෙදුණේ තමා කෙරෙහි තම උසස් නිලධාරියා තැබූ විශ්වාසය වඩාත් තහවුරු වන ආකාරයෙනි.

අශෝක ප්‍රියංකර සහ සැරයන්වරුන් වන 13464 බුද්ධික, 19243 දේශක, කොස්තාපල්වරුන් වන 99297 මධුසංක, 32298 සඳරුවන්, 95875 අරුණ සහ පොලිස් කොස්තාපල් රියැදුරු 36614 ප්‍රියන්ත යන නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායම මිරිස්ස ප්‍රදේශයට විටින්විට ගොස් ආවේක්ෂණ රාජකාරි කරමින් සිටියදී දැනගන්නට ලැබුණේ ආසන්න දිනක මිරිස්සේ පෙරහර පැවැත්වීමට සංවිධානය කර ඇති බවයි. ඒ අනුව පෙරහර පැවැත්වෙන දිනය ඉලක්ක කර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් තම කණ්ඩායම් යොදවා ඉතා සූක්ෂම ලෙස මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ නිරත විය හැකි බව අශෝක ප්‍රියංකර ඇතුළු පොලිස් කණ්ඩායම වැඩි අවධානයකින් කටයුතු කරද්දී ඔවුන් හා කටයුතු කරමින් සිටි තොරතුරුකරුවකුගෙන් දැනගන්නට ලැබුණේ ‘කට්ට සම්බල්’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සහ ‘ටැටූ සුරංග’ නමැත්තා මිරිස්සට පැමිණ වැඩ අරඹා ඇති බවය.

ඔවුන් සිටින ඉසව්වක් පිළිබඳව ද තොරතුරුකරු විසින් අශෝක ප්‍රියංකරට විස්තර ලබාදී තිබූ හෙයින් පොලිස් කණ්ඩායම රහසිගත ලෙස අදාළ ස්ථානය වටකොට මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට ක්ෂණිකව තීරණය කළේ ජාවාරම්කරුවන් දෙදෙනා පලා යාමෙන් වළක්වාගෙන අත්අඩංගුවට ගැනීමේ අරමුණෙනි.

කිසිවකුටත් සැක නොසිතන ලෙස තම කණ්ඩායම එක් තැනකට රැස්කර ගත් උප පොලිස් පරීක්ෂක අශෝක ප්‍රියංකර මෙහෙයුම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දී මෙහෙයුම දියත් කිරීමට මත්තෙන් තම උසස් පොලිස් නිලධාරියා වූ මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහට තමා සොයාගත් තොරතුරු සහ ක්‍රියාත්මක කිරීමට සූදානම්කොට ඇති සැලසුම පිළිබඳ වහා දැනුම්වත් කරන ලද අතර අවශ්‍ය උපදෙස් ද ලබා ගත්තේය.

ඒ අනුව අදාළ සැක සහිත ස්ථානය වට කළ පොලිස් කණ්ඩායම එහි මත්ද්‍රව්‍ය පැකට් කිරීමට සූදානමින් සිටි සැකකරුවෙකු පොලිස් භාරයට ගෙන පරීක්ෂා කළේය. එහිදී ඔහු සතුව තිබූ සුදු පැහැති අයිස් මත්ද්‍රව්‍ය පැකට් කීපයක් සොයා ගත් අතර සැකකරු වැඩිදුර පරීක්ෂාවට ලක් කිරීමේදී ඔහුගේ යට ඇඳුමේ සඟවාගෙන තිබියදී කුඩා පැකැට්ටුවල අසුරන ලද කොළ පැහැති පැකට් කරන ලද යම් ද්‍රව්‍යයක් සොයා ගැනීමට ද හැකි විය. එය වැඩිදුර පරීක්ෂාවට ලක් කිරීමේදී දකුණු පළාතට පළමුවරට හඳුන්වා දෙන ලද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලද තොරතුරේ සඳහන් වූ විශේෂ මත්ද්‍රව්‍ය බවට සැක පහළ කළ පොලිස් කණ්ඩායම ඒ පිළිබඳව වැඩිදුරටත් කළ විමර්ශනයේදී අනාවරණය වූයේ එය කොළ පැහැති අයිස් මත්ද්‍රව්‍ය බවයි.

අදාළ ස්ථානයේ වැඩිදුරටත් සිදු කළ පරීක්ෂාවේදී එහි සිටි තවත් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගත් අතර එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු විස්සත් විසිපහත් අතර වයස්වල පසුවන්නන් බවට හඳුනා ගත්තේය.

වැඩිදුර විමර්ශනයේදී හඳුනා ගැනීමට හැකි වූවේ ඔවුන් දෙදෙනා පොලිස් කණ්ඩායම විසින් සොයන ලද කට්ට සම්බල් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයා සහ ටැටූ සුරංග නම් තැනැත්තා බවය. ඔවුන් විසින් අලෙවිය සඳහා සූදානම් කරමින් සිටි කොළ අයිස් මත්ද්‍රව්‍ය පැකට්ටුවක් පෙරහර නැරඹීම සඳහා පැමිණෙන්නන් හට රුපියල් දසදහසත්, විසිදහසත් අතර මුදලකට විකිණීමට සූදානමින් සිටි බව සැකකරුවන් විසින් සිදුකරන ලද පාපෝච්චාරණවලදී අනාවරණය වී තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම ඇතුළු වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා වැලිගම පොලිසියට භාර දී තිබුණි.

ජයසිරි පේදුරුආරච්චි - ගන්දර සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division