කෝපි මල්
රන්වන් හිරුරැස් උදාවට පෙර පිපි කෝපි මල්
තද නිල් තුරු අතු මත පේළියට පිපි කෝපි මල්
පිනි බිඳු විසිර සුදු පැහැයෙන් දිලෙන කෝපි මල්
කවි සිතකට සොඳුරු සිතුවිලි මැවෙන කෝපි මල්
සුදෝ සුදු පොකුරු පොකුරු කෝපි මල්
මීමැසි කැල ගුමු ගුමුව නඟන කෝපි මල්
ඈතින් මෑතින් සුවඳ හමන කෝපි මල්
අම්මේ ඔබේ සුවඳ දැනෙනා කෝපි මල්
සුනේත්රා විජේරත්න
යුග දිවි ගමන
නෙක නෙක ගැටලු බාධක මතුවන විටදී
විසඳාගත යුතුය නිසි කල නිසි පරිදී
තීරණ තනිව ගෙන වැඩ කළ විට වැරදී
දිවි මඟ කරන සටනෙදි නිතරම පරදී
කළ යුතු නොකළ යුතු කිවයුතු නොකිව යුතු
හරි දෙය වැරදි දෙය පටලා නොගත යුතු
ඇසු දුටු පමණින්ම නොසොයා නියම තතු
පිළිගනු එපා වැනසෙයි ජීවිතය මතු
අජිත් ජෝතිය කරසිංහ
වෙච්ච දෙයක්
පසුගිය සමේ වට මහ වැහිවලට තද
රටෙහිම වගාවන් වැනසී නොසිතු ලෙද
සුප් එකකට පවා ගන්නට බැරිව අද
එළවළු ගණන් ගොස් ඇත හිඟය මැද
හිඟකම ඇතත් අස්වනු ලද යුතු රටට
එයි අඩු නැතුව එළවළු කඩයට පොළට
ඇති හැකි අයට කම් නැහැ දැනුණට මිටට
එළවළු මිලෙන් වැදුණෙත් දුප්පත් අපට
වම්බටු දඹල මෑ කරවිල මිරිස් පවා
ගත හැක කාගෙ කාගෙත් පොඩි ඉඩක වවා
නොවවා සිටියොතින් අප සිත් දුකෙන් දවා
එළවළු ගණන් යයි තව හිඟයකුත් මවා
ඩී.සී.වැලිකල
මල්වර සොබාදහම
දොඹ සපු නා වැටකේ මල් පිපී සුවඳ දෙමින් කැලේ
අඹ කජු කොස් පල බර වී සතුට පිරී නුවන් හැලේ
ඉඹ ඉඹ නල වැල් ඇසුරින් නෙලුම් ඕලු දසුන් විලේ
සුබ අවුරුදු අසිරි මවයි කොවුල් ගීත දෙමින් තොලේ
මල් වර වු ලකුණු කියයි එරබඳු මල් පිපී ගසේ
සල්මල් මකරඳ සුවඳට බිඟු කැල වෙත හැදුණි විසේ
පිල් මොණරකු ගයති රඟති මොණරිට ඇති වන්න තොසේ
වෙල් ඉපනැල්ලේ ළමයින් ගයන ගීත කණට ඇසේ
රඹකැන් අතිරස මුංගුලි කොකිස් සුවඳ නැහැය දනී
අඹ කජු පුහුලන් කන්නට පොඩි උන් ගස්වලට පනී
සුබ අවුරුදු නැකැත්වලට බුද ජය ගති නසා සනී
ඔබ අප හැමටම තෙරුවන් බලයෙන් සිත සතුට දුනී
මුණසිංහ නිස්සංක
සක්විති රජෙක්
පෙර කාලයේ අවුරුදු සිරි සිහි වෙද්දී
සුසුම් නැඟෙනවා අද හා සසඳද්දී
අටු කොටු පිරී බත බුලතින් සරු වෙද්දී
අවුරුදු උදා විය තුරුලිය පිබිදෙද්දී
ගුණ නැණ බල මහිම ගෙන දුන් ගුරු දෙගුරුයි
වැව දාගබ දැය සුරකූ විහාරයයි
සොබා දමට මුල්තැන දුන් හෙළ සිරිතයි
අවුරුදු මිහිර මිහිරක් කළ හැටි මතකයි
එපා දොස් තෙපුල් වු දේ වුණාදෙන්
සෝබන කතා පොරොන්දු දිය වී යද්දෙන්
රට ගොඩ නඟන දන උල්පත් මතු වෙද්දෙන්
සක්විති රජෙක් පාලනයට පැමිණෙද්දෙන්
නාරංවල ජේ.ජේ. රාජපක්ෂ
ආදරය
කුලය බලය ධනය පිවිතුරු ආදරයට වුවමනා නැහැ
මහ මන්දිර යාහන වාහන නැතිවට කමක් නැහැ
දෙහදක බැදුණු සෙනහස තරම් වටිනා දෙයක් නැහැ
සිහිවටනයයි රතු රෝසමල් අමතක කරලා බැහැ
සැඩොල් කුලයක ඉපදුන රුවැති අසෝකමාලා
සාලිය කුමරු පෙම් බැන්දේ කුලය අමතක කරලා
පචාචාරා සිටු දියණිය මෙහෙකරුට ආදරෙන් බැදිලා
සිටු මැදුරෙන් නික්මුණේ ආදරය ඔහුට පුදලා
ඩබ්.පි. ඉන්ද්රානි
මේ ඔබටයි
කළ යුතු සියලු දේ කර බාධක මැද්දේ
නෑසෙන ලෙසින් නින්දා අපහස සද්දේ
නිවැරදි ඉලක්කයටයි වැඩිපුර විද්දේ
ජයගමි මියෙනතුරු මම ජීවන යුද්දේ
වැටිලා ඇත්තේ කටු ඔටුනුය හිස මතට
තුති මල් පොකුරු වෙනුවට ගල් මුගුරු කැට
සිත තුළ වෛරයක් නැත මගේ කිසිවෙකුට
මා මියගියත් මම නම් බිය නොමැත හෙට
එන දුක පැණි රසයි කියමින් සිනාසෙමි
ලද දෙය ලබාගෙන මම හිත හදාගමි
ඉවසුම් සැනසුමයි මට මම කියාගමි
යන ලෝකයට වැඩ කටයුතු හදාගමි
අනුර රත්නප්රිය
ගඟ නොවේ ඔබ
ගලා ගිය දිය වදුල නිසල වනපෙත මැදින්
පසු කර ආව මහා ගිරි කඳු සිඛර පසුකරන්
පෙනි පෙනී මහ සයුර අතර සැඟවී යන්න පෙර
සොඳුරු දුපතකි දිය කඳුර මැද හදිසියේ හමු වු
මඳක් සලා ගිමන් යා යුතුද එහි නිබඳ
රැගෙන යා යුතුද බිම් කඩද ගලන දිය කැටුව
දමා යන්නට ඉඩ දේද ඵල පිරුණු ඒ රැඳුම
විමසා සිටියි ගං දිය නිබඳ තමන් හා පැමිණි
ගඟක් නැත දෙවරක් ගලා
ගලා ආ ගඟ නොවේ ඔබ
ගලා යන්නෙ යළිඳු නොවේ ඔබ
රැඳී ඉන්නේ ගලා ආ නොවේ ඔබ ද
සෙමින් කීවේය ගඟ ඔහුට
චම්මින්ද වෙලගෙදර
හමාස් ජුදෙව් හබය්
ඊශ්රයල් පලස්තීනුන් මිනිසුන්ගේ
නිමා නොවනු කිම යුද ගිනි අවුලන්නේ
යූ.එන්.එකේ මහ ලේකම් මහතුන්නේ
ඇයි මේ හබය වෙත මැදිහත් නොම වන්නේ
ගාසා තීරයේ බල රැක ගනු යෙදුණේ
යුදෙව් හමාස් ජාතීන් දෙපසට බෙදුණේ
දෙරටේම දිවි දහස් ගණනක් මියැ ඇදුණේ
යූ.එන්. එක ඇයි තවම ගොළුවත රකිණේ
රැකගනු කිම බලය දිවි ගණනක් නැසුවේ
තියනා එක හොඳින් සිහියට ගනු මැනවේ
මෙත් මුදිතාව කරුණා ගුණ වඩ යුතුවේ
සාමෙට පිළිතුරකි බුදු හිමියන් දෙසුවේ
චම්පා ගුණසේකර
සසර මුතු
අඹ දල්ලට වැටී ළා හිරු කිරණ රතු
අනියත කියා දෙයි සසරේ ලැබෙන මතු
අතපත නොගෑවට හඳුනමි වටින මුතු
ආදර හැඟුම් පිබිදෙයි ඉන් විලස පැතු
ගල් කඳු ගිනි අව්වෙ වියැළෙයි
නොමැත පලක්
ඒ මැද රස කතා විටකදී ගනිති මිලක්
වටිනාකම එන්න ගත විය හැකිය කලක්
මා වැලිකතරේ තනි වුණ
හුරුබුහුටි මලක්…
හිමිදිරි උදේ හිරු හිනැහෙන
ගගන ගැබේ
තුරුමත විහඟ නද අතරින් සතුට ලැබේ
ආදර හැඟුම් බස් මතු වූ නමුදු ඉබේ
එහි සුව තනිව විඳගන්නට සිදුව තිබේ
ජනි නෙරංජලා