– අධි ස්ථුලතාව හදවත් රෝග, ආඝාතය, දියවැඩියාව, අධික රුධිර පීඩනය, පිළිකා වැනි බෝ නොවන රෝග ඇතිවීමට විශාල අවකාශයක් නිර්මාණය කරයි
– සතියකට දින තුනක් නොකඩවා පැයක් හෝ ඇවිදින්න
අධි ස්ථුලතාවය ලෙස පවතින මේ රෝගය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ මේදෝ වෘද්ධි යනුවෙනි. එනම්, මේදයේ අධික බවය.
මේ රෝගය කුමක් ද? රෝගයේ ස්වභාවය කුමක් ද? වර්තමානයේ මේ රෝගය සම්බන්ධව වැඩි අවධානයක් යොමු විය යුත්තේ ඇයි? රෝගයේ පොදු ලක්ෂණ සහ රෝගය නිසා ඇතිවිය හැකි අනෙකුත් උපද්‍රව සහ රෝගය වළක්වා ගත හැක්කේ කෙසේ ද යන කාරණා පිළිබඳ අධි ස්ථුලතාවය පිළිබඳ සාකච්ඡාවේදී අප අවධානය යොමු කළ යුතුව ඇත.
කෙනකුගේ උසට සහ වයසට අනුරූප නොවන පරිදි ශරීරය අනවශ්‍ය ලෙස ප්‍රමාණයෙන් සහ බරෙන් වැඩිවීම අධි ස්ථුලතාවය හෙවත් තරබාරු බව ලෙස හැඳින්වේ. මෙහිදී සිදුවන්නේ ඇතැම් පටක අතර අනවශ්‍ය ලෙස අධිකව මේදය තැන්පත් වී ශරීරය විශාල වී බර වැඩිවීමයි. විශේෂයෙන්ම උදරය, කලවා, තට්ටම් සහ කාන්තා පියයුරුවල මේදය වැඩිපුර තැන්පත් වේ.
විශේෂ කාරණය වන්නේ දරුවන් අතර ද අධි ස්ථුලතාවය බහුලව දක්නට ලැබීමයි. එය කිසිසේත් යහපත් තත්ත්වයක් නොවේ. කුඩා දරුවන්ගේ ශරීරයේ සෛල වර්ධනය වැඩෙන්නේ මුල් අවුරුදු පහ තුළය. වැඩිවියට පත්වන ශරීරයට අවශ්‍ය වන සියලුම සෛල සැලැස්ම අවුරුදු 5ට පෙර සම්පූර්ණයෙන්ම සකසා අහවරය. එම වකවානුව තුළ දරුවන්ට මේද අධික ආහාර නිරන්තරයෙන් ලබා දීමෙන් දරුවන්ගේ සිරුරේ මේද සෛල සංඛ්‍යාත්මකව සහ ගුණාත්මකව අසාමාන්‍ය ලෙස වැඩි වේ. එමෙන්ම මේද තැන්පත් වීමකුත් සිදු වේ. දරුවන් අධි ස්ථුලතාවයට පත් වේ.
එහි නරකම විපාකය වන්නේ දරුවන් වැඩිහිටියන් බවට පත්වීමේ දී මේද පටකවල වැඩි වශයෙන් මේදය තැන්පත් වීමට පටන් ගැනීමයි. බොහෝ විට මේද සෛල වැඩි වශයෙන් සක්‍රීය වන්නේ වැඩිවියට පත්වන විටය. එවැනි දරුවන් කුඩාකල ස්ථුලතාවය නොපෙන්වුව ද වැඩිහිටි අවධියේ දී ස්ථුලතාවයට පත් වේ. එවැනි තත්ත්ව පාරම්පරික සාධකයක් ද විය හැකිය.
විශේෂ අවධානයක් යොමු විය යුත්තේ ඇයි?
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලෝක ජනගහනයෙන් මිලියන 3කට ආසන්න පිරිසක් අධි ස්ථුලතාවයෙන් පෙළෙයි. මෙම අධි ස්ථුලතාවය හදවත් රෝග, ආඝාතය, දියවැඩියාව, අධික රුධිර පීඩනය, පිළිකා වැනි බෝ නොවන රෝග ඇතිවීමට විශාල අවකාශයක් නිර්මාණය කරයි. රුධිර සංසරණ පද්ධතිය සහ අන්තරාසර්ග පද්ධතියේ ක්‍රියාකාරිත්වය ව්‍යාකූල වේ. ස්වසන පද්ධතිය මෙන්ම අස්ථි පද්ධතිය ආශ්‍රිත රෝග වැඩි වේ. සෑම ඉන්ද්‍රිය පද්ධතියටම බලපෑම් ඇති වේ.
ලංකාවේ ඉතාම තදින් අධි ස්ථුලතාවය ව්‍යාප්ත වෙමින් ඇත. මේ තත්ත්වය තුළ අධි ස්ථුලතාවය පාලනය කරගැනීම යුගයේ ප්‍රමුඛතම සෞඛ්‍ය අවශ්‍යතාවයකි.
හේතු මොනවා ද?
ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මීට අවුරුදු තුන් හාර දහසකට පෙර අධි ස්ථුලතාවයට හේතු පැහැදිලිව පෙන්වා දී තිබේ. එම හේතු අදටත් ඒ ලෙසම වලංගුය.
1 ව්‍යායමය අවශ්‍ය ප්‍රමාණයට නැතිකම
2 දිවා ආහාරයෙන් අනතුරුව නිදා ගැනීම
3 සෙම සහ මේද වැඩෙන ආහාර නිතර නිතර පරිභෝජනය වැනි ප්‍රමුඛ හේතු නිසා මේදෝ ධාතුව අධික ලෙස වර්ධනය වී අති ස්ථුලතාවය ඇතිවන ආකාරය ආයුර්වේදය පෙන්වා දෙයි.
ආයුර්වේදයේ ඍෂිවරු පෙන්වා දී ඇති ආකාරයට ශරීරයේ ශ්‍රෝතස් පද්ධති ලෙස හැඳින්වෙන ගමන් මාර්ග පද්ධති දෙකක් තිබේ. එනම් පෙනෙන ගමන් මාර්ග සහ ඇහැට නොපෙනෙන සියුම් ගමන් මාර්ගය. රුධිර සංසරණ පද්ධතිය ආහාර ජීර්ණ පද්ධතිය වැනි ඇසට පෙනෙන ගමන් මාර්ග ස්ථුල ශ්‍රෝතස් ලෙස හැඳින්වේ. අසංඛ්‍යෙය ප්‍රමාණයක් ඇහැට නොපෙනෙන සියුම් ගමන් මාර්ග පවතී. ආයුර්වේදය අනුව මේ සියුම් ගමන් මාර්ග පද්ධතිවලට බාධා නොවී පවතින තාක්කල් පුද්ගලයා නිරෝගීව ජීවත් වේ. අධි ස්ථුලතාවය සහිත පුද්ගලයෙකුගේ සිරුරේ තැන්පත්වන මේදවලින් මෙම ශ්‍රෝතස් පද්ධති අවහිර වීම සමඟ ඔහු දරුණු රෝගාබාධවලට ලක්වේ.
ආයුර්වේදය අනුව අපගේ ශරීරය දරාගෙන සිටිනා ආහාරයෙන් පෝෂණයවන ධාතු 07කි. රස ධාතුව, මාංශ ධාතුව, මේදෝ ධාතුව, අස්ථි ධාතුව, මජ්ඣා ධාතුව, ශුක්‍ර ධාතුව ඒ ධාතු හතය. අධි ස්ථුලතාවය සහිත පුද්ගලයින්ට වැඩෙන්නේ මේ මේධෝ ධාතුවය. ඔවුන්ගේ මේදෝ ධාතුවෙන් එපිට ඇති අස්ථි මජ්ඣා සහ ශුක්‍ර ධාතු පෝෂණය වන්නේ නැත. එබැවින් ඔවුන්ගේ අස්ථි දුර්වලය. ප්‍රජනන ක්‍රියාවලිය දුර්වලය. උදාසීනය. වෙහෙසට පත්වන සුළුය. අධික බඩගින්නෙන් පෙළේ. මානසික ප්‍රබෝධයක් නැත. ආයු කාලය අඩුය.
මිදීමට නම්
පරම්පරාවේ අධි ස්ථුලතාවය ඇති නම් අනෙක් අයට වඩා ආහාර රටාව පාලනය කරගැනීම අවශ්‍යය ය. ක්ෂණික ආහාර පරිභෝජනය අත් මිදීම ඉතාම අවශ්‍යය. අධික ආහාර පරිභෝජනයෙන් අත් මිදිය යුතුය. ආයුර්වේදය පවසන්නේ කුසේ හතරෙන් එකක් හිස්ව තබා ගෙන සතියෙන් ආහාර ගන්නා ලෙසය.
මේදය අධික ආහාරයෙන් වැළකිය යුතුය. ශරීරයට අවශ්‍යය තරමට ව්‍යායාම අනිවාර්ය වේ. යෝග ව්‍යායාම අධි ස්ථුලතාවයෙන් පෙළෙන අයටත් ඉතාම හොඳය. බයිසිකල් පැදීම, පිහිනීම හොඳ ව්‍යායාමයන්ය. ආයුර්වේදය උපදෙස් දෙන්නේ ස්නානයේ දී රළු දෙයින් ඇඟ පිරිමදින ලෙසය. එය ආයුර්වේදයේ උද්ඝර්ෂණය ලෙස හැඳින්වේ. එය දේශීය වශයෙන් අප පුරුදු වී සිටි සම්ප්‍රදායකි.
ආහාර පාලනය
ළමා අවධියේ දී දරුවන්ගේ ආහාර රටාව සම්පූර්ණයෙන් අවධානයට ලක් කළ යුතුය. නැවුම් පලතුරු එළවළු පලාවර්ග සහිත ආහාර රටාවකට යොමු කළ යුතුය.
ලුණු කැඳ අධි ස්ථුලතාවයෙන් පෙළෙන අයට කදිම රාත්‍රී ආහාරයකි. එළවළු සුප් එකක් ද සුදුසුය. මුං ඇට, මෝරු, තැම්බුම්හොදි රාත්‍රී ආහාරයට එක් කරගැනීම හැකි නම් කදිමය.
කිරි වෙනුවට බාර්ලි බැද කුඩු කර පානය කළ හැකිනම් එය කදිම ඖෂධයකි. කොල්ලු තැම්බූ ජලය ද අධි ස්ථුලතාවය පාලනය කිරීමට සුදුසු ආහාරයකි.
හොඳ මී පැණි මිලි ලීටර 15කට උතුරවා නිවා ගත් ජලය මිලි ලීටර 250ක් මිශ්‍රකර හිස්බඩ බීමෙන් අධි ස්ථුලතාවය පාලනය කරගත හැකිය. කරපිංචා, මොණර කුඩුම්බිය, යකිනාරන්, හින් බෝවියටියා කැඳ දේශීය සහල් වර්ගයකින් සකසා ගැනීම අති ස්ථුලතාවය වළක්වා ගැනීමට ඉතාම සුදුසු ආහාරයකි. එම සහලට මෙනේරි, තණ, ඕළු හාල් එක්කර ගැනීමෙන් ගුණ තවත් වැඩි වේ. ත්‍රිපලා අධි ස්ථුලතාවය පාලනය කළ හැකි ආයුර්වේද ඖෂධයකි. එය දිනපතා භාවිතයට සුදුසුය.