Home » ‘‘..කැළැල්.. නිකැළැල්..”

‘‘..කැළැල්.. නිකැළැල්..”

by Mahesh Lakehouse
April 27, 2024 12:30 am 0 comment

තානායම් ආලින්දයේ ඇඳි පුටුවක අසුන්ගත් අජිත් නුහුරු බැල්මෙන් වටපිට බැලුවේය. තානායමේ වේටර් තනතුර සඳහා සම්මුඛ පරීක්ෂණයට පැමිණ සිටිනා ඔහු මෙම හෝඩුවාව ලබා ගත්තේ අන්තර්ජාලයේ රැකියා පුරප්පාඩු දැන්වීමකිනි.

වේලාව උදෑසන නමයට ආසන්න නිසාදෝ තානායම කාර්ය බහුලය.

‘‘..මේ මල්ලිද ඉන්ටවිව් එකට ඇවිත් ඉන්නේ..“

අජිත් අසලට පැමිණ විමසූ වේටර්වරයාගේ ස්වරය ප්‍රියමනාපය.

‘‘..ඔව් අයියේ..“

‘‘..හරි.. එහෙමනම් කතා කළාම ඇතුළට යන්න..“

අජිත් හට එසේ පැවසූ තානායම් වේටර්වරයා ඉදිරියට ගොස් නැවත ආපසු හැරී ආවේය.

‘‘..ඇහුවට තරහා වෙන්න එපා මල්ලි.. ඔයාගෙ මූණට ඔය මක්වෙලාද?..මූණෙ ලොකු තුවාල කැළලක් නේද තියෙන්නේ..?

‘‘..ඇක්සිඩන්ට් එකක් අයියේ.. බයික් එකෙන් වැටිලා..“

අජිත් සිය දකුණු කම්මුල අතගාමින් බොරුවක් කීවේය.

‘‘..අනූ නමයෙන් ඇහැ බේරිලා තියෙන්නේ නේද?.. ඇහේ පෙනීමට අවුලක් නැද්ද මල්ලි.. හොඳට පේනවද?..“

වේටර්වරයා විමසන්නේ මිතුරෙකු සේය.

‘‘..පෙනීමෙ නම් අවුලක් නෑ.. ඒ වුණාට වෙලාවකට ඇහෙන් කඳුළු ගලන සීන් එකක් තියෙනවා අයියේ“

අජිත් එවෙලේම දෑස පිසදා වේටර්වරයාට කඳුළු පෙන්නුවේය.

ඔහු ඒ පෙන්නුවේ තම තුවාල කැළල ඇතිවූ සැබෑ සිද්ධිය සිහිවීමෙන් එවෙලේ දෑසට මෝදු වූ ස්වාභාවික කඳුළු බව තානායම් වේටර්වරයා දන්නේ නැත.

‘‘..ඒක නෙමෙයි අයියේ.. මෙහෙම අහන එක හරිද දන්නෙත් නෑ.. ඇත්තටම මගෙන් ඉන්ටවිව් එකට මොන වගේ දේවල් අහවිද අයියා.. මම වැඩිපුරම දන්නෙ නම් බාර් සර්විස් පැත්ත..“

‘‘..මෙහෙමයි මල්ලි.. අපේ සර් ඔයාගෙන් ඕවර්රෝල් අමුත්තන්ට සර්විස් එකක් දෙන හැටි අහයි.. ඒවට උත්තර දෙන්න. දන්නැති දේ දන්නෑ කියන්න. අන්දන්න යන්න එපා..ඊට අමතරව ඔයා කියවපු නවකතා.. අහන සින්දු.. බලන පත්තර.. ගැන එහෙම විස්තර අහයි. ඒවටත් හොඳින් උත්තර දෙන්න. සර් ඒවට මීටර්..“

එසේ පැවසූ වේටර්වරයා අමුත්තෙකුගේ සංඥාවක් ඇසී එසැණින් අජිත් වෙතින් ඉවත්වී ගියේය.

අජිත් සිය කම්මුල අතගා මැහුම් පහක් හයක් දමා ඇති පත්තෑයෙකු බඳු තුවාල කැළල පහළ සිට ඉහළට සිය දබරැඟිල්ලෙන් පිරිමැද්දේය.

‘‘..අද පෝයට බාර් වහපු හන්දා.. නිකම් නෙමෙයි ඩෝ.. සල්ලි වලට වැඩි මිලට හරි තමයි ගල් බෝතලයක් ඉල්ලන්නේ.. උඹලා සුද්දෙක් ඉල්ලුවා නම් මුකුත් නෑ.. එකට එකක් ගාණත් කපලා පැනලා දෙයි..“

තමා මීට පෙර සේවය කළ භෝජනාගාරයේදි එදා එම අමිහිරි සිදුවීම ආරම්භ වූ පළමු දෙබස් කාණ්ඩය අජිත්ගේ දෙසවන තානායම් ආලින්දයේදී දෝංකාර නැංවූයේය.

‘‘බාර් ක්ලෝස්ඩ්“ යනුවෙන් ඉංග්‍රීසියෙන් ලියා ඇති අඩි දෙකක තරමේ ලෑලි පුවරුව, එය එල්ලා ඇති අමානෝ ෂීට් ගේට්ටුවේ මහ හඬින් හප්පමින් එලෙස තර්ජනය කරන්නේ එම රෙස්ටුරන්ට් එකට නිතර එන යන ටවුමේ චණ්ඩියකු වන කළු අයියාය.

එම භෝජනාගාරයේ සේවයේ නියුතු අධ්‍යාපන සුදුසුකමක් ඇති මෙන්ම එකම ළාබාල වේටර්වරයාද අජිත්ය.

අජී උඹට කන් ඇහෙන් නැද්ද? බෝතලයක් දෙන්න බැරිනම් ඇරපන් මේ මළදාන යකඩ ගේට්ටුව. මට පොඩ්ඩක් ඇතුළට ඇවිත් ලැට් එකට යන්න.. ඇරපන් අජියෝ හොඳ හිතින් ගේට්ටුව..“ අජිත් වහා දිවගොස් යකඩ ගේට්ටුව විවර කළේය.

‘‘..ඇත්තම කියහන් අජී.. උඹලාට බොන්න තියා ගනිපු කාල් බාගයක් වත් නැද්ද මේ රෙස්ටුරන්ට් එක හරියේ.. අද බාර් වහපු නිසයි මෙහෙම පින්සෙණ්ඩු වෙන්නේ..“ කනමදයකු මෙන් කොහෙන්දෝ මත් වී ඇස් රතු කරගෙන ගේට්ටුවෙන් ඇතුළට පිවිසුනු කළු අයියා දැන් විමසන්නේ වැසිකිළි යෑමක් ගැන නොව ඔහුගේ පළමු ඉල්ලීමය.

‘‘.. විශ්වාස කරන්න කළු අයියේ.. තියේනම් මෙච්චර බෙරිහන් දෙනකම් ඉන්නෙ නෑනේ.. අයියා ලැට් එකට යනවා නම් ගිහින් දෙයියන්ගෙ නාමෙන් එළියට යන්න කළු අයියේ.. වඳින්නම්….

අපේ ලොකු මුදලාලි මහත්තයා දැන් මේ වටේටම කැමරා හයිකරලා තියෙන්නේ… මහත්තයා දැනුත් ෆෝන් එකෙන් බලාගෙනයි ඇත්තේ මෙතැන මොනවද වෙන්නේ කියලා..“‘

‘‘..අඩ්..ඩඩ්..ඩා.. කැමරා හයිකරලා..? උඹලාගේ ලොක්කා…? අනේ යකෝ උඹලාගෙ මහ එකා මොන කැමරාවලින් බලා හිටියත් මට මොකෝ..? මං කියන්නේ උඹ දැනුවත්ව මෙතන කාල් බාගයක්වත් බඩු තියෙන්න ඕනෑ.. අන්න ඒ ටිකයි මම මේ ඉල්ලන්නේ…දියන් හොඳ හිතින්..“

‘‘..අම්මපල්ලා කළු අයියේ.. තියේනම් මෙහෙම ඇඹරෙන්නෑ.. කිව්වම අහලා පව් නොදී..“

‘‘..චටාස්..“

‘‘..බුදු අම්මෝ.. ගහන්න එපා කළු අයියේ..“

‘‘..නැගිටපන් කටුකන බල්ලා.. උඹ මටද පව් නොදී යන්න කීවේ..උඹලාගේ බොසාගෙ හයිය අරන්ද හාල්මැස්සා මට එහෙම ටෝක් දෙන්නේ.. චටාස්.. පටාස්.. බුදු අම්මෝ..“

කරකැවී විසිවුණු අජිත් අසල වූ බැරල් බාගයක තියුණු යකඩ ගැට්ටේ මුහුණ වැදී බීමහල් වේදිකාව ආවරණය කොට තිබූ වාර්නිෂ් තීන්ත ගෑ කුරුඳු කෝටු ඉනි වැටද කඩා බිඳගෙන අඩි පහක හයක උසින් විසි වී භෝජනාගාර ටයිල් පොළොවට මුනින් අතට ඇද වැටෙන්නේ මන්නා පහරකින් බිම හෙළූ කෙසෙල් කඳක පරිද්දෙනි.

මීට පෙර සේවය කළ භෝජනාගාරයේදී ඇතිවූ එම ආරවුලෙන් ලද මුහුණේ දරුණු තුවාලයක් සහ උකුල් ඇටයේ අස්ථි පිපිරීමක් සහිතව අජිත් පළමුව ඇතුළු කළේ ආසන්න දිසා රෝහලටය.

‘‘..ඔයාද ඉන්ටර්විව් ඇවිත් ඉන්නේ..අන්න සර් කතා කරනවා..“

තානායම්පල්ලා සිනාමුසු මුහුණෙන් අජිත් පිළිගත්තේය.

‘‘..රයිට්.. ඔයා කලින් කොහේද වැඩ කළා කීවේ..?..“ තානායම්පල්ලා තැන්පත් හඬින් විමසුවේය.

අජිත්ට පළමු පැනයේදීම පිළිතුර අසීරු වී ඉකිබිඳු‍ණේය.

එකවර හේතුව වටහාගත නොහැකිව තක්බීර් වී ගිය තානායම්පල්ලා අයැදුම්කරු සන්සුන් වනතුරු මීක් හඬක් නොනඟා නිහඬව සිටියේය.

එහිදී නැඟී එකම ශබ්දය මේස විදුලි පංකාවේ හෝ හඬ පමණය.

අසරණ අජිත් සිය ජීවිත වංකගිරියේ මෙතෙක් කතාව තානායම්පල්ලා හමුවේ මැනවින් නිරාවරණය කළේය.

මස්තිෂ්කයෙන් විසඳිය යුතු ගැටලු හෘද වස්තුවෙන් විසඳන්නට යාමේ උපන්ගෙයි දුබලතාවයෙන් හෙබි තානායම්පල්ලාට අනුව අජිත් සම්මුඛ පරීක්ෂණයෙන් සමත් ය.

‘‘.. නම අජිත් නේද?.. අජිත් ඔයාගෙ වෘත්තීය දැනුම ඕ.කේ. මම එකඟයි. නමුත් ඔයාව වේටර් තනතුරට බඳවාගන්න මට අපේ ප්‍රධාන කාර්යාලයේ අනුමැතිය ගන්න සිදුවෙනවා.

මොකද මුහුණේ සහ පාරිභෝගිකයන්ට නිරාවරණය වන අතපය ප්‍රදේශවල දරුණු කැපුම් තුවාල, දද කැළැල් ආදිය තිබෙන අය අපේ තානායම් ජාලයේ ශාඛාවල පාරිභෝගික සේවාවන්ට යොදා ගන්නේ නෑ.

මම ඒ ටික අජිත්ට කීවේ මම ඔයාගෙ දිග කතාවට උනන්දුවෙන් සවන් දීලත් ඔයා අයැදුම් කරන තනතුරට බඳවා ගන්න බැරි හේතුව පැහැදිලි කරන්නයි.

එහෙම නැතිව ඔයා ඉන්ටර්විව් එක ෆේල් වුනා නෙමෙයි..

ඒ නිසා මම ඔයාගෙ අයැදුම්පත ඉහළට යොමු කරන්නම්.

එතනදි මම ඔයාව තානායමේ වෙනත් අංශයකට ඇතුළු කරගන්න පුළුවන්ද බලන්නම්..“

තානායම්පල්ලාගේ දීර්ඝ පිළිතුර අසා සිටි අජිත් හට නැවතත් ඉකිබිඳුණේය.

රන්ජන් ගාමිණී ජයවර්ධන

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division