– ජලය ඉසීම සිද්ධ වෙන්න ඕන මොන තරගයට කලින්ද, මොන වෙලාවට ද කියලා අවබෝධයක් තිබුණාද කියලා ප්‍රශ්නයකුත් මතුවෙනවා.
– දෙවැනි වටයේදී අනතුර සිද්ධ වෙනවා අපි කවුරුවත් දැක්කේ නෑ. මොකද ඒ තරමටම දුහුවිල්ලෙන් පිරිලා තිබුණා. අපි එතැනට යද්දී ගිලන් රථවලට තුවාලකරුවන් ගොඩ නංවමින් හිටියා
වසර පහකට පසු පළමුවතාවට පැවැති දියතලාව ෆොක්ස්හිල් සුපර් ක්‍රොස් තරගාවලිය අවසන් වූයේ ඛේදවාචකයකිනි. එහි උණුසුම තවමත් පහවී ගොස් නැත. අනතුරෙන් ජීවිත 7ක් අහිමිවීමේ ශෝකාන්තය අදටත් එම පවුල්වල සාමාජිකයන්ට පමණක් නොව තරගකරුවන්ට ද කම්පනයට පත්කර තිබේ. කාලයක් යනතුරු එය අමතක නොවන අමිහිරි සිදුවීමක් බවට ද පත්වනු ඇත. එහෙත් මේ අවාසනාවන්ත අනතුරට හේතුව පිළිබඳ වරද සිදුවූයේ කොතැනද යන්න වූ කරුණු කාරණා මතභේදයට තුඩු දෙන්නකි. බොහෝ කරුණු කාරණා පරස්පරය. ඇතැම් පාර්ශ්ව බොර දියේ මාළු බෑමේ උත්සාහයක නිරතවන බව ද පෙනේ.
සමාජ මාධ්‍ය ජාලයේ සංසරණය වන බොහෝ පුවත් අනතුරට හේතුව තව තවත් සංකීර්ණ කරවන්නකි. එවැනි පසුබිමක් යටතේ ‘සිළුමිණ‘ මේ උත්සාහ කරන්නේ ෆොක්ස්හිල් සුපර් ක්‍රොස් අනතුර පිළිබඳ සහ එහි ඇතුළු පැත්ත පිළිබඳ විපරම් කිරීමට ය. ඒ සඳහා ඇසින් දුටු සාක්ෂි දෙකක්ද ‘සිළුමිණ‘ සතුව තිබේ. අපගේ මාණ්ඩලික වාර්තාකරු ගීෂා මුණසිංහ සහ ඡායාරූප ශිල්පි සුලෝචන ගමගේ සුපර් ක්‍රොස් තරගාවලියේ මාධ්‍ය ආවරණ කටයුතු සඳහා සහභාගි වූ අතර, අනතුර පිළිබඳ ඔවුන්ගේ අත්දැකීම් ද එහි ඇතුළු පැත්ත විපරම් කිරීමේදී වැදගත් සාධක බවට පත් විය.
ෆොක්ස්හිල් සුපර් ක්‍රොස් තරගාවලිය පසුගිය 21 වැනිදා පැවැත්වූයේ වසර 5කට පසුවය. අවසන් වරට 2019 වසරේදී එය පැවැත්වූයේ ද අප්‍රේල් 21 වැනිදාය. එදින පාස්කු ප්‍රහාරය හේතුවෙන් තරගාවලිය අතරමැද නැවැත්වීමට සංවිධායකයන්ට සිදුවූ අතර, ජීවිත 7ක් බිළිගත් මාරාන්තික අනතුර හේතුවෙන් මෙවරත් තරගාවලිය අතරමැද නැවැත්වීමට සිදුවීම දෛවෝපගත සිදුවීමකි.
අනතුරෙන් පසු විවිධ පාර්ශ්ව තරගාවලියේ සංවිධායකයන්ට චෝදනා එල්ල කරන අතර, ඇතැම් පාර්ශ්ව අනතුර සිදු කළ මෝටර් රථ රියැදුරන් දෙදෙනාට චෝදනා කරති. තවත් සමහරු කියන්නේ ජීවිත අහිමි වූයේ අනතුරුදායක ස්ථානයට නරඹන්නන් පිවිසීමෙන් බවය. කවුරු කෙසේ කීව ද අනතුර සිදුවූ දිනයේ සිට මේ දක්වා දින 5ක කාලයක් පුරා මෙම ලියුම්කරු විසින් ගවේෂණය කිරීමෙන් සොයා ගනු ලැබූ බොහෝ අභ්‍යන්තර තොරතුරු සහ මාණ්ඩලික මාධ්‍යවේදීන්ගේ ඇසින් දුටු සාක්ෂිවලට අනුව නම් අනතුරට හේතුව සහ නරඹන්නන් ඇතුළු තරග අධීක්ෂකවරුන්ගේ මරණයට හේතුව එකක් යැයි කිව නොහැකිය. ඊට හේතු ගණනාවකි. ඒ අනුව සකස් වන මේ ලිපිය ඉදිරි තරගාවලි සංවිධානය කිරීමේදී බලධාරීන්ගේ වැඩි අවධානයට යොමු වනු ඇතැයි ‘සිළුමිණ‘ අපේක්ෂාවය.
ජීවිත 7ක් අහිමි වීම හේතුවෙන් ෆොක්ස්හිල් තරගාවලියේ අනතුර පිළිබඳ කවුරුත් කතා කළද, සැබැවින්ම මෝටර් රථ හෝ යතුරුපැදි තරගාවලි මීට පෙර බහුලව සිදු වී තිබේ. එහෙත් ඒ පිළිබඳ එතරම් මහජන අවධානයක් යොමු නොවූයේ ඒවා ධාවන පථයට පමණක් අදාළ තරගකරුවන් පමණක් තුවාල ලැබූ සිදුවීම් නිසා වන්නට ඇත. සැබෑව නම් මෙවර ෆොක්ස්හිල් අනතුර ද ධාවන පථයේ සිදුවූ අනතුරක් වීමය. අවාසනාව නම් අනතුරට හේතුව නරඹන්නන් අවදානම් කලාපයට පැමිණ සිටීමය. මෙරට මෝටර් රථ ක්‍රීඩා මව් සංගමය වන ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් ස්පෝර්ට්ස් සංගමයට අනුව ඔවුන් පැමිණ ඇත්තේ නරඹන්නන්ට තහනම් කරනු ලැබු අවදානම් කලාපයට ය. එය ලණු රැහන් ඇද වෙන් කර තිබූ ඉසව්වකි. එය තහනම් කලාපයක් බව නරඹන්නන් දැන සිටියද ඔවුන්ට එම ස්ථානයට පිවිසියේ නොඑසේ නම් ධාවන පථය අද්දරටම පිවිසියේ අනතුර සිදුවූ තරග ඉසව්වේ ආරම්භයේදිම තරගකරුවකුගේ මෝටර් රථය අනතුර ලක්ව උඩු යටිකුරු වීම දැක බලා ගැනීමටය. මේ පිරිස පාලනය කිරීමට තරගාවලියේ සංවිධායකවරුන් වන දියතලාව යුද හමුදා පුහුණු ඇකඩමියේ හෝ ශ්‍රී ලංකා යුද හමුදා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ හෝ ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් ස්පෝර්ට්ස් සංගමයේ හෝ නිලධාරීන් කිසිවකු පියවර ගත යුතුව තිබූ කාරණාවකි. අනික් අතට එය ඒ මොහොතේ එතැන රාජකාරියේ සිටි තරග අධීක්ෂකවරුන් දෙදෙනාගේ (මාෂල්) වගකීමකි. ඕනෑම තරගයක් ආරම්භ කිරීමට පෙර ධාවන පථය සම්පූර්ණයෙන්ම බාධා රහිත බවට තහවුරු කරගැනීම ප්‍රධාන මාෂල්වරයාගේ වගකීම වන අතර, ඒ සඳහා ධාවන පථය පුරා ස්ථානගත වී සිටින අධීක්ෂකවරු තමා සතුව ඇති කොළ කොඩිය ඉහළට ඔසවා ඒ බව තහවුරු කළ යුතුව ඇත. නරඹන්නන් ධාවන පථය අද්දරටම පැමිණ සිටින්නේ නම් එම ස්ථානයේ සිටින අධීක්ෂකවරයාගේ වගකීම වන්නේ ඒ බව ඔහු සතුව ඇති වෝකි ටෝකි යන්ත්‍රයෙන් ප්‍රධාන මාෂල්වරයාට දැනුම්දීමය. ඊට පෙර පැවැති නිසාන් මාර්ච් මෝටර් රථ තරග ඉසව්වේදී ද එම ස්ථානයේ නරඹන්නන් එක්රොක් වී සිටි බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය. ඒ අනුව නරඹන්නන් තහනම් කලාපයට ඇතුළු වී ඇත්තේ අනතුර සිදුවූ තරගයේ ආරම්භයේදීම මෝටර් රථයක් උඩුයටිකුරු වූ අවස්ථාවේදී නොවන බව පෙනේ.
ඊළඟ කාරණාව වන්නේ අදාළ ස්ථානයේ රාජකාරියේ නිරත වූ අධීක්ෂකවරයා අවුරුදු 20ක තරම් ළාබාල වියෙහි පසු වූ තරුණයකු වීමය. අවාසනාවන්ත මරණයකට ගොදුරු වූ තරුණයා මෝටර් රථ තරග අධීක්ෂකවරයකු ලෙස කටයුතු කිරීමට ලැබූ පුහුණුව හා අත්දැකීම් පිළිබඳ ගැටලුවක් ද මතුවෙයි. තරුණ තරග අධීක්ෂකවරුන් පිරිසක් බිහි කිරීමේ අරමුණින් එම තනතුරට තරුණයන්ට වැඩි අවස්ථාවක් ලබාදීම මෝටර් රථ ක්‍රීඩා මව් සංගමයේ සංකල්පයකි. එමෙන්ම එය පැසසුමට ලක් විය යුතු පියවරකි. එසේ වුවත් ඒ සඳහා අවස්ථාව ලබාදීමේදී නියමිත පුහුණුව ලැබුවේ නම් ලිපියේ ඉහත කී ආකාරයෙන් අවදානම් කලාපයට නරඹන්නන් පැමිණීම වාර්තා කිරීමට ඔහු අසමත් වීම ගැටලු සහගතය. අනිත් අතට නරඹන්නන්ට ඉඩ දී ඔහු ධාවන පථයට පිවිස රාජකාරියේ නිරත වීමෙන්ම ඔහුගේ කෝඩුකාර බව ඉස්මතු වී පෙනෙන්නෙකි. මන්ද මෙරට ප්රවීණතම තරග අධීක්ෂකවරයකු ‘සිළුමිණ‘ට ප්‍රකාශ කළ ආකාරයට මෝටර් රථ ක්‍රීඩා තරග අධීක්ෂකවරුන් සඳහා පවත්වනු ලබන වැඩමුළු හා පුහුණු සැසිවලදී පළමු උපදේශය වන්නේ ‘ කාටත් පළමුව තමන්ගේ ආරක්ෂාව‘ වීමය. එය දැඩිව අවධාරණය කළ කාරණාවකි.
තරගාවලියේ මාධ්‍ය ආවරණ කටයුතු සඳහා සහභාගි වූ දිනමිණේ ගීෂා මුණසිංහට අනුව අනතුර සිදුවී ඇත්තේ ඔහු ස ිටි ස්ථානයට ආසන්නයේය. එතැන ඉදිරියෙන් වංගුවක් ද තිබූ ස්ථානයකි.
‘නරඹන්නන් ධාවන පථය ආසන්නයටම එන්න ඇත්තේ අනතුරට කළින් වටයේදි එතැන පෙරළුණු මෝටර් රථය දැක බලාගන්නයි. සමහරු එතැන ඉඳලා පෙරළුණු මෝටර් රථය පෙනෙන ආකාරයට ‘සෙල්ෆි‘ ඡායාරූප ගත්තු බවත් දැනගන්න ලැබුණා. දෙවැනි වටයේදී අනතුර සිද්ධ වෙනවා අපි කවුරුවත් දැක්කේ නෑ. මොකද ඒ තරමටම දුහුවිල්ලෙන් පිරිලා තිබුණා. අපි එතැනට යද්දී ගිලන් රථවලට තුවාලකරුවන් ගොඩ නංවමින් හිටියා. එකම කළබලයක්, තුවාලකරුවන් විලාප දෙනවා. මෝටර් රථ දෙක කණ්ඩියේ වැදිලා නතරවෙලා තිබුණේ. අනතුරෙන් මරණයට පත්වුණු තරග අධීක්ෂකවරු ඊට කළින් කහ ධජය ඔසවලා සංඥා කරමිනුයි හිටියේ. ඊට මීටර් ගණනාවකට කලින් ස්ථානගත වුණු තරග අධීක්ෂකවරයාත් කහ කොඩිය ඔසවලා තරගකරුවන්ට සංඥා ලබා දෙනවා. මොකද එතැන අනතුරට ලක්වුණු මෝටර් රථය ගැන අනික් තරගකරුවන් දැනුම්වත් කරන්න. එහෙම කහ කොඩිය ඔසවා සංඥා කළාම එතැනදී තරගකරුවකු ඉස්සර කරන්න වේගය වැඩි කරන්න කිසිම තරගකරුවකුට අවසර නෑ. එහෙම තියෙද්දී තමයි මේ අනතුර සිද්ධ වුණේ. දුහුවිල්ල අධික නිසා මම හිතන්නේ කාටවත් මොකුත්ම පැහැදිලිව නොපෙනෙන්න ඇති. අනික කණ්ඩිය උඩ නරඹන්නන් පිරිලා හිටපු නිසා ධාවන පථයේ හිටපු තරග අධීක්ෂකවරුන්ට කණ්ඩිය උඩට නැග ගන්නවත් වෙලාවක් ලැබෙන්න නැතුව ඇති. අනතුරින් පස්සේ ඊළඟ වටයේදී රතු කොඩිය සංඥා කරලා තරගය නතර කළා. ඊට පස්සේ තමයි හැමෝම අනතුර සිද්ධ වුණු තැනට ගියේ. තරගය අතරතුරදී දුහුවිල්ලෙන් මුළු ධාවන පථයම වැහිලා ගියා. ධාවන පථයට ජලය ඉසීම හරියාකාරව සිදුවුණේ නෑ කියලයි මට හිතෙන්නේ. ජලය ඉසීම සිද්ධ වෙන්න ඕන මොන තරගයට කළින්ද, මොන වෙලාවට ද කියලා අවබෝධයක් තිබුණාද කියලා ප්‍රශ්නයකුත් මතුවෙනවා.‘ ගීෂා මුණසිංහ එසේ කියද්දී අපේ ඡායාරූප ශිල්පි සුලෝචන ගමගේ කියා සිටියේ ද දුහුවිල්ල නිසා අනතුර බරපතළ වූ බවය.
‘මම හිටපු තැනට ටිකක් එහායින් තමයි අනතුර සිද්ධ වුණේ. ඇක්සිඩන්ට් එකක් වෙලා කියලා හැමෝම කෑගැහුවා. දෙවැනි වටය පටන් ගත්තු හැටියේම තමයි අනතුර සිද්ධ වුණේ. අපි එතැනට යද්දී ගිලන් රථ ඇවිත් තුවාලකරුවන් රෝහලට අරන් යමිනුයි හිටියේ. දුහුවිල්ල නිසා මෝටර් රථ හැප්පුණු විදිහ කවුරුවත් දැක්කේ නෑ. එතැනින් මීටර් 50ක් විතර ඈතින් තමයි වංගුව තිබ්බේ. අනතුර සිද්ධ වුණේ ටිකක් පල්ලම වගේ තැනක. උඩ කණ්ඩිය උඩ මිනිස්සු පිරිලා හිටියා. දුහුවිල්ල නිසා තරග අධීක්ෂකරුවන්ට තමන් දිහාවට එන මෝටර් රථ පෙනිලා නැතුව ඇති. රේස් එකේ මැද හරියේ ගිය මෝටර් රථ දෙකක් තමයි හැප්පිලා තිබුණේ. ඒ රථවල හිටපු තරගකරුවනුත් රෝහලට ගෙන ගොස් තිබුණා. හැමදේම සිද්ධ වුණේ ගොඩාක් ඉක්මනට. තරගය පටන් ගත්තට පස්සේ ධාවන පථය දුහුවිල්ලෙන් වැහිලා ගියා. කොටින්ම ඡායාරූප ගන්නවත් මෝටර් රථ පැහැදිලිව පෙනුණේ නෑ. හිතාගන්න බැරි තරමට දුහුවිල්ල.‘ සුලෝචන ගමගේ එසේ කීවේය.
අධික දුහුවිල්ල අනතුරට අතුරු හේතුවක් වුවද සැබැවින්ම ඊට තවත් හේතු ගණනාවක් බලපා ඇතැයි අභ්‍යන්තර තොරතුරුවලින් පැහැදිලි වේ. තරගාවලියේ තරග අධීක්ෂකවරු පත් කිරීමේදී ඒ සඳහා අත්දැකීම් බහුල නිලධාරින් සමඟ තරුණ පිරිසක්ද ඇතුළත් කරගැනීම වෙනම කාරණාවක් වුවද අනතුර සිදු වූ ස්ථානයට කෝඩුකාර නිලධාරියකු ස්ථානගත කිරිම ගැටලුසහගතය. එහි වගකීම ප්‍රධාන තරග අධීක්ෂකවරයා අතින් මඟ හැරුණු හෝ සැලකිලිමත් නොවූ කාරණාවකි. එය විමතිය දනවනසුලු කරුණක් වන්නේ ඊට හේතුව වන්නේ එම ස්ථානය ෆොක්ස්හිල් තරගාවලි ඉතිහාසය පුරා අනතුරු බහුලව සිදු වූ ස්ථානයක් වීමය. එම ස්ථානයේදීම තරගකරුවන් රැසක් අනතුරට ලක්වූවද, නරඹන්නන් අනතුරට ලක්වූයේ මෙවරය. මීට පෙර එම ස්ථානයේදීම ෆෙරෝස් ඔමාල්, රෝහිත් ද සිල්වා, රිස්වි ෆාරුක්, පසිඳු පීරිස්, දුමින්ද ජයසිංහ වැනි මෝටර් රථ තරගකරුවන් රැසක් පල්ලම සහිත ස්ථානයේදී අනතුරට ලක්වී ඇතැයි අභ්‍යන්තර තොරතුරු මඟින් වාර්තා විය. මෙය එතරම් අනතුරුදායක ස්ථානයක් බව ඉතිහාස තොරතුර තරග සංවිධායකවරු නොදැන සිටියේදැයි විමතියකි. දැන සිටියේ නම් එවැනි තීරණාත්මක ස්ථානයක අධීක්ෂණ කටයුතු සඳහා කෝඩුකාරයකු ස්ථානගත කිරීමත් විමතියට කරුණකි. එම ස්ථානයට ඉදිරියෙන් ‘බොට්ල් නෙක්‘ ලෙස හඳුන්වනු ලබන මාර්ගය පටුවීමේ ස්ථානයක් ඇතැයි මෝටර් රථ තරග ක්ෂේත්රයේ ප්‍රවීණයකු ‘සිළුමිණ‘ට කීවේය. එබැවින් අනතුර සිදුවූ පල්ලම් සහිත ස්ථානයේදී සිය මෝටර් රථයේ වේගය වැඩි කර ප්‍රතිවාදින් අභිබවා ධාවන පථයේ පසු ස්ථානයට පිවිසීමට තරගකරුවන් උත්සාහ ගන්නා බවත් අදාළ ප්‍රවීණයා කීවේය. මේ තත්ත්වය මත මෝටර් රථයේ වේගය ද අධික වන බව ඔහු කියා සිටියේය. අනිත් අතට එවැනි අවස්ථාවලදී සෙසු ප්‍රතිවාදී තරගකරුවන් අභිබවා යෑමට ඔවුන්ගේ මෝටර් රථ මාර්ගයෙන් ඉවතට ඇදී යන ආකාරයට තල්ලු කිරීමටද ඇතැම් තරගකරුවන් කටයුතු කරන බව ද නොරහසකි.
එවැනි විනය විරෝධී හැසිරීම් සම්බන්ධව තරගකරුවන් දැනුම්වත් කිරීමට මෝටර් රථ මව් සංගමය හෝ වෙනත් සංගම් මගින් තරගකරුවන්ට කිසිදු ආකාරයක වැඩමුළු පවත්වන්නේ ද නැත. මෝටර් රථ තරගකරුවන්ට විනය හා තරග නීතිරීති සම්බන්ධව තරගයට පෙර කෙටි හැඳින්වීමක් සිදු කිරීමට තරගාවලි අධ්යක්ෂවරයා කටයුතු කළද, සැබැවින්ම සිදු විය යුතුවන්නේ ඔවුන්ට ඒ පිළිබඳ වැඩමුළු පැවැත්වීමය. එම කාරණාව සම්බන්ධව මීට වසර ගණනාවකට පෙර මෙම ලියුම්කරු සමඟ කියා සිටියේ ඉතා ළාබාල වියෙහි පසුවන තරගකරුවෙකි. එහෙත් අදටත් එවැනි වැඩමුළු පැවැත්වෙන්නේ නැත. අනතුරට පත් වූ ඩිලාන් අධිකාරිගේ සහ රජිත උළුවිටගේ මෝටර් රථ එකිනෙක ගැටී අධික වේගයෙන් කණ්ඩිය වෙත විසිවී ගිය අතර, අවාසනාවකට එම අවදානමක් කලාපයට පැමිණ සිටි නරඹන්නන් ඊට බිලිවීම කනගාටුවකි. එම ස්ථානය හැර ෆොක්ස්හිල් ධාවන පථයේ අවදානම් සහිත වෙනත් ස්ථානයක් නැති බවත්, එම ධාවන පථය මෙරට රේස් ධාවන පථ අතුරින් 90%ක්ම ආරක්ෂාකාරී ධාවන පථයක් බැව් බොහෝ ප්‍රවිණයෝ කියති. අනතුරු සිදුවූයේ එවැනි ඉහළ මට්ටමේ ප්‍රමිතියකින් යුතු ධාවන පථයක වීමත් කනගාටුදායක කාරණාවකි.
එය එසේ වුවද මෙවැනි කාලයක මෝටර් රථ තරගාවලියක් සංවිධාන කිරීම සුළුපටු කරුණක් නොවන බවත් සඳහන් කළ යුතුය. එය අතිවිශාල කර්තව්‍යකි. මෝටර් රථ මව් සංගමය සහ ශ්‍රී ලංකා යුද හමුදා මෝටර් රථ ක්‍රීඩා සංගමය එක්ව අතගසා ඇත්තේ එවැනි භාරදූර වැඩකටය. එහෙත් අවාසනාවකට එය ඛේදවාචකයකින් කෙළවර විය. රටේ ආර්ථිකයට මෙවැනි තරගාවලි අතිශය වැදගත් බව පැහැදිලි වන්නේ මෙවර ෆොක්ස්හිල් තරගාවලිය නැරැඹීමට ලක්ෂයකට ආසන්න නරඹන්නන් පිරිසක් සහභාගිවීමය. ඒ අතර විදේශිකයන් ද රැසක් සිටි බව වාර්තා වේ. තරගකරුවන්ට පවා නවාතැන් සොයා ගැනීමට දුෂ්කර වී ඇති අතර, විවිධ රටවලින් තරගාවලිය නැරැඹීමට පැමිණ විදේශිකයන් ඇල්ල සහ දියතලාව අවට සියලු නවාතැන් වෙන් කර තිබූ බවද වාර්තා වේ. ඒ අතින් බැලු විට සැලකිය යුතු ආකාරයේ ආදායමක් දියතලාව අවට පළාතට ලැබී තිබේ. එය අවධානය යොමු කළ යුතු කරුණකි. අනිත් අතට ලක්ෂ ගණන් මුදල් වැය කරමින් තරගාවලියට සහභාගි වූ තරගකරුවන් 200කට අධිකය. සාමාන්‍යයෙන් මෝටර් රථ තරගකරුවකුට සිය කණ්ඩායම සමඟ එවැනි තරගවලට සහභාගි වීමට රුපියල් ලක්ෂ 5කට ආසන්න මුදලක් වැය වන බවත්, යතුරුපැදි තරගකරුවකුට ඒ සඳහා රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් වැය වන බවත් මෝටර් රථ ධාවන ශූරයකු ‘සිළුමිණ‘ට කීවේය. නවාතැන්, ආහාරපාන, කණ්ඩායමේ සෙසු අයගේ වියදම්, තරග සඳහා එක්වන මෝටර් රථ, යතුරුපැදි තරගය පැවැත්වෙන ස්ථාන වෙත රැගෙන යැමට ලක්ෂ ගණන් මුදල් වැය වේ. එවැනි මුදලක් වැය කරමින් තරගකරුවන් මෙවැනි තරගාවලි සඳහා සහභාගි වන්නේ ක්‍රීඩාවට ඇති ඇල්ම හේතුවෙනි. අනික් අතට මෙවැනි තරග නැරැඹීමට නන්දෙසින් නරඹන්නන් පැමිණෙන්නේ ද ‘කාර් රේස්‘ දැක බලාගැනීමේ ආශාවෙනි. එබැවින් සිදු විය යුතුවන්නේ ඉදිරියේදි සියලු දුර්වලතා සහ අඩුපාඩු මඟ හරවා ගනිමින් මෝටර් රථ හා යතුරුපැදි තරගාවලිය සංවිධාන කිරීමටය.
සේයාරු – සුලෝචන ගමගේ
ෆවුස් මොහොමඩ්