Home » මැයි දින හර පෙරළිය

මැයි දින හර පෙරළිය

by Mahesh Lakehouse
April 27, 2024 12:30 am 0 comment

– පිටකොටුව සොන්ඩර්ස් පෙදෙස ආරම්භ වන්නේ ඒ.ඊ. ගුණසිංහයන් කළුගල් කඩන පිළිරුවකින්. එහෙත් පිළිරුවේ දෝසයක් ඇත. ඒ ගුණසිංහයන් කළුගල් කඩන්නේ ටයිකෝට් දාගෙන නිසාය.
– මැයි දිනය කියූ විට එදා මතකයට ආවේ දෑකැත්ත,මිටිය, දැතිරෝදය හා දැවැන්ත රතු ධජ පතාකය. අද මතකයට එන්නේ අරක්කු බෝතලය, බත් පාර්සලය සමඟ මුදලින් රුපියල් 2,000

විනයෝ නාම ශාසනස්ස ආයු යනුවෙන් බුදු වදනෙහි සඳහන් වෙයි. එයින් කියවෙන්නේ ශාසනයේ ආයුෂ විනය බවය. මැයි දිනය ගැන සලකන විට මෙරට පක්ෂවලට මැයි රැලිවලට මේ බුදු වදන සිහි කර ගනු වටී. දේශපාලන පක්ෂයක විනය එකී පක්ෂයේ ප්‍රතිපත්ති ආලෝකවත් කරන ප්‍රභවය බව අමුතුවෙන් කිව යුතු නොවේ.

මැයි දිනය කියූ විට අපේ මතකයට ආ යුත්තේ මොනවාද? දෑකැත්ත, මිටිය, දැතිරෝදය හා දැවැන්ත රතු ධජ පතාක. එහෙත් අද මැයි දිනය කියූ සැණින් අපේ මතකයට එන්නේ

“අරක්කු බෝතලය සහ බත් පාර්සලය සමඟ මුදලින් රුපියල් 2000/=කි”

ශ්‍රී ලංකාවේ කම්කරු ව්‍යාපාරය කියූ සැණින් එකල අපේ මතකයට එන්නේ ඒ.ඊ. ගුණසිංහයන්ය. එහෙත් ගුණසිංහ යනු කාල්මාක්ස්ගේ විප්ලවීය දේශපාලන චින්තනය ගරු කළ පුද්ගලයකු නොවේ. ගුණසිංහයන් ගුරු කර ගන්නේ අනගාරික ධර්මපාල තුමාගේ ජාතික ව්‍යාපාරයයි. 1915දී සිංහල – මුස්ලිම් ජාතිවාදි අරගලයේදී ඒ. ඊ. ගුණසිංහයන් සමඟ හිරබත් කෑ සමකාලීනයින් වූයේ සර් ඩී. බී. ජයතිලක, ඩී. ඇස්. සේනානායක, ඇෆ්.ආර්. සේනානායක, දොස්තර සී. ඒ. හේවාවිතාරණ සහ හෙන්ඩ්‍රි පේද්‍රිස් ආදීන්ය.

කම්කරු නායක ගුණසිංහ මුලින්ම එරෙහි වූයේ බ්‍රිතාන්‍ය පාලකයන්ගේ ‘ඇඟ බද්දට’ය. සිලෝන් එකේ වැඩිහිටියන් වසරකට වරක් ‘ඇඟ බද්ද’ යටත් විජිත ආණ්ඩුවට ගෙවිය යුතු වූ අතර එය පැහැර හරින අය දින 2ක් මහපාරේ කළුගල් කැඩිය යුතු විය.

“තම මෘතෘ භූමියේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින් බ්‍රිතාන්‍ය පාලකයින්ට ඇඟ බදු ගෙවන්නේ කුමටදැයි එල්ල කළ අභියෝගය හමුවේ ගුණසිංහයන් මෙරට පොදු ජනතාව ඊට එරෙහිව අවධි කළේ තමාම මහපාරේ කළුගල් කැඩීමෙනි. පිටකොටුව සොන්ඩර්ස් පෙදෙස ආරම්භ වන්නේ ඒ.ඊ. ගුණසිංහයන් කළුගල් කඩන පිළිරුවකිනි. එහෙත් පිළිරුවේ දෝසයක් ඇත්තේ ගුණසිංහයන් කළුගල් කඩන්නේ ටයිකෝට් දාගෙන නිසාය.

ඒ.ඊ. ගුණසිංහයන්ගේ ප්‍රධාන ගෝලයා වූයේ කෙසෙල්වත්තේ රණසිංහ ප්‍රේමදාසය. ඒ. ඊ. ගුණසිංහ ප්‍රතිමාව ඉදිකොට කෙසෙල්වත්තේ තිබූ ෆැක්ටරි වසා ගුණසිංහපුර නිවාස යෝජනා ක්‍රමය ප්‍රේමදාස ජනපති බිහි කළේය. සෑම මැයි 1 වැනිදාකම එජාප මැයි රැලියට ප්‍රථම කම්කරු නායක ඒ.ඊ. ගුණසිංහයන්ගේ ප්‍රතිමාවට උපහාර දැක්වීම ඔහුට කෘතගුණ සැලකීමක් විය. එහෙත් දෛවෝපගත සිදුවීම වන්නේ ගුණසිංහ ප්‍රතිමාව ළඟින් ඇරැඹෙන මිහිඳු මාවත හතරමං හන්දියේ රණසිංහ ප්‍රේමදාස පිළිරුව පසුකලෙක ඉදිකිරීමය. අවසානයේ 1993දී මැයි දිනයේම ඝාතනය වූ ප්‍රේමදාස ජනාධිපතිගෙත් ඔහුගේ මුල් ගුරාගේ ඒ. ඊ. ගුණසිංහයන්ගෙත් ගුණ සමරු එකම දිනයේ පැවැත්වීමට සිදුවීම එම දෛවෝපගත සිදුවීම විය.

මැයි දිනයේ ඉතිහාසය ඇමරිකාවේ චිකාගෝ නුවර වෙත දිව යන්නේ 1886 මැයි 1 වැනිදා සිට 4 වැනිදා දක්වා සිදු වූ වෙඩි තැබීම නිසා චිකාගෝව ලෙයින් හා දුමෙන් පිරණු යුද පිටියක් වූ පසුබිමකය. එම සිද්ධිය හමාර වූයේ පක්ෂග්‍රාහි නඩු විභාගයකින් කම්කරු නායකයින් කීපදෙනකු පෝරකයට ද යැවීමෙනි. නමුත් අවසානයේ පොදු කම්කරු ජනතාවට පැය 8ක වැඩ මුරයක් ඇතුළු කම්කරු අයිතීන් ගණනාවක් හිමි විය. එතෙක් එම ජනතාවට දිනකට පැය 15ක් 16ක් එකදිගට වැඩ කිරීමට සිදු විය. 1886 මැයි 1 වැනිදා චිකාගෝ නුවර මැයි රැලියට සහභාගි වූ කම්කරුවන්ගේ සිරුරුවලින් ගලාගිය රතු රුධිර ධාරාවන්ගේ එහි ලෙළ දෙන සුදු ධජ රතු ධජ බවට පත් විය.

එදා මැයි රැලියකට ලංකාවේ වුවද කම්කරු ජනතාව ආවේ හැඟීමකිනි. ඒත් අද මැයි රැලිවලට ජනතාව ගෙන එන්නේ ඔවුනට විවිධ ප්‍රතිලාභ සැලසීමෙනි. මේ බොහෝ දෙනා රැලියට අදාළ පක්ෂය රජයකට හේත්තු වී සිටි කාලයේ රැකියා ලබාගත්තන් ඉන් කොටසකි. ඒත් නැතිනම් පවතින රජයෙන් රජයේ රැකියාවක් බලාපොරොත්තු වන රැකියා අපේක්ෂකයින්ය. ඒත් නැතිනම් බත් පාර්සලය, අරක්කු බෝතලයක් සමඟ රුපියල් දෙදහක දොළ පිදේනියක් පුදකර ගෙන එනු ලබන කුලීකරුවන්ය. පක්ෂවල ආසන සංවිධායකයින් කරන්නේ තම බලය පෙන්වීමට බස් රථයක පටවා දොළපිදේනි දී කොළඹ මැයි රැලියකට දක්කනු ලබන කුලී මිනිස් හේවායන් පිරිසක්. ඔවුනගේ ප්‍රධාන කාර්යය වන්නේ තමන්ගේ ප්‍රාදේශීය නායකයින් කල්තියා දෙන සටන් පාඨ හඬ නඟා උස්හඬින් කීමය. තමන් ගෙනා දේශපාලන ලොක්කා කතා කරන විට උස් හඬින් ‘හුරේ’ දමා අත්පුඩි ගැසීමය.

ලංකාවේ මැයි රැලි ගැන ලේඛකයින් විවිධ සටහන් තබා ඇත. මෙය පුවත්පත් කලාවේදී එස්. පියසේන මෙයින් වසර 85 පෙර පැවති මැයි දිනයක් ගැන තැබූ සටහනකි.

1939 මැයි රැලියට සහභාගි වන විට මම ආනන්ද මහ විදුහලේ ශිෂ්‍යයෙකි. එම ලංකා සමසමාජ මැයි දිනය පැවැත් වූයේ ප්‍රයිස් පිටියේය. එහි මුලසුන එවකට සමසමාජ පක්ෂ සභාපති කොල්වින් ආර්. සිල්වා හොබවන ලදි. සමසමාජයේ රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රීන් වූ පිලිප් ගුණවර්ධන, ඇන්.ඇම්. පෙරේරා, ලෙස්ලි ගුණවර්ධනයෝ ද එහි කතිකයන් විය. රැස්වීම අමතා කතා පැවැත්වූ එකම කාන්තාව මල්ලිකා ගුණසේකර බොරලුගොඩ ගුණවර්ධන පවුලේ සාමාජිකාවක විය.

මේ ඉතිහාසය අනුව පෙනී යන්නේ මෙරට මැයි රැලිවලට සහභාගී වී දැනට ජීවතුන් අතර සිටින ජ්‍යෙෂ්ඨම සාමාජිකාව රොබට් ගුණවර්ධනයන්ගේ බිරිඳ බවය. ගිය වසරේ ඇය තම 100 වැනි උපන් දිනය පසුකිරීම ගැන සිළුමිණේ අප ඇයට උපහාර දැක්වූයේ ඇය සමඟ කරන ලද සාකච්ඡාවක් පළ කිරීමෙනි.

ලංකා ඉතිහාසයේ උත්කර්ෂවත්ම මැයි දිනය ලෙස ඉතිහාසගතව ඇති මැයි රැලියක් නම් 1956 එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක බලයට පත් වූ පසු පැවැත් වූ මැයි රැලියයි. 1956 අප්‍රේල් 15 දා බණ්ඩාරනායක බලයට පත් වූයේ අවුරුදු කටේය. අවුරුදු දා බණ්ඩාරනායක හොරගොල්ල වලව්වේ හැන්දෙන් ගෑරුප්පුවෙන් කිරිබත් කෑ හැටි සිසිර කුමාර මානික්ක ආරච්චිගේ කෘතියක උපහාසයට ලක්කොට ඇත.

බණ්ඩාරනායක මැයි දිනය රජයේ හා වෙළෙඳ නිවාඩු දිනයක් බවට පත්කළේය. කොමියුනිස්ට් පාලනයක් නැති රටක මැයි දිනය නිවාඩු දිනයක් කළ ප්‍රථම රට ලෙස එය ඉතිහාසයේ සඳහන්ව ඇත.

එහෙත් 1956 බණ්ඩාරනායක ආණ්ඩුවේ මැයි රැලියට වඩා දැවැන්ත රැලිය පැවැත් වූයේ ලංකා සමසමාජ පක්ෂය විසින් ගෝල්ෆේස් පිටියේය. මේ මැයි රැලියෙන් භාෂා ප්‍රශ්නය මත ශ්‍රීලංනිපයත් වාමාංශික පක්ෂත් අතර විරසකය එළියට පැන්නේය. බණ්ඩාරනායක සිංහලය රජ බස විය යුතු බව කිව්වත් සමසමාජ කොමියුනිස්ට් පක්ෂය සිංහල හා දෙමළ භාෂා වශයෙන් සමතැන් ලැබිය යුතු බව ඇදහීය.

මැයි දින නිවාඩු දිනයක් කළ බණ්ඩාරනායකට එරෙහිව මැයි දිනයක් සම සමාජය මෙහෙයවීම දෛවෝපගත සිදු වීමක් විය.

බණ්ඩා එරිලා – භාෂා මඩේ
භාෂා දෙකක් එකම රටක්
එකම බසක් රටවල් දෙකක්

එදා මැයි දින ඒ වෙනුවෙන්ම පබැඳූ කවි සින්දුවලින් රසවත් වූයේය. 1977 යූඇන්පී ආණ්ඩුව එන්නට පෙර පැවති මැයි රැලියේ ප්‍රධාන තේමාව වූයේ බඩු හිඟය ගැනය.

මිරිස් නැතුව හොදි කන්නම්
සීනි නැතුව තේ බොන්නම්
අගමැතිනිය කියනවා නම්
පිදුරු වුණත් අපි කන්නම්

එමෙන්ම ජේ.ආර්. ජයවර්ධන හා හෙක්ටර් කොබ්බෑකඩුව ජනාධිපතිවරණයට පෙර පැවති යූඇන්පී මැයි දිනයේදී කොබ්බෑකඩුවට එරෙහිව කියූ සටන් පාඨය මෙසේය.

හාල් පොල්ල
මිරිස් පොල්ල
දාපු බිල්ලා
කොබ්බෑ කඩුව

1956 බණ්ඩාරනායක ආණ්ඩුව මැයි දිනය පවත්වා ඇත්තේ කොළඹ නිදහස් මන්දිර ශාලාවේය. ශාලාව ඉදිරියේ ගමන් කළේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගයයි. ආචාරය පිළිගනිමින් බණ්ඩාරනායක, ඉලංගරත්න හා පිලිප් ගුණවර්ධන සිට ඇත.

“අගමැතිතුමා දිනේවා, පිලිප් ඇමතිතුමා දිනේවා, ඉලංගරත්න කම්කරු ඇමතිතුමා දිනේවා! අපේ මහජන රජය දිනේවා!. මහ හඬක් නැඟෙන්නට විය.

අපේ ජාතික ගීය මෙන්ම ‘මැයි දින’ ගීතයක් ද ඇත. මෙය රචනා කොට ඇත්තේ පරණ සමසමාජකාරයකු වූ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයි. ඒත් පසුව මානවසිංහ සමසමාජය සමඟ විරසක විය.

පෙරමුණටම යමවු යමවු
ගොවි කම්කරු ධජය නගවු
එක බලමුළුවක එක්වී
එක්සත් පෙරමුණක සැදෙව්….
ජනතා සමඟිය තර කොට
ඉදිරියටම යමව් යමව්
දැන් පිබිදෙව් එඩිතර වවු
පෙරමුණටම යමවු යමවු…

ලංකාවේ මැයි දින ඉතිහාසය සොයා යාමේදී 1957 දී ඇන්.ඇම්. පෙරේරා මැයි දින රැලියට නිකුත් කළ මැයි දින සුබ පැතුම් පතක් හමු විය. එහි මෙම කවි පද ඇතුළත් සුබ පැතුම ඇන්. ඇම්. ගේ නමින් පළකොට තිබුණි.

යන ඉදිරියට දනපති බැමි පවුරු බිඳ
නව ලෝකයක් පිළිබඳ හිරු කිරණ මැද
අප සතු සටනේ රන්මය වූ දිනය අද
ඔබ වෙත පතම් ජයසිරි පා පියවි නද

මැයි දින ඉතිහාසය පිරික්සීමේදී පෙනී යන්නේ ඒ. ඊ. ගුණසිංහයන් මෙය හඳුන්වා ඇත්තේ ‘මැයි පෙරහැර’ ලෙස බවය. සූරියමල් ව්‍යාපාරය සමඟ කම්කරු අරගලයට පිවිසි වමේ ව්‍යාපාරය එය ‘මැයි පෙලපාලි’ බවට පත්කොට ඇත.

මෙරට මැයි දින ඉතිහාසයේ ෆුල්ෆන් එකක් ගත හැකි මැයි දිනය පවත්වා ඇත්තේ 1978 දී යූඇන්පී ආණ්ඩුවේ මැයි රැලියයි. එම රැලියට ඉන්දියන්, නේපාලය ඇතුළු රටවල ගායක, ගායිකාවෝ, නළු නිළියෝ, මැජික්කාරයින් පවා එක්වී ඇත. එයට සහභාගි වූ ප්‍රසිද්ධ ඉන්දියන් ගායකයකු වූයේ මන්නාඩේය. ඉන්පසු 80 දශකයේදී එජාපය මෙවැනිම මැයි දින බජව්වක් දැම්මේය. මල්වෙඩි සංදර්ශන, ගුවන් කරණම් වගේ තවත් විනෝදාංශ අංග කීපයක් එයට එක්කොට තිබුණි.

මෙරට මැයි දින පෙළපාලිවල ‘විනය’ නඩත්තු කරන පරණම පක්ෂය වී ඇත්තේ JVP යයි. 1978 ලයනල් බෝපගේ ප්‍රධානත්වයෙන් මුලසුනේ තබාගෙන කොළඹ නගර සභා පිටියේ පැවති JVP මැයි රැලියේදී රෝහණ විජේවීර මෙසේ ප්‍රකාශ කොට ඇත.

“අපේ මැයි පෙළපාළියේ කසිප්පු, රා, අරක්කු, සිගරට්, සුරුට්ටු කවුරුත් බොන්නේ නැහැ. අපි කිසිම කෙනෙක් කිසිම දෙයක් හොරකම් කරන්නෙත් නැහැ!”

ඉතිහාසයේ ලෝක කම්කරු දිනය ආරම්භ වූ දිනය ලෙස සැලකෙන්නේ 1886 මැයි 13 චිකාගෝවේය. ඒත් ලංකාවට මැයි දින සංකල්පය 1927දී ගෙන එන්නේ ඒ.ඊ. ගුණසිංහ විසිනි. ලෝක මැයි දිනය ආරම්භ වී වසර 101කට පසු ලෝකයේම මැයි දිනවල වෙනසක් ලංකාවේ ඇතිවිය. ඒ 1987දී බෞද්ධ භික්ෂූන් වහන්සේලා නාරාහේන්පිට අභයාරාමයේදී මැයි සමරුවක් පැවැත්වීමෙනි. එයට දිනේෂ් ගුණවර්ධනගේ මව්බිම සුරැකීමේ ව්‍යාපාරය ද එක්විය. මුරුත්තෙට්ටුවේ ආනන්ද‍, හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස හා මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රධාන්වයෙන් එය පැවැත්වුණි. ඒත් මව්බිම සුරකිමු ව්‍යාපාරය මෙහෙයවීමේ අදිසි හස්තය වූයේ 1983 තහනමට ලක්වී සිටි JVP ය බව අමුතුවෙන් කිව යුතු නොවේ. ප්‍රචාරක කටයුතු සිදු කළේ අන්තර් විශ්වවිද්‍යලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසිනි.

ඒත් එම වසරේ මැයි දිනය ජාතික දිනය වන මැයි 22දා පවත්වන ලෙස රජයේ දැන්වීමට එරෙහිව එය පවත්වා තිබුණි. පන්සලෙන් පිටත්ව යන පිරිසට කඳුළු ගෑස් බැටන් ප්‍රහාර එල්ල කළ පොලිසිය වෙඩි තබන්නට පටන් ගත්විට දෙදෙනකු මිය පරලොව ගිය අතර විශාල පිරිසකට තුවාල සිදු විය.

ආණ්ඩුවේ මේ මැයි දින තහනමට හේතු වූයේ 1987 අප්‍රේල් 21 දා පිටකොටුවේ බස් නැවතුමේ බෝම්බ ප්‍රහාරයකින් 122ක් මරුමුවට පත්වී 200ක් තුවාල ලැබීමය. රජය වහාම ඇඳිරි නීතිය පනවා අප්‍රේල් 22 නිවාඩු දිනක් බවය පත්කළේය. 1987 මැයි 1 වැනිදා අභයාරාමයට එල්ල කළ ප්‍රහාරයෙන් මිය ගියේ ලෙස්ලි ආනන්ද ලාල් හා කිත්සිරි මෙවන් රණවකය. මා 2016 වසරේ ලෙස්ලි ආනන්දගේ නිවෙස සොයා ගිය විට වසර 30ක් ඉක්මවා ගියත් ඔහුගේ මරණ සහතිකයක් නිකුත් කර නොතිබුණි.

1987 මැයි දින රැලිය මැතිනිය පැවැත්වූයේ ඩාලි පාරේ ශ්‍රීලනිප මූලස්ථානයේය. ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය සහ ශ්‍රී ලංකා මහජන පක්ෂය එක්ව හයිඩ් පිටියෙන් පටන් ගත් විට පොලිසිය එයට පහර දෙන ලදි. ඒත් එම නායකයන් සමසමාජ කාර්යාලය ඉදිරිපිට තාවකාලික වේදිකාවක පැවැත්වූ රැලියට පොලිසිය ප්‍රහාර එල්ල කළ නිසා වමේ “හොඳ කකුලක්” අනතුරට පත්විය. පොලිසිය ගැසූ කඳුළු ගෑස් නිසා කොල්වින්ගේ කකුලක් පිලිස්සුණ නිසා ඔහුට අන්තිමට සිංගප්පූරුවේ ප්‍රතිකාර ගන්නට පවා සිදු විය. එහෙත් කොල්වින්ගේ අභාවය තෙක් එම ආබාධය කොල්වින්ගේ කකුලේ තිබුණි.

කොරෝනාවෙන් පසු දැවැන්තම මැයි රැලි පැවැත්වෙන්නේ මෙවරය. ‘සාදුකින් පෙලෙන වුන් දැන් ඉතිං නැගිටියව්’ ඒ මැයි රැලියේ වලංගු සටන් පාඨයක් නොවන බව ඉඳුරාම කිව හැකිය.

වජිර ලියනගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division