ආනයනික ටින් මාළු සඳහා දැනට පවතින විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද (SCL) කිලෝවකට රුපියල් 200 සිට 500 දක්වා වැඩි කිරීමට සහ සියලුම ආනයනික ටින් මාළු සඳහා 18% වැට් බද්ද අය කිරීමට පියවර නොගතහොත් දේශීය ටින් මාළු කර්මාන්තය බරපතළ අර්බුදයකට මුහුණ පානු ඇතැයි ශ්‍රී ලංකා ටින් මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ (SLCFMA) සභාපති ශිරාන් ප්‍රනාන්දු පවසයි.
ආනයනික ටින් මාළු කිලෝවක් සඳහා රුපියල් 200ක් දක්වා බදු අඩු කර දේශීය ටින් මාළු සඳහා 18% ක අතිරේක බද්දක් පැනවීමෙන් මිල රුපියල් 125 කින් වැඩි වන බවත්, එය දේශීය කිලෝවකට රුපියල් 400 ක බද්දක් වන බවත් ඔහු පැවසීය. එය, ආනයනික ටින් මාළුවලට සාපේක්ෂව දේශීය ටින් මාළු ටින් එකක 20% කින් මිල වැඩිවීමකි.
දේශීය ටින් මාළු මිල 20% කින් ඉහළ දමා, ආනයනික ටින් මාළු සඳහා වැට් බද්දක් පවා පනවා නොමැති විට විදේශීය ටින් මාළු සමඟ තරග කරන්නේ කෙසේ දැයි ඔහු ප්‍රශ්න කළේය.
“ චීනය සහ තායිලන්තය ලෝකෙටම සැමන් හදන්නේ ඔවුන්ට මුහුදක් අහලකවත් තිබිලා නෙවෙයි. ඒත්, රටට වඩා දහ ගුණයක් විශාල මුහුදක් ශ්‍රී ලංකාව වටේ තිබෙනවා. එහෙම තියාගෙනයි, විදේශ විනිමය පිටරටට දීලා, ටින් මාළු ආනයනය කරන්නේ. අපි මහා සාගරයක් රට වටේ තියාගෙන අවුරුදු ගණන් පරණ වෙච්ච ආනයනික සැමන් කනවා.
රටට අත්‍යවශ්‍ය කර්මාන්තයක් පවත්වාගෙන යෑමේ හැකියාව සෑම අතින් ම තිබියදී, ටින් 40,000 බැගින් පිරවූ සැමන් කන්ටේනර් 50-60ක් සෑම මාසයකම ලංකාවට රැගෙන එනවා. අපේ රටේ මේ සා මුදල් ප්‍රමාණයක් විදේශ රටවලට ඇදීයාම නතර කළ යුතුයි. දේශීය ටින් මාළු කර්මාන්තය මුහුණ පා තිබෙන මේ බරපතළ ගැටලුව පිළිබඳව රජයේ අවධානය යොමු වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.
රටට ඩොලර් මිලියන ගණනින් ඉතිරි කර දුන් දේශීය ටින් මාළු කර්මාන්ත ශාලා මේ මොහොත වන විට අක්‍රීය තත්ත්වයකට මුහුණ පා ඇති බව ඔහු අවධාරණය කරයි.
රුපියල් මිලියන 150ක ආයෝජනයකින් සහ දිනකට සැමන් ටින් 30,000ක් නිෂ්පාදනය කළ හැකි, යූරෝ මිලියන 60කට අධික යන්ත්‍ර සූත්‍ර සහිත ඔලුවිල් වරායේ විවෘත කිරීමට සැලසුම් කර තිබූ ටින් මාළු කර්මාන්ත ශාලාව ද ඇණහිට ඇති බවත්, ඔහු පෙන්වා දුන්නේය.
උද්ගතව ඇති මෙම තත්ත්වයට බලපා ඇති හේතුව වන්නේ, මීට වසර තුන හතරකට පෙර ටින් මාළු සඳහා අය කරන බද්ද කිලෝවකට රුපියල් 200ක් වැනි සුළු මුදලක් දක්වා අඩු කිරීම සහ 18% වැට් බද්දෙන් නිදහස්ව ආනයනය කිරීමට ඉඩ සැලසීමෙන් ටින් මාළු රට තුළට ගලා ඒමට පටන් ගැනීම බව ද ශ්‍රී ලංකා ටින් මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ (SLCFMA) සභාපතිවරයා සඳහන් කරයි.
මත්ස්‍ය අස්වනු බහුල ‘සීසන්’ එක ළඟදීම ආරම්භ වන නමුත්, මේ පසුබිම තුළ ධීවරයන්ගෙන් මත්ස්‍ය අස්වැන්න මිලදී ගැනීමට දේශීය ටින් මාළු සංගමයේ සාමාජිකයන්ට හැකියාවක් නොමැති බව ද ඔහු පැවසීය.
” බස්නාහිර පළාතට සාපේක්ෂව අවුරුදු තිස් ගණනක් පැවති යුද්ධය නිසා, කර්මාන්තයක් ලෙස නිසි සැලකිල්ලක් නොදක්වා අත්හැර දැමූ තැනට වැටී තිබෙන, නැඟෙනහිර පළාතේ ධීවර කර්මාන්තය නඟා සිටුවීමට හැකි නම්, එය මේ වෙලාවේ ඉතාමත් ස්ථානෝචිත ක්‍රියාවක්. එසේ කළහොත්, වසර පුරාම රටට අවශ්‍ය ටින් මාළු ප්‍රමාණය සපයන්නට දේශීය ටින් මාළු කර්මාන්තකරුවන් වන අපට පුළුවන්.
අපේ රටේ එක් දිනකදී ටින් මාළු, ටින් ලක්ෂ දෙකහමාරක් පරිභෝජනය කරනවා. අද දවස වන විට ඉන් ලක්ෂ එකහමාරක් දේශීය කර්මාන්ත තුළ නිෂ්පාදනය කරන්න අපට පුළුවන්. රජය තවදුරටත් ශක්තිමත් වැඩපිළිවෙළක් ඔස්සේ උදවු කරනවා නම් වසරක් තුළ රටට අවශ්‍ය සියලුම ටින් මාළු ප්‍රමාණය නිෂ්පාදනය කරන්න, දේශීය කර්මාන්ත ශාලාවලට හැකියාව තිබෙනවා. වසර හතරක් යන විට අපනයනය කරන තරමට, අපගේ නිෂ්පාදන ධාරිතාව වැඩි කරන්න අපිට පුළුවන්.
දේශීය කර්මාන්තයක් පිබිදෙන විට, ඒ හා සමගාමීව තවත් දේශීය ව්‍යවසායකයන් ගොඩනැඟෙනවා. උදාහරණයක් ලෙස, අපගේ ටින් මාළු කර්මාන්තයට අවශ්‍ය ටින් නිපදවන්නේ දේශීය ව්‍යවසායකයන්. ලේබල් නිෂ්පාදනය කරන්නේත්, ලුණු සපයන්නේත් දේශීය ව්‍යවසායකයින්. ශ්‍රමය අපේ රටේ මිනිසුන්ගේ. ඉතින්, මෙතෙක් පිට රටට ඇදී ගිය රටේ මුදල්, තවත් ජන සමාජයක ආර්ථිකය ගොඩ නැංවීමට ඉවහල් වනවා. ඒ හරහා විශාල පිරිසකට රැකියා අවස්ථා උදා වනවා.
අපි ලින්නා කිලෝවට රුපියල් 350ක් ධීවරයාට ලබා දුන්නා. එහෙම හොඳ මිලක් ලැබෙන විට, ඔවුන්ගේ ආර්ථිකය ඉබේ ඉහළ නැංවෙනවා. ඔවුන්ගේ මාළු අස්වැන්නට හොඳ මිලක් නැතිව, අනෙක් මොනවා ලැබුණත් ඔවුන්ට වැඩක් නැහැ.
රජය මේ මොහොතේ ඉතා ඉක්මනින් ගත යුතු පියවර වන්නේ, ආනයනික ටින් මාළු කිලෝවකට පනවා තිබෙන රුපියල් 200 සුළු බද්ද රුපියල් 500 දක්වා ඉහළ දමන එක.
අපිට පුළුවන් මට්ටමින් ධීවරයන් බලා ගත්තත් කර්මාන්තයේ උන්නතිය උදෙසා වෙනස් නොවන තීන්දු තීරණ සහ ප්‍රතිපත්තීන් සකස් විය යුතුයි. ඒ වගේම, ඒ ප්‍රතිපත්ති ආණ්ඩු වෙනස් වන විට වෙනස් නොවන ස්ථාවර ඒවා විය යුතුයි.
අද වන විට ජනතාවත් දේශීය දේ වෙත නැඹුරු වෙමින් සිටින නිසා, 100%ක් දේශීයව ප්‍රණීත රසයෙන් සහ ගුණයෙන් යුතු ලින්නා මාළුවාගෙන් නිපදවන, අපේ රටේ ටින් මාළු තිබියදී, ප්‍රමිතියෙන් තොර ආනයනික ටින් මාළු අනුභව කිරීම ශරීර සෞඛ්‍යයට එතරම් හොඳ දෙයක් නෙවෙයි. එය රටක් හැටියටත් අප කරගන්නා මහා විනාශයක්. ඒ වගේම කෙලවල්ලා මාළු ජපානය වැඩියෙන්ම මිලදී ගන්නේ, ශ්‍රී ලංකාවෙන්. ඒ, ශ්‍රී ලාංකික කෙලවල්ලා රසයෙන් අනූන නිසා. කෙලවල්ලා අපනයනයෙන් ශ්‍රී ලංකාව උපයන විශාල විදේශ විනිමය ප්‍රමාණය, අවුරුදු ගණන් පරණ වූ ටින් මාළු ගෙන්වා ගැනීමට වැය කොට අප නැති කර ගැනීම, ඉතාම ඛේදනීය තත්ත්වයක්.
මෙම ගැටලුව විසඳීම සම්බන්ධයෙන් රජයේ පාර්ශ්වයේ අදහස් විමසීමේදී, ධීවර අමාත්‍යාංශයේ ලේකම්, නයනා කුමාරි සෝමරත්න පැවසූයේ, ධීවර සහ වෙළෙඳ අමාත්‍යවරු මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර, ආනයනික ටින් මාළු කිලෝවකට පනවා ඇති රුපියල් 200/-ක බදු මුදල අවම වශයෙන් රුපියල් 450/- දක්වා වැඩි කිරීම සඳහා ඉල්ලීම් කොට කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කර ඇති බවයි.
ඉනෝකා පෙරේරා බණ්ඩාර