සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ 10 වැනි සංවත්සරය පසු ගියදා නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ගේ සහභාගීත්වයෙනි. ජාතික අධ්‍යාපනය පරයමින් මාෆියාවක් සේ මතුවන උපකාරක පන්ති හෙවත් ටියුෂන් සංස්කෘතියට එදා දැඩි සේ විරෝධතා දැක්වූ ජාතික ජන බලවේගය මෙදා ඊට හාත්පසින්ම වෙනස් වූ මතයක් ඉදිරිපත් කරමින් පැවසුවේ තම රජයක් බලයට පත් වුවද ටියුෂන් නතර කිරීමේ කිසිදු උත්සාහයක් නොගන්නා බවය. ජාතික ජන බලවේගයේ මේ දෙබිඩි පිළිවෙත පිළිබඳ විවිධ විෂය ප්රාමාණිකයන් දැක්වූ අදහස් මෙසේ්ය.
ටියුෂන් ගුරු වෘත්තිය අවදානමට ලක් කරන චේතනාවක් අපට නෑ
– ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක
ඕනෑම රටක් තමන්ගේ ආර්ථික උපාය මාර්ග තෝරා ගැනීමේදී සැලකිලිමත් වන කරුණු කිහිපයක් තිබෙනවා. රටේ පිහිටීම, ස්වාභාවික සම්පත්, වෙරළ තීරය, ජෛව විවිධත්වය, පාරිසරික වටිනාකම්, දේශගුණික කලාප, කෘෂි හා වාරිකර්මාන්තය හා බැඳුණු ආර්ථික උපාය මාර්ගයන් අපට තිබෙනවා. ඒ සියල්ල සංසන්දනය කිරීමේදී වර්තමාන ලෝකයේ ඇතිවී තිබෙන වෙනස්කම් මත අද අපේ ආර්ථික උපායමාර්ගවල ප්‍රධාන තැන ඉන්නේ අධ්‍යාපනයයි. රට සංවර්ධන මාවකට ගෙන යන්නත් රට සුවපත් කරන්නත් ප්‍රබල වන්නේ අධ්‍යාපනය බව අපි කල්පනා කරනවා. අද අපේ අධ්‍යාපනයේ තිබෙන රේඛීය පාර වෙනුවට පාරවල් ගොඩක් ඔස්සේ හිනි පෙත්තටම යා හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රටට අවශ්‍යයි.
පෞද්ගලික අධ්‍යාපනය ලබාදෙන ගුරුවරුනි, ඔබලා හමුවූ විට අපේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන් කියනවා අපි ආවොත් ටියුෂන් නතර වෙනවා කියලා. අපි අධ්‍යාපනය පවතින ආකාර තුනක් කියනවා. ඒ, රජයේ අධ්‍යාපනය, පෞද්ගලික අධ්‍යාපනය සහ විදෙස් අධ්‍යාපනය. විශේෂයෙන්ම අප රටේ පාසල් පද්ධතියේ විශාල විෂමතාවක් තිබෙනවා. නමුත් අද නගරෙ පාසලක දරුවත් ගමේ පාසලක දරුවත් එකම හෝල් එකක හමු වෙන්නේ ටියුෂන් පන්ති කාමරයක. අපේ අධ්‍යාපනයේ තිබෙන විෂමතාව යම් ආකාරයකට දුරු කිරීම සඳහා ඔබේ කාර්යය ඉතා වැදගත්. ඒ නිසා මම හිතනවා අද අපේ රටේ දරුවන්ගේ අධ්‍යාපනයේ විශාල පංගුවක් ඔබ විසින් හොබවන බව. ඒ ගෞරවය, වටිනාකම අපි ඔබට දෙනවා. ඔබගේ වෘත්තිය අවදානමකට ලක්කිරීම, ඔබේ වෘත්තිය අහෝසි කිරීම පිළිබඳ චේතනාවක් අපට කිසිසේත් නැහැ.
නමුත් අපිට එක ප්‍රතිපත්තියක් තිබෙනවා. දරුවන්ට, පුරවැසියන්ට අධ්‍යාපනය දීම ආණ්ඩුවේ වගකීමක්. ඒ වගකීම අපි අතහරින්නේ නැහැ. නමුත් ඒ අධ්‍යාපනය ලබාගත හැකි ආකාර විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ ආකාර සියල්ල විවෘත කළ යුතුයි. අධ්‍යාපනය ලබාගත හැකි තවත් පැති ගණනාවක් අපේ දරුවන් සඳහා විවර විය යුතුයි කියන ස්ථාවරයේ අප සිටිනවා. අපේ බිඳ වැටී තිබෙන රාජ්‍යය ගොඩනැඟීම සඳහා අධ්‍යාපන ක්ෂේත්රය තුළ ඔබ ඉතා විශාල පංගුකාරයන් බව අපි විශ්වාස කරනවා.
අනුරටත් දැන් ටියුෂන් අධ්‍යාපනය අත්‍යවශ්‍ය දෙයක්
– සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමි
සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා ඇති කළ නිදහස් අධ්‍යාපනය තවදුරටත් පුළුල් විය යුතුයි. නිදහස් අධ්‍යාපනයට රාජ්‍ය ප්‍රතිපාදන වැඩි කළ යුතුයි. ගුරු විදුහල්පති වැටුප්, දරුවන්ගේ සුබ සාධනය වැඩි කිරීමට කටයුතු කළ යුතුයි. අඩු අදායම්ලාභී දරුවන් සඳහා පාසල් උපකරණ සහන මිලට ලබා දිය යුතුයි. නිදහස් අධ්‍යාපනය ඉදිරියට ගෙන යා හැක්කේ මේ හරහායි. එසේම පාසල් අධ්‍යාපනය නියාමනය කිරීම කළ යුතුයි. සෑම පාසලකටම සම අධ්‍යාපන අවස්ථාවලට වඩා සාධාරණ අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. විෂය නිර්දේශය සෑම පාසලකටම සාධාරණව ඉගැන්විය යුතුයි. ඒ සඳහා මානව සම්පත් ලබාදිය යුතුයි. සමස්ත විෂය නිර්දේශ ඉගැන්වීම පිළිබඳ පොදු ඇගැයීම් ක්‍රමයක් ඇති කළ යුතුයි. පාසල්වල අධික මුදල් අයකිරිම නොකළ යුතුයි. පාසලේ ඉගෙනුම් ඉගැන්වීම් හරියාකාරව සිදු කරනවා නම් උපකාරක පන්තිවලට යාම අවශ්‍ය නැහැ. උපකාරක පන්තිවලට දරුවන් යොමු කිරීම සඳහා මවුපියන්ට අධික මුදලක් වැය කිරීමට සිදු වෙනවා. එක් අතකින් මාධ්‍ය හරහා යම් පුද්ගලයන් විසින් උපකාරක පන්ති අත්‍යාවශ්‍ය බව පෙන්වනවා. ජනාධිපතිතුමා, විපක්ෂ නායකතුමා මෙන්ම අනුර කුමාර දිසානායක සඳහන් කරන්නේ මෙය අධ්‍යාපනයට අත්‍යාවශ්‍ය දෙයක් බවයි. නමුත් ටියුෂන් හරහා කරන එකම කාර්ය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පමණයි. රටේ නායකයෝ වක්‍රාකාරව උපකාරක පන්තිවලට යාමට කියනවා. ජනතා විමුක්ති පෙරමුණ නායකයා පවා දැන් කියනවා මේ ක්‍රමය ඉදිරියට පවත්වා ගෙන යා යුතුයි කියලා. හැම කෙනාගේම අරමුණ අධ්‍යාපනය ආයෝජනයක් කිරීමයි.
විකල්පයක් වෙනුවෙන් පෙනී ඉන්න අයත් දැන් ටියුෂන් දක්වා තල්ලු වෙලා
– ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින්
ලංකාවේ අධ්‍යාපනයේ ප්‍රබල ගැටලුවක් වන්නේ ටියුෂන්. පාසල් විෂය මාලාව උගන්වන්න ප්‍රමාණාත්මක ගුරු පිරිසක් සිටියදීත් ටියුෂන් මාෆියාව ප්‍රමාණාත්මකව ගණන් හැදුවහොත් රුපියල් බිලියන 20 කට වැඩියි. මේ නිසා මවුපියන්ට නිදහස් අධ්‍යාපනයක් තියෙනවද කියන ප්රශ්නය මතුවෙලා. අද ටියුෂන් නිසා උසස් පෙළ පන්තිවලට සිසුන් පැමිණීමත් නැවතිලා තියෙනවා. මේ සම්බන්ධයෙන් අපි නිරන්තරයෙන් සාකච්ඡා කළා. සිසුන් පාසලට ගෙන්වා ගැනීමට තිබෙන වැඩපිළිවෙළ අපි සොයා බැලුවා. ටියුෂන් මාෆියාවේ ප්‍රබලතාව කොතරම්ද කියනවා නම් මෙහි පිරිස් අවසානයේ නියෝජනය කරන්නේ පාර්ලිමේන්තුව. මෙහි බලපෑම එතරම් වැඩියි. මේ අය සමාජයේ අධි බලයක් නිර්මාණය කරගෙන තියෙනවා. ලංකාවේ අධ්‍යාපනය විභාග කේන්ද්‍රීයයි. නිපුණතා පාදක විෂය මාලාවෙන් විකෘතියක් වුණේ විභාග ක්‍රමය නිසා. මේ තත්ත්වය වෙනස් කරන්න දෙන්නේ නැත්නේ මේ මාෆියාවයි. මෙවැනි තත්ත්වයකදී දේශපාලනඥයන් මේ ටියුෂන් ක්‍රමය වෙනස් කරන්නෙ නැහැ කියලා ප්‍රසිද්ධියේ පොරොන්දු වෙනවා. විකල්පයක් වෙනුවෙන් පෙනී සිටින අය පවා මේ දක්වා තල්ලු වීමට මේ මාෆියාව ප්‍රබල වෙලා තියෙනවා. අපි ටියුෂන් ව්‍යාපාරය නොමැති විය යුතුය කියන මතයෙයි ඉන්නේ. අද දරුවන්ට ටියුෂන් නොගියොත් අසමත් වන බවට මනසක් නිර්මාණය කර තියෙනවා. ටියුෂන් ෆැෂන් එකක් බවට පත්වෙලා. ඒ නිසා අපි අධ්‍යාපන ඇමැතිවරයාට කියන්නේ දරුවන් නැවතත් පාසල්වලට ළඟා කර ගන්න කියලයි. අධ්‍යාපනයේ විප්ලවිය වෙනසක් විය යුතුයි. ටියුෂන් ව්‍යාපාරිකයන්ගේ සමුළුවලට ගිහින් උඩගෙඩි දීම සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා.
එදා ටියුෂන් ක්‍රමයට විරුද්ධව කතා කළ ජනතා විමුක්ති පෙරමුණ අද පක්ෂව කතා කරනවා
– විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ආචාර්ය අතුලසිරි සමරකෝන්
උපකාරක පන්ති අද සමාජයේ යථාර්ථයක් වෙලා. පවතින තරගකාරි විභාග පද්ධතිය නිසා ජයග්‍රහණයට යොමු කිරීම කරනවා. උසස් පෙළ මෙන්ම සාමාන්‍ය පෙළත් අද අති ධාවනකාරී විභාග බවට පත්වෙලා. මේ තත්ත්වය නිසා උපකාරක පන්ති අද දැවැන්ත ව්‍යාපාරයක්. පාසල් ගුරුවරු මෙන්ම ඒ විෂයෙහි ප්‍රවීණයන් බිහිවෙලා. අද එය දේශපාලනයටත් බද්ධ වෙලා. අද මෙය විශාල කර්මාන්තයක් බවට පත්වෙලා. මේ උපකාරක පන්ති සංසිද්ධිය නිර්මාණය වන්නේ අපේ අධ්‍යාපනයේ අඩුපාඩු මෙන්ම විභාග ක්‍රමය නිසයි. මේ අධ්‍යාපන පද්ධතිය මානුෂවාදී කරන තෙක් මේ ප්රශ්නය විසදන්න බැහැ. මෙය විවෘත වෙළෙඳ පොළ මාෆියාවක්. මෙය ආපසු හරවන පද්ධතියක් නිර්මාණය කරන්න නම් මේවා මානුෂවාදී කළ යුතුයි. අධ්‍යාපන ඇගැයීම් ශාස්ත්‍රීය විෂයන්ට සමගාමීව නිපුණතා පාදක අධ්‍යාපනයක් ගෙන ආ යුතුයි. ප්‍රධාන පක්ෂ වැඩ කරන්නේ තමන්ට වාසි පරිසරයක් තුළයි.
මවුපියන්, දරුවෝ යන මේ සියලු දෙනාම අද ටියුෂන්වලට ඇබ්බැහි වෙලා. ප්‍රායෝගිකව දේශපාලනඥයන්ට පමණක් මීට විරුද්ධ වෙන්න බැහැ. එදා ටියුෂන් ක්‍රමයට විරුද්ධව කතාකළ ජනතා විමුක්ති පෙරමුණ පවා අද මෙයට පක්ෂව කතා කරනවා. නමුත් විය යුත්තේ අධ්‍යාපනයේ ගුණාත්මක බව වැඩිකර එය මානුෂවාදී මුහුණවරක් ලබා දීමයි. ඒ සඳහායි දේශපාලනය කළ යුත්තේ. මේ වෙනුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පෙනී සිටිනවා.
ජවිපෙට අධ්‍යාපනය නොවෙයි රට ගැනත් නිසි ප්‍රතිපත්තියක් නෑ
– සමගි අධ්‍යාපන සේවා සංගමයේ ජාතික සංවිධායක හා අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු සහකාර ලේකම් ප්‍රියන්ත පත්බේරිය
ලොව වෙනස්වන අධ්‍යාපන රටාවන් තුළ අධ්‍යාපනය වෙනස් විය යුතුයි. අද තියෙන්නේ පිළුණු වූ අධ්‍යාපන ක්‍රමයක්. අපේ රජයක් තුළ විෂයමාලා සංශෝධන, ගුරු පුහුණු සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සාකච්ඡා කරමින් යනවා. ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ විදුහල්පතිවරු අමු අමුවේ මරපු යුගයක් තිබුණා. 1977 ඔවුන් තුවක්කුවෙන් බලයට යන්න උත්සහ කළා. විවිධ අවස්ථාවල බලයට එන්න ආවා. ඔවුන්ගේ දියාරු ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළා. එක වෙලාවක අධ්‍යාපනය විකුණනවා කියපු සටන් පාඨ අද යල්පැන ගිහින්. මුල් කාලයේ ඔවුන් පෞද්ගලීකරණය පිළිබඳ බිල්ලෝ මැව්වා. මේ පරිහානිය නැතිනම් අපේ රට පින්ලන්තය මෙන් මීට වඩා ඉදිරියට ගිහින්. රටේ ජාතික ආර්ථිකයේ බිලියන 200 ක් නැති කළා සේම අනුර කුමාරගේ පුතා විදේශ රටවල පෞද්ගලික විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නවා. ඔවුන්ගේ දෙබිඩි පිළිවෙත 13 සංශෝධනය හා සමානයි. අධ්‍යාපනය සම්බන්ධව ඔවුන්ගේ දෙබිඩි පිළිවෙත රටට හෙළි කරන මෙන් ඉල්ලා සිටිනවා.
ඔවුන් අධ්‍යාපනයට වෙන් කරන මුදල කීයද? ටියුෂන් සම්බන්ධයෙනුත් අද කියන්නේ එදා කියපු දේ නෙමෙයි. අපි ටියුෂන් තහනම් කරන්න කියා අදහසක් ඉදිරිපත් කර නැහැ. ටියුෂන් දෙස සිසුන් බලන්නේ සම අධ්‍යාපන අවස්ථා නැති නිසයි. මේ තත්ත්වය වෙනස් විය යුතුයි. ජනතා විමුක්ති පෙරමුණට අධ්‍යාපනය පිළිබඳ පමණක් නෙමෙයි රට පිළිබඳවත් නිසි ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ. මේ අය ප්‍රතිපත්ති පාවා දුන්නා. ඒ නිසා දෙබිඩි පිළිවෙතකින් තොරව තම අධ්‍යාපන ප්‍රතිපත්ති පෙන්වා දෙන්න.
සුභාෂිණි ජයරත්න, සුරේකා ඉලංකෝන්