තරුණ සිත් ආදරයෙන් බැඳෙන්නේ හරි අපූරු විදිහට. ආදරය කරන, ආදරය විඳින කාලෙදි වගේ නොවෙයි ආදරයෙන් බැඳිලා එක වහලක් යටට ආවට පස්සෙයි එකිනෙකා තදින් දැනෙන්න ගන්නේ. ආදරය කරන කාලෙදි වගේ නොවෙයි ආදරයෙන් බැඳුණට පස්සේ රිදෙන හිත් හදා ගන්න හරි අමාරුයි. වර්තමානය වන විට විවාහ වු අය තම තමන්ගේ මංගල දිනයේ ගත් ඡායාරූප ඇල්බමය ගන්නත් පෙර ඇතැම් අය දික්කසාද වෙන්න කටයුතු කරනවා. ඒ කොහොම වුණත් පවුල් ආරවුල් නිවසින් පිටතට යවන්නේ නැතිව පවුල තුළම විසඳා ගැනීම, දික්කසාද නොවී සිටීමට උත්සාහ ගැනීමයි වැදගත්. මේ සම්බන්ධව මනෝවිද්‍යාඥ ආචාර්ය භාග්‍යා අබේසිංහ මහත්මිය සමඟ කළ සංවාදය
වර්තමානයේ පවුල් ආරවුල්වල වැඩිවීමක් දක්නට ලැබෙනවා නේද?
ගොඩක් පවුල් ආරවුල් වැඩිවෙන්න හේතුව වෙන්නෙ පවුලෙ ගැටලු පවුල තුළම විසඳ ගන්න කලින් ඒ දේවල් පිටතට කියන්න යාමයි. මට තිබෙන සායනික අත්දැකීම් අනුව, සායනවලට එන පිරිස් ඇවිල්ලා කියන්නෙ තමන්ගේ බිරිඳ තරහ වෙලා ඉන්නෙ මොන හේතුවකට ද කියලාවත් සැමියා දන්නෙ නැහැ කියලයි. තවත් වෙලාවකදි බිරිඳ සැමියාට කියන ප්‍රශ්නය නෙමෙයි ඇත්තම ප්‍රශ්නය වෙලා තිබෙන්නෙ. ඒ ගැන කතා කරනකොට තමයි තේරෙන්නෙ පවුල ඇතුළෙම විසඳගන්න ඕනෙ ප්‍රශ්නයක් තමයි මේ එළියට ගිහින් තියන්නෙ කියලා.
ඒ විදිහට ගැටලු පවුලෙන් පිටතට යන්නෙත් ගොඩක් වෙලාවට ඒ දේවල් තමන්ගෙ ළඟම මිතුරෙකුට කියන්න යාමෙන් සහ සමාජ මාධ්‍යයන් තුළ තමන්ගේ ගැටලු ප්‍රදර්ශනය කරන්න යාමෙන් වගේ දේවල්වලිනුයි. එහෙමත් නැත්නම් නොගැළපෙන කෙනෙකුගෙන් විසඳුම් ලබාගන්න යාමෙනුත් මෙවැනි දේවල් විය හැකියි. ඒ නිසා සැමියා සහ බිරිඳ අතර ගැටලුවක් වුණා නම් මුලින්ම ඒ දෙදෙනා කතා කරලා විසඳා ගැනීම තමයි හොඳම පිළිතුර වෙන්නෙ. ඒ වගේම පවුලේ ගැටලු පිටතට නිරාවරණය කිරීම තුළින් ඒ දේවල් තවත් වැඩි කර ගැනීමට පෙර නැවත වතාවක් හිතන්න. මොකද තුන්වැනි පාර්ශ්වයකට මේ දේවල් ගිය විට නැති ගැටලුත් ඇති වෙන්න පුළුවන්.
සමාජ මාධ්‍යයන් හේතුවෙනුත් මෙවැනි ගැටලු වැඩිවීමට ඉඩකඩක් තිබෙනවා ද?
ඔව් අනිවාර්යයෙන්ම. ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති වූ අය ඕනෑ තරම් මා ළඟට උපදේශනය සඳහා ඇවිත් තිබෙනවා. ගොඩක් වෙලාවට පුරුෂ පාර්ශ්වය සමඟ සැසඳීමේදී කාන්තා පාර්ශ්වය තුළින් තමයි සමාජ මාධ්‍යයන් ඔස්සේ තමන්ගේ ගැටලු නිරාවරණය කිරීමක් සිදු වෙන්නෙ. ගැටලුවක් ඇති වූ විට එය කතා කිරීමට තමන්ගේ සැමියා රාජකාරි කටයුතු කරන ස්ථානයේ සිට නිවසට නැවත පැමිණෙනකම්වත් සිටින්නෙ නැතිව ඒ දේවල් සමාජ මාධ්‍යයන් තුළ ප්‍රදර්ශනය කරනවා.
ඒ දේවල් වළක්වා ගැනීමට ඔබට ලබා දෙන්න පුළුවන් උපදෙස් මොනවා ද? ආර්ථික ගැටලු, ලිංගික ගැටලු දරුවන් සම්බන්ධ ගැටලු සහ ඥාතීන් සම්බන්ධ ගැටලු වගේ දේවල් තිබිය හැකියි. ඒ ගැටලුව කුමක් වුවත් මුලින්ම කරන්න ඕනෙ දේ තමයි සැමියා සහ බිරිඳ කතා කිරීම. දෙදෙනා අතර හොඳ සහසම්බන්ධතාවක් සහ නිවැරදි සන්නිවේදනයක් තබා ගන්න ඕනෙ. එහෙම නොවුණොත් තමයි සමහර වෙලාවට තුන්වැනි පාර්ශ්වයක් අනවශ්‍ය ලෙස ඊට මැදිහත්වීමක් සිදු වෙන්නෙ.
වෛද්‍ය උපදෙස් ලබා ගන්නා තත්ත්වයකට පැමිණෙන්නේ නැතිව මෙය කළමනාකරණය කර ගත හැකිද?
අනිවාර්යයෙන්ම නිවෙස තුළදී මේ දේවල් කළමනාකරණය කරගන්න පුළුවන්. පළමුවෙන්ම ඉවසීම කියන දේ අවශ්‍ය වෙනවා. ඉවසීම මෙන්ම දෙදෙනාම හොඳ සවන් දෙන්නන් ද විය යුතුයි. එය අන්‍යෝන්‍ය අවබෝධයක් සහිත, සක්‍රිය සවන්දීමක් විය යුතුයි. ඉන්පසුව බැලිය යුතුයි දෙදෙනා එකතු වී ගන්නා තීරණය කෙතරම් දුරට පවුලට ගැළපෙනවා ද කියලා. උදාහරණයක් විදියට බිරිඳ කිවුවොත් අල්ලපු ගෙදර අය මේ දේවල් කළා අපිත් එහෙම කරමු කියලා ඒ දේවල් තමන්ගේ පවුලට ගැළපෙන්නෙ නැති වෙන්න පුළුවන්.
ඒ නිසා සැමියා සහ බිරිඳ කතා කරලා ගන්න තීරණ තමන්ගේ පවුලේ සුබසිද්ධිය සඳහා ගැළපෙන තීරණයක් විය යුතුයි. ඒ දෙදෙනාට මේ ගැටලුව කතා කරලා විසඳා ගැනීමට හැකියාවක් නැත්නම් එතැනදී වෘත්තීයමය පළපුරුද්දක් තිබෙන මනෝ උපදේශකවරයෙක්, මනෝ චිකිත්සකවරයෙක්, මනෝ විද්‍යාඥයෙක් හෝ මනෝ වෛද්‍යවරයකුගේ සහය ලබා ගන්න යොමු වෙන්න ඕනෙ. ඒ දේ ලැජ්ජ වෙන්න ඕනෙ දෙයක්වත්, බය වෙන්න ඕනෙ දෙයක්වත් නෙමෙයි. මොකද ඔවුන් රහස්‍යභාවය උපරිමයෙන්ම සුරකිමින් තමයි ගැටලුවට අදාළව වෘත්තීමය සහයක් ලබා දෙන්නෙ.
නෙත්මි පූජනී රත්නායක