– මම කවදාවත් හිතුවෙ නැහැ ඔහුගේ අවසන් චිත්‍රපටයත් මා එක්ක රඟපායි කියල
– මටත් අවස්ථාව ලැබුණා ජැක්සන් අයියා එදා මට කියලා දුන්නු යම් යම් දේවල් අකිලට උගන්වන්න
ඵෙතිහාසික සිද්ධින් සහ සාහිත්‍යමය පුවත් අනුසාරයෙන් නිර්මාණාත්මකව බිහිවන චිත්‍රපට සහ කලා නිර්මාණ, ලාංකේය සිනමාවට නම් එතරම් නුහුරු නුපුරුදු දෙයක් නොවන බව නොරහසක්. මේ දිනවල සාර්ථකව තිරගත වන “සිංහබාහු ” සිනමාපටයත් එවන් සාහිත්‍යමය මූලාශ්‍ර අනුසාරයෙන් නිර්මාණය වුණු ලාංකේය චිත්‍රපටයක්. මෙරට සිංහල ජාතියේ උපත සිදුවූවා යැයි කියැවෙන සිංහයාගේ සහ සුප්පා දේවියගේ කතා පුවත ඇසුරින් සිනමාත්මකව දිගහැරෙන “සිංහබාහු” සිනමාපටයේ සුප්පා දේවිය වන්නේ ප්‍රවීණ රූපණවේදිනි යශෝධා විමලධර්මයි. රිදී තිරයේ සුප්පා දේවිය වූ යශෝධා විමලධර්මයන් සමඟ රසඳුන කළ කතාබහකි මේ.
රිදී තිරයට එකතු වුණු ‘සිංහබාහු‘ සිනමාපටයේ සුප්පා දේවිය නුඹයි, කොහොමද ඒ චරිතය දැනුණේ හැඟුණේ?
මුලින්ම කියන්න ඕනේ ලොකු සතුටක් දැනෙනවා සුප්පා දේවියගේ චරිතය මට භාර ගන්න ලැබීම ගැන. මට පළමු වතාවටයි ආචාර්ය සෝමරත්න දිසානායකගේ නිර්මාණයක වැඩ කරන්න ලැබුණේ. සුප්පා දේවිය කියන්නේ අපේ ඉතිහාසයේ අපි හැමෝම දන්නා චරිතයක්. ඒ එක්කම මේ චරිතයේ තියෙන ප්‍රබලත්වය ගැනත් දන්නවා. නිර්මාණකරුවා විසින් අපේ මහාවංශයේ තියෙන සිංහබාහු සිංහයාගේ කතාවට වඩා චිත්‍රපටය තුළ වෙනත් අර්ථකථනයක් දීලා තියෙනවා. ඒ නිර්මාණය තුළත් සුප්පා දේවිය කියන්නේ ප්‍රබල චරිතයක්. මවකගේ හිතේ දරුවන් කෙරෙහි තිබෙන ආදරය කරුණාව සහ තමන්ගේ ස්වාමියා කෙරෙහි තියෙන පතිභක්තිය කියන මේ හැම දෙයක්ම ඉතා මැනවින් විදහා දක්වනවා චිත්‍රපටය පුරාම.
සුප්පා දේවිය නිරූපණය කරන එක ලෙහෙසි පහසු නොවන බව ‘සිංහබාහු‘ චිත්‍රපටය නැරඹුවොත් නම් දැනෙනවා. ඒ ගැන ඔබට දැනෙන්නේ කොහොමද?
ඔව්. සාමාන්‍ය චිත්‍රපටයක වගේ ලෙහෙසි වුණේ නම් නැහැ. මේ සිංහයා තිරිසනෙක් නෙවෙයි. ගෝත්‍රික රජෙක්. ඒ සඳහා අවශ්‍ය කරන පසුබිම හදාගෙන කරපු වැඩක්. ඒ ඇඳුම් ආයිත්තම් වුණත් ඇඳන් ඉන්න පහසු නැහැ. ඒ ඇවතුම් පැවතුම් හැම එකක්ම හරි දුෂ්කරයි. නමුත් අපි එක පවුලක් වගේ එකතුමුව හරි ලස්සනට ඒ වැඩ කටයුතු කළා. ඔබ කිව්වා වගේම චිත්‍රපටය නැරඹුවොත් දැනෙනවා මොන තරම් දුෂ්කරක්‍රියා කරලා තියෙනව ද කියලා. හැබැයි ඒ වෙනුවෙන් දිනෙන් දින සාර්ථක ප්‍රතිඵල දකිද්දී නම් හිතට දැනෙන්නේ ලොකු සතුටක්.
සිංහබාහු සිනමාපටයේ සුප්පා දේවිය එක්ක රඟපෑමට සිටි සිංහයා තමයි ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී. ඔහුගේ වියෝව නිසා ඇතිවුණු හිඩැස ගැන කිව්වොත්?
ජැක්සන් අයියයි මමයි සිනමාවට ආවේ විජය ධර්ම ශ්‍රී අධ්‍යක්ෂණය කළ ගුරු ගෙදර චිත්‍රපටයෙන්. මම ජිවිතේ කවදාවත් හිතුවේ නැහැ ඔහුගේ අවසන් චිත්‍රපටයත් මා එක්ක යෙදෙයි කියලා. ඒක දෛවෝපගත සිදුවීමක්. ඒ ගැන මතක් වෙද්දීත් හිතට හරි අමාරුයි. කොහොම හරි මේ කලා ක්ෂේත්‍රය ඇතුළෙ ඔහු එක්ක විශාල ලෙස වැඩ කරන්න ලැබුණා. ඔහු මගේ පළමු ගුරුවරයා. බන්දුල විතානගේ මහතාගේ ‘හිරු දහස වේදිකා නාට්‍යයේ‘ මම රඟපාද්දී මගේ කටහඬ වේදිකාවට උචිත හොඳ තත්ත්වයක තිබුණේ නැහැ. වේදිකාවේදී කොහොම ද කටහඬ හසුරුවන්නේ කියලා මට කියා දෙන්න බන්දුල විතානගේ මහතා එක්කන් ආවේ ජැක්සන් අයියාව. ජැක්සන් අයියා මේ නාට්‍යයේ රඟපෑවේ නැහැ. නමුත් මගේ හඬ පාලනය කොහොමද ප්‍රේක්ෂකාගාරයක සිදු කරන්නේ කියන එක මුලින්ම කියලා දුන්න ගුරුවරයා ඔහුයි. ඊට පස්සේ අපිට දිගටම වැඩ කරන්න ලැබුණා. ඒක මගේ වාසනාවක්. මේ චිත්‍රපටය ලැබුණමත් අපි දෙන්නා හුඟක් කතා කළා. ඒ අපට ටික කාලයකට පස්සේ එකට වැඩ කරන්න ලැබුණු නිර්මාණයක් නිසා. මෙහි තියෙන්නේ කාව්‍යාත්මක රටාවක් නිසා ඒ බස අපි මාසයක් විතර පුරුදු පුහුණු වුණා. එතැනදී සෝමරත්න දිසානායකයන් වගේම ජැක්සන් අයියාත් මුල් වෙලා කටයුතු කළා. ජැක්සන් අයියා වැඩ කරන්න ආවම ඔහු වැඩ කරන විදිය වෙනස්. අනිත් අයගේ අඩුපාඩුවක් දැක්කම වුණත් ඔහු ඒක හදනවා. ඇත්තටම ඔහු ඉතාම වටිනා ගුරුවරයෙක්. මේ වගේ අවාසනාවන්ත දෙයක් සිද්ධ වෙයි කියලා හීන හතකින්වත් අපි හිතුවේ නැහැ. නමුත් ඒක එහෙම වුණා. ඇත්තටම චිත්‍රපටය නැවතුණා. අපි බලන් හිටියා ඔහු සනීප වෙලා එනකම්. ඒ අතරේ ඔහුම යෝජනා කළා අකිලව යොදාගෙන කරන්න කියලා. අකිල තමයි කොහොමත් සිංහයාගේ කුඩා කාලයට හිටියේ. ඊට පසු තරුණ අවධිය වැඩිහිටි අවධිය සහ මහලු අවධිය තමයි ජැක්සන් අයියට කරන්න තිබ්බේ. ඒ නිසා ඔහුගේ කීමට ගරු කරමින් අකිලවම දිගටම ගත්තා.
අවසානයේ සිංහයා වුණේ අකිල. අකිල එක්ක රඟපෑම ගැනත් අපි කතා කළොත්…?
ඔව්. එතැනදී මට ප්‍රශ්නයක් මතු වුණා. අකිලව කොහොමද මා එක්ක කපල් කරන්නේ කියන එක. අකිල ඉපදුණේ 1990. එතකොට ජැක්සන් අයියයි මමයි ‘කඩුල්ල‘ රඟපාන කාලේ. පුංචි කාලේ පටන් අතේ තියන් නළවපු ළමයා අද මගේ ස්වාමියා විදියට රඟපානවා. ඒ අභියෝගය සෝමරත්න දිසානායකයන් භාරා ගත්තා. ඔහු හුඟක් මහන්සි වුණා. මටත් අවස්ථාව ලැබුණා ජැක්සන් අයියා එදා මට කියලා දුන්නු යම් යම් දේවල් අකිලට උගන්වන්න. ඒක මට ලැබුණු ගෞරවයක්. ඒ හරහා මට කළගුණ සලකන්න අවස්ථාවක් ලැබුණා. කොහොම හරි අද චිත්‍රපටය දකිද්දී අකිල ගැන හරි ආඩම්බරයක් දැනෙනවා. තරුණ කාලේ පටන් වැඩිහිටි කාලය දක්වා කාල පරාසය ඉතාම ලස්සනට නිරූපණය කරනවා. සජිත කොහොමත් දක්ෂයෙක් කියන එක පෙර සිටම පෙන්නුම් කරලා තිබ්බේ. දුශේනි සහ අභිලාෂි පළමු වතාවට චිත්‍රපටයක රඟපාන්නේ. ඒ හැමෝම තමන්ගේ කාර්යභාරය ඉතා මැනවින් කළා. ජැක්සන් අයියා කොහේ හරි ඉඳන් අපිට ආශීර්වාද කරන බව අපි දන්නවා. ඔහුගේ අහිමිවීම සිනමාවට විතරක් නෙවෙයි. මේ රටටම වටිනා කලාගාරයක් වැසී යාමක් වුණා.
සෝමරත්න දිසානායකයන් එක්ක වැඩ කරන්න ලැබුණු පළමු අවස්ථාව කිව්වානේ, කොහොමද එතුමා එක්ක වැඩ කිරීම…?
කලා ලොවේදී සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසූරියව මම ළඟින් ආශ්‍රය කරනවා. ඒ එක්කම මම ඔවුන්ගේ නිර්මාණවල රසිකාවියක්. ඔහුගේ වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය සහ සරෝජාගෙන් පටන් ගෙන සුනාමි දක්වාම ඔහුගේ සිනමා නිර්මාණ රසවින්ද කෙනෙක්. මම ඇත්තටම බලන් හිටියා කවද්ද මට ඔහුගේ නිර්මාණයකට දායක වෙන්න ලැබෙන්නේ කියලා. මම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ඉඳන් අද පරම්පරාවේ ඉන්න දක්ෂ තරුණ අධ්‍යක්ෂවරු එක්ක වැඩ කරනවා. ඒ අතර කිහිප දෙනෙක් විතරයි මඟහැරිලා තියෙන්නේ. සෝමේ අයියා මට මේ නිර්මාණයට කතා කළාම ලොකු සතුටක් දැනුණා. ඔහු ඉතාම හොඳින් චරිත හසුරුවන්න දක්ෂයෙක්. ඔහුගේ ඒ චරිත හැසිරවීම නම් හරිම ප්‍රශංසනීයයි. මම වැඩ කරන හැම අධ්‍යක්ෂවරයෙක්ගෙන්ම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. සෝමේ අයියාගෙනුත් ඒ වගේම බොහෝ දේවල් ඉගෙන ගත්තා. ‘සිංහබාහු‘ තමයි ලංකාවේ පළමු වතාවට කාව්‍යමය බස පාවිච්චි කරලා කරපු චිත්‍රපටය. ඒකම වෙන චිත්‍රපටවලට වඩා ‘සිංහබාහු‘ වෙනස් වෙන්න හේතු වුණා. ඒ බස ස්වාභාවිකව හසුරුවමින් ඒ ඒ තැන්වලට අවශ්‍ය ඉරියව් දෙන්නත් ඕනේ. ඒ දේ ලෙහෙසි පහසු නැහැ. ඔහු ඉතාම මැනවින් ඔහුගේ අධ්‍යක්ෂ භූමිකාව කළා. එතැන හිටිය ප්‍රවීණම කෙනා වුණේ මම. අපි හැමෝම එක හා සමානව මේ චිත්‍රපටයේ වැඩ කළා. ඒ පිටුපස හිටියේ අපේ නිර්මාණකරුවා සෝමේ අයියා.
මේ වෙද්දී “සිංහබාහු” ප්‍රේක්ෂකයින්ට භාර කරලා තියෙන්නේ, සමස්ත ප්‍රේක්ෂකයින්ට මොන වගේ ඇරයුමක් ද කරන්නේ?
‘සිංහබාහු‘ කියන්නේ ලංකාවේ හැම කෙනෙක්ම බැලිය යුතු චිත්‍රපටයක්. අපි කියනවානේ අපි පැවත එන්නේ සිංහයෙක්ගෙන් කියලා. මහාවංශයේ තියෙන විදියට තිරිසනෙක් එක්කනේ මනුස්ස දුවක් යන්නේ. නමුත් ජීවවිද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා තිරිසනෙක් සහ මනුස්ස දුවක් එකතුවෙලා මනුස්ස දරුවන් හදන්න බැහැ කියන එක. ඒ එක්කම අයියා නංගි එකතුවෙලා විජය රජු උපදින්නේ කියලා ඉතිහාසයේ තිබ්බට, එක ලේ තියෙන අය එකතු වෙන එක ගැන පොඩි හිරිකිතයක් තිබුණා. සිංහල ජාතිය පැවත එන්නේ තිරිසනෙක්ගෙන් ද කියන එක ගැන ප්‍රශ්නාර්ථ තිබුණා. නමුත් මේ කිසිවක් ජීවවිද්‍යාත්මකව නැහැ. ඒ සියල්ල ප්‍රබන්ධයන්. කොහොම නමුත් සෝමරත්න දිසානායකගේ මේ අර්ථකථනය හරිම පවිත්‍රයි. හැම කෙනෙක්ටම රසවිඳින්න පුළුවන්. කෙනෙක් හිතයි ඉතිහාස කතාව අදට කොහොම ද බලපාන්නේ කියලා. විශේෂයෙන් තරුණ පරපුරට ඔහු ‘සිංහබාහු‘ තුළින් පෙන්වනවා තරුණ සිතුවිලිවල තියෙන සම්ප්‍රදාය බිඳගෙන ඉස්සරහට යන හැටි. අද සිද්ධ වෙන දේවල් එක්ක බැලුවම වර්තමානයට කතා කරන චිත්‍රපටයක්.
අනුෂා රණසිංහ