– මං අද මේ තත්ත්වයෙන් ඉන්නේ සිනමාවට පින් සිද්ධ වෙන්න
– විවාහය-බැඳීම් මේ සසර ගමන දිග් ගස්සන බොරු දේවල් කියලා එක වෙලාවකට හිතෙනවා
නාට්‍ය හා රංගනයට තෝතැන්නක් වූ මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ තිස්ස ගුණවර්ධනයන්ගේ සෙවණැල්ලෙහි වැඩෙමින් මෙරට කලා ලොවට දායාද වූ කලාකරුවන් බොහෝමයකි. එම පාසලේ, එම ගුරුතුමන්ගේ කාලයේ සිටි නමුත් පාසලෙන් බිහි වූ කලාකරුවකු නොවූ අර්ජුන කමලනාත් වර්තමානය වනවිට වේදිකාව, සිනමාව, පුංචි තිරය ජය ගත් රංග ශිල්පියෙක් මෙන්ම සිනමා අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකවරයෙක් බවටත් පත්ව සම්මානයට ද පාත්‍ර වී සිටිති.
මේ දවස්වල සමාජ මාධ්‍ය ජාලවලින් ඔබට හිරිහැරයි නේද?
එයාලත් ඉතින් කීයක් හරි හොයා ගන්න ඕනෙනේ. හමුදාවකින් හොරෙන් පඩි ගන්න පුළුවන් නම් මං මාර පොරක්නේ. කිසිම සේවාවක් නොකර ආරක්ෂක අංශයෙන් වැටුපක් ලබන්න මට පුළුවන්ද ?
ඇත්තටම මට ලොකු වැටුපක් ලැබුණා තමයි. හැබැයි ඒ යුද්ධෙ කාලේ අපේ විරුවන්ගේ මානසික ආතතිය සමනය කරලා ඔවුන්ගේ මානසික සමබරතාව ගොඩනැංවීම සඳහා විශේෂ සෞන්දර්ය, නාට්‍ය, කලා පුහුණු වැඩසටහන් මාලාවක් සිදු කරන්න මට රාජකාරිමය වශයෙන් භාර දීලා තිබුණා.ඒ කාලේ තිබුණු යුද මානසිකත්වය යටතේ රණවිරුවන්ගේ සිත් හැදීම කියන දේ ලේසි පහසු දෙයක් වුණේ නැහැ. එම භාරධූර රාජකාරිය නොපිරිහෙලා ඉටු කිරීම උදෙසා මා ලද වැටුප මිසක් මට ආරක්ෂක අංශයෙන් පින් පඩියක් ලැබුණේ නැහැ. ඒ ගැන දන්නෝ දනිති. නොදන්නෝ නින්දා අපහාස කරති. මේ පුහුදුන් මිනිස් සමාජයේ විවිධ අදහස්, විවිධ හැසිරීම් ඇති මිනිසුන්ගේ ජාති ස්වභාවය විවිධාකාරයි. ඒ නිසා උපේක්ෂාසහගත ව ඒ අය අනිත් මිනිසුන්ට නින්දා, අපහාස කරමින් තම බඩවියත රැක ගන්නා අයුරු මම බලාගෙන ඉන්නවා. එයාලා පව්. සමාජ මාධ්‍ය ජාලවල යන කතා ගැන මට කියන්න තියෙන්නේ එච්චරයි.
පාසලේදි නළුවා කිව්වත් නළුවෙක් නොවුණේ ඇයි?
මගේ පෙනුම නිසා ලොකු ආකර්ෂණයක් පාසල් කාලයේදි මට තිබුණා. මගේ කොණ්ඩය කැරලි නිසා මම කොණ්ඩය උඩට පීරුවේ. ඒ පෙනුම විජය කුමාරතුංගයන්ගේ පෙනුමට තරමක් සමාන වුණ නිසා මගේ ජනප්‍රියත්වය තවත් වැඩි වුණා. මේ පෙනුම නිසා පාසලේදී හැමෝම මට කතා කළේ ‘නළුවා’ කියලා තමයි. ප්‍රවීණ නාට්‍ය ගුරුවරයකු වූ තිස්ස ගුණවර්ධනයන් නිසා අපේ පාසලෙන් රංගන ශිල්පීන් සහ ඒ ආශ්‍රිත ක්ෂේත්‍ර ගණනාවක ශිල්පීන් බිහි වුණා. ඒත් මම පාසලේදී වේදිකාව දිහා බැලුවේවත් නැහැ. එකම එක දවසක් වේදිකාව අතුගාන්න මට සිද්ධ වුණා. ඒකත් කිසි උවමනාවක් නැතුව මම අඩියට දෙකට අතුගාලා දාලා ගියා මිසක් මට වේදිකාවට බැඳීමක් ඇති වුණේ නැහැ.
මොරටුව වේල්ස් කුමර විද්‍යාලයෙන් බිහි වූ ලෝකප්‍රකට කලාකරුවන්ව පාසල් ජීවිතයේදී ඇසුරු කරලාවත් නැද්ද?
ජගත් චමිල, අශේන් මංජුල, රුක්මල් නිරෝෂ් පාසලේදි දැක්කාම හලෝ කියලා කතා කළා. එහෙමයි කියලා ලොකුවට හිතවත්කම් තිබුණේ නැහැ.
එතකොට ඔබ පාසල් කාලයේදී මොනවගේ ළමයෙක් ද?
මම හයේ පන්තියට එනකන් ලලිත් ඇතුළත්මුදලි විද්‍යාලයට ගියා. ඊට පස්සේ වේල්ස් කුමර විද්‍යාලයේ ඉගෙන ගත්තා. මම ඉගෙනීමට සහ ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වුණා. පාසලෙන් ඉහළටත් ගිහින් ක්‍රිකට්වලින් ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. ඒ වගේම මම පොතපතට නැඹුරු වුණු ළමයෙක් නිසා පාසලේ බාහිර දේට වැඩිය ඇලුම් කළේ නැහැ. උසස් පෙළ වාණිජ අංශයෙන් හදාරලා මාර මහන්සියක් වෙලා විභාගය කළා. ලකුණු 167යි. බී දෙකයි, සී දෙකයි. විශ්වවිද්‍යාලයට යන්න ලකුණු දෙකක් මදි වුණා. ඊට පස්සේ ඒ ගැන උනන්දුව නැති වුණා. පරිගණක, ඉංග්‍රිසි ඇතුළු විවිධ අංශවලින් පාඨමාලා ගණනාවක් කළා. කොස්ටියුම්, ඔඩිටින් ඇතුළත් ඩිප්ලෝමාවක් කළා. පස්සෙ කාලෙක මගේ රැකියා කටයුතුවලට ඒ ඉගෙනගත්ත දේවල් මට ගොඩාක් ප්‍රයෝජනවත් වුණා. සමහර විෂයයන්, පාඨමාලාවන්, බාහිර උපාධි සඳහා පන්ති යනවා අවුරුද්දක් විතර. නමුත් විභාගය නොකර නවතිනවා. ඒ මගේ දෛවය වෙන්න ඇති. මට මාර්ගය හැදිලා තියෙන්නේ ඒ පැතිවලින් නෙවෙයි වෙන්න ඇති. කාලයක් සිනමාවෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා හිටියා. ඒත් මගේ හිතවතුන් එකතු වෙලා නැවත මාව මේකට යොමු කළා. මට යන්න තියෙන්නේ මේ ගමන වෙන්න ඇති.
ඔබ රංගනයට ඉබේ පාත්වුණු නළුවෙක් නෙවෙයිනේ?
එ්ක හරි. මම 1998 සුනිල් සෝම පීරිස්ගේ ‘මොහොතින් මොහොත’ චිත්‍රපටයේ ඉතාම කෙටි වෙලාවක කුඩා චරිතයක් රඟපාලා සිනමාවට ආවා. ඊට පස්සේ ධර්ම ශ්‍රී වික්‍රමසිංහගේ ‘සීත රෑ’ චිත්‍රපටයේත් ඉතාම කුඩා චරිතයක් රඟපාන්න ලැබුණා. ඔය විදිහට චිත්‍රපට ගණනාවක කුඩා චරිතම රඟපාමින් ඉදිරියට ආවා. ප්‍රධාන චරිතයක් කරන්න ලැබුණේ ‘තිසරාවි’චිත්‍රපටයේ. ඊට පස්සේ තවත් චිත්‍රපට කිහිපයකම ප්‍රධාන චරිතය ලැබුණා. ඒ චිත්‍රපට බොහෝමයක් සමාජයේ විවිධ විවේචනවලට ලක්වුණු ඒවා. ඒ රැල්ල වෙනස් කරමින් ප්‍රහසන සිනමාවක් ආරම්භ කිරීමේදී මම මූලික වුණා. එතැන ඉඳලා දිගටම ප්‍රහසන සිනමාව කාලයක් යනතුරු පැවතුණා. ඒ කාලේ සිනමාව ආදායම් ලබමින් ඉහළට ආවා. මම සිනමාවට එන කාලේ තනිකරම තිබුණේ හින්දි සිනමාවක්. ඒ තත්ත්වය ටික ටික වෙනස් කරමින් දේශීය සිනමාවට ප්‍රේක්ෂකයින් ඇදගැනීමේ කාර්යය සාර්ථක කර ගන්න අපට හැකි වුණා. අපේ ප්‍රහසන සිනමාවට සෙනඟ ඇදුණා. කවුරු මොන විවේචන කළත් සිංහල සිනමාව යළි ගොඩ ගන්නට අපි මොන විදිහකින් හෝ දායක වුණා. එහෙම ගොඩ ගත්ත සිනමාවේ නව නිර්මාණ රැසක් එළි දක්වන්න මම දායක වුණා. එහෙම ඉන්න අතරේ ජයන්ත චන්ද්‍රසිරි කියන විශිෂ්ට සිනමා අධ්‍යක්ෂවරයා ‘මහරජ ගැමුණු’ චිත්‍රපටයේ චරිතයකට මාව තෝර ගත්තා. මං එතුමාගේ නාට්‍ය වැඩමුළුවලට ගියා. රංගනය, සිනමා කලාව ගැන ලොකු පාඨමාලාවක් හැදෑරුවා වගේ වුණා. මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට එතුමාගේ හමුවීම පැහැදිලම කිව යුතුයි. පසුගිය කාලේ චිත්‍රපට කිහිපයක ම අධ්‍යක්ෂණයට හා නිෂ්පාදනයටත් මම සම්බන්ධ වුණා. ඒ අතරින් ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ ‘ඝරසරප’ චිත්‍රපටයේ නිෂ්පාදනය වෙනුවෙන් හොඳම සම්මානයත් මට හිමි වුණා. අද මම සිනමාවේ ඉන්න තැන ගැන මට සතුටුයි. පුංචිම පුංචි තැනක ඉඳලා මේ දක්වා මාව අරගෙන ආව අයටත් ස්තුතියි. ඉදිරියේදී තව නිර්මාණ කිහිපයක්ම එන්නත් තියෙනවා.අලුත් නිර්මාණයක් වෙනුවෙන් මම මේ දවස්වල ශාරීරික කැපකිරීම් කරගෙන යනවා. දැන් සිනමාව යළි හොඳ තත්ත්වයට ගොඩනැගෙමින් තියෙනවා. හොඳ නිර්මාණ තෝරලා බේරලා තමයි දැන් මං වැඩ කරන්නේ. සිනමාවේ උන්නතිය වෙනුවෙන් මොන දෙයක් තිබුණත් මං කරනවා. මං අද මේ තත්ත්වයෙන් ඉන්නේ සිනමාවට පින් සිද්ධ වෙන්න.
ඔබ සිනමාව වෘත්තියක් කරගෙන නැත්තේ ඇයි?
ඕනෑ ම කෙනෙකුට මං කියන්නේ ශ්‍රී ලංකාව වගේ රටක සිනමාව තම වෘත්තිය කර ගන්න එපා කියලා. එකක් තමයි අඩු ජනගහනයක් ඉන්න කුඩා රටක් හැටියට අපේ රටේ සිනමා නිර්මාණයක් බලන්නෙත් සීමිත පිරිසක් විතරයි. ලොකු ආදායමක් ඒ නිසා උපයන්න බැහැ. තමන්ගේම කුසලතා හඳුනාගෙන තමන්ගේම කියලා ව්‍යාපාරයක් කරන්න පුළුවන් නම් කලා කටයුතුවලට විවේකයත් තියාගෙන ව්‍යාපාර කටයුතු කරගෙන යන්න පුළුවන් වෙනවා. ඒ නිසා මමත් මගේ වෘත්තිය හැටියට ව්‍යාපාරයක් කරගෙන යනවා. සිනමාව මගේ රසය සඳහායි. සිනමාවෙන් ලැබුණු ජනප්‍රියත්වය ව්‍යාපාරවල සාර්ථකත්වයට හේතු වෙනවා. අපේ රටේ සිනමා කලාකරුවන් බොහෝ දෙනෙක් රඟපෑමට අමතරව මහා පරිමාණයෙන් ව්‍යාපාර කටයුතුත් කරනවා. ඒක ගොඩාක් වටිනවා.
පවුලේ තනිකඩයා තවමත් තනිකඩ ඇයි?
මම තනිකඩ කිව්වාට තනිකඩ නැහැ. මගේ වටේ ලොකු පිරිසක් ඉන්නවා. මගේ තාත්තා දැන් ජීවතුන් අතර නැහැ. මගේ අම්මාව බලාගෙන මම පාඩුවේ ඉන්නවා. ඔයා අහන්නේ විවාහ ජීවිතයක් ගැන නම් මම බොහොම සුහදව දැන හඳුනාගෙන විවාහ වෙලා කිසි තරහක් නැතුව ඉතාම සුහදව නීතියෙන් වෙන් වුණා. අදටත් අපි යාළුවෝ වගේ වැඩ කටයුතු කරගෙන යනවා. විවාහය, බැඳීම් මේ සසර ගමන දිග්ගස්සන බොරු දේවල් කියලා එක වෙලාවකට මට හිතෙනවා. විවාහ ජීවිතය අහිමි වුණු නිසා එහෙම හිතෙනවා ද දන්නෙත් නැහැ. එහෙමත් නෙවෙයි කියලත් හිතෙනවා. මේ තනිකඩ ජීවිතය එක අතකින් හරි නිදහස්. මට බණක් අහගෙන භාවනාවක් කරගෙන නිවී සැනසිල්ලේ ඉන්නත් පුළුවන්. මේ කාලේ මං අම්මා ගැන බලන්න ඕනේ නිසා මේ නිදහස මට ගොඩාක් වටිනවා.”
ජීවිතය ගත කරන්න කැමැති මොන විදිහට ද?
ඇත්තටම කියනවා නම් මං ගොඩාක් ආසයි බණ අහන්න. මං බණ අහන්න යොමු වුණේ අහම්බයෙන්. මම කාලයක් දරුණු කොන්දේ අමාරුවකින් පීඩා වින්දා. ප්‍රතිකාර කොච්චර කළත් හොඳ වුණේම නැහැ. එක තැනකට වෙලා ඉඳලා මට ඇති වුණා. චිත්‍රපට බැලුවා, පොත් කියෙව්වා.. අන්තිමට ඒ හැමදෙයක්ම අප්පිරියා වුණා. එහෙම ඉන්න අතරේ ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ බණක් අහන්න ලැබුණා. ඒකට මගේ මනස එකපාරටම යොමුවුණා. දිගින් දිගටම උන්වහන්සේගේ බණ අහන්න පටන් ගත්තා. අදටත් විවේකයක් ලැබෙන හැම මොහොතකම මම බණ අහනවා. බණ අහද්දි අපි මේ මිරිඟුවක් පස්සේ හති දමමින් දුවන බව වැටහෙනවා.
තුෂාරී කළුබෝවිල