සංවිධානාත්මක අපරාධකරුවන් හෙවත් පාතාල ක්‍රියාකාරින් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මර්දනය කිරීම යුක්තිය මෙහෙයුමේ ප්‍රධානතම ඉලක්කයයි.
ඉකුත් වසරේ දෙසැම්බර් 17 වැනිදා වත්මන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සංකල්පයක් මත ඇරැඹි යුක්තිය මෙහෙයුම ඔස්සේ මේ වන විට අපරාධකාරයන් 107,736 දෙනෙකු අත්අඩංගුවට ගෙන අවසානය. ඒ වැටලීම් 108,242 දීය. එහිදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 174 ග්‍රෑම් 966ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 255 ග්‍රෑම් 59කි.
පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයන් එක්ව දිවා රෑ නොතකා අඛණ්ඩව සිදුකරන යුක්තිය මෙහෙයුමේ සාර්ථකත්වය මත මේ වන විට එම මෙහෙයුම තව තවත් පුළුල් කර තිබේ. පසුගිය මාර්තු 19 දා දකුණ සහ බස්නාහිර පළාතේ බුද්ධි තොරතුරු ඔස්සේ හඳුනාගත් අපරාධ කල්ලි 20ක් ඉලක්කකොට දිවා රාත්‍රී හඹා යාමේ මෙහෙයුමක් දියත් කෙරුණේ යුක්තිය මෙහෙයුමට සමගාමීවය.
පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයෙන් විසිර ගිය එම විශේෂ පොලිස් කණ්ඩායම් 20 අමතමින් එදින පොලිස්පතිවරයා සඳහන් කළේ මෙතෙක් කලක් පාතාල අපරාධකාරයන් විසින් ඔවුන්ට අවශ්‍ය ඉලක්ක සොයා අහිංසක මිනිසුන්ට වෙඩි තබමින් ඝාතන සිදුකළා නම් එවැනි අපරාධ කල්ලිවල සාමාජිකයන් පසුපසද පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයන් හඹා යනු ඇති බවයි.
එදින පොලිස්පතිවරයා වැඩිදුරටත් කීවේ එම මාසය තුළදී පාතාල ක්‍රියාකාරකම් අවසන් නොවුණහොත් දැනට යොදවා ඇති නිලධාරි සංඛ්‍යාව මෙන් තවත් කීප ගුණයකින් හෝ නිලධාරින් වැඩිකොට ඉදිරි මාසවලදී මත්ද්‍රව්‍ය සහ පාතාලය මුළුමනින්ම තුරන් කරන තෙක්ම යුක්තිය මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවය. ඒ අනුව යුක්තිය මෙහෙයුමේ සක්රියත්වය තව තවත් වැඩි කරමින් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මර්දනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ SECURITY EYE හෙවත් ‘ආරක්ෂක ඇස‘ නමින් ක්‍රියාත්මක අපරාධකරුවන් හඹා ගොස් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පුහුණුව ලද පළමු පොලිස් යතුරුපැදි කණ්ඩායම පසුගිය 25 වැනිදා විසිර ගියේ කළුතර, කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බළකා පුහුණු පාසලේදීය.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න සහ අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව ඇතුළු නිලධාරින් රැසකගේ සහභාගිත්වයෙන් එදින විසිර ගිය නිලධාරින් සංඛ්‍යාව 100 දෙනා හට සහතික පත් සහ විශේෂ ලාංඡන පිරිනැමිණි.
පොලිස් විශේෂ කාර්ය බළකා පුහුණු පාසලෙහි පුහුණුව ලත් පළමු පොලිස් ක්ෂණික විහිදුම් යතුරුපැදි කණ්ඩායම සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් යතුරුපැදි සහ මෝටර් රථ මඟින් පැමිණ වෙඩි තැබීම් සහ වෙනත් අපරාධයක් සිදු කරන අවස්ථාවන්හිදී ඔවුන් පසුපස හඹා ගොස් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පුහුණුවකින් යුතු වේ. මෙම කණ්ඩායම යතුරුපැදි 50කින් සහ නිලධාරින් 100 දෙනෙකුගෙන් සමන්විත අතර දකුණ සහ බස්නාහිර පළාත් මූලික කරගෙන එම කණ්ඩායම් ක්‍රියාත්මක වුවද රටේ සියලුම පළාත් ආවරණය වන පරිදි මෙම කණ්ඩායම් පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ එක්ව මෙහෙයුම්වල යෙදවීමට නියමිත වේ.
අමිල මලවිසූරිය