මාතලේ දිසාවේ විල්ගමුව පොලිස් ස්ථානයේ ප්‍රධාන ගේට්ටුවේ ආරක්ෂාවේ නිරත පොලිස් නිලධරයා නිදා සිටියදී ඔහු සතු ටී56 ස්වයංක්‍රීය තුවක්කුව කිසියම් පුද්ගලයකු විසින් සොරකම් කරගෙන ගොස් තිබුණේ පසුගිය මාර්තු මාසයේ 25 වැනිදාය. මේ සිද්ධිය වන්නේ යුක්තිය මෙහෙයුම ද ක්‍රියාත්මක වෙමින් තිබියදී වීම සුවිශේෂිය. ටී 56 තුවක්කු සොරකම ගැන මුළු රටේම අවධානය ඒ නිසාම යොමු වෙද්දී පොලිස්පතිවරයාගේ නියමයෙන් මේ ගැන විශේෂ පරීක්ෂණයක් ආරම්භ ෙකරිණි.
එලෙස කිසියම් අයකු සොරකම් කරගෙන ගිය ටී 56 ස්වයංක්‍රීය තුවක්කුව භාරව සිටි පොලිස් කොස්තාපල්වරයා සැකපිට අත්අඩංගුවට ගෙන ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යද්දී මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයම්පති බණ්ඩාර සහ මාතලේ කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාරයේ (සොකෝ) නිලධාරින් ද ඇතුළු කණ්ඩායම් දෙකක් විල්ගමුව ප්‍රදේශයට ගොස් විමර්ශන ආරම්භ කරන ලදි. ඒ අතර ප්‍රදේශයේ අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, හමුදාවෙන් පැනගිය පුද්ගලයන් ගැන ද පොලිසියේ අවධානය දැඩිව යොමුවූ අතර සීසීටීවී කැමරා ද නිරීක්ෂණයට ලක්විය.
මේ අතර ටී 56 තුවක්කුව භාරව සිටි පොලිස් කොස්තාපල්වරයා ගැනද පොලිසිය සැක පහළ කර තිබුණු අතර ඔහු රඳවා ගැනීමේ නියෝග මත පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබීය. මේ කොස්තාපල්වරයා ගැන පොලිසිය සැක කිරීමට එක් ප්‍රධන හේතුවක් ද තිබිණි. ඒ ඔහු මීට කලකට පෙර ලග්ගල පොලිසියේ සේවයේ නිරතව සිටි කාලයේ ලග්ගල පොලිසියේ උපසේවා අංශයේ තුවක්කු බහාලන පෙට්ටියේ තිබූ රිවෝල්වර 05ක් සහ ටී 56 තුවක්කුවක් 2016 අප්‍රේල් 14 වැනිදා අස්ථානගත වන අවස්ථාවේදී ලග්ගල පොලිසියේ ප්‍රධාන ගේට්ටුවේ සේවයේ නිරතව සිටියේ ද මෙම පොලිස් කොස්තාපල්වරයාම වීම නිසාය. එම ගිනිඅවි සොරකම ගැන සීඅයිඩීය විමර්ශන ආරම්භ කළ අතර ඒ අතර කාලයේ එම ගිනිඅවි ප්‍රදේශයේ විහාරස්ථානයක ජල ටැංකියක් පාමුල කිසිවකු විසින් දමා ගොස් තිබියදී සොයා ගැනිණි. අදටත් එම සිද්ධියේ සැකකරුවන් කවුදැයි යන්න අබිරහසකි.
විල්ගමුව පොලිසියෙන් නැතිවුණ ටී56 තුවක්කුව භාරව සිටි අදාළ පොලිස් කොස්තාපල්වරයාගෙන් පොලිසිය මෙලෙස ප්‍රශ්න කරමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධරයන් කණ්ඩායමක් ද පසුගිය මාර්තු 29 දා විල්ගමුවට ගොස් ඒ ගැන විමර්ශන ආරම්භ කරන ලදි. රහස් පොලිස් නිලධාරින් එලෙස එහි රැඳී සිට සිදුකරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අලුත් අවුරුද්දට දින කීපයකට පෙර කොළඹ බලා පිටත්වන්නේ නැවත විල්ගමුවට පැමිණ විමර්ශන ආරම්භ කරන බලාපොරොත්තුවෙනි.
මේ අතර විල්ගමුව පොලිස් කොස්තාපල්ගෙන් සොරකම් කරන ලද ටී56 තුවක්කුව එම සොරකමින් මාසයකට පසු පසුගිය 24වැනිදා සොයා ගන්නේ විල්ගමුව පොලිස් වසමේ කෝන්ගහවෙල හන්දියේ පිහිටි බුදු කුටියක් අසල දමා ගොස් තිබියදීය.
ටී 56 තුවක්කුව එලෙස පසුගිය 23 රාත්‍රියේ බුදු කුටිය අසල කිසියම් පුද්ගලයකු විසින් තබනු දුටු ප්රදේශවාසියකු අදාළ පුද්ගලයා ද හඳුනාගෙන ඒ පිළිබඳව පොලිසියට නිර්නාමිකව දැනුම් දීමක් සිදුකර තිබුණු අතර පොලිසිය එහි ගොස් තුවක්කුව සිය භාරයට ගන්නා ලදි.
එලෙස පොලිස් භාරයට ගන්නා ලද ටී 56 තුවක්කුව කිසියම් ප්‍රමාණයකට මලබැඳී තිබූ අතර එහි රොන්මඩ තට්ටුවක් බැඳී තිබුණි. ඒ අනුව පොලිසිය සැක කළේ එම අවිය ජලය පිරුණු ළිඳකට දමා තිබුණා ද යන්න පිළිබඳවය. එසේම ටී 56 තුවක්කුව බුදුකුටිය අසල තැබූ පුද්ගලයා ගැන පොලිසිය ඒ වන විටත් තොරතුරු රැසක් සොයා ගෙන තිබිණි. ඒ අනුව ඔහු හමුදාවෙන් ඉවත්ව කසිප්පු ජාවාරම්වල නිරතව සිටි අයකු බවට තොරතුරු හෙළිකර ගනු ලැබිණි. මේ පුද්ගලයා විල්ගමුව ප්‍රදේශයේම පදිංචිකරුවකු වන අතර ටී56 තුවක්කුව සොරකම් කළ දා පටන් මොහු පිළිබඳව ද පොලිසියේ අවධානය දැඩි සේ යොමුවී තිබිණි.
එලෙස සොයා ගන්නා ලද ටී56 තුවක්කුව පොලිස් නිල සුනඛයකුට ඉව කිරීමට දුන් අවස්ථාවේදී නිල සුනඛයා කෙළින්ම ගමන් කරන්නේ සැකයට ලක්වූ පුද්ගලයාගේ නිවස දෙසටය. එහි පිහිටි ළිඳක් අසලට ද නිල සුනඛයා යන්නේ පොලිස් නිලධාරීන්ගේ සැකය තහවුරු කරමිනි.
ළිඳේ ජල සාම්පල සහ රොන්මඩ සමඟ රොන්මඩ තැවරී මල බැඳී තිබූ ටී 56 තුවක්කුව රජයේ රස පරීක්ෂකවරයාට යැවීම සඳහා පොලිසිය කටයුතු සූදානම් කරන්නේ ඉන් අනතුරුවය.
පොලිසිය තවත් පැත්තකින් මෙහි විමර්ශන සිදුකරන්නේ ගිනිඅවි සොරකම ගැන වැඩිදුර තොරතුරු හෙළිකැර ගැනීම සඳහාය. ටී 56 තුවක්කුව සොයා ගන්නා ලද ස්ථානයට විල්ගමුව පොලිසියේ සිට ඇත්තේ කිලෝමීටර 5ක පමණ දුරකි. එතැන් සිට පොලිස් නිල සුනඛයා ඉවකළ ස්ථානයට ඇත්තේ මීටර 250ක තරම් දුරකි.
ටී 56 තුවක්කුව සොරකම් කළදා පටන් මේ සැකකාර හිටපු සෙබළාගෙන් ප්‍රශ්න කිරීමට මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් සැකකරුගේ නිවසට ගොස් ඇතත් ඒ එකම අවස්ථාවකවත් සැකකරු, බිරිය සහ දරුවන් නිවෙසේ සිට නැත. පොලිසියේ සැකය වැඩි වන්නේ එතැන් සිටය. ඒ වනවිට තුවක්කු සොරකමට මොහු සම්බන්ධ බවට නිසැක තොරතුරු පොලිසිය සතුව තිබුණත් සැකකරු අල්ලා ගැනීම ප්‍රශ්නයක් වී තිබුණේ ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් සිටීම නිසාය.
මේ සැකකරුට දෙහිඅත්තකණ්ඩිය සහ මහියංගණය ප්‍රදේශවල පුද්ගලයන් කීපදෙනකු සමඟ සම්බන්ධකම් ඇති බවට පොලිසිය තොරතුරු සොයා ගන්නේ ඔය අතරය.
සැකකරු සැඟවී සිටින නිශ්චිතම ස්ථානය ගැන පොලිසිය තොරතුරු සොයා සිදුකළ සියුම් විමර්ශනවලින් පසුව සැකකාර බිරියගේ ලොකු අම්මා පදිංචි පොලොන්නරුව, අරලගංවිල නිවෙසේ සැඟව සිටියදී පොලිස් අත්අඩංගුවට ගැනෙන්නේ ඒ අනුවය. සැකකරුගෙන් ප්‍රශ්න කරද්දි හෙළි වන්නේ මෙවැනි කතාවකි. මේ සැකකරු 36 හැවිරිදි අයෙකි. ඔහුගේ පදිංචිය විල්ගමුව, නුගගොල්ල යාය10 ප්රදේශයේය. හිටපු හමුදා සෙබළකු වන ඔහු හමුදා සේවයෙන් ඉවත්ව ඇත්තේ ද නීත්‍යනුකූලවය. සැකකරු කසිප්පු ජාවාරම්කරුවෙකි. කසිප්පු නඩු 50ක් පමණ තිබිණි. ඒ නිසා ඔහුට පොලිසිය සමඟ තිබුණේ පුදුම තරහකි. ඒ පොලිසිය ඔහුගේ ව්‍යාපාරයට බාධා කරන නිසාය.
තුවක්කුව සොරකමට දින කීපයකට පෙර ද පොලිසිය ඔහුගේ කසිප්පු තිප්පොළ ‘රේඩ්’ කළේය. කසිප්පු නිෂ්පාදනයට ගෙ ආ සීනි තොගය බේරාගෙන සැකකරු කැලෑවට පැන්නත් ඊස්ට් තොගය පොලිස් භාරයට ගෙන තිබිණි. 51 වැනි නඩුවද තමන්ට වැටෙන බව සැකකරු දැන සිටියේය. තුවක්කුව සොරකම් කළදා රාත්‍රී ඔහු බීරහලකට ගොස් බීර ටින් හතරක් මිලදී ගෙන ඒවා පානය කරමින්ම බයිසිකලයේ නැඟී නිවෙසට එද්දී විල්ගමුව පොලිසියේ මුරකුටියේ සිටි රාලහාමි හොඳට නිදාගෙන සිටිනු දුටුවේය.
පොලිසිය සමඟ ඔහුගේ යටි හිතේ කෝපය නැවත අවදි වන්නේ එහිදීය. පොලිසිය පහුකරගෙන ගිය සැකකරු බයිසිකලය මඟ දමා නැවත පොලිසිය අසලට පැමිණ කම්බි වැටෙන් පැන ඇතුළට ගොස් මුරකුටියේ නිදා සිටින රාලහාමිගේ ටී 56 තුවක්කුව සොරකම් කරගෙන පාරට පැමිණ බයිසිකලයේ නැඟී නිවෙසට ගොස් තුවක්කුව ළිඳට දමා නිදා ගත්තේය. පසුවදා උදෑසන වෙරි හිඳුන අවස්ථාවේ තමා කළ අපරාධයේ බරපතළකම ඔහුට වැටහිණි. ඒ වනවිටත් සිද්ධිය අහල පහල ලැව්ගින්නක් මෙන් පැතිර යමින් තිබිණි.
පොලිසිය තමා සොයාගෙන කුමන මොහොතක හෝ පැමිණෙන බව දැනගත් සැකකරු බිරිය සහ දරුවත් සමඟ ගල්ගමුවේ මහගෙදරට පලා ගියේය. පොලිසිය දුරකතන ඇතුම් විශ්ලේෂණ වාර්තා මඟින් සැකකරු සිටි ස්ථානය හෙළිකරගෙන ගල්ගමුවේ අදාළ නිවෙසට ගිය අවස්ථාවේ ඔහු එතැනින් පලා ගොස් සිටි අතර අරලගංවිල නිවෙසේදී අල්ලා ගන්නා ලද්දේ සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුවය. සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යයි.
දීපාල් සමරසේකර