ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කොට ව්‍යාජ මුදල් තොගයක්, ව්‍යාජ මුදල් මුද්‍රණය කිරීමේ යන්ත්‍රයක් සහ පරිගණක යන්ත්‍රයක් ඇතුළු තවත් එම උපාංග රැසක් ද විදේශීය සංචාරකයන්ගේ වීසා කාලය දීර්ඝ කිරීමට ලබාගෙන තිබූ විදේශ ගමන් බලපත්‍ර දහයක් ද සමඟ සැකකරුවෙක් පසුගියදා අහංගම ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. එම පුවත දිගහැරෙන්නේ මෙසේය.
අපි මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුට සමන් යයි කියමු. සමන් ඉගෙනීමට දක්ෂයෙකි. කුඩා කල සිටම අධ්‍යාපනයෙන් පමණක් නොව වෙනත් බාහිර ක්‍රියාකාරකම්වලදී ද සෙසු සිසුන් අබිබවා හෙතෙම ඉදිරියෙන් සිටියේය. එහි ප්‍රතිඵලයක් ලෙස සමන් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඉහළින් සමත් විය.
ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයකට ඇතුළුවී සමන් උපාධිය ලබා ගත්තේය. ඊට අමතරව පරිගණක පාඨමාලාවක් ද හැදෑරීය. උපාධිය ලබා පරිගණක පාඨමාලාවක් ද හදාරා සිටි ඔහුට වැඩිකල් නොගොස් පෞද්ගලික සමාගමක විධායක ශ්‍රේණියේ රැකියාවක් ලැබිණි. එම රැකියාවෙන් සමන්ට සතුටුදායක ඉහළ වැටුපක් මාසිකව හිමි විය. ඒ වන විට සමන්ට වෙනම නිවසක් ද හිමිවී තිබූ අතර ගමන්බිමන් යෑමට වාහනයක්ද මිලදී ගත්තේය. ශක්තිමත් ආර්ථිකයක් තිබූ නිසා කිසිවෙකුට අත නොපා ජීවත්වීමේ හැකියාවක් සමන්ට තිබිණි.
සමන් පෞද්ගලික සමාගමේ රැකියාව කරමින් සිටින විට මිතුරෙකුගේ මාර්ගයෙන් නීති විරෝධී පිරමිඩ ජාවාරමට සම්බන්ධ වූයේය. ඔහු විශාල මුදලක් මෙම නීති විරෝධී ජාවාරමට ආයෝජනය කළේය. තමාගේ ඉඩමක් සහ වාහනයක් ද විකුණා රුපියල් කෝටියට අධික මුදලක් පිරමිඩ් ජාවාරම සිදු කළ සමාගමේ තැන්පත් කළේය. එතැනින් නොනැවතුණ හෙතෙම පන්සියයකට අධික පිරිසක් මෙම පිරමිඩ් ජාවාරමට සම්බන්ධ කළේය. නීති විරෝධි පිරමිඩ් ජාවාරමට සම්බන්ධ කරන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහළ යන විට සමන්ට ලැබෙන වට්ටම් ප්‍රමාණය ද වැඩි විය.
මේ අතර ඔහු සිමෙන්ති සමාගමේ රැකියාවෙන් ඉවත්ව පූර්ණකාලීනව පිරමිඩ් ජාවාරමට හවුල් වූයේය. මේ අතර බලාපොරොත්තු නොවූ පරිදි රජය මෙම පිරමිඩ් ජාවාරම තහනම් කරන ලදි. මේ නිසා ඔහු බරපතළ ප්‍රශ්නයකට මුහුණ පෑවේය. මේ ආරංචිය පැතිර යෑමත් සමඟ සමන්ගේ මාර්ගයෙන් පිරමිඩ් ජාවාරමේ මුදල් තැන්පත් කළ පන්සියයක පමණ පිරිස කලබල වී ඔවුන් පිරමිඩ් ජාවාරමට ලබා දුන් මුදල් ආපසු ඉල්ලා සමන්ට කරදර කිරීමට පටන් ගත්හ. මේ නිසා ඔහු බරපතළ අන්දමින් අපහසුවට පත්විය. තමන් සතුව තිබූ මුදල් ටික ටික මේ පිරිසට බෙදා දුන්නේය. එහෙත් තවත් කෝටි ගණනක් ගෙවීමට ඉතිරි විය. මෙම මුදල් ඉල්ලා එම පිරිස නිතර නිතරම සමන්ට කරදර කළහ.
මේ අතර රැකියාවෙන් ද ඉවත්වී සිටි සමන්ට මුදල් ඉපයීමේ ක්‍රමයක් ලෙස ව්‍යාජ මුදල් මුද්‍රණය කිරීමේ අදහසක් සමන්ගේ සිතේ පහළ විය. සමන් තවත් ප්‍රමාද වූයේ නැත. දින කීපයක් තුළ මුද්‍රණ යන්ත්‍රයක් ලබාගෙන ව්‍යාජ මුදල් මුද්‍රණය කිරීමේ ජාවාරම සමන් ආරම්භ කළේය. ඉතා රහසිගතව රුපියල් පන්දහස, රුපියල් දහස, රුපියල් පන්සියය නෝට්ටු මුද්‍රණය කොට එම හොර සල්ලි සමාජගත කිරීම සමන් ඉතා රහසිගතව කළේය.
මේ අතර සමන්ගේ හොඳම මිතුරෙකු විදේශිකයන්ගේ වීසාවල කාලය දීර්ඝ කර දීමේ වංචාවක නිරතව සිටියේය. ඔහුට ඉංග්‍රීසි දැනුමක් නොතිබූ නිසා එම විදේශිකයන්ට ඉංග්‍රීසි බසින් කිව යුතු දේ පැවසීමට එම මිතුරා සමන් යොදා ගත්තේය. විදේශිකයා ආගමන විගමන කාර්යාලයට නොගොස් ඔහුගේ වීසා කාලය දීර්ඝ කර දීමේ වංචාව ක්‍රියාත්මක කිරීමට සමන්ගේ මිතුරා සමන්ගේ උදව්ව ලබා ගත්තේය. තම වීසා කාලය දීර්ඝ කරවා ගැනීමට විදේශිකයා ආගමන විගමන කාර්යාලයට යා යුතු නොවන නිසා විදේශිකයෝ මෙම ජාවාරමට කැමැත්තෙන් සිටියහ. සමන්ගේ මිතුරා වීසා කාලය වංචනික ලෙස දීර්ඝ කර දීමට රුපියල් දසදහස, පහළොස් දහස බැගින් එක් විදේශිකයෙකුගෙන් අය කළේය.
මේ අතර ගාල්ල දිසාභාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරිට මෙම ව්‍යාජ මුදල් මුද්‍රණාලය පිළිබඳ තොරතුරක් ලැබුණි. ඒ අනුව මේ පිළිබඳ විමර්ශනය කිරීමේ කටයුතු නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එස්.එල්. නාරංගොඩ වෙත භාර දෙනු ලැබීය.
ඒ අනුව නාරංගොඩගේ උපදෙස් පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික නාගහවත්ත, පොලිස් පරීක්ෂක යොහාන් මදුසංඛ, උප පොලිස් පරීක්ෂ කසුන් සහ සැරයන් විතාරණ (73171 ) යන නිලධාරිහු මේ පිළිබඳ විමර්ශන ආරම්භ කළහ. පොලිස් කණ්ඩායම සමන්ගේ මිතුරාගේ නිවස සොයා ගියේය. එහෙත් එම නිවස වසා තිබිණි. පසුව පොලිස් කණ්ඩායම අහංගම සමන්ගේ නිවස වැටලුවේය. එම අවස්ථාවේ සමන්ද නිවසේ සිටියේය. එක්වරම පොලිසිය නිවස වැටලු විට සමන් ව්‍යාජ මුදල් මුද්‍රණය කරන කාමරයට ඇතුළු විය. ඒ සමඟම ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික නාගහවත්තද සමන්ට නොදැනෙන පරිදි සමන් පසුපසින් ගියේය. එහි තිබු ව්‍යාජ මුදල් තොගයක් රැගෙන ආපසු හැරෙන විට නාගහවත්ත සමන් අසලය. සමන්ගේ ඉලක්කය වූයේ ව්‍යාජ මුදල් තොගය සැඟවීමය. එහෙත් පොලිසිය ක්ෂණිකව ක්‍රියාත්මක වීම නිසා සමන්ගේ බලාපොරොත්තුව කඩ වී එම ව්‍යාජ මුදල් තොගය ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික නාගහවත්තගේ අතට පත්වුණි.
ඉන් අනතුරුව සමන් සිටි කාමරය පරීක්ෂා කිරීමේදී ව්‍යාජ මුදල් මුද්‍රණය කිරීමට යොදාගත් මුද්‍රණ යන්ත්‍රය, පරිගණක යන්ත්‍රයක්, විදේශිකයින්ගේ ගමන් බලපත්‍ර දහයක්, තාක්ෂණික උපකරණ උපාංග කීපයක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි. අත්අඩංගුවට ගත් විදේශ ගමන් බලපත්‍ර දහය වීසා කාලය දීර්ඝ කරවා ගැනීමට රුසියන්, ඉන්දියානු සහ පකිස්තානු ජාතිකයින් දහදෙනෙකු විසින් ලබාදී තිබූ ඒවාය.
අත්අඩංගුවට ගත් සැකකරු ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ විට රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.
ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එස්.එල්. නාරංගොඩගේ මෙහෙයවීම මත ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික නාගහවත්ත, පොලිස් පරීක්ෂක යොහාන් මදුසංඛ, උප පොලිස් පරීක්ෂක කසුන් සහ සැරයන් විතාරන (73171 ) යන නිලධාරිහු පලා ගොස් ඇති දෙවන සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වති.
එස්. දීයගහගේ - දකුණු පළාත් සංචාරක