මේ ජන සමාජයේ වැදගත් යැයි සම්මත ඇතැම් වෘත්තීන්වල නිරතව සිටින සමහර පුද්ගලයින් එම වෘත්තීන්වලට අමතරව විවිධ හොර-මැර ජාවාරම්වල නිරත වී මුදල් හරිහම්බ කර අවසානයේ නීතියේ රැහැනට හසුවන අයුරු මෑත කාලයේදී හොඳින් අසන්නට දකින්නට තිබුණු කාරණාවකි. ආසන්නම සිදුවීම නාවික හමුදා කමාන්ඩර්වරු දෙදෙනෙක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ මුල්ලේරියාවේදී පොලිසියට කොටු වීමයි.
නාවික හමුදාව ජාතික ආරක්ෂාව සඳහා දිවා රෑ සිදුකරන සේවාව සුළුපටු නොවේ. මෙරටට මත්ද්‍රව්‍ය මුහුදු මාර්ගයෙන් රැගෙන එන ජාවාරම්කරුවන් අල්ලා ගැනීම සඳහා විසිහතර පැයේම මහ දියඹේ මෙහෙයුම්වල නිරතව සිටින නාවික හමුදාව මේ වන විට සිය මෙහෙයුම්වලින් අල්ලාගන්නා හෙරොයින් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටි ගණනකි. නාවික හමුදාවේ විශාල පිරිසක් එලෙස ජාතික ආරක්ෂාවට මුහුදු ජාවාරම් වැළැක්වීමට එලෙස පෙළ ගැසී සිටියදී අතළොස්සක් ඊට කළු පැල්ලම් එකතු කිරීම කනගාටුදායකය. ඊට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වූ ඌව පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු සහ කොස්තාපල්වරු, උප පරීක්ෂකවරුන්, යුද හමුදාවේ මේජර් මට්ටමේ හිටපු නිලධාරීන්ද මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනුණේ පසුගිය දිනවලදීය.
මීට අමතරව වෛද්‍යවරයකු ගම්පොළදී අත්අඩංගුවට ගැනුණේ මත් කරල් සමඟිනි. උපාධිධාරී ගුරුවරියක් මත්කුඩු ජාවාරම්වල නිරතව සිටියදී වේයන්ගොඩ පොලිසියෙන් අත්අඩංගුවට ගැනුණි. ඇතැම් විශ්වවිද්‍යාල සිසුන්ද මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අල්ලාගෙන තිබුණේ පොලිසිය පසුගිය දිනවලදී සිදු කරන ලද මෙහෙයුම්වලදීය. සුරාබදු නිලධාරීන් කීප දෙනෙක්ද පොලිසියට පසුගියදා කොටුවන්නේ ගංජා තොගයක් සමඟය.
තම ජීවන වෘත්තියේ නාමය පවා කෙළෙසන මෙවැනි පුද්ගලයන්ගේ මූලික අරමුණු මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ ජාවාරම්වල නිරත වී මුදල් ඉපයීම වුවත් ඉන් ඔවුන් සමාජයට සිදු කරන්නේ ලොකු හානියකි.
සමාජයේ වැදගත් යැයි සම්මත වෘත්තින්වල නාමය කැත කරන පිරිස අතරට පසුගියදා තවත් පුද්ගලයකු එකතු විය. ඔහු වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවෙකි. ඉංජිනේරු වෘත්තිය කරන ගමන් මේ පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරමක ද නිරත විය. ඒ මුදල් වැඩිපුර හරිහම්බ කරගැනීමේ අරමුණෙනි.
ඔහු මේ ජාවාරම සිදු කරන්නේ බණ්ඩාරවෙල සහ කොළඹ අතරය. ඒ සඳහා ඔහු යොදාගන්නේ තමන්ට අයත් සුඛෝපභෝගී කාරයයි. කොළඹදී ජාවාරම්කරුවන්ගෙන් අයිස් මත්ද්‍රව්‍ය මිලදී ගන්නා මේ සිවිල් ඉංජිනේරුවා ඒවා සිය සුඛෝපභෝගී කාරයේ සඟවාගෙන බණ්ඩාරවෙල ප්‍රදේශයට ගෙන යන්නේ ඇතැම් සංචාරක හෝටල්වලට ලබාදීම සඳහාය.
මේ සිවිල් ඉංජිනේරුවා මෙලෙස සිය අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම සිදු කරගෙන යද්දී ඒ දිහා තවත් කණ්ඩායමක් ඇස ගසාගෙන සිටිනු ඔහු දැන සිටියේ නැත.
පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි තොරතුරු මෙහෙයුම් කටයුතු මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මර්දන කටයුතු භාර සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකරට මේ පුද්ගලයා ගැන තොරතුරු ලැබෙන්නේ දින කිහිපයක සිටය.
පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි නිලධාරීන් කණ්ඩායමක් සැකකාර සිවිල් ඉංජිනේරුවරයා ගැන සොයා බලද්දී හෙළිවන්නේ ඔහු කොළඹින් අයිස් මත්ද්‍රව්‍ය මිලදීගෙන බදුල්ල, බණ්ඩාරවෙල ප්‍රදේශවල ඇතැම් සංචාරක හෝටල් සහ නිවාඩු නිකේතනවලට ගොස් ඒවා අලෙවි කරන බවය.
සැකකාර සිවිල් ඉංජිනේරුවරයා ගැන විමර්ශනයේ නිරතව සිටින පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමට තොරතුරක් ලැබෙන්නේ ඔහු කැස්බෑව ප්‍රදේශයේ හෝටලයක් අසල රැඳී සිටින බවය.
වහාම ක්‍රියාත්මක වු පොලිස් විශේෂ කාර්ය බළකා කණ්ඩායම සැකකාර සිවිල් ඉංජිනේරුවරයා අත්අඩංගුවට ගන්නේ අදාළ හෝටලය ඉදිරිපිටදීය.
සැකකරු සන්තකයේ තිබුණු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6032ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද බවට සැක කරන රුපියල් 2,20,000ක් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් සොයාගන්නේ සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කරන ලද පරීක්ෂාවේදීය.
සැකකාර සිවිල් ඉංජිනේරුවරයා අදාළ හෝටලයේ කාමරයක රැඳී සිට ඇති අතර ඔහු එහි ගාස්තුව වශයෙන් රුපියල් දසදහසක් ගෙවා ඇති බවද විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් හෙළිකරගෙන ඇත්තේ ඔය අතරය. සැකකරු රැඳී සිටි කාමරයද එස්.ටී.එෆ්. නිලධාරින්ගේ දැඩි පරීක්ෂාවට ලක් විය.
32 හැවිරිදි සැකකරු ඇල්ල, දෙමෝදර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු කාලයක් තිස්සේ ඉතා සූක්ෂ්මව මේ ජාවාරම සිදු කරගෙන ගොස් තිබිණි.
කැස්බෑව පොලිසියට වැඩිදුර පරීක්ෂණ සඳහා භාර දුන් සැකකාර සිවිල් ඉංජිනේරුවරයා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප්‍රශ්න කිරීම සඳහා දින 7ක රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණ මහතාගේ උපදෙස් මත කැස්බෑව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජන සමරසිංහ ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශනවල නිරත වෙති.
ඡායාරූප – බණ්ඩාරගම බිමල් ජයසිංහ
දීපාල් සමරසේකර