ගාලු මුවදොර ඉදිකළ ITC රත්නදීප අධි සුඛෝපභෝගි හෝටලය පසු ගිය 25 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත විය. එහිදී ජනාධිපතිවරයා අදහස් දක්වමින් කියා සිටියේ, “ITC සමාගම ශ්‍රී ලංකාවට සාදරයෙන් පිළිගන්නවා. ආසියාවේ පළමු තරු පහේ හෝටලය වන ගාලුමුවදොර හෝටලය මේ අසල පිහිටා තිබෙනවා. ඒ වගේම ඉන්දියානු ටාජ් හෝටලය ද මේ ආසන්නයේ පිහිටා තිබෙනවා. සිංගප්පූරුවෙන් පැමිණි ෂැංග්‍රිලා හෝටලය ද පිහිටා තිබෙන්නේ මේ ආසන්නයේයි. ඒ සියල්ලන්ටම වඩා උසින් දැන් ITC රත්නදීප හෝටලය ද තිබෙනවා. ඒ වගේම ඊට පසුපසින් සිනමන් ලයිෆ් හෝටලය තිබෙනවා.
මේ සියල්ල ශ්‍රී ලංකාවේ හෝටල් කර්මාන්තය නියෝජනය කරනවා. ඒ වගේම ඔබරෝයි හෝටලය ශ්‍රී ලංකාවට පැමිණි මුල්ම නාගරික හෝටලය වූ අතර බොහෝ කලකට පෙර මෙහි සංචාරක හෝටල් ආරම්භ කළේ ද ඉන්දියාවයි. ඒ නිසා ඉන්දියාව මෙන්ම සිංගප්පූරුව නියෝජනය කරන හෝටල් මෙහි පිහිටා තිබෙනවා. ඔබට ආසියාවේ කිසිම තැනකින් මෙවැනි සුවිශේෂී ස්ථානයක් ලබා ගත හැකියි කියා මම හිතන්නේ නැහැ.
මෙය කොළඹ නගරයේ සහ කොළඹ කේන්ද්‍ර කරගත් සංචාරක ව්‍යාපාරයේ සංකේතයක් බවට පත්වනු ඇති බවට සැකයක් නැහැ…” යනුවෙනි.
ගාලුමුවදොර විවෘත වූ ITC රත්නදීප, ITC හෝටල් ජාලයේ පළමු ජාත්‍යන්තර හෝටලයයි. එය ITC Ltd හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන Welcome Hotels Lanka Ltd විසින් ශ්‍රී ලංකාවේ දියත් කළ ප්‍රථම සංවර්ධන ව්‍යාපෘතියයි.
ඇ.ඩො. මි. 300ක ඉන්දියානු ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක මෙම ITC රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය ඉන්දියාවෙන් පිටත සිදුකළ විශාලතම ඉන්දීය ආයෝජනයකි.
ගාලුමුවදොර අක්කර 5.86ක වපසරියක ඉදිකර ඇති මෙම ව්‍යාපෘතියේ උසම ගොඩනැඟිල්ල තට්ටු 48කින් සමන්විත වන අතර එහි උස මීටර් 224කි. එය අධි සුඛෝපභෝගි කාමර 352කින් සමන්විතය.
මෙම ගොඩනැඟිලි ද්විත්වය මීටර් 55ක දිගකින් යුත් Sky Bridge හෙවත් අහස් පාලමකින් යා කර තිබීම විශේෂත්වයකි. මෙය දකුණු ආසියාවේ එකම සහ පළමු අහස් පාලමයි. මෙම අහස් පාලමේ අති සුඛෝපභෝගි පිහිනුම් තටාක දෙකක්ද ඉදිකර තිබේ.