Home » උත්පත්ති නවකතාව අභිනව උපතක් දෙස අපේක්ෂාවෙන් බලා සිටින්නක්

උත්පත්ති නවකතාව අභිනව උපතක් දෙස අපේක්ෂාවෙන් බලා සිටින්නක්

ලේඛක කීර්ති වැලිසරගේ

by Mahesh Lakehouse
May 4, 2024 12:30 am 0 comment

මිනිසකුට උත්පත්ති කිහිපයක් තිබේ. ඒ උත්පත්ති එකිනෙකට වෙනස් විය හැකිය. සාපේක්ෂ උත්පත්ති පවා කියන්නේ වෙනස් කතාවකි. මේ උත්පත්ති සඳහා බෙහෙවින් බලපෑම් කරනු ලබන්නේ හෘදය සාක්ෂ්‍යයේ බරයි. නැත්නම් හඬ ගෑමයි. කුරුඳු තළන ජීවිතවල අභ්‍යන්තරයට එබී බලමින් ජීවිත අරගලයේ විවිධ පැති සිය වියමනට හසු කරගත් අපූරු නවකතාවක් මෙවර අපේ සංවාදයට ලක්වෙයි. නවකතාව උත්පත්ති නම් වෙයි. ලේඛකයා කීර්ති වැලිසරගේ ය.

කීර්ති වැලිසරගේ කෙටිකතාකරුවෙකි; නවකතාකරුවෙකි; විචාරකයෙකි. ඔහුගේ ප්‍රබන්ධ සාහිත්‍යය සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මානය, ගොඩගේ හා ස්වර්ණ පුස්තක ඇතුළු විවිධ සම්මාන රාශියක් හිමි ව ඇත. උත්පත්ති ඔහුගේ නවතම නිර්මාණ වෑයමයි. අහිමි හෘදය සාක්ෂ්‍යයක බර, තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යය කර ඒ ඔස්සේ උත්පත්ති වියමන් වෙන්නේ පාඨක අපට ද නැවත ආත්මභාෂණයක යෙදෙන්නට බල කරමිනි.

උත්පත්ති නවකතාව පදනම් වෙන්නේ 1963න් පසු වකවානුව ගැන. මම හිතනවා ඒ ඔබේ ළමා කාලය කියලා. ඔබ දුටු සහ විඳි දෑ එක්ක මේ නවකතාවේ පරිසරය නමැති චිත්‍රය වර්ණ ගන්වන්න පහසු වුණා ද?

පාදුක්ක, මලගල ප්‍රදේශය මට හුඟක් හුරු පුරුදුයි. මම ටික කලක් මලගල විද්‍යාලයේ ඉගෙනුමත් ලැබුවා. මගේ වැඩිමහල් සහෝදරිය විවාහයෙන් පසුව පදිංචිව සිටියේ එහි. උත්පත්ති නවකතාවේ පමණක් නොවෙයි, තවත් මා ලියූ නවකතා කිහිපයකටම, මායා තීර්ථ, කාල සර්ප වැනි නචකතාවලටත්, ගස් කට්ටිය වැනි කෙටිකතා රැසකටත් මේ පෙදෙස පසුබිම් වීමට ඒ ඇසුර බලපෑවා.

සමාජ ආර්ථික ක්‍රමයේ ශීග්‍ර පරිණාමය ඔබට හසු වෙනවා. මට ගම්පෙරළිය නවකතාවත් මතක් වුණා. සමාජ පරිණාමය ගැන වන සවිඥානිකත්වය නවකතාකරුවාට කොච්චර වැදගත් ද?

සමාජයක් එකතැන ගල් ගැසී පැවතිය යුතු නැහැ. වෙනස් වෙමින් ගමන් කිරීමයි සමාජයක ස්වභාවය. ඒ ගමන යහපත් එකක් බවට පත් වන විට සමාජය සහනශීලී සමාජයක් බවට පරිවර්තනය වනවා. එහෙත් අපේ සමාජ ආර්ථික සබඳතා සාධනීය පරිවර්තනයක් සිදු කරගැනීමට අපොහොසත් වූ බව පැහැදිලියි. 20 වෙනි සියවස අපතේ ගිය බවට වන චෝදනාව සහේතුක බව පෙනී යනවා. නිදහසින් පසුව ගත වූ අඩ සියවසේ වුවත් එබඳු තිරසර පරිවර්තනයකට පදනම දමා ගැනීමටවත් අපේ දේශපාලන සමාජ නායකත්ව භූමිකා අසමත් වෙනවා.

කේන්ද්‍රයේ සුළු පිරිසක් අත ආර්ථිකයේ විශාල පංගුවක් ඒකරාශී වන, පරිධියේ බහුතරය නොතකා හැරෙන විෂම යන්ත්‍රණයක් දිගින් දිගටම ක්‍රියාත්මක වීම හැර සමස්ත සමාජ ආර්ථිකයේ සංවර්ධනයක් දැක ගන්නට පුළුවන් කමක් නෑ. 21 වන සියවස ආරම්භයේ අප මුහුණ දෙන මහා අර්බුදයේ අක් මුල් ගැට ගැසී ඇත්තේ මේ පසුබිම සමඟයි. උත්පත්ති නවකතාවේ වගේ ම මගේ මායා තීර්ථ, කාල සර්ප වැනි නවකතා ගණනාවක මේ කාරණා පිළිබඳව යම්තාක් දුරට සාකච්ඡාවක් පැවතුණා.

නවකතාවක් කියන්නෙ ප්‍රතිනිර්මිත සමකාලීන සමාජ යථාර්ථය බවට වන මතය අපේ සැලකිල්ලට ලක්විය යුතු අදහසක්. නවකතාකරුවකු තත්කාලීන සමාජය පිළිබඳවත් එහි අක්මුල් හා අනාගත ප්‍රක්⁣ෂේපණ පිළිබඳවත් සවිඥානික වීම අතිශය වැදගත්.

ඔබ උත්පත්ති නවකතාව ඇතුළෙ ප්‍රාදේශික භාෂා අනන්‍යතාව රකින්න දරන උත්සාහය අපට පේනවා. නවකතාවකට භාෂා අනන්‍යතාව හා සුදුසු භාෂා භාවිතය ආලෝකයක් එක් කරනවා ද?

1960 ගණන්වල මේ ප්‍රදේශයේ කථන ව්‍යවහාරයේ පැහැදිලි අනන්‍යතාවක් පැවතුණු බව මගේ මතකයේ තිබෙනවා. නමුත් මේ වන විට අන් බොහෝ තැන්වල වගේ ම ඒ ලක්ෂණ අතුරුදන්ව ඇති බවයි පෙනෙන්නේ.

ඒත් උත්පත්ති නවකතාවට පසුබිම් වන කාලවකවානුව සලකමින් හැකිතාක් එම අනන්‍යතා රැක ගැනීමට අවධානය යොමු කළා. සාහිත්‍ය නිර්මාණයකදී මේ අනන්‍ය ලක්ෂණ මඟින් සැලකිය යුතු ජීවයක් ඊට එක්වෙනවා. ඔබ කියන අයුරින් ම එය ආලෝකයක්. ගරුඩ මුහුර්ථය නවකතාවේදී ප්‍රාදේශීය මෙන්ම, උප භාෂා ලක්ෂණ පිළිබඳවත් දැක්වූ අවධානය මෙහිදී සිහිපත් වෙනවා.

උප සංස්කෘතික වෘත්තීයමය හා පුද්ගල අනන්‍ය රටා ගැන ඔබ බෙහෙවින් සැලකිලිමත්. කුරුඳු තළන්නන්ගේ ජීවිතවල ඇතුළාන්තයට ඔබ එබෙනවා. පර්යේෂණ එළැඹුම නවකතාවකට කොච්චර වැදගත් ද?

නවකතාවකට පර්යේෂණ එළඹුමක් අත්‍යවශ්‍ය බව අවධාරණය කරන්න පුළුවන්කමක් නෑ. එහෙත් ඇතැම් නිර්මාණ සඳහා එබදු පෙර වැඩ අවශ්‍ය බව පෙනී යනවා. එවිට එය මග හැර යා නොහැකියි. උත්පත්ති ලියද්දී කුරුඳු තළන්නන්ගේ ජීවිත වෙත ළඟා වෙන්න අවශ්‍ය වුණා. මා ඒ වන විටත් දැන හඳුනා ගෙන සිටි ඒ ජීවිත වඩාත් පොහොසත්ව රූපණය උදෙසා අධ්‍යයන අවශ්‍යතා මතු වුණා. එහිදී මට බෙහෙවින් උපකාරී වූයේ මලගල නිමල් බාලසූරිය, මගේ ඥාති පුත්‍රයා. එමෙන් ම මාදු ග⁣ඟේ කුරුඳු දූපතට ගොස් ලබා ගත් අත්දැකීමුත් වැදගත් වුණා. එච්. ප්‍රසාද් කුමාර මහත්මාගේ දායකත්වය මෙහිදී විශේෂයෙන් සිහිපත් වෙනවා. කුරුඳු තළන්නන්ගේ එවක පැවති පර්යටනය දැන් එලෙසින් ම දකින්න ලැබෙන්නේ නෑ. නමුත් ඒ උපකරණ, විධි ක්‍රම හා ඔවුන්ගේ ආර්ථික, සමාජ, සංස්කෘතික වටපිටාව නොවෙනස්ව පැවතීම, අපේ පොදු සමාජ ආර්ථික කතිකාව ඇසුරින් තේරුම් ගැනීමට පුළුවන්කම තිබෙ⁣නවා.

ඉඩම් හිමියන්, ප්‍රවේණිදාසයන් උත්පත්ති කියවද්දි නිරායාසයෙන් ම මතක් වෙනවා. රත්තරන් මහත්තයත් හැසිරෙන්නෙ අපි දන්න කියන ඒ සමාජ පන්තිවල හිටිය ඉඩම් හිමියෙක් වගේ. මේ සමාජ පන්ති විෂමතාව ගැන නවකතාකරුවන් අවධානය යොමු කිරීම වටින්නේ ඇයි?

රත්තරන් වගේ ම අනිකුත් චරිතත් මේ සමාජයේ ම නිෂ්පාදන. ඒවා ප්‍රතිනිර්මාණය වුවත් ඉහත කොන්දේසියට යටත්. සමාජය අද පාවෙමින් තියෙන්නේ බරපතළ ව්‍යාජයක් මත. මේ කබොල බිඳුණ ගමන් ගැඹුරු අගාධයක්. ඒ ගැන දීර්ඝ වශයෙන් කතා කිරීමට මෙය අවස්ථාව නොවෙයි. නවකතාකරුවා සාකච්ඡා කරන්නේ මනුෂ්‍ය ජීවිතය පිළිබඳව නම්, ඒ ජීවිත බද්ධ වූ සමාජය පිළිබඳව නම්, පන්ති විෂමතාව ගැන අවධානය යොමු වීම අරුමයක් නොවෙයි. එහෙත් ප්‍රචාරකවාදීව තම නවකතාව මැයි දින බැනරයක් බවට පත්කරගෙන අහෝසි කර ගැනීමක් මෙයින් අදහස් වන්නේ නෑ.

උත්පත්ති හෘදය සාක්ෂ්‍යයක හඬ ගෑම වෙනුවෙන් ලියැවුණක් කියලයි මට දැනෙන්නෙ. හෘදය සාක්ෂ්‍යයක් නැති මිනිස්සු අතරෙ ඔබට අවශ්‍ය වුණා ද නවකතාවකින් හරි ඒ ගැන මතු කරන්න?

උත්පත්ති නවකතාවේ ප්‍රධාන චරිත දෙකක් වන රත්තරන් වගේ ම දේවකත් ක්‍රියාත්මක වන්නේ හෘදය සාක්ෂ්‍යක් ඇති මනුෂ්‍යයන් හැටියට. රත්තරන්ට තම ජීවිතයෙන් වන්දි ගෙවන්නට තරම් එය බරපතළ වෙනවා. දේවකටත් තම හෘදය සාක්ෂ්‍යයට පිටුපාන්නට බැරි වෙනවා. එහෙත් අද අප ජීවත් වන සමාජයේ හෘදය සාක්ෂ්‍යය ගැන අපට කියන්න තිබෙන්නේ මොනවාද? හෘදය සාක්ෂ්‍යය අහිමි කරගත් සමාජයකට නැවත හෘදය සාක්ෂ්‍යය කැඳවා ගැනීම අත්‍යවශ්‍ය වනවා. උත්පත්ති පිරිනමන්නේ එබඳු සමාජයකට.

සමහරු තනි කැරලි ගහනවා. නවකතාවේ ජිනදාස කංකානම වුණත් එහෙමයි. චන්දරාත් එහෙමයි. හැබැයි මේ අය හැමදාමත් පරදිනවා. ඔබ මේ කතාවෙන් මතු කරන දේශපාලන විග්‍රහය ගැඹුරුයි. දේශපාලන සවිඥානිකත්වය නවකතාවකට කොච්චර වැදගත් ද?

ජිනදාස කංකානම තමන්ට පැහැදිලි නැතත් තමන් ඇතුළු පරිධියේ ප්‍රජාව අසාධාරණයට ලක්ව සිටින බව ඉවෙන් වටහා ගත්තෙක්. ඔහුගේ ක්‍රියාමාර්ග ඊට එරෙහි තනි කැරැල්ලක් ලෙස පෙනී යෑම සාධාරණයි. එය කෙනකු දරුණුකමක් ලෙස තේරුම් ගන්න වුණත් ඉඩ ඇති තත්ත්වයක්. චන්දරා මුහුණ දෙන ඛේදයට වගකිව යුතු වන්නේ එක් පුදගලයකු ද; නැතහොත් පොදුවේ සමාජයක් මුහුණ දෙන ව්‍යසනයේ ම පැතිකඩක් ද? උත්පත්ති නවකතාවේ මිතුරා වෙනුවෙන් කැපවන චාර්ල්ස් මෙන් ම තේජිත, සුදු හාමිනේ ආදි චරිත මඟින් සමස්තය නියෝජනාත්මකව රූපණයට අවශ්‍ය අවකාශය කෙරෙහි අවධානය යොමු වුණා. ව්‍යාජය පුරුෂාර්ථ කොටගත් සමාජයකට යා හැකි දුර පිළිබඳ සංඥාව තවත් අතකින් පැවතුණා.

වසර 1971 තරුණ නැඟිටීම, 80 මහා වැඩ වර්ජනය, 83 කළු ජූලිය උත්පත්ති නවකතාව මත දැවැන්තව පතිත වෙලා තියෙනවා. දේශපාලන නිෂ්ටාවක් ගැන ගැඹුරෙන් කතා කරන ඔබ ආගමික නිෂ්ටාවක් කරා අවසානයේ යනවා. කුමක්ද සාධනය කරගන්න උත්සාහ කළේ?

71 තරුණ නැඟිටීම, 80 මහා වැඩ වර්ජනය, 83 කළු ජූලිය 1987 වන විට දේවකලාගේ තරුණ ජීවිත කෙරෙහි මෙන් ම සමස්ත සමාජය කෙරෙහිත් බලපෑ තීරණාත්මක සංඥා ත්‍රිත්වයක් ලෙස මෙහි රූපකාර්ථවත් අයුරෙන් යොදා ගැනීම සිදු වුණා. 71 තරුණ නැඟිටීම පසුපස පැවතුණේ අපේක්ෂා භංගත්වයක කැකෑරුම. 80 රුපියල් 05ක වැටුප් වැඩිවීමක් ඉල්ලූ දස දහස් ගණනකට එල්ල වුණේ වැඩ වැරුමේ අයිතිය නොතැකූ පාලක පන්තියේ මරණීය ප්‍රහාරයක්. 83 කළු ජූලිය ඇති කළේත්, දියත් කළේත් ලාභ ප්‍රයෝජන තැකූ දේශපාලකයන්. ඉහත ත්‍රිත්වයේ ප්‍රතිඵල අදත් සමාජයක් වශයෙන් අප භුක්ති විඳ අවසන් නෑ.

ඒවායේ පියවරුන්ට පසුතැවීමක් නෑ. හේතුව ඔවුන්, අප කලිනුත් සඳහන් කළ හෘදය සාක්ෂ්‍යය අහිමි කරගැනීම ආශීර්වාදයක් කරගැනීමේ නරුම පිළිවෙතේ බැතිමතුන් වීම නිසා. ගමන් මඟ වැටී ඇත්තේ ප්‍රපාතයෙනුත් ප්‍රපාතයට. ඒ විවිධ සංකීර්ණතා මැද වුවත් වෙනසක් පිළිබඳ අපේක්ෂාව

අලුත් දීප්තියකින් දැල්වෙන්නට පටන් ⁣ගෙන තිබූ වකවානුවක්. 87 වන විට දේවකලා ඉදිරියේ තිබුණේ නව දේශපාලන ව්‍යුහයක්, දැක්මක් හා වැඩ පිළිවෙළක් පිළිබඳ පොදු අපේක්ෂාවක්. දේවක ආගමික නිෂ්ටාවක් කරා යොමු වේ යැයි කිසියම් පාඨකයකුට හැඟීමක් ඇති වෙතොත් ඊට එරෙහි වන්නට පුළුවන්කමක් නෑ. එහෙත් තම හෘදය සාක්ෂ්‍යයේ බරින් නිදහස් වීම උදෙසා දේවක තමන්ගේ ගමන් මඟ ප්‍රති අවලෝකනයක යෙදෙන්නෙක් ලෙස දැකිය නොහැකි ද යන්න අවධානයට පාත්‍ර විය යුතු බවත් අදහසක් ලෙස සැලකෙන්නේ නම් කැමතියි. දේවක; සිල් මෑණියන්, නර්මදා හා තම සොයුරිය සමඟ නිරන්තරයෙන් කෙරෙන සාකච්ඡාවල යොමුව පවතින්නේ හුදු ආගමික නිෂ්ටාවක් උදෙසා ද, නැතහොත් සමාජ පරිවර්තනයක ඇරඹුමක් උදෙසා ද යන්න විමසුමට ලක්විය යුතු බවයි මගේ අදහස.

තාත්තා රත්තරන් කළ වරදකට පසුතැවෙනවා. පුතා දේවක නොකළ වරදකට පසුතැවෙනවා. සුදු හාමිනේ තමන්ගෙන් වුණු අතපසුවීම් ගැන තැවෙනවා. සමාජය ම ඉන්නෙ යම්කිසි පශ්චාත්තාපයකින් ද?

චරිත, සිද්ධීන් හා භෞතික පරිසරය ඇතුළු සියල්ල නවකතාවකදී අපගේ සැලකිල්ලට ලක් විය යුත්තේ කිසියම් රූපකාර්ථවත් මෙවලම් සමූහයක් ලෙස ය යන්න මගේ අදහසයි. එ⁣හෙම බලද්දී සමාජයක් වශයෙන් ඒ පශ්චාත්තාපයෙන් ගැලවෙන්න කිසිවකුටත් පුළුවන්කමක් නෑ. පැහැදිලිව ම පෙනෙන දේ තමයි මේ පශ්චාත්තාපය බද්ධ වෙන්නේ හෘදය සාක්ෂ්‍යයත් සමඟ බව. හෘදය සාක්ෂ්‍යය වැළලූවන්ට මේ පසුතැවුම නෑ. සමාජයට හෘදය සාක්ෂ්‍යය නැවත කැඳවිය යුතු බවට ඉල්ලීමක් පවතින්නේ ඒ නිසයි. 88, 89 භීෂණකාරී රාජ්‍ය මර්දනයෙන් දිවි ගලවා ගන්නට හැකි වුණා නම් දේවක පෙනී සිටින්නේ ඒ උදෙසාය යන්න මගේ විශ්වාසයයි.

උත්පත්ති නවකතාව උත්පත්ති කිහිපයක් ගැන ඉඟි කරනවා. අපි හැමෝට ම එහෙම උත්පත්ති කිහිපයක් තියෙනවා.

ඔබේ ප්‍රශ්න හුඟක් බරයි. ඔබ සඳහන් කරන ආකාරයට ම උත්පත්ති ගණනාවක් මනුෂ්‍යයකුට තියෙන්න පුළුවන්. දේවකටත් ඒ වගේ. තේජිතට වුණත්. ඒ අනුව තමයි ජීවිත නව මං ඔස්සේ ඉදිරියට ගමන් කරන්නේ.

කේවල ජීවිතවලට වගේ ම සමාජයටත් අලුත් උත්පත්තියක අවශ්‍යතාව යම් මොහොතක උදා වෙන බවයි මගේ විශ්වාසය. ඒ උපත මඟ ⁣ නොහරවා ගන්න සමාජයක් උත්සුක විය යුතු වෙනවා. උත්පත්ති නවකතාව හුදු කේවල මනුෂ්‍ය ජීවිතයක නව උපතකට එහා ගිය සමාජයක අභිනව උපතක් දෙස අපේක්ෂාවෙන් බලා සිටින්නක් ලෙස සලකන්න කැමතියි.

සැහැල්ලුවක් දැනෙනව ද; මේ සේරම කියල ඉවර වුණාට පස්සේ?

ඇත්තෙන් ම සැහැල්ලුවක් දැනුණා. හිතේ හුඟක් බරට තෙරපුම් දෙන යමක් ළෙන්ගතු මිතුරකුට කීමෙන් පස්සෙ සුසුමක් හෙළලා අත්විඳින සැහැල්ලුව වගේ සැහැල්ලුවක්. හැම නවකතාවකට ම, කෙටිකතාවකට ම පස්සෙත් යම් යම් මාත්‍රාවන්ගෙන් මේ සැහැල්ලුව දැනීමට පුරුදුයි. ඒත් ඒ සැහැල්ලුවේ දිගට ම රැඳී ඉන්න නොලැබෙන එක තමයි ගැටලුව.

සුමුදු චතුරාණී ජයවර්ධන

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division