Home » කොටගල තේ “සාදය”

කොටගල තේ “සාදය”

by Mahesh Lakehouse
May 4, 2024 12:30 am 0 comment

තේ දල්ලට, වැවිලි ආර්ථිකයට එහා ගිය කතාවක් තිබේ. සෞම්‍යමූර්ති තොණ්ඩමාන් සිය ජීවිත කතාව නම් කරන ලද්දේ ‘තේ සහ දේශපාලනය’ කියාය. ගහක, දල්ලකට එවන් දේශපාලන සන්දර්භයක් එකතු වන්නේ ඉබේ නොවේ.

1936 මහමැතිවරණයෙන් හැටන් ආසනය නියෝජනය සඳහා පත් වන්නේ නතේස අයියාර්ය. හෙතෙම වතු කම්කරුවන්ගේ බලාපොරොත්තුව විය. පැවති ආර්ථික අවපාතය මත ලෝක වෙ‍ෙළඳපොළේ තේ මිල පහත වැටීමට පටන් ගත්තේය. මේ ඇසිල්ලේ වතු හිමියෝ කම්කරු වැටුප් කප්පාදුවට උත්සුක වූහ. නතේස අයියාර් ‘තේ’ දල්ලේ දේශපාලනයට පිවිස, වතුහිමියන්ට එදිරිව සිට ගත්තේය. වතු හිමියන්ගේ අනේක ගැහැට මධ්‍යයේ වතු කම්කරුවන් වෙනුවෙන් වෘත්තීය සමිති ව්‍යාපාරයක් ආරම්භ කරමින්, තේ දලු නෙළන අතට සවියක් වීම සඳහා පදනම සැකසූවේ ද අයියාර්ය.

තුන් දල්ල, වහ වහා නෙළමින් එක්වනම පසුපස ඇති පැසට විහිදා හැරීම, කවියෝ කලාත්මක ඇසින් දුටහ. දුර රූපයකින් ඒ කාර්යය දකිනා විට ඇති වන සන්තුෂ්ටිගත හැඟීම කහට පැහැ වූ නිය සහ ඇඟිලි වෙත සංවේදනය වන්නේ නැත. උදේ ආහාරය ලෙස රොටියකින් සප්පායම් වී නැතිනම් හිස්බඩම වත්තට එන, ඒ කම්කරු කාන්තාවෝ තම ජීවිතය වත්තන් කරගැනීම මෙන්ම ජාතියක් වෙනුවෙන් දලු නෙළන්නෝය. වතුකරයේ ලැයිම් කාමරයක ජීවිතය, තොට ළඟ කජිමාවත්ත සහ මුම්බායි හි ධාරාවී මුඩුක්කුව අතර මැද්දේ ඇති ජිවිතයකට වෙනසක් නැත. පරම්පරා ගණනාවක ජාන ද ඒ ජීවිතය සඳහා සැකසී ඇති බැවින්, උපන් උරුමය කර දරා, කිරිසප්පයාට ද වැඩිවිය පැමිණි කල උරුම වන්නේ දලු කැඩීම සහ වත්තේ වැඩය.

සමසමාජ පක්ෂ මතධාරියෙක් වූ සහකාර වතු පාලක තනතුරේ සේවය කළ මාර්ක් බ්‍රෙස්ග්රේඩල් මැදිහත් වතු කම්කරු ප්‍රජාව අතරේ සිය වෘත්තිය වෙනුවෙන් නව ප්‍රබෝධයක් ජනිත කළේය. මේ සියලු ව්‍යායාම් යටපත් කිරීමට තරම් වතු පාලක හාම් පුත්තු සවිමත් වූහ. උදෑසන තේ මේසය සඳහා දේශපාලනයේ ඉහළ පුටු සමඟ එකට හිඳ, ඔවුනට නම කියා ආමන්ත්‍රණය කිරීමේ හැකියාවක් හාම්පුත්තු වෙත ඇති කල්හි වතු අරගලය යන්න, විසි කරන තේ මණ්ඩියකට වැඩි යමක් නොවන්නේය. ‘මුල් ඔය සටන’ උඩරට වතු කම්කරු ඉතිහාසයේ මුල්ම අරගලයය. 1940 ජනවාරි මාසයේ සිදු වූ මෙම අරගලය නොවන්නට වතු ජනයාගේ ජීවිත, වත්තට දිය වෙනවා හැර අන් මඟක් නොගන්නවා ඇත.

වෙඩි තැබීම්, ගහ මරා ගැනිම් සමඟ ජිවිත ගණනාවක් පුජා කරමින් එදා මුල් ඔය සටන වතු කම්කරුවෝ ජයග්‍රහණය කළහ. ජයග්‍රහණයේ ‘දලු නෙළීම’ ආරම්භ වන්නේ ඉන්පසුවය. වතු හාම්පුත්තු සහ වතුකරයේ වෘත්තීය සමිති අතර සාමුහික ගිවිසුමක් අත්සන් තැබීමත් සමඟ, නින්දාවට සහ නරකාදියට සින්න වූ, ජාතියට ධනය ගෙනා දෑත් වෙත, සවිබලයක් ලැබෙන්නට විය.

මේ දිග කතාව, තේ කෝප්ප ගණනාවක් හිස් කරමින් ලිවිය හැක්කේය. සිලෝන් ටී නාමය සැරසීම පිණිස සිය ජීවිතය කැප කරන ප්‍රජාව යනු වෙනත් කම්කරු කොටසක් මෙන් පැය අටක් ජීවිතය රැකියාවට සරි කරනා මිනිස්සු පිරිසක් නොවෙත්. උපතින්ම රැකියාව උරුම වූ, වත්තම ජීවිතය වූ, ජන කොටසකි. මේ මිනිසුන්ගේ ජීවිත වෙනුවෙන් කතා කිරීම සහ සටන් කිරීම යනු එම නායකයා වෙත ‘ඉහළ ස්ථරයේ’ විරෝධය සඳහා පාදක වීමට මාර්ගය තනා ගැනීමකි.

කොළඹ ඉහළ මාලය වනාහි කවුරු බලයට ආවත් එක දුරකතන ඇමතුමකින්, බලය ළඟට ගෙන්වා ගත හැකි කල්ලියකි. ඒ මහතුන් සමඟ ආරෝවක් කර ගැනීම සඳහා අවශ්‍ය ‘පළමු වෙඩි මුරය වනුයේ’ වතු කම්කරුවාගේ වැටුප වැඩි කිරීමය. තේ කෝප්පයේ කුණාටුවකින් දේශපාලනය පාළු නොකර ගැනීමත්, වතු ඡන්ද ගොන්න සඳහා ඇම එළීමත් යන දෙකම කර ගත හැකි මාර්ගයක් මේ හේතුවෙන් ඉහළ දේශපාලනය දිගටම කරගෙන ගියේය. ඡන්දේ කාලයට ‘වත්තට’ පොරොන්දු දී, පස්සේ අහක බලාගෙන යෑමේ විලාසිතාව කිසිදා පැරණි නොවීය.

ඒ චක්‍රය සඳහා නොබියව නැවතීමේ තිත පසුගියදා තබනු ලැබුවේ, ජනපති රනිල් වික්‍රමසිංහ විසිනි. වෙනදා ප්‍රධාන මැයි රැලිය අමතා කම්කරු දින ‘ඇන්දවීම’ සිදු කරන නායකයා වෙනුවට, වත්මන් ජනාධිපතිවරයා කොටගල පැවති වතු කම්කරුවන්ගේ මැයි දිනයට ගියේය. හිස් බඩ වත්තට එන ඒ මිනිස්සු වෙත, හිස් අතින් ගොස්, හිස් කතා දොඩන්නට ඔහු ගියේ නැත. වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1700ක් දක්වා වැඩි කළේය.

පින්න සහ යහමින් ඇති සීතල සමඟ මේ රටේ ආර්ථිකය පණගන්වන ඒ ජීවිත, මෙදා තේ දලු සේ පිබිද ආවේය. සිය ලැයිම් කාමර ජීවිතය වෙනුවට, වත්තේ ඇති විධිමත් ගම්මාන, ‘උරුමය ඉඩම් අයිතිය’ යටතේ තමන්ටම වූ සින්නකර ඉඩමක හිමිකම, ආදී මහා සේසතක් මේ මැයි පළවෙනිදාවේ ඔවුනට ලැබිණි. ජේම්ස් ටේලර් විසින් 1867 වසරේ ලූල්කඳුර වත්තේ තේ වගාව ආරම්භ කළ පසු ඒ සඳහා උන් ශ්‍රමිකයන් වෙත ‘මිනිසත් හදවතකින්’ ලැබුණු මහා සහනය මෙය විය.

රැවටීමේ චක්‍රය නැවතී, නිවිහැනහිල්ලේ බොන උණුසුම් තේ කෝප්පයක ආශ්වාදය ඔවුනගේ ජිවිත සඳහා ද දැන් ලැබී අවසානය. මුල් ඔය සටනින් පටන් ගත් වතු කම්කරුවා ලද සුවිශාලම ජයග්‍රහණය, මෙයය.

1773 දෙසැම්බර් දහසය දා බොස්ටන් වරායේ නවතා තිබූ තේ නැවකට, වෙස්වළාගෙන ඇතුළු වූ බොස්ටන් වැසියෝ එහි වූ තේ පෙට්ටි 342ක් මුහුදට විසි කළහ. අමෙරිකානු විප්ලවයේ ආරම්භය සටහන් කළ මේ සිද්ධිය ‘බොස්ටන් තේ සාදය’ නම් වේ. කොටගල දී 2024 මැයි පළවෙනිදා මේ රටේ වතු ප්‍රජාව අත්විඳින ලද්දේ සිය අනාගතයම ‘සාදයක්’ කර ගත හැකි විප්ලවයකි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division