ඉඩමක පෙරහුරුවක් කරමින් මා සිටියේ කාමරය තුළය. මුමුණමින් පාඩම් කළත්, මගේ සිහින් හඬ තාත්තාට ඇසෙන්නට ඇත. සාලයේ කෙළවර හාන්සි පුටුවේ දිගාවී සිටි තාත්තා උගුරේ රැල් බුරුල් හැර කාරා පඩික්කමට කෙළ ගැසුවේ මගේ අවධානය ඔහු කෙරෙහි හරවා ගන්නට විය හැකිය.
මම පාඩම් පොතෙන් නෙත් ඉවතට ගෙන දොර රෙද්ද අතරින් තාත්තා දෙස එබී බැලුවෙමි.
“රාලහාමි අනිද්දට ඇලිසැස්සෙ කුඹුරෙ ගොයම් කපන්නයි හිතා ඉන්නෙ..”
තාත්තා මා දෙස බලා එසේ කියා ඉවත බලාගත්ත ද, එය කීවේ මට නොව මා මඟින් අම්මාට දුන් පණිවිඩයක් ලෙසය. මා දන්නා කාලයේ සිටම අපේ ගෙදර පණිවිඩ හුවමාරුව සිදුවන්නේ ඒ විදිහටය. තාත්තාගේ පණිවිඩය හොඳ හෝ නරක කුමන එකක් වුව ද, මා එය එම මොහොතේම අම්මාගේ කනේ තබන බව තාත්තා දනියි. තාත්තා එසේ කිසිවක් කියන්නේ නිකමට නොව බොහෝ දුර සිතා බලා තීරණයක් ගත් පසුව බව කුඩා එකකු වුව ද, මට ද වැටහී තිබුණේ පළපුරුද්දෙනි.
ඇලිසැස්සෙ යායේ පහළ කොටස අපේ කුඹුරය. ඉන් නියරෙන් උඩ වැපුරුවේ පහළ ගෙදර කළු මාමාය. අපේ කුඹුර කළු මාමාගේ කුඹුරට වඩා හොඳින් කිරි වැදෙන නිසාත්, අපේ ගේ-දොර හොඳ විදිහට තිබුණ නිසාත්, මූණ ඉච්ඡාවට සිනාසී කතා කළ ද, කළු මාමාගේ එතරම් කැමැත්තක් නැති බව දවසක අම්මා මට කියා තිබුණ ද, මට එය නොතේරුණි. කටවහකාරයකු කියන දෙයක් බොහෝ දුරට වරදින්නේ නැති බව තමාට කියා තිබුණේ ද අම්මා ය. කළු මාමාද එවැනි කටවහකාරයකු බව ගමේ අය කියන නිසා ඔහු සමඟ වැඩි ඇයියක් හොඳයියක් තබා නොගන්නා ලෙස කීවේ ද අම්මාය. කළු මාමා එන විට එළියට නොබසින ලෙස අම්මා නංගීට ද කියා තිබිණි.
මගේ වැඩය නවතා තාත්තාගේ පණිවිඩය සැණෙකින් ගොස් අම්මාගේ කනේ තැබිය යුතුය.
“අන්න අනිද්දට ඇලිසැස්සෙ ගොයම් කපන්න දාගත්තා කියල තාත්තා කියනවා…”
“මොනවා… පැහිලා කියනවද…?”
“තාත්තගෙන්ම අහගන්න එකයි ඇත්තෙ…”
“උඹත් දැන් ගාණට වැඩියි රාලහාමි…”
මට වුවමනා වී තිබුණේ මා තුනේ පන්තියේ කොලුවකු වුව ද මාද දැන් සැලකිය යුතු තත්ත්වයක සිටින බව අම්මාට හෝ පෙන්වීමටය.
ලොකු අක්කා සහේට ගොස් සිටියේ කඳුබොඩ මාටිං අයියා සමඟය. තාත්තාට පොළේදී හමුවෙන කඳුබොඩ පැත්තේ කිසිවකු මඟින් ගොයම් කයිය ගැන පණිවිඩයක් ඔහුට දන්වා යැවීම තාත්තාට සුළු දෙයකි. ගොඩ-මඩ දෙකටම යල-මහ හොඳ ගොවියකු වූ මාටිං අයියා සතුව මී ගොන් දෙතුන් බානක්ම විය. එදාට කොපමණ වැඩ රාජකාරි යොදා ගෙන තිබුණ ද, මාටිං අයියා මාමණ්ඩියගේ ඉල්ලීම ඉවත නොදමන විදිහේ කීකරු බෑණා කෙනෙකි.
තාත්තා ගොවියෙක් පමණක් නොව අහල ගම් හතටම සිටි සර්ප වෙද මහතා ද විය. වෙලේ ගෙදර සයිමන් ආතා දවසක සවස ලෙඩකු ගෙන ආ විටකදී එසේ කියනු මට ඇසුණි. බොහෝ දිනවල සර්පයන් දෂ්ට කළ අය අපේ ගෙදරට සුලබ දෙයක් විය. එවිට තාත්තා අම්මාට ද, මට ද, සුළු-සුළු වැඩ ද පවරයි. අම්මා ද, මා ද, බොහෝ විට ඒ වැඩ වලට උදවු වෙන්නේ තාත්තාට ඇති බියට වඩා ගෞරවය නිසාය.
“ලෙඩා සමඟ එන අයට බෙහෙත් වට්ටෝරුව ලියා දෙන තාත්තා ඔවුන් ඒවා සොයාගෙන එනතුරු මිදුලේ කෙළවර මී අඹ ගසෙන් අත්තක් කඩාගෙන වනමින් ලෙඩාගේ තුවාලයට මතුරයි. ගෙන ආ බෙහෙත් කොටා පොට්ටනි, බැඳ තවන්නේ ද තාත්තාය. ඉන්පසු කරපිංචා කොළ කැඳ වැනි දෙයක් හදා පෙවූ විට ලෙඩා හොඳටම සුව වෙලාය. එනවිට ඔසවාගෙන ආ ලෙඩා ඉන්පසු ආපසු යන්නේ පයින් ඇවිද ගෙනය. කිසිදු මිල මුදලක් අය නොකර මහන්සියෙන් බෙහෙත් කළ ලෙඩා සුවවී ඇවිද ගෙන යන විට එය දකින තාත්තාට ඇත්තේ දැඩි සතුටකි.
ලෙඩා ඔසවාගෙන ආ අය තාත්තාට දණ නවා වැඳ පිටව යති. ගොයම් වැඩ කාලයට තාත්තාට වැඩ වැඩිය. සර්පයන් දෂ්ට කළ, ගෙන එන්න අපහසු සමහර ලෙඩුන්ට බෙහෙත් කරන්නට තාත්තා කැඳවා ගෙන යන්නට ද සමහරු එති. රෑ-දවල් නොබලන තාත්තා එවිට ඔවුන් සමඟ යන්නට පේවී සිටියි. එසේ යන තාත්තා ළඟ කිළිටු පාට බෙහෙත් මඩිස්සලයක් තිබෙනු මා දැක තිබුණ ද, කිසිම දිනක එය අපට අසුවෙන තැනක නොතිබිණි. තාත්තාගේ බෙහෙත් මඩිස්සලයේ ඇති පරණ හරක් අං කැබැල්ලක අඹරා ගුලි කළ බෙහෙත් ගුලි කීඵයක් තිබෙනු දවසක මා දැක තිබිණි.
“රාලහාමි හවසට ගිහින් පිල්ලෑවෙ ගෙදර අයට කියල ආවොත් හොඳයි අනින්ද උදේට ගොයම් කයියට එන්න කියල…”
අම්මාගේ හඬට මගේ සිතිවිලි දැහැන බිඳිණි.
අම්මා මට එසේ කීවේ තාත්තාට අමතක වූ දෙයක් සිහිපත් කරන්නාක් මෙනි. එය තාත්තාට ඇසෙන්නට කියන්නට ඕනෑකමක් ද, අම්මාට තිබෙන්නට ඇත. මෙවැනි දිනකදී හෝ මට ද කිසියම් වැඩක් පැවරීමෙන් මා ද දැන් පොඩි ළමයකු නොවේ යැයි සියුම් ආඩම්බරයක් මට ඇති විය.
මා සවස් වෙන්නට පෙර වැටෙන් පැන ඉන් නියර දිගේම දුවගොස් පිල්ලෑවේ ගෙදර අයට අම්මාගේ පණිවිඩය දිය යුතුය. පිල්ලෑවේ ගෙදර මහතුන් මල්ලී ද එදින උදේ ආවොත් මට තනියක් නැත.
ගොයම් කයියට දෙතුන් සීයක් ආවත් එදා උදේට එන ලොකු අක්කා කුස්සිය පැත්ත තනියම වුවද බලා ගන්නා බව තාත්තා දනියි. ගොයම් කපා අවසන් වූ පසු කොළ මැඬවීම කරන්නේ අම්බරුවන්ගෙනි. ඒ කටයුත්ත හැමදාම භාරව ඉන්නේ මාටිං අයියාය. ඒ මාටිං අයියාට අම්බරුවන් දෙතුන් බානක්ම සිටින හෙයිනි. එහිදී මට ද ලොකු වැඩ කොටසක් පැවරෙන්නට බැරි නැත.
ගොයම් මැඩවීමේදී මා අකමැතිම දේ ගොයම් පස් ඇල්ලීමය. කමත වටේ රවුමේ යන අම්බරුවකු වලිගය ඔසවන විටම පාවරින් පැන මැඩුවන් ගුළියක් රෝල් කර උගේ පසුපසට ඇල්ලිය යුතුය. එසේ අල්ලන මැඩුවන් ගුළිය පිළිබඳ පාඩම මට කියා දුන්නේ මාටිං අයියාය.
ගොයම් කයිය දාම පාසල් නිවාඩු දවසක් වීම ද, මට ඉමහත් සතුටක් විය. කයියට මාටිං අයියාගෙන් හතර පස් දෙනෙක්ම පැමිණ තිබිණි. පහළ ගෙදර සිරිසේන අයියාත්, පිල්ලෑවේ ගෙදර පොඩි අක්කා සහේට ගත් මහතුන් අයියාත් පාන්දරම මහ ලියැද්දට බැස තිබිණි. පාන්දරම ගෙදරින් පිටවී ගිය තාත්තා කුඹුරේ හතර කොන ගොක්ගෙඩි හතරක් එල්ලා දෙවියන්ට බාරවී වෙනත් කිසිවකු බසින්නට පෙර ඉන් නියර මුල්ලේ ඇල පළුවක්ම කපා වැඩ අල්ලා තිබිණි.
මට සිතුණේ ගොයම් කපන තැනක මා වැනි පොඩි එකෙකුට කළ හැකි කිසිදු දෙයක් නැති බවකි. මා නිකරුණේ නියර උඩ එහාට මෙහාට යනු දුටු මාටිං අයියා වරින් වර කතා කර මට ද වැඩ පැවරුවේය.
මාටිං අයියා සමඟ ආ අය මඩට රුසියන්ය. දවල් වන විට ඔවුන්ට ඇලිසැස්ස කුඹුරේ වී පාළොස් ලාහම කපා අවසන් කරන්නට හැකි විය. ඒ අතර සිටි තාත්තා මෙන් බටු ගෙඩියක් තරමට කොණ්ඩයක් බැඳ, අමුඩයක් ගසාගෙන සිටි පීතර සීයා මට මහත් ළෙන්ගතු බවක් දැක්වීය. ඒ මා තාත්තාගේ බුලත් කොටන වංගෙඩිය ගෙනවිත් බුලත් කොටා ළඟට ගෙනගොස් දුන් නිසා විය හැකිය.
“ඔන්න රාලහාමි අපේ වැඩේ නම් හරි…”
මාටිං අයියා එසේ කීවේ මට නොව තාත්තාට ඇසෙන්නටය. දවල් වන විට ගොයම් කොළ ගසා අවසන් විය. ලොකු අක්කාත්, අම්මාත්, නංගී සමඟ ඇඹුල ගෙන ආවේ අම්මා විසින් අලුතින්ම රටා දමා වියා තිබූ තාන් ගල්ලැහැ පෙට්ටියේය. ඇඹුල බෙදන්නට ගෙනවිත් තිබුණේ පිඟන් මෙන් රටාවට කැපූ කොළපත්ය. ඒවා කලක සිටම අම්මා විසින් සූදානම් කර තිබිණි.
සිරිසේන අයියා පීල්ලෙන් වතුර කලයක් ගෙන එන විටම මාටිං අයියා ද, තවත් මොනවදෝ එළකිරි වැනි දියක් දැමූ කළ ගෙඩියක් කර තබාගෙන ආවේය. ඔහු එය ගෙන ගියේ ගොයම් කොළය එහා පැත්තටය. අපි පාවරින් පිට එළුෑ මාගලක වාඩි වී ඇඹුල සප්පායම් වූවෙමු.
සප්පායමට පෙර තාත්තා කීපවරක්ම ගොයම් කොළය පිටුපසට ගොස් ආවේ කාරා කෙළ ගසමිනි. ඔහු පීතර සීයාගේ ද කණට කට ළංකර කිසිවක් කීවේය. ගොයම් කොළය පිටුපසට ගොස් ආපසු වැඩිහිටි සියල්ලන්ගේම කතාබහ හා හඬ ද වැඩිවී තිබිණි.
උදයේ සිට ගොළුවකු මෙන් වැඩ කළ තාත්තාගේ කතාබහ ද වැඩිවීම මට අරුමයක් විය. මම මාටිං අයියා අසල වාඩි වී ඇඹුල සප්පායම් වූවෙමි.
ගොයම් මැඬවීම යොදාගෙන තිබුණේ රෑටය. ඒ සඳහා මාටිං අයියාගේ මී ගොන් දෙබානම බැඳ තිබිණි.
මා ගෙදර ගොස් ආපසු එන විට මාටිං අයියලා කමත කෙළවර ලී සිටවා තනි පලයේ පැලක් තනා තිබිණි. වැඩිහිටියන් මැඩුවන් හලන තුරු එහි වැතිර වෙහෙස නිවා ගැනීමට කදිම තැනකි. එය බැත පුරෝනු අසුරා තබා රැය පුරා තාත්තාට පැල් රකින්නට තනා ගත් එකක් බව මා දැන ගත්තේ පසුවය. තාත්තා මගේ කාමරයේ එල්ලා තිබූ ඈපා ලිතෙන් රාහු කාලය බලා කොළ මැඬවීම යොදා ගෙන තිබිණි.
අම්බරුවන් පාවර වටේ යමින් මඩවන බැත අවුස්සන දැති ගොයියාව තිබුණේ තාත්තා අතය. එය කරුවක් ඇති මේරූ කෝපි ලියකින් කපා ගත් හෙණ්ඩුවක් වැනි එකකි. මහන්සියට මා පාවරේ තනි කකුලෙන් සිටිනු දැක තාත්තා මගේ කකුලට ගැසූ දැති ගොයියා පාර මට තවම මතකය. මාටිං අයියා එය දැක මගේ ළඟට පැමිණ හිස අත ගෑවේය.
“රාලහාමි ගිහින් ටිකක් වෙලා ඇල වෙලා ඉඳල එන්න…”
දෑසින් කඳුළු ආ මම කොර ගසමින් පැලට ගොස් විවේක ගතිමි. අඹ අත්තේ එල්ලා තිබූ පැට්ටෝල් ලාම්පුවෙන් පාවරට වැටී තිබුණේ මඳ එළියකි. ගොයම් මඩවා අහවර වීමෙන් පසු අම්බරුවෙන් ලෙහා දමා බැත පුරෝනු වළට පිරවූවේ හැමෝම එකතු වී වැඳ නමස්කාර කිරීමෙන් පසුවය. පුරෝනුවලට පුරවා පැලේ අඩුක් කළ අස්වනු පැල් රැකීමද අනිත් සියලු දෙනාම ගිය පසු තාත්තාම බාර ගත්තේය. ඒ සඳහා පැලේ නතර වූ තාත්තාගේ පැල් කවි හඬ නිවෙසේ නිදා සිටි අපට රැය පුරා ඇසුණි.
පෙර දින දවස පුරා වෙහෙස වූ නිසා පසුදා දවල් වන තුරුම අම්මා ද, මා ද සිටියේ නින්දත් නොනින්දත් අතරය. හදිසියේ කිසිවකු පිටුපස දොරට ගසන හඬ ඇසී මා අම්මා සමඟ ගොස් දොර හැර බැලුවෙමු. වෙනදා පාන්දර අවදි වන තාත්තා උදයේ කළු මාමා කුඹුරට යන විට ද, නිදා සිටි බව ඔහු කීය. අම්මාට පෙර මා පැලට දුවගොස් බලන විට තාත්තාව සීතලෙන් දරදඬු වී තිබිණි. තාත්තා අසල සිට කුඹුර දෙසට ඇදී ගියේ කළු මාමා කලින් දින කුඹුරේ සිටි බව කියූ නයා වන්නට ඇත.
“දැන් ඉතින් කොහේ අරන් ගියත් වැඩක් නෑ…”
කළු මාමා වක්කඩින් පැන හනිකට ලන්ද දෙසට ගියේ කිසිවක් නොදන්නා අයෙකු මෙනි.
චන්ද්‍රදාස බමුණුසිංහ