– එකිනෙකට වෙනස් වූ අත්දැකීම් සහිත වෙරළ තීර
– නිල් ධජ වෙරළ තීර 4ක් ඉදි වේ
– තල්මසුන් වර්ග අටක් එකතැන බලන්න පුළුවන් මිරිස්සේදී විතරමයි
ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙසින් විරුදාවලිය ලත් පෙර අපර දෙදිග සංචාරක ආකර්ෂණයට ලක්වූ දිවයිනකි.
ශ්‍රි ලංකාව මෙතරම් ආකර්ෂණයට ලක්වන්නට ප්‍රධාන හේතුවක් වූයේ අප රට වටා පිහිටි මනරම් වෙරළ තීරයයි.
මේ නිසාම සංචාරක කර්මාන්ත ක්ෂේත්‍රය නංවාලීම සඳහා වෙරළබඩ කලාපයන්හි සංචාරක පහසුකම් වැඩි දියුණු කිරීම කෙරෙහි පසුගිය කාලාන්තරයක් පුරාවට රජයේ දැඩි අවධානයට ලක්වී තිබේ.
අපේ සුන්දර වෙරළ තීරයෙන් මැවෙන අලුත්ම සංකල්පයක් ගැන මේ වන විට රටේ තවත් කතා බහක් ඇති වෙමින් පවතියි. ඒ අපට තරමක් ආගන්තුක වූ නිල් ධජ වෙරළ හෙවත් Blue Flag Beach ය. තවත් නොබෝ දිනකින් අපේ රටේත් මේ අලුත්ම වෙරළ තීර ඉදිවන්නේ සංචාරක කර්මාන්තයට අලුත් මුහුණුවරක් කැන්දමිනි.
ලංකාවේ වෙරළ තීරයන්හි නිල් තල්මසුන් ඉතා සමීපව නැරඹිය හැකි මුහුදු තීරයක් ලෙස මිරිස්ස දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රසිද්ධියට පත්ව ඇත්තේය. දර්ශනීය මුහුදු තීරය සහ තල්මසුන් නැරඹීමේ කටයුතු සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ඉතා සංවිධානාත්මක අයුරින් ක්‍රියාත්මක වීම හේතුවෙන් මිරිස්ස දෙස් විදෙස් සංචාරකයන් අතර ජනප්‍රියත්වයට පත්ව ඇත. එපමණක් නොව මිරිස්ස මුහුදු තීරයේ නිල් තල්මසුන් දැකීමේ සම්භාවිතාව සියයට අනූවකටත් වඩා වැඩි බව පවසන්නේ පරිසරවේදීහුය. මිරිස්ස මුහුදු තීරය ආශ්‍රිතව මේ වන විට සංචාරක කර්මාන්තය දියුණු තත්ත්වයක පවතින අතර ඉදිරියේදී ලංකාවේ ඉහළ වටිනාකමක් සහිත අභය භූමියක් ලෙස ද මිරිස්ස ප්‍රකාශයට පත් කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල අනු කමිටු වාර්තාව මේ වන විට ලැබී ඇත.
එදත් අදත් නිල් තල්මසුන්ගේ පාරාදීසයක් බවට පත්ව ඇති මිරිස්ස මුහුදු තීරය ඉදිරියේදී තල්මසුන් පමණක් නොව මුහුදු ක්ෂීරපායින්ගේ රාජධානියක් බවට පත්වන දිනය වැඩි ඈතක නැත. තල්මසුන් ගැන සඳහන් කරන විට මිරිස්ස තල්මසුන් පිළිබඳ සන්නාමයකි. මේ වන විට මිරිස්ස මුහුදු තීරය මුල්කර ගනිමින් තල්මසුන් වර්ග 8ක් දක්නට ඇති බව පරිසරවේදීහු පවසති. ඒ අතර නිල් තල්මසා ඇතුළු Killer whale,Sperm whale හා Brydes whale මිරිස්සේදි සංචාරකයන්ට පහසුවෙන් දැකිය හැකි අතර ලොව ජනප්‍රියතම තල්මසුන් වර්ග 8 දැකිය හැක්කේ ද මිරිස්සේදීය. ඒ Blue whale (නිල් තල්මසා), Killer whale, Sperm whale, Omura’s whale, False killer whale, Brydes whale, Cuvier beaked whale, Deraniyagala beaked whale ය.
මිරිස්ස අභයභූමියක් බවට පත් කිරීමේ කර්තව්‍යයේ නිල් ධජ වෙරළ තීර ඇති කිරීමේ කාර්යය දක්වා මෙම ව්‍යාපෘතියේදී ඉදිරි ඉලක්ක කරා ළඟා වීමට නියමිතය. වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතට අනුව 2020.12.20 වැනි දින වන විට සමුද්‍රීය ආරක්ෂිත ප්‍රදේශ 29ක් ප්‍රකාශයට පත්කර ඇති අතර තල්මසුන් වර්ග 8ක් ඩොල්ෆින් මසුන් වර්ග 7ක් එක් ප්‍රදේශයක් තුළ නැරඹිය හැකි ඉන්දියන් සාගර කලාපයේ සුවිශේෂි මුහුදු කලාපයක් බවට පත් කිරීමටත් නියමිතය. මෙහිදී සාම්ප්‍රදායික ධීවර කර්මාන්තයට අගතියක් ඇති නොවන පරිදි මෙම ඉලක්ක සාධනය කර ගැනීමට රජය අපේක්ෂා කරයි. මේ හරහා වාර්ෂිකව සංචාරක ක්ෂේත්‍රයෙන් රටට හිමි වන විදේශ විනිමයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් ඉදිරියේදී දකුණේ ඉදිවන මෙම මිරිස්ස සංචාරක වෙරළ බඩ කලාපය තුළින් උත්පාදනය වන බැවින් ඉදිරියේදි ලොව සුපතළ මිරිස්ස වෙරළබඩ සංචාරක කලාපය ද භූමි අලංකරණය සැලැස්මකට අනුව මනාව නිර්මාණය වීමට නියමිතය. මෙම නව ප්‍රතිනිර්මාණය හරහා සංචාරකයින්ට තල්මසුන් මෙන්ම මුහුදු ක්ෂීරපායින් ඇතුළු අලංකාර සංචාරක පුරවරයක් අත්දැකීම් මෙතෙක් නොලැබී අපූර්ව ආකාරයෙන් වින්දනයට අවස්ථාව උදා වෙයි.
මේ අතර නිල් ධජ වෙරළ (Blue Flag Beach) කලාප රට තුළ සංවර්ධනය කිරීම හරහා වාර්ෂිකව ඉහළ විදේශ විනිමයක් ජනනය කිරීම විභවතාව පවතින බව හඳුනා ගෙන ඇත. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පමණක් නොව සංචාරක අමාත්‍යාංශය මෙන්ම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ කාර්යභාරයේදී මූලිකත්වය ගෙන ඇත.
“නිල් ධජ වෙරළ හෙවත් Blue Flag Beach සංකල්පය යනු ලෝකයේ දියුණු රටවල භාවිත කරන්නක්. ඩෙන්මාර්කයේ රාජ්‍ය නොවන සංවිධානයක් වන FEE (The Foundation for Environmental Education) ආයතනය හරහායි මේ සහතිකය ලබා දෙන්නේ. ඔවුන් මෙහිදී බලාපොරොත්තු වන්නේ ලොව වෙරළ තීර විවිධ නිර්ණායක යටතේ දියුණු කරන්න. ඒ නිර්ණායක සම්පූර්ණ කිරීමෙන් පසුවයි මේ සහතිකය ඒ වෙරළ තීරයන්ට ආදාළ නිල් ධජ වෙරළ සහතිකය හිමි වන්නේ. ලංකාවේ දැනට Blue Flag Beach දකින්නට නැහැ. නමුත් ඉදිරියේදී දැකිය හැකි වෙනවා. අපට ආසන්න ඉන්දියාවේ දැනට එවන් වෙරළ තීර 10ක් පවතිනවා. මේ සංකල්පය දියුණු කරන්න සම්පූර්ණ කළ යුතු නිර්ණායක 33ක් තියෙනවා. එය ප්‍රධාන කොටස් 4ක් යටතේ එනම් පාරිසරික අධ්‍යාපන, ජල තත්ත්ව පරීක්ෂණ, පරිසර කළමනාකරණය හා ආරක්ෂාව හා සේවාව යනුවෙන් වෙන් වෙනවා. දැනට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය යටතේ, සංචාරක අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ නිල් ධජ වෙරළ තීර දෙකක් එනම් පාසිකුඩා හා ආරුගම්බේ සෑදීමේ කටයුතු සිදුකරමින් යනවා. ඊට අමතරව අධිකාරිය විසින් බෙන්තර හා උණවටුන ද විශේෂ කලාප ලෙස තෝරාගෙන පුද්ගලික අංශයේ අනුග්‍රහයෙන් මේ නිර්ණායක සම්පූර්ණ කර ගැනීමට විශාල උත්සාහයක් ගන්නවා. සමහර නිර්ණායක මේ වන විට සම්පූර්ණ කරගෙන තියෙනවා. මේ සෑම තැනකටම වෙරළ කළමනාකරණ කමිටු පිහිටුවා තියෙනවා. මෙහි ප්‍රධානියා දිසාපතිවරයාය. ප්‍රාදේශීය ලේකම් මෙහි සභාපතිවරයා වෙනවා. “ඒ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ අදාළ වැඩසටහනේ ජාතික සංවිධායක සඳුන් වික්‍රමසිංහය.
සාමාන්‍ය වෙරළ තීරයක් නිල් ධජ වෙරළ තීරයෙන් වෙනස් වන්නේ නිර්ණායක අනුවය. ආරක්ෂාව හා සේවාව ලබා දීමෙන්, පරිසර අධ්‍යාපනය ලබා දීමෙන්, ජල තත්ත්ව පරීක්ෂණය මෙන්ම පරිසර කළමනාකරණය යන අංශ 4 යටතේ නිර්ණායක 33ක් සම්පූර්ණ වීමෙන් මෙම වෙරළ තීරය වෙනස් මුහුණුවරක් ගනියි.
ජනතාවට නෑමට හැකි හොඳ ජල තත්ත්ව පැවතීම, හොඳ සනීපාරක්ෂාවක් පැවැතීම, වාහන නැවැත්වීමේ පහසුකම් ඇති වීම, ජල තත්ත්වය අධීක්ෂණය කිරීමේ හැකියාව, පුහුණු ජීවිතාරක්ෂක කණ්ඩායම්, ඉතා පිරිසුදු වෙරළ තීරයක් පැවැතීම ආබාධිත අයට පහසුවෙන් මුහුදට ගොස් නෑමට හැකිවීම, තොරතුරු දැන ගැනීමේ මධ්‍යස්ථානයක් පැවැතීම යන කරුණු සපුරාලීම අතින් මේ වෙරළ තීරය අන් තීරයන්ගෙන් වෙනස් වෙයි. සාමාන්‍ය වෙරළ තීරයක මෙම ලක්ෂණ දැකීම අපහසුය. මේ වෙරළ සීමාවෙන් අවම මීටර් 500ක් පමණ වෙයි. Blue Flag Beach යටතේ වෙරළ තීරයට වෙරළ තීරය පමණක් නොව මුහුදේ ජල ප්‍රදේශයන් ද අයත් වෙයි. ඒ අනුව මෙවැනි මුහුදු තීරයන්හි මුහුදේ කිමිදීම, මුහුද යට ජෛව විවිධත්ව වාතාවරණයක් සැකසීම පරිසර කළමනාකරණය නිරන්තරයෙන් සිදුවන අතර සංචාරකයන්ට පහසුවෙන් අදාළ නිල් ධජ වෙරළ තීරයන්හි සැරිසරමින් මේ අත්දැකීම් වින්දනය කිරීමේ අවස්ථාව හිමි වෙයි.
Blue Flag Beach වෙරළ තීරය මිනිසුන්ට අවශ්‍ය ආකාරයෙන් හැසිරීමට නොහැකි අතිශය කළමනාකරණයෙන් යුතු සංවේදී ප්‍රදේශයකි.
මේ වෙන විට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය යටතේ මෙහි පළමු පියවර ලෙස දෙස් විදෙස් සංචාරකයන්ගේ වැඩි ආකර්ෂණයට ලක්ව ඇති ගාල්ල උණවටුන, ආරුගම්බෙ, පාසිකුඩා සහ බෙන්තර යන වෙරළ තීර නීල ධජ වෙරළ තීර බවට පත්කිරීමට පියවර ගෙන ඇත.
සමුද්‍රීය ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ අසේල බී රැකව, එහි සාමාන්‍යාධිකාරි ජගත් ගුණසේකර ඇතුළු බලධාරින් විසින් මෙම නීල ධජ වෙරළ තීර ස්ථාපිත කිරීමට අදාළ සහතික කරණය ලබා ගැනීමට කටයුතු කරන අතර, ජාත්‍යන්තර FEE (The Foundation for Environmental Education) සංවිධානයේ නිලධාරීන් දෙදෙනකු පසුගිය වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔවුන් ක්ෂේත්‍ර චාරිකා කිහිපයකට ද සභභාගී වෙමින් අදාළ දැනුවත් කිරීම් සිදු කිරීමට කටයුතු කළේය. ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නීල ධජ වෙරළ ස්ථාපිත කිරීමට අදාළ කරුණු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ද ලක්කරන ලදි.
සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් මෙම නීල ධජ වෙරළ ස්ථාපිත කිරීමට අදාළ මුල් අදියරේ කටයුතු මේ වන විට අවසන් කරමින් පවතින අතර එම වෙරළ තීර තුළ නිර්ණායකයන්ට අදාළ කටයුතු මේ වන විට කඩිනමින් සිදු කරමින් පවතී. මේ සඳහා සංචාරක අමාත්‍යංශය විශාල දායකත්වයක් ලබාදෙන අතර එම වෙරළ කලාපයන්හි දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහයෝගය ද නිරන්තරයෙන් ලැබෙමින් පවතී.
මේ වසරේ අග භාගය වන විට ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු වෙරළ ආශ්‍රිත නාන තොටුපළ නොහොත් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු නීල ධජ වෙරළ තීරයන් හතරක් අපට දායාද වනු ඇත. මෙය ශ්‍රී ලංකික විදේශීය සංචාරක ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත්වනවා පමණක් නොව දේශීය සංචාරකයන් හට වඩා ආරක්ෂාකාරීව සහ සියලු පහසුකම්වලින් සමන්විත අපගේ ස්වභාවික වෙරළ තීර ජාත්‍යන්තර ප්‍රමිතීන්ගෙන් යුතු වෙරළ තීරයන් වශයෙන් භාවිත කිරීමේ හැකියාව හිමි වනු ඇත.
මේ අතර මිරිස්ස සමුද්‍රීය කලාපය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගත නිල් ධජ වෙරළ තීරයක් මෙන්ම සමුද්‍රීය වනජීවි අභය භූමියක් බවට පරිවර්තනය කරමින් දකුණු පළාත් සංචාරක ආර්ථිකය මෙන්ම රටේ ආර්ථිකය පස් ගුණයකින් ප්‍රවර්ධනය කරන ගමනේදී වනජීවි අමාත්‍යාංශය මෙන්ම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඉටු කරන්නේ විශාල සේවාවකි. 2025 වර්ෂය වන විට විශේෂ ඉලක්ක කිහිපයක් සාක්ෂාත් කර ගැනීමේ කටයුතු වෙනුවෙන් මේ වන විට පුළුල් කාර්යභාරයක් ඉටු කරමින් පවතියි. ඒ නිල් ධජ වෙරළ (Blue Flag Beach) තීරයේ වූ පවිත්‍රතාව හෙවත් කැළි කසළවලින් තොර ජාත්‍යන්තර පාරිසරික ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි නිල් ධජ වෙරළ සහතිකකරණය සහිත ආකර්ෂණීය කලාපයක් බවට පත් කිරීමට අපේක්ෂිතය. මිරිස්ස වෙරළ ආශ්‍රිත කලාපයේ පිහිටි සියලුම ගොඩනැඟිලි ආශ්‍රිතව හරිත ගොඩනැඟිලි සංකල්පය ප්‍රවර්ධනය කිරීම පිණිස සූර්ය පැනල හෝ ජීව වායු හෝ වෙනත් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරිම තුළින් අලුත් වෙනසක් ඇති කිරීම අපේක්ෂිතය.
අපේ රටේ සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන අතරින්, මිරිස්සට හිමිවෙන්නෙ විශේෂ ස්ථානයකි. එකිනෙකට වෙනස් අත්දැකීම් ලබාගත හැකි තැනක් බවට එය ඉදිරියේදි පත්වීමට නියමිතය. එපමණක් නොව විවිධ වර්ගයේ තල්මසුන් මෙන්ම මුහුදු ජීවීන්ගේ අත්දැකීම් වින්දනය කිරීමට හැකි ස්ථානයක් බවට මිරිස්ස නොබෝ දිනකින් පත්වනු ඇත.
සුභාෂිණි ජයරත්න