‘පරීක්‍ෂකයා’යනු නිකොලායි ගොගොල්ගේ (1809 – 1852) ‘රිවයිසර්’නම් නාට්‍යයේ සිංහල අනුවාදයයි.
ගොගොල් සිංහල පාඨකයාට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නොවේ. යුක්‍රේනයේ වංශවත් පවුලක උපත ලැබූ ඔහු රුසියානු, යුක්‍රේන් සහ පොලිෂ් යන භාෂා තුනම මැනවින් හසුරුවන්නට දත්තේ ය. විද්‍යාලයීය අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව හේ රුසියාවේ පීටර්ස්බර්ග් නුවරට සංක්‍රමණය වූයේ ලේඛකයකු වීමේ බලාපොරොත්තු ද ඇතිව ය. එහි දී ඔහුට බොහෝ ප්‍රකට ලේඛකයන් සහ විචාරකයන් ඇසුරු කිරීමේ අවස්ථාව උදා විය. ඒ අතරින් අලෙක්සාන්දර් පුෂ්කින් (1799 – 1837) ප්‍රමුඛ ය.
රුසියානු සාහිත්‍යයේ ස්වර්ණමය යුගය ලෙස 1790 – 1900 දක්වා කාලඡේදය ගත හැකි ය. එම වකවානුවේ මතු නොව සමස්ත රුසියානු සාහිත්‍යයේම මුදුන් මල්කඩ ලෙස සැලකෙන්නේ පුෂ්කින් ය. ඊළඟට ප්‍රමුඛ සාහිත්‍යධරයා ගොගොල් බව බොහෝ විචාරකයෝ පෙන්වා දෙති. යුක්‍රේන සහ රුසියානු සාහිත්‍යයට මතු නොව ලෝක සාහිත්‍යයටම ඔහු විසින් කරන ලද බලපෑම අතින් දෙවැනි වනවා නම් ඒ පුෂ්කින්ට පමණි. පරීක්‍ෂකයා ද ඇතුළුව ඔහුගේ වෙනත් කෘති වන මළ ආත්ම, තරාස් බුල්බා, පිස්සකුගේ දින පොත, විවාහය (නාට්‍යය) ඇතුළු නාට්‍ය, නවකතා, කෙටිකතා එකතු සහ නිර්-ප්‍රබන්ධ ලිපි එකතු යනාදි වශයෙන් කෘති හතළිහක් පමණ වසර පනස්තුනක් වූ සිය කෙටි ජීවන කාලය ඇතුළත ඔහු රචනා කොට ඇත.
පරීක්‍ෂකයා නමැති මෙම නාට්‍යය රචනා කරන්නට වස්තු බීජය සපයා ඇත්තේ පුෂ්කින් ය.
එකල රුසියාව පාලනය කළේ පළමුවන නිකොලස් සාර් අධිරාජයා ය. එසමයේ වෙස්වලාගත් රාජ්‍ය නිලධාරීන් (incognito) දුරස්ත පෙදෙස්වලට යවා ඒ ඒ පෙදෙස්වල රජයේ ආයතනවල ක්‍රියාකාරකම් ගැන වාර්තා ලබා ගැනීමේ ක්‍රමයක් ඔහුු ක්‍රියාත්මක කළේ ය. මේ නිසා නන්නාඳුනන කිසියම් වැදගතෙක් කිසියම් පෙදෙසක නවාතැනක ලැගුම් ගන්නට පැමිණි විට ඒ පුද්ගලයා පෙර කී රාජ්‍ය නිලධාරියා ලෙස ගෙන ඔහුට සැලකිලි දැක්වූ අවස්ථා විරල නොවී ය. එසේම ඇතැම් තක්කඩියන් මෙයින් අයුතු ප්‍රයෝජන ගෙන මුදල් ගැරූ බව ද අනාවරණය විණි. වංශවතකු වූ පුෂ්කින් දිනක් කිසියම් පුද්ගලික අවශ්‍යතාවකට බැහැර නගරයකට ගියේ තානායමක නවාතැන් ගත්තේ ය. ඒ නගරයේ රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ ප්‍රතිචාර දැක විස්මයටත්, කම්පාවටත් පත්වූ ඔහු ඒ පිළිබඳව සිය සටහන් පොතේ සටහනක් තැබී ය.
මේ වනවිට ගොගොල් කෙටිකතාකරුවකු ලෙස පුෂ්කින් ඇතුළු රුසියානු සාහිත්‍යධරයන්ගේ අවධානය දිනා සිටියේ ය. පුෂ්කින් විශේෂයෙන් ඔහුට කරුණාවන්ත විය. පවතින පාලනය හාස්‍යයට ලක්කරමින් නිර්මාණ කරන්නට ගොගොල්ට විශේෂ ආසාවක් තිබිණි. 1832 දී රාජ්‍ය නිලධාරී පැළැන්තිය හාස්‍යයට ලක් කරමින් නාට්‍යයක් රචනා කළ ද සාර් පාලනයේ උදහසට පාත්‍ර වෙති’යි බියෙන් ඔහු එය අතැර දැමී ය. එහෙත් පසු කලෙක ඔහු පුෂ්කින් වෙත ලිපියක් යොමු කරමින් නාට්‍යයක් ලිවීම පිණිස තමාට කතා සැකිල්ලක් ලබා දෙන්න’යැයි ඉල්ලී ය. පුෂ්කින් ඉහත අත්දැකීම ඇසුරෙන් ඒ ඉල්ලීම ඉටුකළ අතර මේ නාට්‍යය එහි ප්‍රතිඵලයයි.
එකල රුසියානු නගරවල ප්‍රධානියා වූයේ පොලිස්පතිවරයෙකි. එවැනි නිලධාරියකුගේ ප්‍රධානත්වයෙන් යුත් කුඩා රුසියානු නගරයකට පෙර සඳහන් ආකාරයේ ඉන්කොග්නිටෝ නිලධාරියකු පැමිණෙන බවට ආරංචියක් ලැබෙයි. මේ පුවත සැලවීමත් සමඟ මහත් සේ කැලඹීමට පත් වන්නේ නගර ප‍්‍රධානියා හෙවත් පොලිස්පති ය.
මේ අතර නගරයේ තානායමේ කිසියම් රජයේ නිලධාරියකු දෙසතියක පමණ සිට නවාතැන් ගෙන සිටින බව නිලධාරීන්ට දැන ගන්නට ලැබේ. මේ වනාහි පීටර්ස්බර්ග් අගනුවර සිට පැමිණි හ්ලෙස්තාකෆ් නමැති සිව්විසි වියේ පසුවන සුළු නිලධාරියෙකි. කැලඹුණු මනසකින් යුත් නමුත් ඔහු ජේත්තුකාරයෙකි. ඔහු සමඟ ඔහුගේ සේවක ඔසිප් ද සිටියි.
ඥතියකු මුණ ගැසෙනු පිණිස සරාතොව් වෙත යමින් සිටින ඔහු කිිසියම් නොදන්නා හේතුවක් නිසා මෙහි රැඳී සිටියි. මේ නම් අර බියකරු රාජ්‍ය නිලධාරියා බව නගරයේ තක්කඩි දූෂිත නිලධාරීන්ට දැන් ප‍්‍රත්‍යක්‍ෂ ය. එහෙත් හ්ලෙස්තාකෆ් ඒ ගැන නොදනියි.
ඔහු හමුවන්නට තානායමට යන පොලිස්පති සිතන්නේ ඉන්කොග්නිතෝ ස්වභාවයෙන් සිටීමේ අවශ්‍යතාව නිසාම ඔහු ගැහැට විඳිමින් එහි සිටින බවයි. කයිවාරුකාරයෙක් වන හ්ලෙස්තාකෆ් තමා පීටර්ස්බර්ග් හි ඉහළ රජයේ නිලධරයකු බව පොලිස්පතිට ඒත්තු ගන්වයි. එවිට පොලිස්පති තානායමේ අඩුපාඩු ගැන කියමින් තමාගේ නිවෙසේ නවතින්නට එන්නේ නම් ඉහළින්ම සංග්‍රහ කළ හැකි බව පවසයි. ඒ අනුව හ්ලෙස්තාකෆ් එහි යයි. ඔහු ගෞරවනීය අමුත්තකු ලෙස පොලිස්පතිවරයා ආන්නා නම් සිය බිරියට හා මාරියා නම් දුවට හඳුන්වා දෙයි. මේ මව සහ දුව සමාන රූපශ්‍රියෙන් යුත් දෙදෙනෙකි.
සියලු රජයේ නිලධාරීහු ඔහු බැහැ දකින්නට පොලිස්පති නිවෙසට වරින්වර එති. ඒ සැම දෙනාම සිය ආයතනයේ යහපත් තත්ත්වය ගැන ඔහුට කියති.
මේ අතර හ්ලෙස්තාකෆ් ආන්නා සහ මරියා යන දෙදෙනාගෙන් කවරකු හෝ පොලඹවා ගන්නට තැත් කරයි. ඔහු ආන්නා ඉදිරියේ දණ ගසා සිය ප්‍රේමය ප‍්‍රකාශ කරන අතර ඇය මුකුළු පෑවත් එකඟත්වය පළ කරන්නේ නැත. එය මාරියා දකියි. ඉන්පසු ඔහු මාරියාට ද එසේ පෙම් පායි. එය සීමාව ඉක්මවා යන්නක් ලෙස දකින මාරියා සිය විරෝධය පළ කරයි.
මේ අතර ඔහුගේ සේවක ඔසිප් මේ වැඩේ දිගටම කරගෙන යාම භයානක බව ඒත්තු ගැන්වීමෙන් පසුව වහා මෙනුවර හැර යා යුතු බවට හ්ලෙස්තාකෆ් එකඟ වෙයි. තමාට පීටර්ස්බර්ග් වෙත යන්නට සිදුව ඇති බව පවසන හ්ලෙස්තාකෆ් පෙරළා පැමිණෙන බව ප්‍රකාශ කරමින් ඒ නගරය හැර යයි. ඔවුන්ට නගරයේ වේගවත් ම අසුන් යෙදූ අස්රිය සැපයේ.
ඔහු පිටත්ව ගිය පසු පොලිස්පතිගේ සියලු හිත මිතුරෝ ඒ නිවෙසට පැමිණ මාරියාටත් ඇගේ දෙගුරුන්ටත් සුබාශිංසන පළ කරති. මේ අතර හ්ලෙස්තාකෆ් විසින් තැපෑලට යොමු කරන ලද ලිපියක් රැගෙන තැපැල් ස්ථානාධිපති පැමිණේ. එය හ්ලෙස්තාකෆ් විසින් සිය මිතුරකුට යවන ලද්දකි. ඔහු සියල්ලන් ඉදිරියේ එය විවෘත කොට කියවයි. හ්ලෙස්තාකෆ් ඒ ලිපියේ නගරයේ සියල්ලන් අවඥාවට ලක් කර ඇති බව සියල්ලෝ දැන ගනිති.
මේ මොහොතේ, නගරාධිපති ඍජුවම ප්‍රේක්ෂකාගාරය අමතා මෙසේ කියයි: ‘ඔබ සිනාසෙන්නේ කුමක් ගැනද? ඔබ සිනාසෙන්නේ ඔබ ගැනම!’.
අනෙක් සියලු දෙනා විවිධ මත පළ කරමින් සිටින අතරවාරයේ වහා පැමිණ තමා හමුවන ලෙස සැබෑ රජයේ පරීක්ෂකවරයා පොලිස්පතිට පණිවිඩයක් එවයි.
මේ නාට්‍යය අදත් ලොව මෙතෙක් බිහිවූ උපහාසාත්මක – විශේෂයෙන් ම රාජ්‍ය සේවය උපහාසයට ලක් කරන – නාට්‍ය අතර මුල් පෙළේ පවතින බව විචාරකයෝ පවසති.
‘පරීක්‍ෂකයා’ එච්. ජයරත්නගේ කෘතියකි.