Home » නව තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ දකුණු කොරියාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ගිය හැටි

නව තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ දකුණු කොරියාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ගිය හැටි

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ පීඨාධිපති මහාචාර්ය ප්‍රසන්න ප්‍රේමදාස

by Mahesh Lakehouse
May 4, 2024 12:35 am 0 comment

කුණු කොරියාව නැඟෙනහිර ආසියාවේ පිහිටා ඇති රටක් වන අතර, එය ‍කොරියානු අර්ධද්විපයේ දකුණු භාගයේ පිහිටා ඇත. අගනුවර සෝල්ය. කොරියාව ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයකට උරුමකම් කියන රටකි. එහි ඉතිහාසය වසර දහස් ගණනක් ඈතට දිව යයි. භුමි ප්‍රමාණය වර්ග කි.මී. 100,032 වන අතර ජනගහනය මිලියන 5‍ෙකට අධිකය. කොරියානු ඉතිහාසය 2333 ක්‍රි.පූ පුරාතන ඩැන් ගුන් විසින් ගෝජොසොන් සොයා ගැනීමත් සමඟ ඇරඹීය. දෙවන ලෝක යුද සමයේ ජපන් අධිරාජ්‍යයේ යටත් විජිතයක්ව පැවති කොරියාව 1945 දී ජපානයෙන් නිදහස ලබන ලදි. 1948දී මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලදි. ඉන්පසු 195න් ඇරඹෙන බිහිසුණු කොරියානු සිවිල් යුද්ධය වසරක් තුනක කාලයක් පැවතුණි. යුද්ධය නිසා මිලියන පහකට ආසන්න පිරිසකට ජීවිත අහිමි විය. යුද්ධය අවසානයේ දී මුළු රටම සුන්බුන් ගොඩක් විය. ඉන් අනතුරුව 1953 වන විට කොරියාවේ දරිද්‍රතාව කෙතරම්ද යත් ඒක පුද්ගල ආදායම ඩොලර් හැට හතක් විය.

1961 වසරේදී සිදුවන දේශපාලන පෙරළියකින් බලයට පැමිණෙන පාර්ක් චන්-හී, දකුණු කොරියාවේ වේගවත් කාර්මීකරණය සඳහා ශක්තිමත් පදනමක් දමයි. එම රජය ප්‍රමුඛස්ථානය දෙනු ලැබුවේ ආර්ථික සංවර්ධනය සඳහාය. ඒ අනුව ආර්ථික සංවර්ධනය වෙනුවෙන් 1962 දී පස් අවුරුදු සැලැස්මක් පිළියෙල කරන ලදි. එහි ඉලක්ක වූයේ ගල් අඟුරු සහ විදුලි බලය වැනි බලශක්ති කර්මාන්ත සහ කෘෂිකර්මාන්තය ව්‍යාප්ත කිරීමයි. හැටේ දශකයේදී දකුණු කොරියාවේ ප්‍රධාන අපනයන වූයේ ඇඟලුම්, සවරි වැනි ලුහු කර්මාන්තය. මෙමඟින් විශාල රැකියා ප්‍රමාණයක් උත්පාදනය කිරීමටත්, විදේශ විනිමය රටට ලබා ගැනීමටත් හැකි විය.

ඉන් අනතුරුව සාක්ෂරතාව වර්ධනය කිරීම හා තාක්ෂණික අධ්‍යාපනය වැඩි දියුණු කිරීම මඟින් 1970 වන විට හතර ගුණයකින් ශ්‍රම බළකාය ඉහළ යන ලදි. මෙම ශ්‍රම බළකාය පසුකාලීනව ඇතිවූ ආර්ථික විප්ලවයේ අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් විය.

යුද්ධෙන් ඇති වූ විනාශයෙන් රට ගොඩගැනීමට ලබා දුන් විදේශ ආධාර ක්‍රමක්‍රමයෙන් අඩුවීමත් සමඟ, රටේ සංවර්ධනය නැවත අඩාළ විය. එවකට දකුණු කොරියාවේ සංවර්ධන සැලැස්මට සහය දැක්වීමට කිසිදු රටක් ඉදිරිපත් නොවුණි. දකුණු ජර්මනියට කොරියානු පතල් කම්කරුවන් සහ හෙදියන්, ශ්‍රමිකයන් ලෙස යැවීමටත් ඔවුන්ගේ ඉපැයීම් ඇප වශයෙන් තබා ගෙන ණය ලබා දීමටත් ජර්මනිය එකඟ විය. කෙසේවුවත් 1970න් පසු ආර්ථික වර්ධන වේගය සියයට නමයට වඩා ඉහළ මට්ටමක තබා ගනිමින් වේගවත් ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට දකුණු කොරියාව සමත් විය. නමුත් 1973 දී ඇතිවන තෙල් අර්බුදය කොරියානු ආර්ථිකයේ වේගය අඩාළ කරන ලදී. නමුත් කොරියාව, මැද පෙරදිග සමඟ ඇති ආර්ථික සම්බන්ධතාවන් ශක්තිමත් කර ගැනීමට කටයුතු කරන ලදි.

මෙරට 1970 දශකයේ විවිධ ආර්ථික අපහසුතාවලට මුහුණ දුන්න ද අනූව දශකයේ මුල් කාලයේ දී එරට ආර්ථික වර්ධන වේගවත් විය. කර්මාන්ත මූලික කොටගත් එහි ආර්ථික වර්ධනය වැඩිකර ගැනීමට විශාල ප්‍රමාණයේ ණය ලබා ගැනීමට හැකි විය. අසූව දශකය වන විට ගෝලීය ආර්ථිකයේ සිදුවන සුබදායි තත්ත්වයත් සමඟ දකුණු කොරියානු ආර්ථිකය සමෘද්ධිමත් විය. 1990 වන විට, දකුණු කොරියාව නව කාර්මීකරණය වූ රටවල් අතුරින් එකක් වූ අතර එහි ජීවන තත්ත්වය සංවර්ධනය වූ රටවල ජීවන තත්ත්වය හා සමාන විය. ඉන්පසු අපනයනය ආර්ථිකයක් මත පදනම්ව කාර්මීකරණය වූ මහා දැවැන්තයකු ලෙස ඉදිරියට පැමිණෙන කොරියාව, ලෝක වෙ‍ෙළඳ සංවිධානය සහ ආර්ථික සහයෝගීතාව හා සංවර්ධනය සඳහා වූ සංවිධානයේ (OECD)සාමාජිකත්වය ලබා ගනී.

එහෙත් අපේක්ෂා නොකළ අවස්ථාවක එහි ආර්ථිකය 1997 වසරේ පහළ වැටීමක් සිදුවීම ද විශේෂත්වයකි. දකුණු කොරියානු ආර්ථිකයෙන් 40% කට හිමිකම් කියන්නේ එරට අපනයන ක්ෂේත්‍රය යි. එරට අපනයන ක්ෂේත්‍රය එලෙස කඩා වැටුණු පළමු අවස්ථාව එයයි. නමුත් නොසිතූ ලෙස 1997 වසරේ ගිනිකොන දිග ආසියාවේ ඇතිවන මූල්‍යමය අර්බුදයෙන් කොරියානු ආර්ථිකයට කඩා වැටීමකට ලක්වන ලදි. මින් ඇතිවන ආර්ථික අවපාතයෙන් කොරියාව වීමට ලක්වේ. විශේෂයෙන් කෙටිකාලීන ණය මෙන්ම 1996 වර්ෂ 1997 වර්ෂවල වෙළඳ බැංකු, බැංකු නොවන මූල්‍ය ආයතන වැනි ආයතනවලින් ණය ලබා ගැනීමට සිදු විය. මේ මූල්‍ය ආයතන බැංකු ක්‍රමවේදයක් නිසි අයුරින් ක්‍රියාත්මක වූ මූල්‍ය අංශ නොවුණි. එසේම ආර්ථික වර්ධනය වැඩි කර ගැනීම සඳහා විශාල වශයෙන් කෙටිකාලීන ණය ලබා ගන්නා ලදී. මේ හේතු සියල්ල මත 1997 අවසාන භාගය වන විට දකුණු කොරියාව මේ මූල්‍ය අර්බුදයකට මුහුණ පෑවේය.

කොරියාවේ භාවිත වන මුදල් වන වොන්වල අගය විශාල ලෙස අවප්‍රමාණයකට ලක්වේ. විදේශ සංචිත සෑහෙන ප්‍රමාණයකින් පහතට වැටීමත් සිදු විය. විරැකියාව වසරක් තුළ තුන් ගුණයකින් ඉහළ යන ලදි. මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට IMF ඩොලර් බිලියන 57 ණය මුදලක් දකුණු කොරියාව විසින් ලබා ගනී. කෙසේ නමුත් අර්බුදයෙන් ගොඩ යාමේ මාර්ගය අසීරු බව කොරියානු රජයට අවබෝධ විය. ඉන්පසු නැවත ඉක්මනින් ආර්ථිකය යහපත් කර ගැනීම සඳහා දැඩි ප්‍රතිසංස්කරණ කොරියානු රජය විසින් ක්‍රියාත්මක කරන ලදි.

කොරියාවේ මෙම අර්බුදකාරී යුගයේදී එනම් 1998 වසරේ ජාතික රන් ව්‍යාපාරය ක්‍රියාත්මක විය. මෙහි අරමුණ වූයේ කඩා වැටී තිබෙන කොරියානු ආර්ථිකය ගොඩගැනීම සඳහා රන් භාණ්ඩ පරිත්‍යාගශීලි කොරියානුවන්ගෙන් එකතු කිරීමය.

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දකුණු කොරියාවේ ද මුදලේ අගය අවප්‍රමාණය විය. දකුණු කොරියාව තුළ තිබූ කර්මාන්ත බංකොලොත්භාවයට පත්විය. මේ නිසා ආර්ථික අවපාතයට යෑම තීව්‍ර විය. එසේ රැකියා වියුක්තිය වැඩි වීම, කලහකාරීත්වය, සේවක උද්ඝෝෂණ තත්ත්වයන් වැඩි වීම සිදු විය. එසේම ඒක පුද්ගල ආදායම පහළ ගොස් දකුණු කොරියාවේ පවුල් 80% පමණ දුගීභාවයට පත්විය. රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට රට තුළ බැංකු ක්‍රමය නියාමනය කිරීම, නාස්ති අවම කිරීම, දූෂණය අවම කිරීම රාජ්‍ය මූල්‍ය වියදම් අවම කිරීම, විනිවිඳභාවය වැඩි කරවීම, ප්‍රතිව්‍යුහගත කිරීම ආදී කොන්දේසි පැනවීම සිදු කිරීමෙන් ප්‍රගතිගාමී ක්‍රම රාශියක් අනුගමනය කරන ලදී.

ආර්ථික අර්බුදයකින් ගොඩ ඒමට නම් අපනයන මූලික කරගත් ආර්ථික ක්‍රමයකට යායුතු බව ඔවුන් වටහා ගන්න ලදි. කොරියානු සංවර්ධන උපාය මාර්ගයේ ඉතා කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ ආර්ථිකය උත්තේජනය කිරීම සඳහා රජය පුද්ගලික අංශය බලගැන්වීමය. ඒ අනුව තාක්ෂණික සහ කර්මාන්ත ක්ෂේත්‍රයට වැඩිදියුණු කිරීමට උනන්දුවක් දක්වන ලදී. ලෝක ප්‍රසිද්ධ කර්මාන්ත රැසක් බිහි කරන ලද අතර අපනයනය මුල් කරගත් ආර්ථික ක්‍රමයකට එරට යොමු විය. එසේම නාස්තිය දූෂණය අවම කරමින් රජය විසින් ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කරන ලදි.

විශේෂයෙන්ම තාක්ෂණය සඳහා ආයෝජනය කිරීම සිදු විය. පර්යේෂණ සංවර්ධනය සඳහා වැඩි වශයෙන් ආයෝජනය කිරීම හරහා දකුණු කොරියාවේ තාක්ෂණික විප්ලවයක් ඇති විය. එසේ ම අධ්‍යාපනය සහ ශිල්පීය කුසලතා වර්ධනය කිරීම සඳහා ආයෝජනය කිරීම සිදු විය. මේ ආකාරයට ප්‍රගතිශීලී ක්‍රම රාශියක් අනුගමනය කිරීමෙන් 1997 ඇතිවූ ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමට ඔවුන්ට හැකි විය. IMF මඟින් ලබා ගත් මූල්‍ය ආධාරවලින් අනතුරුව මේ වනතුරු කිසිදු මුදල් ආධාරයක් ලබාගෙන නැත. IMF ලබා ගත ණය මුදල නියමිත කාල සීමාවට වසර තුනකට පෙර 2001 වසර වන විට නිම කිරීමට කොරියාවට හැකි විය. දකුණු කොරියානු චින්තනයේ පදනම ඇත්තේ වැඩ කිරීමේ අචාර ධර්ම මත වෙයි. මෙම අචාර ධර්ම කැපවීම, පරිපූර්ණත්වය, නව්‍යකරණය වැනි ගුණාංගයන්ගෙන් පරිපූර්ණ වෙයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ජපානය වැනි රටවල් අනුගමනය කරමින් ඉතා ඉක්මනින් පාඩම් උගෙන ගෙන වේගයෙන් රටේ තාක්ෂණය ඉදිරියට ගෙන යාමට රටට හැකි විය.

මෙරටට ද නැවත කියවා බැලීමට මෙය හොඳ අවස්ථාවකි. මෙම ආර්ථික අර්බුදය හරහා සිදු වූ පසුබෑමෙන් නැවත පාඩම් උගෙන මෙතෙක් අප අනුගමනය කරන ලද ක්‍රමවේද සහ නව තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කළ යුතුයි. අප වසර කිහිපයකදී තාක්ෂණිකව හා අපනයනය මූලික වූ දිශානතියකට ගමන් කිරීම ඉතා වැදගත් වෙයි. ඒ නව තාක්ෂණික ක්‍රමවේද මෙරට ඇති කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය විසින් ප්‍රගතිශීලී කර්තව්‍ය රැසක් සිදු කරමින් පවතී. අධ්‍යාපනික ක්ෂේත්‍රයට අදාළ තාක්ෂණ ක්‍රමවේද සහ තොරතුරු තාක්ෂණ විෂය මෙන්ම, ඉංජිනේරු තාක්ෂණය වෛද්‍ය යන සියලු ක්ෂේත්‍රවල අධ්‍යාපනික අවස්ථා වැඩි කිරීම සිදු කළ යුතුයි. එම අවස්ථා ලංකාවේ පිරිසට පමණක් සීමා නොකර විදේශීය සිසුන්ටත් ලබා දී විදේශ විනිමය උපයා ගැනීම තවත් ක්‍රමවේදයකි. එසේම ජනාධිපතිවරයා විසින් අවධාරණය කරන ලද කරුණක් නම් තාක්ෂණයට මුල්තැනදී කටයුතු කිරීම යන සංකල්පය වැදගත් වෙයි. දකුණු කොරියාව මෙන් ආර්ථික අර්බුදවලට මුහුණ දී නැවත නැඟී සිටි රටවල් දෙස බලා ඒ රටවල් කුමන ආකාරයේ ක්‍රමෝපායන් අනුගමනය කර ඇති ද යන්න පැහැදිලි කර ගැනීම වැදගත් වෙයි. එවැනි දේවල් මෙරටේත් ඇති කිරීමට කටයුතු කිරීම වැදගත් වෙයි. ආර්ථික අර්බුදය පවතින කාලවලදී දකුණු අප්‍රිකාව කියන්මෑයි යන ගිනිකොන දිග කලාපයේ රටවල්වල ඇති ගෙන ඇති සම්මුතිය අනුව හදිසි අවස්ථාවලදී එවැනි අර්බුදයකට ගිය විට ඒ අර්බුදයට පත් රට වෙනුවෙන් කලාපයේ අනෙක් රටවල්හි විදේශ සංචිත භාවිත කොට ඒ හරහා රට නැවත ගොඩනැඟීමට උපකාර කිරීමට බැඳී සිටියි. එවැනි සම්මුති රටවල ආර්ථික ස්ථාවරත්වය සම්බන්ධයෙන් ඇති වූ හොඳ මූලාරම්භයකි.

ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්ථානය, මාලදිවයින, සීසෙල්ස් සහ නැඟෙනහිර අප්‍රිකානු රාජ්‍ය වැනි රටවල් සමඟ සම්මුතියකට ගොස් අනාගතයේදී එවැනි ආර්ථික අර්බුදයකට මුහුණ දීමට අවස්ථා උදා වෙයි. දකුණු කොරියාව IMF ගිවිසුම්ගත වීමත් සමඟ යම් බදු වැඩි කිරීමක් සිදු කළ ද ආර්ථික අර්බුදය අවස්ථාවේදී එසේ සිදු කළ ද පසුකාලීනව රට යථා තත්ත්වයට පත් වූ පසු බදු පහත හෙළා ඇත. ඒ රටේ එසේම කාර්යක්ෂමතාව වැඩි කිරීම කෙරෙහි අවධානය යොමු කළේය. ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම මෙන්ම සමාජ ස්ථාවරත්වයටත් දකුණු කොරියාව ප්‍රමුඛත්වය ලබා දෙන ලදී. මෙය අප වැනි රටවලට පූර්වාදර්ශ සපයන්නේය. අපේ විදේශීය සංචිත වර්ධනය විදේශීය ණය වාරික ගෙවීම ආරම්භ කළ යුතුයි. දකුණු කොරියාව ආසියාවේ සිව්වැනි විශාලම ආර්ථිකයට හිමිකම් කියයි. තවදුරටත් අපේ දෙපා ශක්තිමත් කර ගැනීමට හොඳ ආර්ථික ක්‍රමවේද අනුගමනය කළ යුතුයි යන්න දකුණු කොරියාව වැනි රටවලින් අපිට ලද හැකි පූර්වාදර්ශයකි.

 

සුභද්‍රා දේශප්‍රිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division