Home » කොළඹ වටකළ මැයි දින පෙළපාලි මැද්දෙන්…

කොළඹ වටකළ මැයි දින පෙළපාලි මැද්දෙන්…

by Mahesh Lakehouse
May 4, 2024 12:30 am 0 comment
සමගි ජන බලවේගයේ මැයි දින පෙළපාළිය, එජාප මැයි පෙළපාළියට එක්වූ අතිවිශාල පිරිසෙන් කොටසක් සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ලංකා සමසමාජ පක්ෂය, විජය ධරණි ජාතික සභාව හා යුතුකම ජාතික සංවිධානය එක්ව සංවිධානය කර තිබූ උත්තර ලංකා සභාගයේ මැයි දින රැලියට එක්ව සිටි එම පක්ෂවල නායකයන්

“සාදුකින් පෙළෙන වුන් 
දැන් ඉතින් නැඟිටියව් 
අන්තිම සටනට 
සැරසියව්!”

මේ නවසිය තිස් ගණන්වල ලංකාවේ මැයි දින රැලියක් ප්‍රථම වතාවට ආරම්භ කළ ඒ.ඊ. ගුණසිංහගේ රැලියේ සිට මැයි දිනයේදී කියැවෙන සටන් පාඨයකි.

ඒත් අද ඒ.ඊ. ගුණසිංහයන් නැත. කම්කරු නායකයන් වූ පිලිප්, ඇන්.ඇම්, කොල්වින් , සංවිධානාත්මක මැයි දින සම්ප්‍රදාය හඳුන්වා දුන් රෝහණ විජේවීරත් නැත. වෘත්තීය සමිති නායකයන් වූ බාල තම්පෝලත් නැත. එහෙත් මෙවර අගනුවර පමණක් පැවති මැයි දින රැලි ගණන හිතා ගැනීමටත් බැරි තරම්ය.

මැයි දිනයේ ලේක්හවුසියෙන් එළියට ගොස් මැයි රැලිවල සිදු වන්නේ කුමක්දැයි සෝදිසි කරන්නට සැරසෙන විට ලේක්හවුස් වටරවුමේ මැයි රැලියට ජනතාව එක්කාසු වන්නට පටන් ගෙන තිබිණි. කොළඹ තිබූ මැයි රැස්වීම් 14ක් ආවරණයට ඡායාරූප ශිල්පීන් වාර්තාකරුවන් දහවල් වන විටත් ගොස් හමාරය.

රියැදුරාත් සමඟ ලේක්හවුස් රථයෙන් ගමන් ආරම්භ වූයේ ලේක්හවුස් පිටුපස දොරටුවෙනි.

“යන්න පුළුවන් වෙයිද දන්නෑ. ගොඩක් පාරවල් වහලා” රියැදුරු පැවසීය.

ලේක්හවුසියෙන් රීගල් සිනමා ශාලාව තෙක් පැමිණි අපට වම් පසට ගමන් කළ නොහැකි වූයේ සමගි ජන බලවේගයේ රැලිය ආරම්භයේ සැලසුම එතැන සිදුවූ නිසාය.

අප දකුණු පැත්තට වාහනය හරවමින් යුනියන් පෙදෙස හරහා විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිට මාලිමාවේ මැයි රැලි වේදිකාව අසලට පැමිණියෙමු. මේ එන අතරවාරයේ මඟ දෙපස නවතා තිබුණේ පෙළපාලිවලට ජනතාව රැගෙන ආ බස් රථය. ඒවා ගාල්ල, මාතර, නුවර, යාපනය, මඩකලපුව, මතුගම පමණක් නොව ලංකාව පුරාම ප්‍රදේශවලින් පැමිණි ඒවාය.

යුනියන් පෙදෙස මඟක් එනවිට බොහෝ බස් රථ නවත්වා යන තැනක් දැකගත හැකිවිය. වාහනයෙන් බැස එම ජනතාව යන තැන ගැන විපරම් කළෙමි. එහි වූයේ වායුසමනය කළ සුපිරි මත්පැන් අලෙවිහලකි. එහි දේශීය විදේශීය මත්පැන්, බියර්, වයින්වලින් පිරී ඉතිරී ගොස් තිබිණි. විදේශීය මත්පැන් ඇති රාක්කවල රුපියල් 50,000/= සිට ලක්ෂ 2 දක්වා ඊටත් වැඩි ගණන්වල විස්කි විය.

“මෙච්චර ගණන්වල විස්කිත් විකිණෙනවද?” එතැන සිටි නිලධාරියකුගෙන් අසනවාත් සමඟම එළියේ නැවැත්වූයේ කෝටි ගාණක් වටින ජීප් රථයකි.

“අපි මීගමුවට යනකන් ගියා, ඔක්කොම බාර් වහලා”

ඔහු සැණෙකින් රුපියල් 48,000 විස්කි බෝතල් 6ක් දෝතට ගෙන කාඩ් එකෙන් බිල ගෙවා දැම්මේ සුටුස් ගාය. සාදුකින් පෙළෙන ඒ හාදයා බෝතල් හයට වැය කළ මුදල රුපියල් 288,000ක් වැනි සොච්චම් මුදලකි.

“අද බාර් අරින්න තහනම් නේද?” කැෂියරයේ සිටි පුද්ගලයාගෙන් ඇසුවෙමි.

“පොලිසියෙන් වහන්න කියපු වෙලාවට අපි වහනවා.”

ටිකක් එතැන බලා සිටි අපට පෙනී ගියේ මැයි රැලිවලට අවශ්‍ය ‘ප්‍රාණ දියරය’ තිබුණේ එතැන බවය. සමහර බස් රථ රියැදුරන් රුපියල් 4,000ට අඩු බෝතල් අරන් ගියේ කේස් පිටින්ය.

නැවත යුනියන් පෙදෙසේ පදික වේදිකාවට පිවිසි විට බස්රථ රියැදුරන් දෙදෙනකු ලොකු කතාවකි.

“ගිය සැරේ අරගලයට ආපු බස් බේරේ වැවේ ගිල්ලවපු හැටියට අපි නම් බස් අයිතිකාරයාට එන්න බෑම කිව්වා. ඒත් මේ සැරෙත් එන්න කිව්වා.”

“මේ සැරේ ගොඩක් බස් එන්න බෑ කිව්ව නිසා සමහර බස්කාරයෝ ගාස්තුව ඩබල් ගත්තා” තවත් රියැදුරකු කතාවට උල්පන්දම් දෙන්නට විය.

ඉන්පසු අප ගමන් කළේ නාරාහේන්පිට පාරෙන් කිරුළපන දෙසටය. එම මාර්ගයේ ගමන් කරමින් තිබුණේ උත්තර ලංකා සභාගයේ මැයි පෙළපාළියයි. එහි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ලංකා සමසමාජ පක්ෂය, විජය ධරණි ජාතික සභාව හා යුතුකම ජාතික සංවිධානය එක්ව එම පෙළපාළියේ ගමන් කරනු පෙනුණි. පෙලපාලිය ඉදිරියෙන්ම ගමන් කළේ රථ පෙළපාළියකි. බඩී වෑන් රථයක හුඩ් එකේ ස්පීකර් බැඳ සටන් පාඨ කියන ලද්දේ කොමියුනිස්ට් පක්ෂයේ සිරි වෙත්තසිංහ විසිනි. විවිධ විසිතුරු ආණ්ඩු විරෝධී සැරසිලි ද ඒ අතර විය.

නාරාහේන්පිට පාරෙන් හයිලෙවල් පාරට පිවිස නුගේගොඩ දෙසට ගමන් කරන විට කිරුළපන ඇතුලත්මුදලි ක්‍රීඩාංගණයේ උත්තර ලංකා සභාගයේ මැයි රැලිය සූදානම් වෙමින් තිබිණි.

අප එතැනින් පසු ගියේ නුගේගොඩ පැවති ලංකා සමසමාජ පක්ෂයේ මැයි රැස්වීමටය. සමරකෝන් රඟහල ඉදිරිපිට ටෙන්ට් එකක් ගසා පාක්ෂිකයන්ට ඉඳගැනීමට පුටු දමා තිබිණි. සමරකෝන් රංග පීඨයේ පසුබිමේ කිහිප තැනකම විශාල ප්‍රමාණයේ යතුරු ප්‍රදර්ශනය කොට තිබිණි. වේදිකාවේ ඉදිරිපස සවි කර තිබූ ඡායාරූප දෙස බැලීමි. එහි සිටියේ බර්නාඩ් සොයිසා, කොල්වින්, ඇන්.ඇම්. ඇතුළු වමේ ප්‍රගතිශීලි නායකයන්ය. රැලිය අමතමින් සිටියේ තිස්ස විතාරණය.

“ලංකා සමසමාජ පක්ෂය විනාශ කිරීමට අධිරාජ්‍යවාදී හා දේශීය දැඩි කුමන්ත්‍රණයක් තිබුණත් පක්ෂයේ සාමාජිකයන්ගේ දැඩි කැපවීම මත එය විනාශ කිරීමට නොහැකියි” යනුවෙන් තිස්ස විතාරණ තම කතාව ආරම්භ කරන ලදි.

මා සටහන් පොතේ සටහනක් තබනු දුටු පුද්ගලයකු බලෙන්ම මා සමඟ කතාවට එක්විය.

“සමසමාජෙ දැන් බෙදිලා. අනික් කට්ටිය කිරුළපනේ උත්තර ලංකා මීටිමේ ඉන්නවා. මෙහෙ ඉඳගන්න මිනිස්සුන්ට වැඩිය පුටු තියෙනවා”

අප නැවතත් කිරුළපන උත්තර ලංකා සභාගයේ රැලියට එනවිට පෙළපාළිය ඇතුලත්මුදලි ක්‍රීඩාංගණයට ඇතුළු වී අවසන්ය. වේදිකාවේ දැවැන්ත තිරයක් තිබූ අතර එහි 1977න් පසු ලංකාවට අත්වූ ඉරණම ගැන චිත්‍රපටයක් විකාශය වෙමින් පැවතුණි.

මුලින්ම කොමියුනිස්ට් මන්ත්‍රී වීරසුමන වීරසිංහ විසින් මැයි දින යෝජනා 10ක් හා පලස්තීන සහයෝගිතා ප්‍රකාශය ඉදිරිපත් කරන ලදි. මුලින්ම කතාව ආරම්භ කරන ලද්දේ විමල් වීරවංශ විසිනි. උදය ගම්මන්පිල, අතුරලියේ රතන හිමි සහ ගෙවිඳු කුමාරතුංග ද දැකගත හැකි විය.

එතැනින් අප පැමිණියේ බොරැල්ලේ කැම්බල් පිටියේ ‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ’ මැයි රැලියටය. බොරැල්ල හන්දියේ සිට බන්ධනාගාරය දෙසට බේස්ලයින් පාර බොරැල්ල හන්දියෙන්ම වසා තිබූ බැවින් රිජ්වේ ආර්යා ළමා රෝහල අසලින් බොරැල්ල හරස් පාරේ ගොස් බේස්ලයින් පාරට යොමුවීමට අපට සිදු විය. බේස්ලයින් පාර පුරා ජනතාව පොදු ජන පෙරමුණ මැයි රැලියට රොද බැඳ සිටියහ.

බොහෝ දෙනා පුල පුලා බලා සිටියේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ කතා වාරය එන තුරුය. හිටපු ජනපතිවරයා කතාව පටන් ගත්තේ ඔල්වරසන් සහ විසිල් හඬ මධ්‍යයේය.

“අනෙක් පක්ෂවල මඩ ගහන්නේ මේ වේදිකාවට. අපේ ඡන්ද 69 ලක්ෂය ඔවුන්ගේ ඔඩොක්කුවට වැටෙනකම් බලන් ඉන්නේ. එළඹෙන ජනාධිපතිවරණයේදී ජය ගන්නේ පොහොට්ටුවට සහාය දෙන අපේක්ෂකයා විතරයි කියල ඔබල ගමට ගිහින් කියන්න.”

පොදු ජන පෙරමුණේ රැලියෙන් පසු අප ගමන් ඇරඹුවේ මාලිගාවත්තේ පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ පැවති UNP මැයි රැලියටය.

බේස්ලයින් පාරේ සමන්තා සිනමා ශාලාව අසලින් වමට හැරී සද්ධර්ම මාවතේ ඇල්බා හන්දියට ළඟා වන්නට හතරමං හන්දිය වසා තිබිණි. රූබි සිනමාශාලාව අසල මිල්ටන් පෙරේරා මාවත කෙළින්ම වැටෙන්නේ පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයටය. මිල්ටන් පෙරේරා මාවත ද වසා තිබූ නිසා එච්.ආර්. ජෝතිපාල මාවතෙන් නැවත මිල්ටන් පෙරේරා මාවතට පිවිස එජාප වේදිකාව පිටුපසට ගමන් කළෙමි. මාලිගාවත්ත මහල් නිවාස අසලින් ඇති ඇළ හරහා ගමන් කොට ශ්‍රී සුධර්මාරාමය අසලින් මතු වුණෙමි.

මුළු පළාතම පොලිස් බළඇණි සහ විශේෂ කාර්ය බළකායේ දැඩි ආරක්ෂාව යටතේය. ප්‍රදේශයම වසා ගනිමින් මහා ජන ගඟක් ගලා තිබිණි. එජාප නායක ජනපති රනිල් වික්‍රමසිංහයන් මැයි රැලිය අමතන්නට පටන් ගත්තේ හරියටම පස්වරු 4.57 ටය. එජාප මැයි දිනයේ තේමාව වූයේ ‘යළි නොවැටෙන අභිමානවත් රටක් සැම කලට” යන්නය.

“රට ඉදිරියට ගෙන යනවාද නැතහොත් 2022 තිබූ තැනට ගෙනයනවා දැයි තම කතාව අරඹමින් ජනපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය. එම අවස්ථාවේ වේදිකාවේ එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ඇතුළු ප්‍රබලයන් රැසක් දැකගත හැකි විය. එජාප මැයි දින සැමරුම සඳහා පක්ෂයට අනුබද්ධ සංවිධානවල සාමාජිකයින් ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි පාක්ෂිකයින් ඇතුළු අතිවිශාල පිරිසකින් මාලිගාවත්ත පිරී ඉතිරි ගොස් තිබිණි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාෂාන් නවනන්දන එජාපයට සහාය පළ කරමින් මැයි දිනයට එක් වී සිටියේය.

අපේ ඊළඟ නැවතුම වූයේ ඉබ්බන්වල හන්දියේ පෙරටුගාමී පක්ෂයේ මැයි රැලියයි. ඩාලි පාරත්, වොක්ෂෝල් වීදියත්, යුනියන් පෙදෙසත් මායිම් වූ හයිඩ් පිටියේ පැවති රැලියේ තේමාව වූයේ “වැඩකරන ජනතාවනි, අයි.එම්.එෆ්. මරඋගුල, ඉන්දියානු විජිතකරණය පරදවමු” යන්නයි.

එහි පෙරටුගාමි පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් සහ ළහිරු වීරසේකර ඇතුළු පිරිසක් සිටියහ.

පෙරටුගාමී පක්ෂ මැයි රැලියෙන් පසු අප නැවත ගියේ විහාරමහාදේවිය අසල මාලිමාවේ මැයි රැලියටය. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක තම මැයි රැලිය අමතමින් සිටියේය.

ජාතික ජන බලවේගයේ මාතර මැයි රැලිය ඇමතීමෙන් පසු අනුර කුමාර කොළඹ මැයි රැලියට පැමිණ තිබිණි. ආචාර්ය හරිනි අමරසූරිය, සමන්ත විද්‍යාරත්න මෙන්ම ටිල්වින් සිල්වා ඇතුළු පිරිසක් මෙම රැලිය ඇමතීමට සූදානමින් සිටියහ.

මාලිමාවේ රැස්වීමෙන් පසු අප ගියේ මැයි දිනයට මතකයට එන ඒ.ඊ. ගුණසිංහ ප්‍රතිමාව අසලටය. මල් කලඹ තැබූ සියලු දෙනා ඒ වන විට විසිර ගොස් සිටි අතර කුළු ගෙඩියක් අතින් ගත් ඒ.ඊ. ගුණසිංහ ප්‍රතිමාව හුදෙකලාව අප දෙස බලා සිටින්නට විය. එතැනින් අප ගියේ ගුණසිංහයන්ගේ දේශපාලන ගෝලයා වූ හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාසගේ සාන්ත බස්තියමේ ඇති පිළිරුව අසලටය. මැයි දිනයේදී දිවි දුන් ජනාධිපතිවරයා ලෙස ඉතිහාසගත වූ ඔහුගේ පිළිරුව අසල මල්කලඹ රැසක්ම තබා තිබිණි.

එතැනින් සමුගත් අප ආවේ සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාසගේ මැයි රැලියටය. රැලියේ තේමාව වූයේ ‘සමගි රටක් අනගි හෙටක්’ තේමා පාඨයය.

“හැත්තෑ හය වසක් තුළ මේ රටේ දේශපාලන නායකයෙක් පක්ෂයක් කණ්ඩායමක් තනතුරු නැතුව බලයක් නැතුව වැඩ කරල නැහැ. සමගි ජන බලවේගය අංක එක වෙන්නේ බලයක් නැතුව වැඩ කරලා.” කියමින් සජිත් තම කතාව ආරම්භ කළේය.

සජබය මෙම ස්ථානය තෝරා ගත් හේතුව එහිදී පැහැදිලි කරන ලද්දේ මුජිබර් රහුමන් විසිනි.

“ගෝඨාභය රාජපක්ෂ පලවා හරින්න මේ රටේ ජනතාව ඇවිල්ල මෙතනින් තමයි පළවෙනි බැරියර් එක කඩාගෙන මහා ගංගාවක් වගේ වෙඩිමුරය තිබ්බේ.”

මෙම රැලියේ විශේෂත්වය වූයේ ආදිවාසීන් පිරිසක් ද එක්වී සිටීමය.

සජබ රැලියෙන් පසු නැවත අප ගෝල්ෆේස් පිටිය දෙසට ගියේ එහි තත්ත්වය බැලීමටය. කවදාවත් නැති පිරිසකගෙන් ගාලුමුවදොර පිරී ඉතිරී ගොස් තිබිණි. අඳුර වැටුණු විට කොළඹට පැමිණි මැයි දින බස් රථ කෙමෙන් කොළඹින් පිටත් වූ අතර, පාරවල් දෙපස මැයි රැලිවලට ආ නඩ භාවිත කළ බත් පාර්සල් කඩදාසි, වතුර බෝතල්, බෙදාහරින ලද පත්‍රිකා තොග පිටින් නගර සභා ලොරිවලට පටවන කම්කරුවන් කිව්වේ කම්කරු දිනයේවත් තමන්ට නිදහසක් හිමි නොවූ බවය.

ඡායාරූප-විමල් කරුණාතිලක, රුක්මල් ගමගේ, වින්තක කුමාරසිංහ, සුලෝචන ගමගේ, සුදත් නිශාන්ත, නිශ්ශංක විජේරත්න සහ සුදත් මලවීර

වජිර ලියනගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division