ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම සාර්ථක කර ගනිමින් රටේ ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුව සමඟ ගිවිසුමකට එක්වන ලෙස සජබ, ජවිපෙ ඇතුළු දේශපාලන පක්ෂවලින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය මැයි 01 පැවති එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලිය අමතමින් අවධාරණය කළේය.
එසේ නම් අද අප සිටින තත්ත්වයට පැමිණියේ ඉතා අසීරුවෙන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුමෙන් එය ආරක්ෂා කර තිබෙනවා. එසේ නම් අප මෙම තත්ත්වය ආරක්ෂා කරගෙන ඉදිරියට යනවද, නැත්නම් 2022 වසරේ තිබූ තත්ත්වයට නැවත රට පත් කරනවද යන්න තීන්දු කළ යුතුයි. මම සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු අනෙක් පක්ෂවලට කියනවා මේ වැඩපිළිවෙළට විරුද්ධව කටයුතු කරන්න එපා කියලා. ඒ වගේම මෙය කඩාකප්පල් කරන්න එපා කියලා. ජනතාව ගැන සිතා මේ තත්ත්වය ආරක්ෂා කිරීමට ආණ්ඩුව සමඟ ගිවිසුමකට පැමිණෙන ලෙස මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා.
අප සියලුදෙනා රට ගැන සිතා කටයුතු කළ යුතුයි. 2003 දී මම ටෝකියෝ සම්මේලනයට ගිහින් ඩොලර් බිලියන 03ක් ලංකාවට ගෙනාවා. ජෝර්ජ් බුෂ් ජනාධිපතිවරයා ඩොලර් බිලියනයක් ලබා දුන්නා. ඒ ආකාරයට ඩොලර් බිලියන 04ක් ලැබුණා. නමුත් 2004 දී මේ සියල්ල වෙනස් වුණා.
ඒ නිසා ඔවුන් ආපසු යන්න ගියා. එම ඩොලර් බිලියන 04 අපට තිබුණා නම් අද එය ඩොලර් බිලියන 10ක් තරම් වටිනවා. 2018 – 2019 වන විට අපට ප්‍රාථමික අය වැයේ අතිරික්තයක් තිබුණා. ඒ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගියා නම් මෙම ප්රශ්නය මතු වන්නේ නැහැ.
දැන් නැවත මෙම වැඩපිළිවෙළ වෙනස් කළහොත් යළි අවධානමක් ඇති වෙනවා. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගෙන තිබෙන කොන්දේසි සහ රටේ ශීඝ්‍ර සංවර්ධනයට අවශ්‍ය කොන්දේසි ඇතුළත් කළ නීතියක් මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ සඳහා සහයෝගය ලබාදෙන ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා. කරුණාකර ඊට එකඟ වන ලෙස මම සමගි ජන බලවේගයෙන් සහ ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලා සිටිනවා.
සාම්ප්‍රදායික දේශපාලනයේ කටයුතු කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනට විරුද්ධ වී එය කඩාකප්පල් නොකරන ලෙස ඉල්ලා සිටි ජනාධිපතිවරයා 2022 වසරේ රට පැවති තත්ත්වයට නැවත ඇද වැටීමට ඉඩ නොතැබිය යුතු බවද එහිදි සඳහන් කළේය.
අයි.එම්.එෆ්. කොන්දේසි වෙනස් කරනවා
– විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
සමඟි ජන බලවේගයේ රජයක් යටතේ ජනතා හිතකාමී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සමඟ සංශෝධිත නව ගිවිසුමකට එළඹෙන බව විපක්ෂ නායකවරයා සමගි ජන බලවේගය මැයි රැලිය අමතමින් පැවැසුවේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ගිවිසුම සාර්ථක කර ගැනීමට එක්වන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය මැයි දින රැලියේදි සජබ ජවිපෙ ඇතුළු විපක්ෂයෙන් ඉල්ලා සිටි අතර එහෙත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මැයි දින රැලිය අමතමින් පැවැසුවේ (IMF) ගිවිසුමෙන් කොන්දේසි වෙනස් කළ යුතු බවයි.
‘රටේ ජනතාව ජීවත් කරවන රට නිවැරදි මඟට යොමු කරවන ජනතාවාදී ජනහිතකාමී පොදු ජනවාදී සංශෝධනයට ලක් වූ අලුත් (IMF) ගිවිසුමක් නිර්මාණය කරනවා යැයි ඔහු එහිදී සඳහන් කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේග මැයි දින රැළිය අමතමින් සඳහන් කළ මේ කරුණ සම්බන්ධයෙන් බොහෝ දෙනා අතර කතිකාවක් ගොඩනැඟිණි. ඇත්ත වශයෙන්ම ගිවිසුම්ගත වී ඇති මෙවැනි ජාත්‍යන්තර ගිවිසුම් එක් එක් දේශපාලන පක්ෂවල අවශ්‍යතාව අනුව වෙනස් කළ හැකිද යන්න සංවාදයට බඳුන් විය යුතු කරුණකි. මේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සමඟ ඇති කරගත් ගිවිසුම් වෙනස් කොට නව සංශෝධන කළ හැකිද යන්න පිළිබඳව ආර්ථික විශේෂඥයෝ රැසකගෙන් සිළුමිණ විමසීමක් කරන ලද අතර එවැනි ජාත්‍යන්තර ගිවිසුම්ගතවීම වෙනස් කිරිමට යෑම ජාත්‍යන්තරය මෙරටට ඇති විශ්වාසය පළුදු වීමට හේතුවක් බව ද එහිදී විද්වත්හු රැසක් පැහැදිලි කළහ.
අයිඑම්එෆ් කොන්දේසි වෙනස් කරන්න ගියොත් රට පවතින්නේ සති දෙකයි
– ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන
2022 වර්ෂයේදී රටේ ආර්ථික අර්බුදයක් ඇති විය. ඉන්ධන නොමැතිව, ගෑස් නොමැතිව මෙන්ම බේත් හේත් නොමැතිව රට පත් වූ මහා අර්බුදයෙන් මහා ජාතික ව්‍යසනයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ විස්තීර්ණ ණය ගිවිසුමකට එළඹුණි. එම ගිවිසුමට අනුව වර්ෂ 2027 වන තෙක් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පවත්වාගෙන යා යුතු දළ සැලැස්ම ඇත්තේ එකී විස්තීර්ණ ණය ගිවිසුමේය. ඒ අනුව 2027 වන විටත් ඒ වර්ෂයට අදාළ විදේශ මූල්‍ය සම්පත් හිඟය ඇමෙරිකානු ඩොලර් 3911ක් වන බවට පුරෝකථනය කර ඇත.
එකී විදේශ මූල්‍ය සම්පත් පරතරය පියවීමට ජාත්‍යන්තරය විසින් විදේශීය මූල්‍ය සම්පූර්ණ කිරීමට එකඟ වී තිබෙන්නේ පහත දැක්වෙන ආකාරයෙනි.
විස්තීර්ණ ණය ගිවිසුම යටතේ අමරිකානු ඩොලර් මිලියන 329ක් ලැබෙන අතර 2027 අතර අය වැය සැකසීමට මූල්‍ය අරමුදල ඩොලර් මිලියන 600ක් ලබා දෙනු ඇත. එසේම ලෝක බැංකුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 600ක් හා ආසියානු සංවර්ධන බැංකුව විසින් ඩොලර් මිලියන 300ක් ලබා දීමට එකඟ වී තිබේ. ණය සහන වශයෙන් ඩොලර් මිලියන 1482ක් ඇස්තමේන්තු කර ඇත. 2027 වර්ෂයට අදාළව අමෙරිකානු ඩොලර් මිලියන 1500ක හිඟයක් තවදුරටත් ඇස්තමේන්තු කර තිබේ.
ඒ සඳහා ශ්‍රී ලංකාවට අවසර ලැබෙන්නේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ ජාත්‍යන්තර වෙළඳපොළේ ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කොට ඩොලර් බිලියන 1.5ක් ලබා ගැනීමටය. නමුත් ඒ වන විට ශ්‍රී ලංකවේ ජාත්‍යන්තර සංචිතය ඇමරිකන් ඩොලර් බිලියන 14ක් දක්වා වැඩි වී තිබිය යුතුව ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනස් කරන බවට හුදී ජනයා වෙත දැනුම් දෙන්නේ මේතරම් බරපතළ ගිවිසුමකි. ලංකා ආණ්ඩුව අත්සන් කළ මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අනුමැතිය ලබාගෙන ගිවිසුම් කොන්දේසි ඉටු කරමින් තිබෙන හෙයින් දැනට වාරික දෙකක් ලබා දී ඇත. 3 වන වාරිකය ලබා ගැනීමට ප්‍රථම ලංකාවේ ආර්ථික තත්ත්වය ගැන අධීක්ෂණය කොට ලංකාවේ ආර්ථිකයේ ඇති ප්‍රගතිය හා දුර්වලතා පිළිබඳ වාර්තාවත් මූල්‍ය අරමුදලේ අධ්යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
එය අධ්‍යයනය කර නුදුරු අනාගතයේ 3 වැනි වාරිකය ලැබෙනු ඇතැයි ලංකා ආණ්ඩුව බලාපොරොත්තු වෙයි. ඒ අතර විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ඒ හා සමගාමීව සිදුවෙමින් පවතී. විපක්ෂ නායකවරයාගේ විශ්වීය දැනුම් සම්භාරය අනුව මේ අමාරුවෙන් ඇති කරගත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය ගිවිසුම වෙනස් කළ හැකි යැයි ඔහු සිතන්නේ නම් එය ඉතාම නපුරු මෝඩ සිතුවිල්ලකි. මක්නිසාද යත්, යම් ලෙසකින් රටේ අවාසනාවට හෝ ඔහුට බලය ලැබී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් වෙනස් කිරීමට ගියහොත් ලංකාව වැඩිම වශයෙන් සති 2ක කාලයක් පවතිනු ඇත. මක්නිසාද යත් මෙවැනි විප්‍රකාර ඔලමොට්ටල තීරණ රටක් කරවන නායකයන් විසින් ගනු ලබයි නම් ඒ රට පිළිබඳ ජාත්‍යන්තර විශ්වාසය මුළුමනින්ම බිඳ වැටී එම රට නිකුත් කරන ණයවර ලිපි ලෝකයේ කිසිම රටක් නොපිළිගනු ඇත. වෙනත් රටවල් ණයවර ලිපි පිළිගන්නේ නැත්නම් ලංකාවට තෙල් නැත, ගෑස් නැත. බේත්හේත් හා කෑම බීම නැත. එවිට රටක් ද නැත.
ඒ නිසා මෙවර මැයි දිනයේදී විපක්ෂ නායකවරයා රටට ලබා දුන් ලොකුම, වැදගත් පණිවුඩය වන්නේ ඔහුට පාසලකට සුහුරු පන්ති කාමරයක් ලබාදීම, බස් රථයක් ලබා දීමට හැකි වෙතත් රටක් ආණ්ඩු කළ නොහැකි බවය.
එහෙම වෙනස් කරන්න ගියොත් අන්තර්ජාතික විශ්වාසය බිඳිලා යනවා
– කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු මහාචාර්ය ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමි
රටක් ජාත්‍යන්තර ගිවිසුම්වලට එළඹුණාට පස්සේ අලුත් ආණ්ඩුවක් ආවම ඒවා වෙනස් කරන්න පුළුවන්කමක් නැහැ. එහෙම වෙනස් කරන්න ගියොත් අන්තර්ජාතික විශ්වාසය බිඳිලා යනවා. මේක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එනම් IMF සම්බන්ධයෙන් පමණක් නෙවෙයි ඕනෑම රටක ඕනෑම වෙනස් සංවිධානයක් සමඟ ශ්‍රී ලංකාව අත්සන් කළ ගිවිසුම්වලට අදාළයි. 2015 යහපාලනය එනකොට කොළඹ වරාය නගරය වෙනස් කරනවා කියලා කිව්වා. එය අවුරුද්දක් විතර හිර කරලා තියෙනවා. ඒකෙන් විශාල පාඩුවක් රටට සිද්ධ වුණා. හැබැයි පුරුදු පරිදි කරන්න සිද්ධ වුණා, ගිවිසුම් අත්සන් කරලා තියෙන නිසා.
ඊට අමතරව 2019 නැවත වතාවක් ආණ්ඩුව එන්න පෙර ඒ බලයට ආපු පක්ෂයේ අය කිය කියා ගියා හම්බන්තොට වරාය ආපහු ගන්නවා කියලා. නමුත් කළේ නැහැ. ඔය වගේ කතන්දර අපේ දේශපාලනයේ පුරාවටම තියෙනවා. ඇතැම් අවස්ථාවලදී සාකච්ඡා කරලා පොඩි පොඩි සංශෝධන ඇති කරගන්න පුළුවන්. සම්පූර්ණ ගිවිසුමෙන් පිට වෙන්න පුළුවන්කමක් නැහැ. ඔතන තේරුම් නොගත් කාරණයක් තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අපි අතර තියෙන ගිවිසුම අනුව ලොකු මුදලක් හම්බ වෙන්නේ නැහැ. ඩොලර් මිලියන තුනක් වගේ අපිට හම්බ වෙන්නෙ. කොටස් වශයෙන් ටික ටික හම්බ වෙන්නෙ. හැබැයි එය හා සම්බන්ධ ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා. ඒ ප්‍රතිපත්ති මාලාව අපිට ක්‍රියාත්මක කරන්න වෙනවා.
IMF කොන්දේසිවලට දැන් එකඟ වෙලා ඉවරයි
– කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථීක විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය ශෂිතාංගනී වීරවංශ
අපි රටක් ලෙස IMF දාහත් වතාවක් ගියා. අපි 1965 ඉඳලා මේ වනතෙක් 16 වතාවක් ගිහිල්ලා තියෙනවා. අපි නිවැරදි නොවුණහොත් අපිට හොඳ නාමයක් ගොඩනැඟෙයි ද කියලා අපිට පොඩි සැකයක් මතුවෙනවා. නමුත් මෙවර 17වැනි වතාවට IMF යනකොට මේ කොන්දේසිවලට අපි එකඟ වෙලා ඉවරයි. IMF සමඟ මේ ඇති කරගන්නා ගිවිසුම පෞද්ගලික එකක් නොවෙයි. රජය IMF කොන්දේසි සලකා බලලයි මේ ගිවිසුම්ගත වීම සිදු කරන්නේ. කවුරු බලය පත්වුණත් ඒ කොන්දේසි දිගටම ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. නමුත් අපිට ණය වශයෙන් කොටස් ලෙස ගන්න කොට අපි හිතමු; ආණ්ඩු මාරු වෙන්නත් පුළුවන්, මේ තියෙන ආණ්ඩුව මේ විදිහටම තියෙන්නත් පුළුවන්. නමුත් එතකොට මේ ගිවිසුම්ගතවන ක්‍රියාවලියේදී සහ අපේ ආර්ථික යන්ත්‍රණය ක්‍රියාත්මක කරනකොට සාධාරණ සැකයක් තියෙනවා නම් සමහර කොන්දේසි වෙනස් කිරිම හරහා අපේ රටේ ආර්ථික ප්රගමනය වැඩි දියුණු කරගන්න පුළුවන් නැතිනම් මිනිසුන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවන්න පුළුවන් කියලා අපිට සාධාරණ හේතු ඉදිරිපත් කරලා සාකච්ඡා කරන්න පුළුවන්. IMF එකඟතාව මත යම් යම් සංශෝධන ඉදිරිපත් කරන්න හැකියාවක් තියෙනවා. නමුත් එසේ කළහොත් රටක් ලෙස අපිට IMF එක ඉදිරියේ හොඳ ප්‍රතිරූපයක් ඇති වෙයි කියලා හිතන්න බැහැ. ලංකාවේ රජයන් වසර පහෙන් පහට මාරුවීම නිසා ප්‍රතිපත්තිත් මාරුවිය හැකියි. මොන ආණ්ඩුව ආවත් ඉන්දියාව වැනි රටවල ජාතික ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැහැ. කොන්දේසි දාන එකේ නොවෙයි වරද තියෙන්නේ; ඒවා ක්‍රියාත්මක කිරීමෙයි.
යම්කිසි ආයතනයකින් ණය මුදලක් ලබාදෙන විට යම් කිසි කොන්දේසි දානවා; එයට හේතුව අය කර ගැනීමේදී ගැටලු මතුවීමයි. රටක් ලෙස ණය ගැනීමට අවශ්‍යයි; ඒ ණය අපි නැවත ගෙවන්න අවශ්‍යයි. හදිසියේ අපිට ණය ගෙවා ගන්න බැරිවුණොත් එවැනි අවස්ථාවලදි IMF යම් කිසි කොන්දේසි ඇති කරගන්න වෙනවා. ණය ගෙවන්න හැකිවීමට තමයි මේ අය අපිට ඒ කොන්දේසි දාලා තියෙන්නේ. ඉතිහාසය දෙස බැලුවාම ලෝකයේ රටවල් එකොළහක් දොළහක් පමණ IMF සමඟ වසර 30කට වඩා කාලයක් ගනුදෙනු කරනවා අපේ රට ඇතුළුව. රටවල් තිහක් IMF එකෙන් අවුරුදු 20 වැඩියෙන් උදව් අරගෙන තියෙනවා.
දැන් IMF එක්ක වෙන ගිවිසුම්වලට ඉඩක් නෑ
– පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එනම් IMF විසින් කියලා තියෙන කිසිම දෙයක් වෙනස් කිරීමේ අවශ්‍යතාවක් නැහැ. වෙනස් කළ යුත්තේ මෙයයි. ඇතැම් දේශපාලන පක්ෂවලට තේරෙන්නේ නැහැ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් මොනවාද කියලා තියෙන්නේ කියලා. රටේ මොනවද ක්‍රියාත්මක කෙරිලා තියෙන්නේ කියලා අපි සොය බැලිය යුතුයි. IMF කියනවා රටේ බදු ආදායම වැඩි කරන්න අවශ්‍යයි කියලා. එතකොට රජය ඉන්න අය මතම බදු වැඩි කිරීම නොවෙයි කළ යුත්තේ. අපි කියන්නේ බදු නොගෙවන පිරිස මේ බදු දැලට ආකර්ෂණය කර ගැනීමට කටයුතු කළ යුතුයි. IMF කියන්නේ නැහැ ඉන්න අය මතම බදු බර තියන්න කියලා. මෙතන තියෙන ප්රශ්නය රටට හානි වෙන රජයට හානි වන ප්‍රතිපත්ති තියෙනවා නම් පමණයි. IMF ප්‍රතිපත්ති තුළ තියෙන්නේ ආර්ථික ස්ථායීකරණය සඳහා අවශ්‍ය වූ වැඩපිළිවෙළක් ආර්ථික සංවර්ධනය සඳහා වූ වැඩපිළිවෙළක්. ඕනෑම රජයක් විසින් කළ යුත්තේ IMF එකේ ප්‍රතිපත්ති තේරුම් ගෙන ඒවා රටට ගැළපෙන ආකාරයට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමයි.
විවිධ දේශපාලන පක්ෂ විසින් මෙය වැරදියට තේරුම් අරගෙන තියෙන්නේ. ඒ අය කියන්නේ IMF එකත් එක්ක සාකච්ඡා කරලා වෙනස් කිරීමට කටයුතු කරනවා කියලා. එසේ කිරීමට අවශ්‍යතාවක් නැහැ. මෙතැන තියෙන ප්රශ්නය දේශපාලන අධිකාරිය සහ ඒ අයට උපදෙස් දෙන පිරිස මේ ප්රශ්නය නිවැරදිව තේරුම් අරගෙන නැතිකමයි. IMF නැවත සාකච්ඡා කරලා කෙනෙක් කියනවා නම්, ඒ ගිවිසුම අවලංගු කරලා වෙනම ගිවිසුමක් අවශ්‍යයි කියලා එය කරන්න ඉඩක් නැහැ.
එසේ වුවහොත් IMF මඟින් දෙන මුදල සම්පූර්ණයෙන්ම නවත්වන්න හැකියාව තියෙනවා. ඒ තුළින් වෙන්නේ අපි තවත් මේ ලෝකයේ රටවල් තුළ බ්ලැක් ලිස්ට් වෙන එකයි. තවදුරටත් කඩා වැටීමක් තමයි ඒ තුළින් වෙන්නේ. සමහර දේශපාලන පක්ෂවලට තේරුම් යන්නේ නැති කාරණාව තමයි මෙතැන තියෙන ප්රශ්නය. IMFසම්බන්ධයෙන් අනෙක් පක්ෂ තර්ක කරන්න අවශ්‍ය වෙන්නේ IMF අපි ඉදිරියට ගෙන යනවා; ඒ ගෙන යන්නේ මේ රටේ මහජනතාවට ගැළපෙන ආකාරයටයි කියන කාරණයයි. IMF සම්බන්ධයෙන් අනෙක් පක්ෂවල බුද්ධිමත් කතිකාවක් ඇතිවෙලා නැහැ.
ප්‍රශ්නයක බරපතළකම නොදන්නා කෙනකුට රටක් භාර දෙන්න පුළුවන්ද?
– පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ මහාචාර්ය මිල්ටන් රාජරත්න
වගකීම් විරහිත කතා, ප්‍රායෝගික නොවන දේවල් පක්ෂවලට කියන්න පුළුවන්. ඒ අයට හිතට එන දේවල් කිය කියා ඉන්න පුළුවන්. දේශපාලනය කරන ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ සියලුම දෙනා රාජ්‍ය ආයතන ගැන කතා කරනකොට වගකීම් විරහිත විදිහට කතා කිරීමෙන් වැළකෙන්න ඕනෑ. මොකද රාජ්‍යය කියන එක තමයි අපේ රටේ මිනිස්සුන්ට සත්තුන්ට ගහකොළට තියෙන්නේa. ආණ්ඩු බලය ලබා ගැනීමට වඩා මේ රාජ්‍ය ආරක්ෂා කරගන්න ඕනෑ ක්‍රමය ගැනයි ඒගොල්ලෝ කල්පනා කරන්න ඕනෑ. මේ රට ඉතාමත්ම දරුණු ආර්ථික ප්‍රපාතයකට ගිහින් තියෙන්නේ. අපි අපේ පිහිට සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් IMF ආධාර උපකාර ලබා ගත්තා. එය ලබා ගන්න විට ඒ අය අපිට නිකන් උදව් කරන්නෙ නැහැ. ඒ අය බලනවා අපේ ආර්ථිකය බිඳ වැටුණේ මොකක් නිසාද කියලා. ඒ හේතුවලට අපිට යෙදිය හැකි පිළියම් අහනවා. ඒ අය ඒ පිළියම් තමයි IMF එකත් එක්ක එකඟ වෙනවා කියලා කරන්නේ. මේ අය තවම අපට එරෙහිව ක්‍රියාත්මක වෙන්න පටන් අරන් නැහැ. IMF එක කියන විදිහට අපි ආර්ථිකය හැඩගස්වා ගන්න අතරම අපේ ණය හිමියන් සමඟ සාකච්ඡා පටන් අරගෙන මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණය කරගෙන අවුරුදු ගණනාවකින් ඉදිරියට ගෙවන්න පුළුවන් ආකාරයේ වැඩපිළිවෙළක් සකස් කරයි කියන බලාපොරොත්තුව තියෙනවා. මොකද ඒ ණය හිමියන්ට IMF එකේ වගකීමක් තිබෙනවා. IMF එක ඒ අයට සල්ලි ගෙවන්නේ නැහැ. නමුත් ඒ පිරිස වෙනුවෙන් ලංකා රජය එක්ක අතරමැදියෙක් ලෙස ගනුදෙනු කරන්නේ IMF එකයි. තේරුමක් නැති ප්‍රායෝගික නැති දේවල් කියෙව්වට වැඩක් නැහැ. මේ් පරිසරය දැනගෙන අපි කතා කළ යුතුයි.
කිසිම අලුතෙන් පත්වන රජයකට වුණත්, දැන් තියෙන රජයකට වුණත් IMF එකෙන් ඉවත් වෙන්න පුළුවන්කමක් නැහැ. අපිට ඒක පාර්ශ්විකව ඉවත් වෙන්න පුළුවන්. ඉවත් වුණාම වෙන්නේ ණය හිමියෝ සහ අපි අතර කතා කරන්න පාර්ශ්වකාරයෙක් නැති වෙන එකයි. ඒ එක්කම අපෙ රට යම්කිසි අවස්ථාවක මූල්‍ය අර්බුදයකට ගියොත් එතෙන්දි IMF එක ආපහු සැරයක් අපේ පිහිටට එන්නෙත් නැහැ. අපේ විශ්වාසය නැති වෙනවා. සජිත් ප්‍රේමදාස මහතා මේ කියන මේ කතාවෙන් ඇතිවෙන ප්‍රතිඵල හරි භයානකයි.
අපි ආර්ථික වශයෙන් සංවර්ධනය කර ගන්නවා කියලා පෙන්නන්න අවශ්‍යයි
– කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය නවරත්න බණ්ඩා
ඇත්ත වශයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නෙ අපෙත් මූල්‍ය දායක මුදලක් යෙදවුමක් තියෙන තැනක්. ඒ අය ණය සපයන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සාමාජික රටවල්වලට තමයි; අපිත් දායක මුදලක් ඒ සඳහා ලබා දී තියෙනවා.
අමෙරිකාව තමයි වැඩිම දායක මුදලක් දීලා තියෙන්නේ. ඒ අයට වැඩිපුර ණය ගන්න පුළුවන් වෙන්නේ ඒ නිසා. අපි දායක මුදලක් දාලා තියෙනවා; ඒ දායක මුදල අනුවයි අපිට ණය ලැබෙන්නේ. 1944 ගිවිසුමක් අනුව තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිහිටෙව්වේ. යම් කිසි රටකට කෙටිකාලීන ප්‍රශ්නයක් ආවට පස්සේ ඒකට අවශ්‍ය සහන ලබාදීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යභාරය. මේ වගේ අවස්ථාවක සහය දෙන්න කියලා ඉල්ලීමක් කරන්න අපිට අයිතිය තියෙනවා.
අපි ඒ වෙලාවට ඒ අයට කියන්න අවශ්‍යයි මේ දේවල් කරලා අපේ රාජ්‍ය ආදායම වැඩි කර ගන්නවා කියලා. අපේ රට අපි ආර්ථික වශයෙන් සංවර්ධනය කර ගන්නවා කියලා පෙන්නන්න අවශ්‍යයි. රට සංවර්ධනය කරනවා කියලා ඒ අයට ඒත්තු ගැන්විය යුතුයි. රාජ්‍ය ආදායම වැඩි කර ගන්න කියලා ඒ අය කියනවා.
නමුත් බදු පැනවීම වැනි දේවල් රජය විසින් කරන දෙයක්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා නැහැ එහෙම බදු වැඩි කරන්න කියලා. ඉක්මනින් කළ හැකි දේ තමයි බදු පැනවීම. රජය ඒක කළා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දැනුම්වත් කරන්න අවශ්‍යයි රාජ්‍ය ආදායම වැඩි කර ගන්නා ආකාරය.
කොන්දේසි වෙනස් කරගෙන ඒකෙන් වන හානිය පියවන්නේ කවුද?
– කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය සිරිමල් විජේරත්ත
ඡන්දය ඉල්ලන අයට ඕන දෙයක් කියන්න පුළුවන්. මට කියන්න තියෙන්නේ වෙනස් කළ යුතු නැහැ කියන එකයි. මේ වතාවේ ආර්ථික අර්බුදයෙන් ගලවා ගන්න නම් ඒවා ක්‍රියාත්මක කර ගැනීම සහ ඉදිරියට ගෙන යෑම කළ යුතුයි.
මේ කොන්දේසි වෙනස් කරන්න පුළුවන්ද බැරිද කියලා දන්නේ මැදිහත් පාර්ශ්ව තමයි.
ඒ කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ සම්බන්ධ වෙලා තියෙන්නේ මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුවයි. ඊට අමතරව අපි ක්‍රියාත්මක කළ යුතු දේවල් තියෙනවා. ඒ වැඩපිළිවෙළත් අපි වේගවත් ව ඉදිරියට ගෙන යා යුතුයි. මේ කොන්දේසි වෙනස් කරගෙන ඒකෙන් ඇති වෙන හානිය පියවන්නේ කවුද කියන කාරණාව අපි ඒ අදාළ පාර්ශ්වවලින් අහන්න අවශ්‍යයි.