Home » ජිම් යනවා කියන්නේ මට නම් ආගමක් වගේ

ජිම් යනවා කියන්නේ මට නම් ආගමක් වගේ

by sachintha
May 4, 2024 12:30 am 0 comment

දිනෙත් එපිලියාන, මේ නමට වඩා රූපය පුංචි තිරයේ අතිශය ජනප්‍රියයි. ඒ ඔහු දෙවැනි ඉනිම නාට්‍යයට මලින්ත වූ නිසා. මේ දිනවල අපට ඔහුව දකින්න ලැබෙන්නේ සී යූ නාට්‍යයෙන්. පුංචි කාලේ සිට නළුවෙකු වීමේ ආසාව නිසාම ඔහු රඟපෑමට අවස්ථා ඇති නාට්‍ය සඳහා ඔඩිෂන් මඟ නොහැර ගිය චරිතයක්. එහෙත් ඔහුට ඒ වාසනාව ගෙන එන්නේ විදෙස් ගතව උසස් අධ්‍යාපන හදාරා මවු බිමට පැමිණි පසුවයි. වෙළෙඳ දැන්වීම් අධ්‍යක්ෂවරයෙකු හා නළුවෙකු වූ ඔහු හීන එක්ක ගිය මඟ ගැන කතා කරන්න දිනෙත් රසඳුන එක්ක එකතු වුණා. මේ ඔහු ගැනයි.


දෙවැනි ඉනිමෙන් පස්සේ දිනෙත් දකින්න ලැබෙන්නේ ධනුෂ්ක රත්නායක ගේ see you නාට්‍යයෙන්..?

මම දෙවැනි ඉණිම නාට්‍ය එක්ක අවුරුදු පහක් වැඩ කළා. මෑතකදී තමයි සී යූ නාට්‍යට සම්බන්ධ වුණේ. දීර්ඝ කාලයක් දෙවැනි ඉනිම කණ්ඩායම එක්ක වැඩ කළා. ඒ නාට්‍යයේ මලින්තට ඒ නිසා ගොඩක් ලොකු ප්‍රතිචාර ලැබෙනවා. පළමු නාට්‍යයෙන්ම ඒ වගේ ප්‍රතිචාර ලැබීම ගැන හරි සතුටුයි. ඊට පස්සේ තමයි ධනුෂ්ක අයියා මට කතා කළේ වැඩක් තියෙනවා ඔඩිෂන් එන්න කියලා, ඒ වෙද්දී පිටපතේ එපිසෝඩ් 15ක් ලියලා තිබුණා. මම පළවැනි එපිසෝඩ් එක කියවද්දි ඒ නාට්‍යට සම්බන්ධ වෙන්න ලොකු ආසාවක් ආවා. ඊට පස්සේ මම කිව්වා මම වැඩේට කැමතියි කියලා. ඔඩිෂන් එකෙන් පස්සේ ධනුෂ්ක අයියා කැමති වුණා මට චරිතයක් දෙන්න. ඒ විදිහට තමයි සී යූ නාට්‍යට ගීත් වෙන්නේ. වෙනස්ම අත්දැකීමක්. හරි ආසාවෙන් රඟපානවා.

රංගනයට නවකයෙක් වුණත් මේ නාට්‍යයෙදි පුංචි තිරයේ ජනප්‍රිය නිළියක් එක්ක ඔබට වැඩිපුර රඟපාන්න තියෙන්නේ. ශලනි තාරකා එක්ක වැඩ කිරීම පහසු වුණා ද…?

ශලනි තාරකා එක්ක වැඩ කරන්න කැමැත්තක් තිබ්බා. මම නළුවෙක් වෙන්න බොහෝ කාලයට කලින් ඉඳලා ඇය රඟපානවා රූපවාහිනී තිරයෙන්. ඇය දක්ෂ නිළියක්. මේ අවස්ථාව මට ලැබුණ හොඳ අවස්ථාවක්. ඇයත් එක්ක වැඩ කරන්න පහසුයි. ඒ වගේම මම රොෂාන් රණවන අයියා දැක්කේ ඒ කාලේ ඉඳලා චිත්‍රපට ක්ෂේත්‍රයේ හීරෝ කෙනෙක් විදිහට. මේ වැඩේදී මුණ ගැහුණම මම ඒක රොෂාන් අයියටත් කිව්වා. නවකයෙක් හැටියට හොඳ අවස්ථාවක් ඔවුන් එක්ක වැඩ කරන්න ලැබීම.

දැන් ගැහැනු ළමයින්ගෙන් වැඩිපුර ප්‍රතිචාර ලැබෙනවා ඇති..? ඔය අතරේ ආදරේ කරන්න ඇරයුම් ඇවිත් නැද්ද ..?

එහෙම විශේෂත්වය නැහැ. කොහේ දැක්කත් දැකලා කතාබහ කරන අය ඉන්නවා. අහවලා නේද කියලා අහන අය ඉන්නවා. ඒ වගේම සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ ප්‍රතිචාර ලැබෙනවා. බොරු කියන්න ඕන නැහැ ආදරේට නම් ඇරයුම් ලැබෙන්නේ නැහැ, දැන් ඉන්න ගැහැනු ළමයි නළුවන්ට ආදරේ කරන්නෙත් නැහැ. බඳින්න කැමතිත් නැහැ.

ඒ කියන්නේ දිනෙත්ටත් විවාහ නොවී තනිකඩව ජීවත් වෙන්න කැමැත්තක් ද තියෙන්නේ ..?

ආදරේ විවාහය කියන්නේ වගකීමක්. ඒ දේට කාලය යොදවන්න ඕන. මේ කාලේ මට ආදරේ කරන්න හෝ විවාහ වෙලා වගකීම් ගන්න කාලයක් නැහැ. මාත් ආසයි මගේ මවුපියන් වගේ ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න. ඒකට මේ හොඳම කාලය නෙමෙයි. කාලයත් එක්ක ඒ දේවල් සිදු වෙයි.

රඟපාන්න යන්න කලින් ඉගෙන ගෙන ඉන්න කියපු මවුපියන් දැන් දෙනෙත්ගේ රඟපෑම් ආදරයෙන් නරඹනවා කියලා ආරංචියි..?

ඒක ඇත්ත. මට රඟපාන්න මාර උණක් තිබ්බේ, ඒ නිසා කොහෙද රඟපාන්න ඔඩිෂන් ති‍ෙයන්නේ මාත් යනවා. ඒක ඉස්කෝලේ යන කාලේ ඉඳලා කරපු දෙයක්. ඒත් අවස්ථාව හිමි වුණේ නැහැ. මම ගාල්ල මහින්ද විද්‍යාලයෙන් වගේම කොළඹ රාජකීය විද්‍යාලයෙන් ඉගෙන ගත්තේ. පාසලේදී නාට්‍යවල රඟපෑවා. ඒත් එක්ක තමයි නළුවෙක් වෙනවා කියලා හිතුවේ. එක අවස්ථාවක් ලැබුණා 2009 දි. එතකොට අම්මා කිව්වා රඟපාන්න කලින් ඉගෙන ගෙන ඉන්න කියලා. මටත් ඉගෙන ගන්න ලොකු ආසාවක් තිබුණා. ඒ නිසා 2010 අවුරුද්දේ මම එංගලන්තයට ගිහිං චිත්‍රපට අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය ගැන හැදෑරුවා. අවුරුදු හයකට පස්සේ මාස්ටර් එකත් ඉවර කරලා ලංකාවට ආවා. ඊට පස්සේ නළුවෙක් වුණා. දැන් මම රඟපාන නිර්මාණ අම්මා තාත්තා වගේම මගේ එකම නංගී (ඉංජිනේරුවරියක්) ඒවා නරඹලා ප්‍රතිචාර දක්වනවා.

දෙනෙත් වෙළෙඳ දැන්වීම් නිර්මාණකරණය පැත්තටත් සම්බන්ධයි නේද ..?

2013 දි තමයි මම වෙළෙඳ දැන්වීම් අධ්‍යක්ෂණය පැත්තට යොමු වෙන්නේ. ජනප්‍රිය වෙළෙඳ දැන්වීම් කිහිපයක්ම මම නිර්මාණය කරලා තියෙනවා. තවදුරටත් කරනවා. ඊට අමතරව මම දෙරණ ලක්සිරි සර්ගේ ආරාධනාවෙන් පියවදනි කියලා මිනි සීරියස් එකක් අධ්‍යක්ෂණය කරලා නිෂ්පාදනය කළා. එතුමා ඒක කරන්න ආරාධනා කළේ මගේ අධ්‍යාපන පසුබිම දැනගත්තට පස්සේ. දැන් චිත්‍රපටයක් කරන්න ලියාගෙන යනවා. ඒත් හරි අවස්ථාවක් නැහැ. මම ආසයි වාණිජමය සිනමා නිර්මාණ කරන්න. ඒ නිසා තමයි ඒ ගැන වැඩි හැදෑරීමක් කළේ. වාණිජමය නිර්මාණ කරනවා නම් නියම කොලිටි එකකට කරන්න ඕන. ලංකාවේ ආර්ථික ප්‍රශ්න එක්ක හොඳ වැඩකට අත ගහන්න අමාරුයි.

දෙනෙත් කඩවසම් බව මේන්ටේන් කරන නළුවෙක් ..?

ජිම් යනවා කියන්නේ මට නම් ආගමක් වගේ. සතියට දවස් හතර පහක් කොහොම හරි ජිම් යනවා. මගේ යාළුවෙක්ගේ ජීම් එකකට යන්නේ. වෙලා නැත්තම් මහා රෑ හරි යනවා. යාළුවත් මට උදව් කරනවා. රංගන ශිල්පියෙක් හැටියට රංගන හැකියාව මේන්ටේන් කරන්න ඕන වගේම පෞරුෂය මේන්ටේන් කරන එක වැදගත් කියලා මම හිතනවා.

හර්ෂණී වීරරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division