වී. සිවදාසන්ගේ ස්නයිපර් සිනමාපටයෙන් කුලුඳුල් රංගන අත්දැකීම ලැබූ ඇය සක්කරයා ටෙලි නිර්මාණයෙන් පුංචි තිරයට ද පිවිසියාය. සිනමාවේ, පුංචි තිරයේ මෙන්ම මේ වන විට ඇය වෙළෙඳ දැන්වීම් කලාවේ ද ජනප්‍රිය තරුවකි. මේ දිනවල බොහෝදෙනාගේ අවධානය දිනා සිටින සතොස වෙළෙඳ දැන්වීම මෙන්ම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වෙළෙඳ දැන්වීම ඇය රංගනයෙන් දායක වූ නිර්මාණයන්ය. ඉන්දීය සුපිරි නළු ප්‍රභූ දේවා ශ්‍රී ලංකාවේ රූගත කළ සිනමාපටයට ද රංගනයෙන් දායකවීමේ භාග්‍ය හිමිකරගත් ඇය මේ වන විට චීනයේ ඩාර්ලියන් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ වෛද්‍ය ශිෂ්‍යාවක් ද වන්නීය. ඇය නමින් ජයමාලී නානායක්කාරය.
ජයමාලී නානායක්කාර කියන්නෙ කවුද කියල අඳුන්වල දෙනවනම්?
මම වෘත්තීය රංගන ශිල්පිනියක් නෙවෙයි. මං වෛද්‍ය ශිෂ්‍යාවක්. මේ වෙද්දි චීනයේ ඩාර්ලියන් මෙඩිකල් ෆැකල්ටියේ අධ්‍යාපනය ලබනවා. මගේ එකම ආසාව තමයි වෛද්‍ය ක්ෂේත්රයේ යෙදෙන ගමන් කලාවෙත් බ්‍රෑන්ඩ් එකක් වෙන එක. ඒක පුංචි කාලෙ ඉඳන්ම මගේ තිබුණු හීනයක්. මේ වෙද්දි චිත්‍රපට, ටෙලිනාට්‍ය වගේම වෙළෙඳ දැන්වීම්වලටත් රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ වගේම මොඩ්ලින් පැත්තටත් සම්බන්ධ වෙලා තියෙනවා.
වෛද්‍ය ක්ෂේත්රයයි කලාවයි බොහෝ දෙනෙක් දැන් දැන් එකට ගළප ගන්නවා. ඔබට ඒක දැනෙන්නෙ කොහොමද?
මගේ ගම පිළියන්දල. මං අධ්‍යාපනය හැදෑරුවේ කොළඹ මියුසියස් බාලිකා විද්‍යාලයෙන්. මං සාමාන්‍ය පෙළ කරන්න හරියටම අවුරුද්දකට කලින් මගේ අම්මා නැති වුණා. ඒ 2014දී. හැම දෙයක්ම දරාගෙන සාමාන්‍ය පෙළ විභාගයෙන් මං A නවයක් ගත්තා. ඒ කාලෙ නාට්‍ය හා රංග කලාව විෂයයක් විදිහට හැදෑරුවා. ඒත් උසස් පෙළට තෝරගත්තේ විද්‍යා විෂයන්. මේ වෙද්දි මං වෛද්‍ය ශිෂ්‍යාවක්. උසස් පෙළ කරද්දි පොතේම ඉඳලා ස්ට්‍රෙස් එක වැඩිවෙලා මට ඩිප්රෙෂන් ආවා. ඒකම තමයි මං කලාව පැත්තට යොමුවෙන්න හේතුව වුණේ. මං දන්න අක්කා කෙනෙක්ගේ මාර්ගෙන් ඔප්රිච් සැලෝන් එකේ බ්‍රයිඩ්ල් ෂූට් එකකට පෙනී හිටියෙ මනස රිලැක්ස් කරගන්න හිතාගෙන. එත් ඒක නොහිතුව විදිහට වයිරල් වුණා. එතැන ඉඳන් මං ඔවුන් සමඟ එකට වැඩ කළා. අදටත් මට ඔවුන්ගෙන් ලොකු සහායක් ලැබෙනවා. එතැන තමයි මගේ කලාවේ ප්රභවය වුණේ. කලාව කියන්නෙ වෙහෙසකර මනසට දිව ඔසුවක්. ඒක මං අත්වින්දා.
ඔබේ ක්ෂේත්රයට පිවිසීම ගැනත් කතා කරමු?
2019 වගේ තමයි මං කලා නිර්මාණ එක්ක සම්බන්ධ වෙන්නේ. ගෙදරින් නම් කැමති වුණේම නෑ කලාවට සම්බන්ධ වෙනවට. මං අවුරුදු කුමරිය තරගවලටත් ඉදිරිපත් වුණා. ඒ හරහා මාව ගොඩක් දෙනා හඳුනගත්තා. 2022 අවුරුද්දේ චන්දිමාල් ජයසිංහගේ CJ අවුරුදු කුමරිය තරගයේ ජයග්‍රාහිකාව වුණා. ඒ හරහා තව තව ඉවෙන්ට්වල ප්‍රමෝට් වුණා. සියත අවුරුදු කුමරිය අවසන් හයදෙනා අතරට ආවා. 2024 වෙනකල් තෙවරක්ම ඇමින්රා ජුවලර්ස් අවුරුදු කුමරිය වුණා. ඒකෙ විශේෂත්වය වුණේ සම්පූර්ණයෙන්ම රත්තරනින් හදපු කිරුළක් තමයි එතැනදි පලන්ඳන්නේ. මිස් ශ්‍රී ලංකා ජාත්‍යන්තර තරගය නියෝජනයටත් මේ වෙද්දි ආරාධනා ලැබිල තියෙනවා. ඒ අතරේ වෙළෙඳ දැන්වීම්වලටත් පෙනී හිටියා. මේ වෙද්දි වෙළෙඳ දැන්වීම් දහයක් විතර කරල තියෙනවා.
වී. සිවදාසන් සර්ගේ ස්නයිපර් සිනමාපටයෙන් රිදී තිරයේ කුලුඳුල් අත්දැකීම ලැබුවා. ඊට පස්සේ ඔහුගේම අමෙරිකාවේ රූගත කරන තවත් සිනමාපටයක ප්‍රධාන චරිතයට ආරාධනා ලැබුණා. ඒ වගේම ප්‍රීතිරාජ් වීරරත්න මහත්මයාගේ අලුත් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ආරාධනා ලැබුණා. අන්තිමටම මං සම්බන්ධ වුණේ රාජ් රණසිංහ මහත්මයාගේ සිනමාපටයකට.
ටෙලි නාට්‍ය පැත්තෙන් ගත්තොත් මුලින්ම සම්බන්ධ වුණේ සක්කරයා ටෙලි නිර්මාණයට. සක්කරයා කියන්නෙත් ටිකක් ෆිල්ම් ටයිප් එකට කරපු ටෙලි නිර්මාණයක්. ඊට පස්සේ සිදාදියේ සමනලියෝ. පාර දිගේ ටෙලි නිර්මාණයට ආරාධනා ලැබුණත් අධ්‍යාපන කටයුතු නිසා ඒක මගහැරුණා.
ජයමාලී නිරූපණ ක්ෂේත්රයේත් කතාබහට ලක්වන චරිතයක් ?
මං අඩි පහයි අඟල් අටක් උසයි. මගේ උසත් එක්ක මොඩ්ලින් පැත්තට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. සේනක ද සිල්වා, සංගීතා වීරරත්න, රොසෑන් ඩයස් යටතේ මං නිරූපණය හැදෑරුවා. කළම්බු ෆැෂන් වීක් එකේ රෑම්ප් කරන එකත් මගේ හීනයක්. ඒ වගේම මගේ වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරලා රූපලාවණ්‍ය ක්ෂේත්රයේ වෛද්‍යවරියක් වෙන්නත් ලොකු කැමැත්තක් තියෙනවා.
ආදරය ගැන ජයමාලිට තියෙන්නෙ මොන වගේ අත්දැකීමක්ද?
ක්ෂේත්රයට ආව මුල් කාලෙ මට ආදර සම්බන්ධයක් තිබුණා. ඒත් එයා මං විදෙස් අධ්‍යාපනය ලබනවට කැමති වුණේ නැහැ. එයත් ප්‍රසිද්ධ ක්ෂේත්රයක කෙනෙක්. ගෙදර අයගෙන්වත් එහෙම ප්‍රශ්නයක් ආවෙ නැති එකේ ඒක මට ලොකු ප්‍රශ්නයක් වුණා. ඒ වගේ දියුණුවට බාධා කරන ඉදිරියට යද්දි කකුලෙන් අදින ආදරයකින් වැඩක් නෑනෙ. ඒ නිසා ඒකට සමුදෙන්න වුණා. විවාහ ජීවිතේට කෙනෙක් තෝරගනිද්දි අපි බලන්න ඕන එයා වගකීමක් ගන්න පුළුවන් කෙනෙක්ද කියන එක. මොකද විවාහ ජීවිතේ කියන්නෙ ලොකු වගකීමක්.