රූපවාහිනියේ විකාශය වන වෙළෙඳ දැන්වීම් රාශීයක නිතර දකින රුවක්, නමුත් ඇය පුංචි තිරයේ ටෙලි නිර්මාණවලින් දකින්න ලැබෙන්නේ කලාතුරකින්. ඒ ප්‍රේක්ෂකයින්ට මතක හිටින චරිත තුළින්. මේ කාලයේ මොනවද කරන අලුත් වැඩ ගැන දැන ගන්න රුවි සමඟ කළ කතාවකි මේ.
මේ දවස්වල මොකද වෙන්නේ
දිගු නිහැඬියාවකට පස්සේ ආයෙම මම වැඩ පටන් ගත්තා. ඇත්තටම මට ආදරේ කරන ගොඩක් අය ඇහුවා ඇයි මාව ටෙලි නාට්‍යයකින් දකින්න නැත්තේ කියලා. දැන් ආයේ වැඩ කිහිපයක්ම භාර ගත්තා. ඒ නිසා නුදුරේම මාව ආදරණීය ප්‍රේක්ෂකයින්ට දකින්න ලැබෙයි.
ඇයි නිහැඬියාවක හිටියේ?
මම කොහොමත් ලැබෙන හැම නිර්මාණයක්ම භාර ගන්න කෙනෙක් නෙවෙයි. තෝරා බේරා ගෙන වැඩ කරන කෙනෙක්. ඒකම තමයි නිහැඬියාවට හේතුව.
මොන වගේ තේරීම් ද රුවිට තියෙන්නේ?
මම තෘප්තිමත් නම් මම ඒ චරිතය භාර ගන්නවා, මුලින්ම මමයි ඒ චරිතයට ආදරේ කරන්න ඕනේ. එතකොට මට ඒ චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා.
මෙගා නාට්‍ය භාර ගන්නෙම නැද්ද?
අද තියෙන ආර්ථික තත්ත්වයන් එක්ක මෙගා නාට්‍ය භාර ගන්නෙම නැහැ කියන තැනක ඉන්න බැහැ. දැන් නිර්මාණ කොහොමත් කොටස් 100ට එහා යනවා. ඒ නිර්මාණ අයිති වෙන්නෙම මෙගා නාට්‍ය අතරට. නමුත් මේ වෙනකම් මම මෙගා නාට්‍යයකට සම්බන්ධ වෙලා නම් නැහැ.
වෙෙළඳ දැන්වීම්වලට නම් වැඩි ඉඩක් දීලා තියෙනවා වගේ
ඒක මම දකින්නේ මගේ වාසනාවක් විදිහට. ගොඩක් වෙලාවට වෙෙළඳ දැන්වීම් ක්ෂේත්රයේ රැඳෙන්න පුළුවන් ටික කාලයයි. නමුත් මට තවමත් වෙෙළඳ දැන්වීම් ලැබෙනවා.
ඉදිරියට එන්න තියෙන නිර්මාණ ගැන කෙටියෙන් කියමුද?
මේ වෙද්දී මට අධ්යක්ෂවරු කිහිප දෙනෙක්ම ඒ අයගේ අලුත් නිර්මාණවලට කතා කරලා තියෙනවා. ඒ අතරින් දැනට ප්‍රදීප් ධර්මදාස සහ ඉරේෂ් ලොකු බණ්ඩාරගේ නිර්මාණ දෙකකට සම්බන්ධ වුණා.
ඉදිරියට එන නිර්මාණවල චරිත ගැන කිව්වොත්?
මම මෙච්චර කාලයකට කරපු නැති වෙනස්ම ආකාරයේ චරිත දෙකකින් තමයි නිහැඬියාවෙන් පස්සේ ප්‍රේක්ෂකයින් අතරට එන්නේ. ඒ වගේම වැඩ අවසන් කළ චිත්‍රපට දෙකකුත් එන්න තියෙනවා.
මේ කාලයේ කොහොමද වෘත්තීය ජීවිතේ දැනෙන්නේ
හැමෝටම තියෙන ආර්ථික ප්‍රශ්න තියෙනවා. මම විවාහක කෙනෙක්. ඒ නිසා සැමියාගෙනුත් මට සහයෝගය ලැබෙනවා. වෙෙළඳ දැන්වීම්, රංගනය සහ හඬ කැවීම් ශිල්පිනියක් විදිහට වැඩ කරන නිසා සාමාන්‍ය ගමනක් යන්න පුළුවන් වෙලා තියෙනවා.
සැමියාගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
මගේ සැමියා නකුල් ප්‍රසාද්. ඔහුත් අධ්යක්ෂවරයෙක්. ඔහු මට උපරිම නිදහස දීලා තියෙනවා. ඒක අගය කරන්න ඕනේ. මම කැමති විදිහේ චරිත කරන්න මට නිදහස දීලා තියෙනවා.
කලාවේ කටයුතු නැති දවස්වලට වැඩිපුර කාලය යොදවන්නේ මොනවටද?
කෑම හදන්න තමයි ආස. කේක් වර්ග, සෝටිස් වර්ග මට හොඳට හදන්න පුළුවන්. මම කැමති කෑම වර්ග හදන්න සහ ඒ දේවල් අනිත් අය එක්ක බෙදා ගන්න එක.
අවුරුදු කුමරියක් වෙලා පටන් ගත්ත ගමනේ අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ
මම තෘප්තිමත්. මම දකින ප්‍රධානම දේ තමයි හොඳ ඉවසීමක් තියෙන්න ඕනේ. කලබල ගමනට ආයුෂ කොටයි. හිමින් යන ගමනේදී හොඳ තේරුම් ගැනීමක් එක්ක පියවරෙන් පියවර යද්දී ඒ ගමන ගොඩක් සාර්ථකයි.
අනාගත බලාපොරොත්තු මොනවද?
මේ අවුරුද්දේ මට සුමති සම්මාන උළෙලේදී ජූරියේ විශේෂ සම්මානයක් ලැබුණා. මම ඒ අවුරුද්දටම කරලා තිබ්බේ සුපුන් රත්නායකගේ තුම්පනේ නාට්‍ය විතරයි. ඒ නාට්‍යයයේ මගේ චරිතය ඇගැයීමට ලක් වුණ එක ගැන ලොකු සතුටක් දැනුණා. මගේ බලාපොරොත්තුව දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියක් වෙන එක.
ජායාරූප – ප්‍රවීන් ලෝචන