Home » කොස්ගොඩ හෙල්ලූ කාන්තා කල්ලිය

කොස්ගොඩ හෙල්ලූ කාන්තා කල්ලිය

by thanushika
May 4, 2024 12:30 am 0 comment

අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ කාන්තාවන්ගේ ප්‍රමාණයේ යම් වර්ධනයක් පෙනෙන්නට ඇත්තේ යුක්තිය මෙහෙයුම මඟින්ද අත්අඩංගුවට ගැනුණු පුද්ගලයන් අතර කාන්තා ප්‍රතිශතයද බැලූ බැල්මට වැඩි බවක් එම සංඛ්‍යා ලේඛන නිරීක්ෂණය කරන ඕනෑම අයකුට පෙනී යන නිසාය.

යුක්තිය මෙහෙයුමේදී මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව 107,736කි. ඉන් 2,436ක් කාන්තාවෝය.

මේ සංඛ්‍යා ලේඛන නිරීක්ෂණය කරන විටදී හෙළි වන ප්‍රධාන කාරණාව නම් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට ඇතැම් කාන්තාවන් සම්බන්ධ වීමේ යම් ප්‍රවණතාවක් ඇති බවය. ඇතැම් කාන්තාවන් මෙලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතව සිටින්නේ ඔවුන්ද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටීම නිසාය. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටින ඇතැම් කතුන් ඒ සඳහා මුදල් සොයා ගැනීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වන බව රහසක් නොවේ. මෙවැනි ඇතැම් කාන්තාවන් මතට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම් මෙන්ම විවිධ අපරාධ සිදු කරන බව හොඳහැටි ප්‍රත්‍යක්ෂ වන සිද්ධියක් දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයට අයත් ඇල්පිටිය පොලිස් කොට්ඨාසයේ කොස්ගොඩ පොලිසියෙන් වාර්තා විය.

මේ කතාව පෙළ ගැසෙන්නේ මෙසේය.

කොස්ගොඩ සහ ඌරගස්මංහන්දිය ප්‍රදේශවල නිවාසවලට රාත්‍රී කාලයේ කඩාවදින සංවිධානාත්මක කල්ලියක් නිවැසියන් බියගන්වා මුදල්, ස්වර්ණාභරණ ඇතුළු වටිනා භාණ්ඩ කොල්ලකෑම් සිද්ධීන් කිහිපයක් පසුගියදා වාර්තා වී තිබුණු අතර කොස්ගොඩ සහ ඌරගස්මංහන්දිය පොලිස් ස්ථාන ඇතුළු ඇල්පිටිය කොට්ඨාසයේ පොලිස් ස්ථාන කිහිපයක්ම මේ කොල්ලකෑම්වල සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබුණි.

කොස්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ද මේ කොල්ලකෑම්වලට සම්බන්ධ පුද්ගලයන් ගැන සෙවීම සඳහා දීර්ඝ විමර්ශනයක් පවත්වාගෙන ගිය අතර එහිදී පොලිස් නිලධාරීන් ඉතා වැදගත් කරුණක් සොයා ගන්නේ ලද තොරතුරුවලට අනුවය. ඒ අනුව පොලිසිය සිදු කරන ලද විමර්ශනයේදී හෙළිකර ගන්නේ කොස්ගොඩ අහුංගල්ල ප්‍රදේශවල සිදුකරන ලද නිවාස කොල්ලකෑම්වලට නායකත්වය දෙන්නේ කාන්තාවන් දෙදෙනෙකු බවයි.

මෙසේ ලද රහසිගත තොරතුරු ගැන සොයා බලන පොලිස් නිලධාරීන් වැඩිදුරටත් අනාවරණය කරගන්නේ සැකකාරියන් දෙදෙනා නැන්දා සහ දියණිය බවය. මේ දෙදෙනාගේ මෙහෙයවීමෙන් තවත් කණ්ඩායමක් කොල්ලකෑම් සිදු කරන බව පොලිසිය හෙළි කරගන්නේ හිමින් සීරුවේ කළ පරීක්ෂණයේදීය.

සැකකාර කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා මුලින් විමර්ශන ආරම්භ කෙරිණි. 40 හැවිරිදි නැන්දා සහ 29 හැවිරිදි ඥාති දියණිය අත්අඩංගුවට ගන්නා ලද්දේ එම විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙසය.

මේ දෙදෙනාගෙන් හෙළිකර ගන්නා ලද තොරතුරුවලට අනුව කොල්ලකෑම්වලට සම්බන්ධ තවත් පුද්ගලයන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගැනීමට කොස්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධරයන්ට හැකි විය.

එම සැකකරුවෝ අවුරුදු 23 සහ 29 වයස්වල පසුවන අය වුහ.

මේ දෙදෙනාගෙන් ප්‍රශ්න කරද්දී අහුංගල්ල, කොස්ගොඩ ප්‍රදේශවල සිදු වූ නිවාස කොල්ලකෑම් කිහිපයකම තොරතුරු හෙළිකර ගැනීමට පොලිස් නිලධරයන්ට හැකි විය. එම නිවෙස්වලින් කොල්ලකන ලද රුපියල් පන්ලක්ෂයක් පමණ වටිනා රන් ආභරණ සහ කොල්ලකෑම් සඳහා උපයෝගී කරගන්නා ලද කඩු, මන්නා, පිහි, යකඩ පොලු ඇතුළු අවිආයුධ පොලිසිය විසින් සොයා ගන්නා ලදි.

සැකකාරියන් දෙදෙනාගෙන් 29 හැවිරිදි සැකකාරිය සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 3112ක් 40 හැවිරිදි සැකකාරිය සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 2410ක් සොයා ගැනීමට පොලිස් නිලධරයන්ට හැකි වීමත් සමඟ හෙළිවන්නේ මේ සැකකාරියන් දෙදෙනා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ අය බවය. මේ දෙදෙනාම මව්වරුන් බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය විය.

ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ සුවිශේෂී කරුණ නම් සැකකාරියන් දෙදෙනා මේ සැකකරුවන් දෙදෙනාට මත්ද්‍රව්‍ය ලබාදී ඔවුන් අපරාධ සඳහා යොමු කර ඇති බවයි.

මත්ද්‍රව්‍යවලින් සන්තර්පනය වී අවිආයුධ රැගෙන කොල්ලකෑම්වලට යන මේ සැකකරුවන් දෙදෙනා රාත්‍රී කාලයේ කොස්ගොඩ, අහුංගල්ල ප්‍රදේශවල නිවාස කිහිපයකට කඩා වැදී ඒවායේ ඉබි යතුරු ද දොරවල් ද ආයුධවලින් පහර දී කඩා දමා නිවාස තුළට ගොස් නිවැසියන්ට තර්ජනය කර මුදල් රන් ආභරණ කොල්ලකා ඇති බවද හෙළි විය.

මේ චෝදනා යටතේ බළපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකාරියන් සහ එක් සැකකරුවකු රක්ෂිත බන්ධනාගාරගත කළ අතර අනෙක් සැකකරු රඳවාගෙන ප්‍රශ්න කරගෙන යන්නේ ඔහු කළ අපරාධ පිළිබඳවය.

මේ කල්ලියට සම්බන්ධ තවත් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීම සඳහා කොස්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් දීර්ඝ පරීක්ෂණයක් සිදු කරගෙන යයි.

ඇල්පිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි, සහකාර පොලිස් අධිකාරී ලාල් ගමගේ යන නිලධාරීන්ගේ උපදෙස් මත කොස්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් දේශබන්ධු, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උදාර සිල්වා, උප පරීක්ෂක උපුල්සිරි, කොස්තාපල්වරුන් වන (77735) ලක්ෂිත 104466 තරිඳු, කාන්තා කොස්තාපල් (12779) ජයමාන්න යන නිලධාරීන් නිලධාරිනියන් වැඩිදුර විමර්ශන සිදු කරති.

ඡායාරූප- ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division