Home » රැකියාවක් සොයාගෙන වත්තේගමින් කොළඹ ආ යුවතියට වෙච්ච දෙයක්

රැකියාවක් සොයාගෙන වත්තේගමින් කොළඹ ආ යුවතියට වෙච්ච දෙයක්

by thanushika
May 11, 2024 12:30 am 0 comment
දීපාල් සමරසේකර

මුහුණුපොත උපයෝගී කරගෙන සිදු කරන අපරාධ, ලිංගික හිංසනවල ක්‍රමික වර්ධනයක් පෙනෙන්නට ඇති බව ගිය සතියේ සඳහන් කළෙමි. මේ ගැන මහජනතාවගේ දැනුම්වත් වීම මඳ බවද පෙනෙන්නට ඇත්තේ මුහුණුපොතේ ජාවාරම්කාරයන් රොත්තක්ම තවමත් නිරුපද්‍රිතව ක්‍රියාත්මක වන බව හොඳටම පෙනෙන්නට ඇති නිසාය.

රැකියා ලබා දෙන බව පවසමින් මිනිසුන් මුළා කර ඔවුන් අතේ ඇති තුට්ටු දෙකට තට්ටු කරන ඉතාම සංවිධානාත්මක කණ්ඩායමක් මුහුණුපොත ආක්‍රමණය කරමින් සිටින බව පෙනෙන්නට ඇත්තේ මේ අය සිදු කරන වංචනික ක්‍රියාවලට හසුවන අහිංසක අසරණ මිනිසුන්ගේ සංඛ්‍යාව එන්න එන්නම වැඩි වන නිසාය.

මුහුණුපොතේ රැකියා ඇබෑර්තු පිටුවක් ව්‍යාජ ලෙස සකසාගෙන එහි පළ කරන රැකියා ඇබෑර්තු ගැන විමසන විශේෂයෙන් කාන්තාවන් රවටා ඔවුන් සම්බාහන මධ්‍යස්ථානවලට අලෙවි කරන ජාවාරමක සුලමුල හෙළිකර ගැනීමට මිරිහාන පොලිසියේ වැඩබලන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා ඇතුළු කණ්ඩායමට හැකි විය.

මේ කතාව පෙළ ගැසෙන්නේ මෙසේය.

මිරිහාන වැඩබලන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරාට පසුගිය දිනෙක දුරකතන ඇමතුමක් ලැබිණි. ඒ මහනුවර වත්තේගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගෙනි. එම දුරකතන පණිවුඩයෙන් වැඩබලන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇමතූ එම කාන්තාව කියා සිටියේ තම 16 හැවිරිදි දියණිය තලවතුගොඩ ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක සිරකර ගෙන සිටින බවයි.

අදාළ කාන්තාවගෙන් සියලු තොරතුරු අසා දැනගත් ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා මිරිහාන මූලස්ථාන පොලිසියේ ළමා සහ කාන්තා කාර්යාංශයේ සැරයන් 4997 ප්‍රියන්ති ඇතුළු කණ්ඩායමක්ද කැටුව යන්නේ තලවතුගොඩ අදාළ සම්බාහන මධ්‍යස්ථානයටය.

පොලිස් නිලධාරීන් එහි යන විට එම සම්බාහන මධ්‍යස්ථානයේ කාමරයක සිරකරගෙන සිටි 16 හැවිරිදි යුවතිය හඬමින් සිටිනු පොලිස් නිලධාරීන්ට නිරීක්ෂණය විය.

මේ යුවතිය එතැනින් මුදාගෙන ඇගෙන් ප්‍රශ්න කරද්දී අනාවරණය වන්නේ මෙවැනි කතාවකි.

16 හැවිරිදි මේ යුවතිය මහනුවර වත්තේගම පදිංචිකාරියකි. ඇය නිතර මුහුණුපොත පරිශීලනය කළාය. මුහුණුපොතේ රැකියා ඇබෑර්තු සඳහන් පිටුවක සටහන් වී තිබුණු රැකියා ඇබෑර්තුවකට ඇයට අයැදුම් කිරීමට සිතෙන්නේ ඒ අවස්ථාවේදීය.

කොළඹ රූපලාවණ්‍යාගාරයක සේවය සඳහා රූමත් යුවතියන්ට ඉන් ආරාධනා කර තිබිණි. යුවතිය එහි සඳහන් දුරකතන අංකයට කතා කළාය. ඊට පිළිතුරු දුන්නේ තරුණයෙකි.

රූපලාවණ්‍යාගාරයේ රැකියාව සඳහා සම්මුඛ පරීක්ෂණයට කොළඹ එන ලෙස මේ තරුණයා යුවතියට දැනුම් දුන්නේය. තරුණයාගේ කතාව විශ්වාස කළ යුවතිය වත්තේගම සිට කොළඹ එන්නේ තරුණයා හමු වී රැකියාව ලබා ගැනීම සඳහාය.

කොළඹදී තරුණයා හමුවූ යුවතිය තමන්ගේ රැකියාව පිළිබඳව ඔහුගෙන් විමසුවාය. තරුණයා දැරිය කැඳවාගෙන තලවතුගොඩට යන්නේ ඒ මොහොතේදීමය. තලවතුගොඩ ස්පා ආයතනයකට ඇය කැඳවාගෙන ආ තරුණයා එහිදී ඇයට අතවර කරන්නේ ඇය නොසිතූ පරිදිය.

තමා රැවටුණු බව දැනගත්තද යුවතියට කළ හැකි දෙයක් නොවීය. යුවතියට අතවර කිරීමෙන් නොනැවතුණු තරුණයා ඇය එහි අයිතිකරුට බාරදී එතැනින් පිටව යන්නේ සිත්පිත් නැත්තෙකු ලෙසය.

‘ස්පා ආයතනයේ’ එදින රාත්‍රිය ගත කරන යුවතිය එදා රාත්‍රිය පුරා එහි සේවකයකු අතින් නැවත අතවරයට ලක් වූවාය.

තමා ලොකු අමාරුවක වැටී ඇති බවද තමාට මෙයින් ගැලවීමට නොහැකි බවද දැරියට සිතිණි. ඇය ස්පා ආයතනයේ අයට හොරෙන් මවට දුරකතන ඇමැතුමක් ගත්තාය. හඬමින්ම මේ සිද්ධිය මවට කීවාය. මව මිරිහාන පොලිසියට කළ දැනුම් දීමෙන් පසු පොලිසිය එහි පැමිණෙන්නේ ඉන් අනතුරුවය.

සම්බාහන ආයතනයේ හිමිකරු පොලිස් අත්අඩංගුවට ගැනෙන්නේ යුවතිය පොලිසියට කළ ප්‍රකාශ අනුවය. මේ සිද්ධියට සම්බන්ධ යැයි සැකපිට තවත් කාන්තාවක්ද අත්අඩංගුවට ගැනිණි.

යුවතිය මුහුණුපොතෙන් රවටා කොළඹට ගෙන්වා ස්පා ආයතනයකදී ඇයට අතවර කර ස්පා ආයතනයට ඇය බාරදී පලා ගිය තරුණයා අල්ලා ගැනීම පොලිසියේ ඊළඟ ඉලක්කය විය. ඔහු ඒ වන විට කොහේ සිටිනවාදැයි දන්නා කිසිවකු නොවීය. එහෙත් යුවතිය සතුව ඔහුගේ ජංගම දුරකතන අංකය තිබිණි. ඒ අනුව පොලිසිය සැලසුම් කරන්නේ අදාළ යුවතිය ලවාම සැකකරුට දුරකතන ඇමතුමක් දී ඔහු ගෙන්වාගෙන අත්අඩංගුවට ගැනීමටයි.

පොලිසිය භාවිත කළ ඒ උපක්‍රමය හරියටම හරි ගියේය. යුවතිය සැකකාර තරුණයාට දුන් ඇමතුම අනුව ඔහු ඇය සොයාගෙන පැමිණෙද්දී පොලිස් නිලධරයෝ සැකකරු අත්අඩංගුවට ගන්නේ වැඩි කරදරයකින් තොරවය.

යුවතිය සම්බාහන ආයතනයේ සිටියදී රැයක් පුරා ඇයට අතවර කළ අනෙක් පුද්ගලයාද පොලිස් අත්අඩංගුවට ගැනිණි.

අදාළ ස්පා ආයතනය නීති විරෝධීව පවත්වාගෙන යාමට ගොඩනැඟිල්ල ලබා දුන් පුද්ගලයාට එරෙහිවද නීතිමය පියවර ගැනීමට පොලිසිය කටයුතු යොදා තිබේ.

මුහුණුපොතේ රැකියා ඇබෑර්තු පිටුවක් පවත් ගෙන යමින් 16 හැවිරිදි යුවතිය රවටා ඇය කෙලෙසු 23 හැවිරිදි සැකකරු රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවකු බවද වීමර්ශනවලදී හෙළි විය.

මිරිහාන වැඩබලන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරාගේ උපදෙස් මත ළමා සහ කාන්තා කාර්යාංශයේ සැරයන් 4997 ප්‍රියන්ති ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන පවත්වති.

15 හැවිරිදි දැරියක රවටා රුපියල් 15,000 කට ඇය මීගමුවේ ස්පා ආයතනයකට විකුණු පුද්ගලයෙක් පිළිබඳව මීගමුව මූලස්ථාන පොලිසියෙන් තොරතුරු වාර්තා වූයේ පසුගියදාය. ඒ මීගමුව කොට්ඨාස භාර පොලිස් අධිකාරී එරික් පෙරේරාගේ උපදෙස් මත මීගමුවේ නීති විරෝධී ස්පා පනහකට වැඩියෙන් වැටලීම සඳහා පොලිසිය සිදු කළ මෙහෙයුමේදීය. එම මෙහෙයුමේදී අදාළ ස්පාවල ගණිකා වෘත්තියේ යෙදී සිටියේ යැයි සැකපිට කතුන් 136 දෙනෙක් අත්අඩංගුවට ගන්නා ලද අතර ඉන් දෙදෙනෙක් ඒඩ්ස් රෝගීන් බව පසුව හෙළි විය. මීගමුව කොට්ඨාසයේ සිදු කරන ලද එම දැවැන්ත සෝදිසියෙන් පසු රටපුරා පිහිටි ස්පා ගණනාවක් අදාළ පොලිස් ස්ථානවලින් වටලනු ලැබීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division