මහජන නියෝජිතයෝ නිතරම පවසන්නේ තමන් රට හදන්නට සැදී පැහැදී සිටින බවය. රටට දැයට ජාතියට ආගමට ඇති ලැදියාව නිසාම තමන් දේශපාලනය තෝරාගත් බව ඔවුන් පළ කරන අදහසය. කියන්නා කෙසේ කීවද එවන් පුරසාරම් දොඩන සමහරකගේ ක්‍රියා කලාපය එසේ නොවන බව කවුරුත් දන්නා රහසකි.
මැයි මස පළමුවැනිදා ලෝක කම්කරු දිනය යෙදී තිබිණි. දේශපාලකයෝ මැයි දිනය සමරන්නට කටයුතු කරද්දී කටුනායක, සීදූව නගර සභාවේ හිටපු නියෝජ්‍ය සභාපතිවරයා බඩල්ගම පොලිසියේ අත්අඩංගුවට පත් වන්නේ හෙරොයින් ජාවාරමේ යෙදී සිටියදීය. සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 16 මිලිග්‍රෑම් 250ක් ද පොලිස් භාරයට ගැනිණි.
යුක්තිය මෙහෙයුමට සමගාමීව බඩල්ගම පොලිසියේ නිලධාරි පිරිසක් පළමුවැනිදා පස්වරුවේ ගොඩිගමුව ප්‍රදේශයේ වාහන පරීක්ෂා කිරීමේ රාජකාරියේ යෙදී සිටියහ. මේ මෙහෙයුමේදී පරීක්ෂාවට ලක් කළ ත්‍රිරෝද රථයක රහස් බටයක් සවිකර තිබෙනු පොලිස් නිලධාරියකුගේ උකුසු ඇසට අසුවිය. එය පරීක්ෂා කරද්දී මත්කුඩු පැකට්ටුවක් එහි තිබී සොයා ගන්නට පොලිසියට හැකි විය. එහි ගමන් කළ පුද්ගලයකු ගැන පොලිසියට ඇති වුණේ මහත් සැකයකි. ඒ නිසාම ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරන්නට පොලිස් නිලධාරීහු කටයුතු කළහ.
පොලිසියේ සැකය නිවැරදි විය. මේ පුද්ගලයා කලක සිට මීගමුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන දේල්ගමගේ වික්‍රමසිංහ හෙවත් ‘වල්පොළ උක්කුවා’ නමැති පුද්ගලයා බවට පොලිසිය අනාවරණය කර ගත්තේ ඒ අවස්ථාවේදීය. ඔහුට එරෙහිව අධිකරණ වරෙන්තු කිහිපයක් ඇති බවද යුක්තිය මෙහෙයුම ආරම්භ කළ අවස්ථාවේ සිට පොලිස් ඇසට වැලි ගසමින් ඔහු සැඟවී කල් ගත කර ඇති බව ද අනාවරණය කර ගන්නට පොලිසියට හැකි විය. එම මත්කුඩු ප්‍රමාණය ද ග්‍රෑම් පහකට වඩා වැඩි විය.
අනතුරුව සැකකරුගෙන් කෙරුණු ප්‍රශ්න කිරීම්වලදී ඔහුට හෙරොයින් ලබා දුන් පුද්ගලයා සම්බන්ධයෙන් හෙළි වූ තොරතුරු අනුව පොලිසියේ මැදිහත්වීම මත ඔහුට හෙරොයින් මත්කුඩු ලබා දෙන පුද්ගලයාට දුරකතන ඇමතුමක් ලබා දී හෙරොයින් ප්‍රමාණයක් ලබා ගැනීමට ඉල්ලා සිටිනු ලැබීය.
උක්කුවාගෙන් කෙරුණු දැනුම් දීම මත අදාළ මත්කුඩු පාර්සලය දූනාගහ දේවාලය අසලදී ලබා දෙන බවට බෙදාහරින පුද්ගලයා දැනුම් දෙනු ලැබීය. ඒ අනුව සැකකරු අදාළ මත්කුඩු ලබා ගැනිමට යොදවා පොලිස් කණ්ඩායමක් ඒ අවට රැකවල් යෙදීමට බඩල්ගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පතිරණ කටයුතු කළේ උසස් නිලධාරීන්ගෙන් ලබාගත් උපදෙස් අනුවය.
රාත්‍රී නවයට පමණ දූනගහ පත්තිනි දේවාලය අසලට නවීන පන්නයේ මෝටර් රථයක් පැමිණියේය. පොලිස් පිරිස එය වැටලූ අවස්ථාවේදී මෝටර් රියේ පැමිණි පුද්ගලයා ඉන් පලායාමට උත්සාහ ගත්ත ද එය නවතා ගැනීමට පොලිස් පිරිස සමත් වූයේය. මෝටර් රියේ සිටි පුද්ගලයා පරීක්ෂාවට ලක් කළ පොලිස් නිලධරයෝ ඔහු සතුව තිබී හෙරොයින් පැකට් කිහිපයක් අත්අඩංගුවට ගත්හ. මෙසේ අත්අඩංගුවට පත්වූ පුද්ගලයා කටුනායක සීදූව නගර සභාවේ හිටපු උප සභාපතිවරයා ලෙස කටයුතු කළ ලලිත් රෝහාන් ද සිල්වා නමැත්තා බවට පොලිසිය හඳුනාගනු ලැබීය.
සීදූව ලියනගෙමුල්ලේ ස්ථිර පදිංචිකරුවකු වූ හිටපු උප සභාපතිවරයා කලක සිට අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහිවූවකු බව ද ඒ හේතුව නිසා බිරිය දරු දෙදෙනෙකු සමඟ වෙන්ව සිටින බවත් අත්අඩංගුවට ගැනුණු උප සභාපතිවරයා සෙසු දරුවා සමඟ මීගමුව කට්ටුව ප්‍රදේශයේ රුපියල් හැටදහසක කුලියට ලබාගත් නිවසක පදිංචි වී සිටින බවත් හෙළි වූයේ ඉන් අනතුරුවය.
ඔහු හෙරොයින් අලෙවි කිරීම සඳහා පෙලඹී ඇත්තේ ඔහු ඇබ්බැහිව සිටින අයිස් පානය කිරීම සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට බව ද අනාවරණය වූයේය.
අත්අඩංගුවට ගත් හිටපු උප සභාපතිවරයා මීගමුව කට්ටුවේ පදිංචිව සිටි නිවස පොලිස් නිල සුනඛයන් ද යොදවා පරීක්ෂාවට ලක් කෙරිණි. මත්ද්‍රව්‍ය භාවිත කරන ලද ස්ථානයක් බවට එහිදී කරුණු හෙළිවූ බව ද පොලිසිය කීය. අනතුරුව සැකකරු මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කෙරුණු අතර වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා රඳවා ගැනීමේ නියෝගය ලබා ගැනීමට කටයුතු කෙරිණි. හිටපු උප සභාපතිවරයා පැමිණි මෝටර් රිය ද පොලිස් නිල සුනඛයාගේ පරීක්ෂාවට ලක් කරනු ලැබීය.
අත්අඩංගුවට ගැනුණු සැකකරුට හෙරොයින් සපයා ඇත්තේ මාරවිල පැත්තේ පුද්ගලයකු බවත් ඔහුට ඒවා සපයා ඇත්තේ ඊසි කෑෂ් ක්‍රමයට බවත් මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇතත් ඒ සත්‍යයක් දැයි හෙළිකර ගැනීමට ද පොලිසිය කටයුතු කරමින් සිටින අතර මෙම සැකකාර හිටපු උප සභාපතිවරයා සමීප සම්බන්ධකම් පැවැත්වූ කාන්තාවක ද ලියනගෙමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට හැකි විය. මෙම කාන්තාව ද මෙම මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයට සම්බන්ධව සිට ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මෙසේ අත්අඩංගුවට ගැනුණු දෙදරු මවක වන කාන්තාව රාත්‍රී සමාජ ශලාවක නලඟනක ලෙස කටයුතු කරන ලද අයෙක් බව ද හිටපු උප සභාපතිවරයා මෙම සමාජ ශාලාවේදී කාන්තාව දැන හඳුනාගෙන ඇති බව ද හෙළිවී ඇත. ඇය ද අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන්නියක බවට අනාවරණය වූ බව ද පොලිසිය කියයි.
සැකකරුවන් රඳවා ගැනීමේ නියෝග මත රඳවා වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට පොලිසිය පියවර ගත්තේය.
බස්නාහිර පළාත උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය සහ මීගමුව කොට්ඨාස භාර පොලිස් අධිකාරී එරික් පෙරේරාගේ උපදෙස් මත මීගමුව පොලිස් අධිකාරී 1 පාලිත අමරතුංගගේ අධීක්ෂණයෙන් බඩල්ගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පතිරණගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂකවරුන් වන ප්‍රසාද්, ප්‍රසන්න සැරයන්වරුන් වන (59552) චන්දෝති, (51791) ජූඩ්, (61024) දයාවංශ, කොස්තාපල්වරුන් වන (100839) කුමාර, (102392) ලක්ෂාන්, (84115) වික්‍රමසිංහ, සහ (102392) බණ්ඩාර යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
එම්. පුෂ්පකුමාර - කොටදෙනියාව සමූහ