නිවැසියන් නොමැතිව වසා දමා තිබෙන නිවාස බිඳ දේපළ සොරාගන්නා තරුණ වයසේ පසුවන සිවුදෙනෙකුගෙන් සමන්විත සොර කල්ලියක් බදුල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ගේ උකුසු ඇසට හසුකර ගෙන සොරා ගත් රුපියල් ලක්ෂ 50කට ආසන්න වටිනාකමින් යුත් දේපළ තොගයක් සමඟ අත්අඩංගුවට ගැනීමට බදුල්ල පොලිසියට පසුගියදා හැකි විය. මේ කල්ලිය දීර්ඝ කාලයක් තිස්සේ මේ සොරකම් සිදුකරගෙන ගොස් තිබිණි.
බදුල්ල ස්ප්‍රීංවැලි, කඳන, රිදීපාන, කටුපැලැල්ලගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 24ත් 30ත් අතර වයසේ පසුවන මත්ද්‍රව්‍ය භාවිතයට තදින්ම ඇබ්බැහි වූවන් සිවුදෙනෙකු මෙලෙස පොලිස් අත්අඩංගුවට පත් වූහ.
මොවුන් කාලයක් පුරා මෙම සොරකම් ඉතා සූක්ෂ්මව සිදු කරගෙන ගොස් ඇති අතර ඔවුන් විසින් සොරාගෙන බදුල්ල රිදීපාන, කටුපැලැල්ලගම අවට විවිධ පුද්ගලයන්ට අඩු මුදලට විකුණා තිබූ රෙදි සෝදන යන්ත්‍ර, ශීතකරණ, ලැප්ටොප් පරිගණක යන්ත්‍ර, පිත්තල පහන්, මල් පෝච්චි, වීදුරු භාණ්ඩ, විදුලි පංකා, රූපවාහිනී යන්ත්‍ර, කැසට් යන්ත්‍ර, ගෑස් සිලින්ඩර, විදුලි උපකරණ ඇතුළු දේපළ රැසක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
මේ කල්ලිය බදුල්ල ස්ප්‍රීංවැලි, බැද්දේගම, රිදීපාන, පුවක්ගොඩමුල්ල ආදි බදුල්ල පොලිස් වසමේ පිහිටි දැනට කාලයක් පුරා වසා දමා ඇති නිවාසවල දොර අගුළු කඩා ඇතුළු වී මෙසේ දේපළ සොරාගෙන ඇතැයි පොලිසිය කියයි.
බදුල්ල පොලිස් වසමේ පදිංචිව සිට පසුව විවිධ අවශ්‍යතා සඳහා නිවාස වසා දමා කොළඹ, මහනුවර ආදි ප්‍රදේශවලට තාවකාලිකව පදිංචියට ගොස් සිටි නිවැසියන්ගේ නිවාස සැකකරුවන් විසින් කඩා වටිනා දේපළ මෙලෙස සොරාගෙන ඇති බවට දැනට සිදුකළ පොලිස් විමර්ශනවලින් පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.
සැකකරුවන් මෙම වටිනා දේපළ ‘තුට්ටු දෙකට’ විකුණා එම මුදල්වලින් මත්ද්‍රව්‍ය භාවිත කර තිබෙන බවත් තොරතුරු අනාවරණය වූ බව පොලිසිය පවසයි.
බදුල්ල ප්‍රදේශයේ පුද්ගලයකු අඩු මුදලට වටිනා දේපළ මිලදී ගන්නා බවට බදුල්ල පොලිසියට ලැබී ඇති තොරතුරක් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක බී. එම්. අබේපාල ඇතුළු පොලිස් කණ්ඩායමක් සිවිල් ඇඳුමින් සැරසි බදුල්ල පොලිස් වසමේ සිදු කරන ලද විමර්ශනවලින් අනතුරුව මෙම සොරකම් පිළිබඳව තොරතුරු පොලිස් නිලධාරීන් විසින් අනාවරණය කර ගනු ලැබීය.
දිගින් දිගටම පරීක්ෂණ කටයුතු සිදු කළ පොලිස් නිලධාරීන් පසුව සොර බඩු අඩු මුදලට මිලදී ගත් පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගන්නේ ඉන් අනතුරුවය.
එම සැකකරුගෙන් හෙළිකර ගත් තොරතුරු මත මෙම සොර කල්ලිය පොලිසිය අත්අඩංගුවට ගැනිණි.
මෙම තරුණ සොර කල්ලිය 2023 වසරේ සිට 2024 මේ වනතෙක් මෙසේ නිවාස දහයකට ආසන්න ප්‍රමාණයක් බිඳ වටිනා දේපළ සොරාගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි විය.
මෙම සියලුම නිවාස කාලයක් පුරා වසා දමා ඇති එලෙසම කිසිවකු නොමැති නිවාස බවත්, මොවුන් එම නිවාස පිළිබඳ තොරතුරු දිවා කාලයේ එක්රැස් කරගෙන ඒවා බිඳ භාණ්ඩ සොරකම් සිදුකර තිබෙන බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
මොවුන් විසින් තවත් එවැනි සොරකම් සිදුකර ඇත්දැයි සොයා පොලිසිය තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.
ඌව පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති ඒ. එම්. උපුල් චන්දන, බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්තගේ උපදෙස් මත පොලිස් අධිකාරි බුද්ධික ගුණසේකරගේ අධීක්ෂණයෙන් බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී. එම්. රත්නායකගේ මෙහෙයවීම මත බදුල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක බී. එම්. අබේපාල, උපපොලිස් පරික්ෂක කුමාරරත්න, සැරයන් (53613) සුමනපාල, (17352) වසන්ත, (54248) ගාමිණි, (74449) ගයාන්, (80054) විජේරත්න, (82635) රත්නායක, (6742) ප්‍රභාකරන් යන නිලධරයෝ වැඩිදුර පරික්ෂණ පවත්වති.
සී. ගමගේ - සොරණාතොට සමුහ